Saturday 20th of July 2024

English Tamil
Advertiesment


උපයන විට ගෙවීමේ බදු වැඩි කිරීම ආර්ථික අවපාතයකට පාර කැපීමක්


2023-01-08 13965

 

හිතුමතේ ආර්ථිකය හැසිරවීම භයානකය

 

ආණ්ඩුවට ආර්ථික විද්‍යා පරිචයක් නොමැත  

 

සේවක වැටුපේ ක්‍රය ශක්තිය 70% කින් පිරිහිලා 

 
 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

උපයන විට බද්ද (PAYE-Pay As You Earn) කලක පටන් පැවතිය ද එහි බදු අනුපාතය උපයන්නාට දැරිය හැකි එකක් විය. එහෙත් 2015 යහ පාලනය ආණ්ඩුව විසින් එම බද්ද ඉතා ඉහළ අනුපාතයකට ගෙන එන ලදී. එකල උද්ධමනය සහ විනිමය අනුපාතිකය අඩු අගයක් ගත් බැවින් ද, බදු නිදහස් ඉපයුම ඉහළ එකක් වූ බැවින් ද බදු ගෙවීම එතරම් දුෂ්කර නොවීය. 2019න් පසු වියත්මගේ අදුරදර්ශී පාලනය විසින් එම බදු අනුපාත ඉතා අඩු මට්ටමකට ගෙනවිත් බදු නිදහස් ඉපයුම රුපියල් ලක්ෂ තුන දක්වා වැඩි කරනු ලැබීය. රාජ්‍ය ආදායම පිරිහීමට එම ක්‍රියාමාර්ගය මහත් සේ බලපෑවේය. 

එහෙත් 2023 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට යන බදු අනුපාතය වැටුප් ලබන්නාට ඉසිළිය නොහැකි ලෙස 36%ක් දක්වා ඉහළ දමා තිබෙන අතර බදු නිදහස් ආදායම තුනෙන් දෙකකින්; එනම් මාසිකව රුපියල් ලක්ෂය දක්වා පහළ දමා බදු දැල පුළුල් කොට තිබේ. 

එමෙන්ම අධි උද්ධමනය සහ අධික බදු හේතුවෙන් භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබීම නිසා මාසික ආදායමේ මුර්ත අගය තුනෙන් දෙකකින් පිරිහී තිබේ. නැත හොත් පසුගිය වසරේ මිල දී ගත් භාණ්ඩයක් මිල දී ගැනීමට දැන් ඒ වගේ තුන් ගුණයක මිලක් ගෙවීමට සිදු වී තිබේ. මෙවැනි අසීරු පසුබිමක ආණ්ඩුව පනවා තිබෙන උපයන විට ගෙවීමේ බද්ද නිසා පැන නගින ජීවන අරගලය හේතුවෙන් සේවක පන්තිය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සැරසෙමින් සිටී.

උපයන විට බද්දෙහි ප්‍රතිවිපාක දෙකකි. එකක් රාජ්‍ය ආදායම් වර්ධන ප්‍රතිවිපාකය වන අතර අනෙක පුද්ගල ආදායම් හායන (Depletion) ප්‍රතිවිපාකයයි. බදු අය කිරීමෙන් රාජ්‍ය ආදායම වර්ධනය වීම සාමාන්‍ය සංසිද්ධියක් වුවද එමගින් පුද්ගල ආදායම දැඩි හායනයකට ලක්වීමෙන් ආර්ථික අවපාතයක් දක්වා එම තත්ත්වය ගමන් කරයි. 

නව බදු අනුපාතය ඔස්සේ සිදු වන දරුණු ප්‍රතිඵලය වන්නේ ආර්ථික අවපාතයට පාර කැපීමය. ආර්ථික අවපාතය නිර්මාණය වන්නේ වසර ගණනාවක් මුළුල්ලේ ආර්ථිකය ඍන වර්ධනයේ පැවතීම නිසාය. දේශීය පරිභෝජනයේ පිරිහීම දේශීය නිෂ්පාදනයේ පිරිහීමට අන්‍යොන්‍ය ලෙස බලපාමින් මාරක ළිඳේ පතුළට බසිනවාක් මෙන් ආර්ථික වර්ධන වේගය ද නොකඩවා කඩා වැටීම නිසා ඍන වර්ධනයක් අත්දැකීමට සිදු වේ. 

රාජ්‍ය බදු ආදායම් ඉහළ නංවා ගැනීමේ ප්‍රතිවිපාකයේ ප්‍රයෝජනය කුමක්ද..? රජය අය කර ගන්නා බදු පළදායි නැතහොත් නිෂ්පාදන ප්‍රසාරණය කෙරෙහි යෙදවීමෙන් ආර්ථික වර්ධනයටත් සමාජ සුබසාධනය ඉහළ නංවා ගැනීමටත් හැකිවේ. නොර්වේ සහ ස්වීඩන් වැනි රටවල් ඉතා ඉහල බදු ආදායමක් උපයා බදු ගෙවන්නන් ද ඇතුළු මහ ජනයාට ඉතා ඉහළ සමාජ සුබසාධනයක් ඉටු කරයි. 

එහෙත් ශ්‍රී ලංකා රජය යොමු වනුයේ සුපුරුදු පරිදි අකාර්යක්‍ෂම අධික රාජ්‍ය සේවයක් නඩත්තු කිරීම, සැප සම්පතින් අනූන අධික දේශපාලන ප්‍රජාවක් නඩත්තු කිරීම, අධික හමුදාවක් නඩත්තු කිරීම, අධික විශ්‍රාමිකයන් සංඛ්‍යාවක් නඩත්තු කිරීම, අධික පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කිරීම, අධික සුබසාධන සේවාවන් පවත්වා ගැනීම සහ නිලධාරී පැලැන්තියේ සුඛෝපභෝගී ජීවිතය නඩත්තු කිරීම වැනි නාස්තිකාර වියදම් පිණිස විනා පළදායී කටයුතුවලට යොදා ගැනීමට නොවේ. 

එනම් ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය “සරදියෙල්” පන්නයේ ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය ආර්ථික දියුණුවට උපස්තම්භක නොවේ. පුද්ගල ආදායම් හායන ප්‍රතිවිපාකය නිසා සිදු වන්නේ ඍජු ලෙසම මාසික වැටුපෙන් සැලකිය යුතු බදු මුදලක් කපා ගෙන ඉතිරිය සේවකයන් අතට ලැබීමට සැලැස්වීමය. 36%ක් දක්වා ප්‍රතිශතයකින් අය කරනු ලබන මෙම බද්ද නිසා සේවක වැටුප් රුපියල් දහස් ගණනක සිට ලක්ෂ ගණනක් දක්වා වැටුපට අනුපාතිකව සේවකයන්ට මාසිකව අහිමිවේ. මාසික වැටුප් ලබන්නා යනු සිය වැටුපේ පරිමාව අනුව පරිභෝජන ක්‍රමය සකස් කර ගෙන සිටින ප්‍රජාවකි. මොවුන්ට අපේක්ෂා බොහොමයක් පවතී. 

ඒ අනුව සිය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම පිණිස නාගරික පාසල්වලටත්, පෞද්ගලික විශ්ව විද්‍යාලවලටත්, විදේශ විශ්ව විද්‍යාලවලටත් යොමු කර තිබේ. ඒ වූ කලී මහත් වියදමක් දැරීමට සිදු වන කටයුත්තකි. දෙවනුව ඔවුන් ඉඩමක් මිල දී ගැනීමටත් නිවසක් ඉදි කර ගැනීමටත් බැංකුවලට අධික ලෙස ණය වී සිටින පිරිසකි. තුන් වැනුව, ඔවුන් මෝටර් රථයක් මිල දී ගැනීම පිණිස ණයක් හෝ ලීසිං පහසුකමක් ලබා ගත් පිරිසකි. එමෙන්ම සිය අර්ථ සාධක අරමුදල උකසට තබා ණය ගෙන එහි වාරික කපා ගැනීම නිසා අඩු වැටුපක් ලබන පිරිසකි. ඔවුන්ගේ මාසික වැටුපෙන් මේ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කිරීමෙන් පසු ජීවත් වීම සඳහා සැලකිය යුතු මුදලක් ඉතිරි නොවේ. මාසිකව රුපියල් ලක්ෂයක් ලබන්නාත් ලක්ෂ පහක් ලබන්නාත් අවසානයේ මුහුණ දෙන්නේ එකම ජීවන අරගලයටය. 

නව බදු අනුපාතය විසින් කොතෙක් දුරට ආදායම් හායනය වේද යත් මධ්‍යම පාන්තික ප්‍රජාවට ඉහත කී වියදම් පියවා ගැනීමට නොහැකිව බැංකු ණය, ජීවිත රක්ෂණ වාරික සහ ලීසිං වාරික පැහැර හැරීමට සිදු වේ. නැතහොත් බැංකු ගිණුමට බැර වෙන වැටුපෙන් බැංකුව එම ණය වාරික කපා ගත් විට ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට මුදලක් ඉතිරි නොවේ. එසේ වූ විට ඔවුන්ද ජීවත් වීමට රජයේ සහනාධාර ලැබිය යුතු පිරිසක් බවට පත් නොවන්නේද..? 

මධ්‍යම පාන්තිකයන් විසින් කරනු ලබන පරිභෝජනයෙන් දේශීය පරිභෝජනයේ අධිකතර කොටස සමන්විත වේ. එහෙත් මෙම බදු කරණ කොට ගෙන දේශීය පරිභෝජනය අඩපණ කෙරේ. සිල්ලර කඩේ සිට සුපිරි වෙළඳසල දක්වාත් වඩු මඩුවේ සිට හර්ඩ්වෙයාර් එක දක්වාත් තේ කඩේ සිට හෝටලය දක්වාත්, පැන්සලයේ සිට කොම්පියුටරය දක්වාත්, එළවලුවේ සිට මස්මාංශය දක්වාත් වශයෙන් සෑම අංශයකම ඉල්ලුම මෙම බද්ද නිසා පහත හෙලනු ලැබේ. 

ඉල්ලුම පහළ යාමට සමගාමීව හෝ ඊටත් වැඩි වේගයෙන් නිෂ්පාදනය කපා හැරීමට නිෂ්පාදකයන් පියවර ගනී. ආයෝජන සහ නිෂ්පාදන, යෙදවුම් කපා හරිනවා පමණක් නොව රැකියා කප්පාදුව ඊටත් වැඩි වේගයෙන් සිදුවේ. ඒ අනුව දේශීය පරිභෝජන හැකිලීමත් සමග දේශීය නිෂ්පාදනයත් හැකිලේ. නිෂ්පාදනය හැකිලීමත් සමග ආදායම් හැකිලේ. ආදායම් හැකිලීමත් සමග යළි පරිභෝජනය හැකිලේ. 

මේ වනාහී ආර්ථික අවපාතයේ මූලික අඩිතාලමයි. ඉතුරුම් පිරිහීම, ආයෝජන පිරිහීම, ව්‍යවසායක අකර්මන්‍යතාව යනාදිය විසින් දිගු කාලීන අඛණ්ඩ ආර්ථික වර්ධනයේ පිරිහීමක් නිර්මාණය කරනු ලබන අතර එම තත්ත්වය ආර්ථිකය අවපාතය ලෙස හඳුනා ගනු ලැබේ. ආර්ථිකය අවපාතයට යන විට ආර්ථිකයේ නිෂ්පාදන සහ උපකාරක වාණිජ සේවා යන සෑම අංශයක්ම ක්‍රමිකව පිරිගීමට පත්වනවා මිස යළි යථා තත්ත්වයට ගෙන එම අපහසුවේ. 

නව බදු ප්‍රත්තිය විසින් රජයේ නොදැනුවත් භාවය නිසා ශ්‍රී ලංකා ආර්ථිකයේ නිර්මාණය කිරීමට යන්නේ එවැනි දිගු කාලීන ආර්ථික අවපාතයකි. එබැවින් මෙතෙක් අප මුහුණ දුන් ආර්ථික දුෂ්කරතාවලට වඩා දරුණු දුෂ්කරතාවලට 2023 ජනවාරි මාසයෙන් පසුව මුහුණ දීමට සිදුවේ. එම තත්ත්වය වැළැක්වීමට ඇති එකම මග වන්නේ බදු අඩු කර රාජ්‍ය ආදායමට සරිලන ලෙස ආණ්ඩුවේ ප්‍රමාණය කුඩා කර ගැනීම (Small Government) පමණි. 

මෙවර අයවැයෙන් ද ආණ්ඩුව කුඩා කිරීම පිණිස සැලකිය යුතු ක්‍රියාමාර්ග යෝජනා කර නොතිබුණි. රජය ව්‍යවසාය කටයුතුවලින් ඉවත්වීම, රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කර කාර්යක්ෂම සේවයක් පිහිටුවීම, නිලධාරීන්ට දෙන සැප කපා හැරීම, දේශපාලන ආයතන සංඛ්‍යාව අඩු කිරීම, අමාත්‍යංශ සහ මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම, පොදු සුබසාධනය ප්‍රතිසංවිධානය කිරීම, සෞඛ්‍ය සේවය සඳහා මිලක් අය කිරීමට යෝග්‍ය වන රක්ෂණ ක්‍රම ඇති කිරීම, නවීකරණ වැඩ සටහනක් මත අධ්‍යාපනය, විශ්ව විද්‍යාල, ගොවිතැන, කර්මාන්ත සහ සමාජය නවීකරණය කිරීමෙන් ආණ්ඩුව කුඩා කර ගැනීමට හැකිවේ.  

ආණ්ඩුව ආර්ථිකය පිළිබඳ මිත්‍යාවක ගිලී සිටී. එනම් රජයට මුදල් නැතත් මහ ජනයාට මුදල් තිබෙන බවට විශ්වාස කිරීමයි. රජය යනු මහ ජනතාවගෙන් සමන්විත ආයතනයක් බැවින් මහ ජනයාට මුදල් හිඟ වන විට රජයට ද මුදල් හිඟ වේ. එබැවින් රජයේ වියදම් සීමා කර ගැනීම විනා වෙනත් විකල්පයක් නැත. මහ ජනයා කරන්නේ ද සිය වියදම් සීමා කර ගැනීමය. රජය විදේශ ණය නොගෙවා සිටින්නේ ආදායම් හිඟ නිසාය. සේවකයන් බදු නොගෙවීමට සැරසෙන්නේ ද ආදායම් හිඟ නිසාය. රජයටත් ජනතාවටත් අත්වී තිබෙන්නේ එකම ඉරණම වුවද රජය විසින් සේවකයන් සූරා කෑමට ක්‍රියා කරයි. 

සේවක වැටුපේ ක්‍රය ශක්තිය 70% කින් පමණ පිරිහී ඇති බව රජය නොදනී..! නියෝජ්‍ය මුදල් ඇමතිවරයා 10% විසින් 90% නඩත්තු කළ යුතු බවට මොකද්දෝ අපබ්‍රංශයක් කියවමින් සිටී. 10% ක් විසින් 90% නඩත්තු කරනවා යනු ශුද්ධ සුරාකෑමකි. අසාධාරණයකි. නොදන්නා සූත්‍රයක එල්ලී සිටීම නොව දැන් කළ යුත්තේ 90%ක් පිනට නඩත්තු කිරීම නොව ඔවුන් පළදායි ආර්ථික කටයුත්තකට යොමු කරවීමයි. මෙම 10-90 මෝඩ චින්තනය ආර්ථිකයට මහත් හානියකි. 

නව බදු ක්‍රමයට එරෙහිව දැනටමත් වෘත්තීය සමිති බලවත් විරෝධයක් පළ කොට තිබේ. ඉදිරියේ දී සංකේත වැඩ වර්ජනවලින් ද අඩුවක් නොවනු ඇත. එහෙත් රජය බදු අනුපාතය පිළිබඳ සිය ස්ථාවරය වෙනස් නොකරන්නේ නම් වැඩ වර්ජන රැල්ලක් පමණක් නොව ජාතික මට්ටමේ මහා වැඩ වර්ජනයක් ද නිර්මාණය වීමට ඉඩ ඇත. මක් නිසාද යත් ඉහළ මට්ටම්වල සෑම සේවකයෙකුම මෙම බද්දෙන් පිඩාවට පත්වන බැවින් වැඩ වර්ජන කෙරෙහි යොමු වුව හොත් රජයේ සෑම ආයතනයකම ඉහළ මට්ටම අකර්මණ්‍ය වන බැවිනි. මෙම බද්ද නිසා හට ගන්නා ආර්ථික අවපාතයේ බැරෑරුම්කම වැඩ වර්ජන නිසා තවත් තීව්‍ර කරවයි. ආර්ථිකය අදට වඩා හෙට අඳුරු කරවයි. අවසානයේ දී අවපාතයෙන් ගොඩ ඒමට රජයට තෝරා ගැනීමට සිදු වන්නේ ජනතාව අතර වැඩිපුර මුදල් ගැවසීමට සලස්වා ඉල්ලුම වර්ධනය කර ගැනීමයි. එමගින් දේශීය පරිභෝජනය සහ නිෂ්පාදනය ප්‍රසාරණය කර ගත හැකිවේ. ඒ සඳහා බදු ඉවත් කිරීම සහ මහජනයා අතර මුදල් සුලබ කිරීමට ආණ්ඩුවට සිදු වේ. 

ඇමෙරිකානු ආර්ථික අවපාතයෙන් ගොඩ එන මග හැටියට ජෝන් මේනාර්ඩ් කේන්ස් පෙන්වා දුන්නේ ද මේ ටිකමය. පළමුව වරදක් කොට ටික කලක් ගතවීමෙන් පසු එම වරද නිවැරදි කරනවා වෙනුවට වරද පෙන්වා දුන් විට එම වරද නොකර සිටීමෙන් ආර්ථිකය අවපාතයට යා නොදී තබා ගෙන ආර්ථිකය වර්ධනය කෙරෙහි ද යොමු කළ හැකිය. 

ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණ ගන්නේ ආර්ථික විග්‍රහයන් ඔස්සේ නොව මනෝමූල කාරණා ඔස්සේ හෝ ජාතන්තර ආයතනවල උවමනාවටය. මෙම බදු යෝජනාව IMF යෝජනාවක් ලෙස පෙනෙන අතර එමගින් රජයේ බදු ආදායම 11% සිට 17% දක්වා වර්ධනය කර ගත යුතු බව ද නිර්දේශ වී තිබේ. ආර්ථිකය යථාපරිදි ක්‍රියා කරන අවස්ථාවල බදු ආදායම වර්ධනය කර ගැනීමට අපහසු නොවුණද අද පවතින බිඳුණු ආර්ථික තත්ත්වය අනුව එම කාර්ය භාරය කළ යුතු වන්නේ ඉතා සෙමිනි. ප්‍රවේශමිනි. 

IMF යනු ආර්ථික විද්‍යාව පදනම් කොට ගත් ආයතනයක් නොව මුල්‍ය උපකරණ (Financial Tools) පදනම් කර ගත් ආයතනයකි. එබැවින් IMF එක මුල්‍ය ඉලක්ක අරමුණු කරනවා විනා සංවර්ධනය හෝ ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරිත්වය අරමුණු නොකරයි. ඒ අනුව IMF යනු මුල්‍ය සමාගමක් වැනි ආයතනයකි. මුල්‍ය සමාගම් හා ගනුදෙනු කිරීම ඇඟට ගුණ නැතැයි කියමනක් තිබේ. එමෙන්ම IMF සරණ පැතූ රටවල් විනාශ වූ බවට ද චෝදනා එල්ල වී තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකය අවපාතයක් කරා යොමු නොකිරීමට නම් බදු පිළිබඳ ආර්ථික විද්‍යා පරිචය ආණ්ඩුවට අවශ්‍ය වේ. හිතුමතේ ආර්ථිකය හැසිරවීම භයානකය.

 


 

Advertiesment