Sunday 26th of March 2023

English Tamil
Advertiesment


මහා භාණ්ඩාගාරය හිස් වෙලා


2023-01-19 1790

 

අත්‍යවශ්‍ය වියදම් පියවා ගන්නවත් භාණ්ඩාගාරයේ සල්ලි නෑ 

 

අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට තරම්වත් මුදලක් මහා භාණ්ඩාගාරයට නොමැති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

ලැබෙන රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම් සඳහා ප්‍රමාණවත් නොවන බව ද, රාජ්‍ය ආදායම් ලෙස ලැබෙන්නේ රුපියල් බිලියන 145ත් 150ත් අතර ප්‍රමාණයක් වන බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.

ඒ සල්ලිවලින් රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 93ක මුදලක් ද, විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 27ක මුදලක් ද, සමෘද්ධිය-වැඩිහිටි දීමනාව ඇතුළු දිළිඳු මට්ටමේ සිටින ජනතාවගේ ගෙවීම් සඳහා මාසිකව රුපියල් බිලියන 11ක් ඇතුළු වියදම් සඳහා මසකට රුපියල් බිලියන 140ක මුදලක් ද වැය වන බව ද, ඒ ගෙවීම් කිරීමෙන් පසු ඉතිරි වන බිලියන 10ක මුදල අනෙකුත් වියදම් සඳහා වැය වන බව ද භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඒ අතර දේශීය සහ විදේශීය ණය ආපසු ගෙවීමට සේම ණය පොළී ගෙවීමට සිදු වන බව ද, ඒ සඳහා ලැබෙන ආදායම් ප්‍රමාණවත් නොමැති බව ද, අකැමැත්තෙන් වුවත් කිරීමට සිදුව ඇත්තේ මහ බැංකුවෙන් මුදල් ඉල්ලා ගැනීම බව ද ලේකම්වරයා අවධාරණය කළේ ය.

ඒ හැර වෙනත් විකල්පයක් නොමැති බව ද, එලෙස මුදල් ඉල්ලා ගැනීමේ සීමාවක් තිබෙන බව ද බැංකු අංශයෙන් ණය ලබා ගැනීමේදී ද්‍රවශීලතා ගැටලු මතු වී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

සේවය අර්ථ සාධක (EPF) අරමුදල, සේවක භාර අරමුදල (ETF) වැනි බැංකු නොවන අංශයෙන් ණය ලබා ගැනීම සිදු කළ හැකි බව ද, එසේ වුව ද ඒ සඳහා සියයට 30ක් වැනි ඉහළ පොළියක් ගෙවීමට සිදු වන බව ද භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ ය.

ඖෂධ නිෂ්පාදනය ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා මුදල් ලබා ගැනීමට පවා ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව ද භාණ්ඩාගාර ලේකම්වරයා පවසා සිටි අතර, දැනට පවතින තත්ත්වය මත සිදු කළ හැකි එකම විකල්පය වන්නේ එලෙස මහ බැංකුවෙන් මුදල් ඉල්ලා ගැනීම බව ද භාණ්ඩාගාර ලේකම්වරයා වැඩි දුරට ත් ප්‍රකාශ කළේ ය.

මේ අතර, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටින්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවැතිය ද අර්බුදකාරී සහ අවදානම් සහගත තත්ත්වය තවම පහව ගොස් නොමැති බව ය.

Advertiesment