Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


සියලු පාර්ශව රට වෙනුවෙන් වග විය යුතුයි 


2023-02-21 7702

 

රට-ජනතාව වෙනුවෙන් වූ වගවීම සියලුම පාර්ශව විසින් සහතික කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

තම මාතෘභූමිය අද වන විට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයේ යථා ස්වභාවය පිළිබඳව වගකීමක් සහිත සෑම ආයතනයකටම මනා අවබෝධයක් තිබීම ඉතා වැදගත් ය. රටේ පුරවැසියන්ට අදාළව ද එය එසේ විය යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

අද වන විට රට මුහුණ දෙමින් සිටින බැරැරුම් ස්වභාවයට සැබෑ වගකිව යුත්තන් කවුද යන්න පිළිබඳව ඒ බොහෝ දෙනෙකු තුළ විවාදයක් තිබිය නොහැකිය. එහෙත් රට මුහුණ දී ඇති ගැඹුරු අවදානම ගැන ඒ බොහෝ පාර්ශවයන් යථා අවබෝධයකින් කටයුතු කරමින් සිටින්නේ ද යන පැනය අපට මේ මොහොතේ නොවිමසා සිටිය නොහැකිය.

අප මෙම ප්‍රශ්නය නගන්නේ සමස්ත ජාතිය පිළිබඳව තිබෙන්නා වූ අවංක හැගීමකිනි. කිසිදු බල අපේක්ෂාවක් හෝ කුමන හෝ බල දේශපාලන කඳවුරක අනුග්‍රාහකත්ව අරමුණකින් තොරවය. එමෙන්ම ජාති, කුල, ආගම් හෝ වෙනත් පටු සීමාවකට කොටු නොවෙමින් මේ රටේ අනාගත පරම්පරාවට හෝ යහපත් රටක් උරුම කර දීම අප සතු පරම වූ වගකීමක් යැයි සලකන නිසාය.

ඒ අනුව සැලකීමේදී අද අප රට පවතින්නේ එකිනෙකා බෙදී වෙන්වී බලය උදෙසා පොරබැදිය හැකි තත්වයක නොවේ. සාමුහික වගකීම පෙරටු කරගෙන රට ගොඩ ගත යුතුව ඇති තැනකය. ඒ බව අන් සියල්ලන්ටම පෙර රටේ ආණ්ඩුව ද ඒ සමගම අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ හා ජාතික වගකීමකින් කටයුතු කල යුතු ආයතන ද පොදුවේ සමස්ථ පුරවැසියන් ද මැනැවින් අවබෝධ කරගැනීම ඉතා වැදැගත් ය.

එබැවින් අප මේ මොහොතේ රටේ සියලුම පාර්ශවයන් වෙත ආයාචනා කරන්නේ පටු බල අරමුණු පෙරටු කර ගනිමින් රටේ යහ පැවැත්මට අවහිර විය හැකි සෑම කටයුත්තක් ම අවම වශයෙන් යම් නිශ්චිත කාලයකට හෝ යටත් කොට නතර කරන ලෙසට ය.ජන ජීවිතය අඩාල කරවන හා රටේ ආර්ථිකයට හානිවන කිසිදු පියවරක් නොගන්නා ලෙස අප සියලු පාර්ශව වෙතින් නැවත නැවතත් ආයාචනා කරන අතර රජය ද ජනතා හැඟීම්වලට සවන් යොමු කරමින් එම ගැටලු මැනවින් තේරුම්ගෙන පාර්ලිමේන්තුව හරහා එකි ප්‍රශ්න නිරාකරණය කර ගැනීම වැදගත් යයි අපි විශ්වාස කරන්නෙමු. එමෙන් ම ජන මතයට ගරු කරමින් කාලානූරූපීව මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය ද අප වැඩි දුරටත් පෙන්වා දෙනු කැමැත්තෙමු.

Advertiesment