Thursday 30th of November 2023

English Tamil
Advertiesment


ආර්ථික අර්බුදය ජය ගත හැක්කේ නව ජනවරමකින් සහ දැක්මකින්ය  


2022-12-17 7701

 

අභියෝග තුනක් අභියස

 
 
(මහාචාර්ය චරිත හේරත්)

 

කෙටියෙන් පැවසුවහොත් මේ මොහොතේ ආණ්ඩුව හමුවේ තිබෙන එක් අභියෝගයක් වන්නේ නිල කාලය නිමාවෙමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමය. දෙවැනි අභියෝගය වන්නේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන ආකාරයට ලබන වසරේ පෙබ. 04 දිනට පෙර උතුරේ ගැටලුව විසඳීමට මූලික පියවර කීපයක් ගැනීමය. තුන්වැනි අභියෝගය වන්නේ රටේ ආර්ථිකය යම් ආකාරයක ස්ථාවරවත්වයකට ගෙන ඒමට හැකියාවක් තිබේද? යන කාරණයය.

මේ අභියෝග තුන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් අතරවත් එක සමාන කියවා ගැනීමක් නැත. ජනාධිපතිවරයාට තමන්ගේම යැයි මතයක් ඇති බවක් පෙනෙන නමුත් පොහොට්ටුවේ බොහෝ නායකයන් හැසිරෙන්නේ මේ පිළිබඳව කිසිම අයුරක් නැති ගානටය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් යන දෙදෙනාම පාර්ලිමේන්තු බලයක් සහිත පක්ෂයට පිටින් පත්වූ විටක ඇති විය හැකි විසිරුණු තත්ත්වයක් ඇතිවී තිබෙන බව ඉතාමත් පැහැදිලිය.. ජනාධිපතිතුමාගේ එජාපය වෙනමම ගතහොත් පාර්ලිමේන්තු නියෝජනයක් නැති ගානය. අගමැතිතුමාගේ මහජන එක්සත් පෙරමුණ ගත්තත් ඒ පක්ෂයට ඍජුවම ඇත්තේ මන්ත්‍රී ආසන 03ක්ය.

මේ නායකයන් දෙදෙනාටම පිහිට පතන්නට සිදුවී තිබෙන්නේ පොහොට්ටුවේ දේශපාලන බහුතරය වෙතින්ය. ඒ නිසාම මේ නායකයන් දෙදෙනා තනි තනිව ගනු ලබන තීරණ එතරම් ශක්තිමත් ඒවා නොවන බව පැහැදිලිය. එක් වරක් ඉන්දියාවේ ද මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බව සමහරුන්ට මතක ඇත.

චන්ද්‍රසේකර්, දේව් ගවුඩා, ඉන්ද්‍ර කුමාර් ගුජරාට් වැනි නායකයන් ගණනාවක්ම ‘‘ආවෝ-ගියෝ’’ දේශපලනයක් ඉන්දියාවේ සිදුවුණේ ඒ කාලයේය. ලංකාවේත් දැන් තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්ය. මෙහි වෙනස ඇත්තේ ‘‘ආවෝ’’ සඳහා විවිධ ‘‘ඩීල්’’ ක්‍රියාත්මක වෙන බැවින් ‘‘ගියෝ’’ තවමත් සිදු නොවී තිබීමය. මා සාකච්ඡා කරන්නට යන මේ අභියෝග තුන විසඳන ආකාරය අනුව ආණ්ඩුවේ පැවැත්මද තීරණය වන බව මගේ අදහසය.

 
පළාත් පාලන මැතිවරණය

 

පළාත් පාලන ආයතනවල නිල කාලය නිමා වූයේ මීට මාස 10කට පමණ පෙරය. පළාත් පාලන පනතට අනුව විෂය භාර අමාත්‍යවරයාට එහි නිල කාලය වසරක් දීර්ඝ කිරීමේ හැකියාවක් ඇත. ඒ අමතර වසරක කාලය ද ලබන මාර්තු 30 වැනිදා වන විට නිමාවට පත්වේ.

පනතට අනුව මැතිවරණ කටයුතු මාස 06 පෙර සිටම ආරම්භ විය යුතුය. මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිර්වචනයට අනුව මේ වන විටත් ඒ යාන්ත්‍රණය (Process) පනත හරහා ආරම්භ වී ඇත. එවැනි තත්ත්වයක පළාත් පාලන මැතිවරණය නිශ්චිතවම පැවැත්විය යුතුය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක්ද ගොනු වී ඇති නිසා මා ඒ ගැන වැඩි දුරට සාකච්ඡා කරන්නේ නැත. එහෙත් මේ මැතිවරණය සමග සම්බන්ධ දේශපාලනමය තත්ත්වයන් සාකච්ඡා කළ යුතුව ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ අපේ රටේ විශාල දේශපාලන කුණාටුවකට පසුව බව හැමෝම දන්නා කාරණයක්ය. ඒ නිසාම මේ මැතිවරණය යනු ‘‘කුණාටුවෙන් පසු කෑලි ඇහිලීමට’’ සිදුවන ආකාරයේ එකක් බව පැහැදිලිය.

2019 ජනාධිපතිවරණයේ ජනමතය මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. 2020 පාර්ලිමේන්තු ජනවරමත් ව්‍යුහාත්මකව පැවතුනත් ගුණාත්මකව එය ද සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව මගේ මතයයි. ඒ නිසාම මේ පළාත් පාලන මැතිවරණය රටේ පැවැත්වෙන ජනමත විචාරණයක් බවට පත්වීමේ විශාල ඉඩක් ඇත. ආණ්ඩුව ඒ සඳහා මැළිකමක් දක්වන්නේත් ඒ නිසාම විය යුතුය.

මේ වනවිට වෙනස් වී ඇත්තේ ජනතාව තුළ ආණ්ඩුව පිළිබඳව තිබූ පිළිගැනීම පමණක් නොවේ. මෙරට මධ්‍යස්ථ ජනතාව තුළ අරගලය යැයි කියූ දේශපාලන තර්කය සම්බන්ධයෙන් තිබූ පිළිගැනීම ද වෙනස් වී ඇත. අරගලකාර දේශපාලනය යනු හුදු මුග්ධත්වය හා ම්ලේච්ඡත්වය කැඳවන එකක් නම් එවැනි දෙයක් පිළිගැනීමට රටේ බහුතර ජනතාව සූදානම් යැයි මා සිතන්නේ නැත.

ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ පද්ධතිය මේ වන විට තිබෙන්නේ බරපතළ අර්බුදයකය. 2015 සිට මේ තත්ත්වය ආරම්භ විය. 2020 මහ මැතිවරණයේදී එහි එක් වර්ධනීය අවස්ථාවක් මතු විය. එනම් ප්‍රධාන පක්ෂ 02 ලෙසින් තිබූ ශ්‍රී.ල.නි.පය සහ එ.ජා.ප.ය යන පක්ෂ 02 කම සේදී යාමය. 2022 සිදු වූ බහුජන අරගල ක්‍රියාකාරීත්වය හේතුවෙන් අනෙකුත් සෑම පක්ෂයක්ම අර්බුදයට ගොස් ඇති බව ඉතාමත් පැහැදිලිය.

මගේ නිරීක්ෂණය වන්නේ පැරණි දේශපාලන පුද්ගල චරිතවලට සමාජයේ තිබෙන්නේ ඉතාමත් පුංචි පිළිගැනීමක් බවයි. නිශ්චිතවම කිවහොත්, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨාභය සහ රනිල් යනු අනාගතයේ මෙරට දේශපාලනයේ සන්නාමගත (Brand) නාම නොවන බව මගේ නිරීක්ෂණයයි. මේ ප්‍රකාශයෙන් කවුරුවත් කලබලයට පත් විය යුතු නැත. ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ වන කාලය තුළ මේ උපන්‍යායයන් තහවුරු කෙරෙනු ඇති බව ඉතාමත් පැහැදිලිය.

මේ පළාත් පාලන මැතිවරණය දේශපාලන වශයෙන් විශාල වැදගත්කමක් ගන්නා හෙයින් ඒ පිළිබඳව ශක්තිමත් සාකච්ඡාවක් රට තුළ ඇති විය යුතුය. ඒ සාකච්ඡාව හුදු අලංකාරිකවලින් මිදී බුද්ධිමය පදනමක් වෙත තල්ලු කළ යුතුය. රට දේශපාලන වශයෙන් කැළති ගොස් තිබෙන මේ මොහොතේ හැඟීම්බරව පහර දෙන්නට ගොස් සියලු ජයග්‍රහණවලට එරෙහි (Anti establishments) නාස්තක බලවේග පෝෂණය කිරීමක් සිදු නොකළ යුතු බව මගේ යෝජනාවය. වතුර විසි කරන්නට ගොස් බබාවත්, බේසමත් දෙකම කැළයට විසි නොකරන්නට වග බලා ගත යුතු බව මගේ ප්‍රකාශයේ තේරුමය.

යටත් විජිත පාලනයෙන් පසු ඇති වූ මෙරට දේශපාලනයේ බොහෝ දේ වෙනස් විය යුතුව ඇති බව සැබෑවක්ය. එහෙත් මෙරට සමාජයේ පදනම් සාධක වශයෙන් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙළඳපොළ ආර්ථික ක්‍රමය (Democracy and Market Economy) ආරක්ෂා කර ගත යුතුය.

 
උතුරේ ප්‍රශ්නයට විසඳුම

 

මේ දිනවල මතුවී තිබෙන දෙවැනි බරපතළ දේශපාලන අභියෝගය වන්නේ උතුරේ ගැටලුවට විසඳුමක් සොයන්නට ජනාධිපතිතුමා විසින් ආරම්භ කරනු ලැබ තිබෙන සාකච්ඡාවය. එතුමා කුමන දේශපාලන අභිමර්ථයක් වෙනුවෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්නට යනවාදැයි මා දන්නේ නැත. ඒ කුමන අර්ථයෙන් ගත්තත් මේ කාරණය සඳහා අත ගැසීම ඉතාමත් වැදගත්ය.

යටත් විජිත පාලනයෙන් පසුව අපි හදන රට කුමක්ද? යන ප්‍රශ්නය අපට තවමත් විසඳා ගන්නට හැකියාව ලැබී නැත. මේ තත්ත්වයට සිංහල නායකයන් සහ දෙමළ නායකයන් යන දෙගොල්ලෝම යම් දුරකට වග කිව යුතුය. මේ ප්‍රශ්නය විසඳා ගන්නේ නැතිව රටක් ලෙසින් ශක්තිමත් අනාගතයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් අපට නැත. ඒ නිසාම මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගැනීම ඉතාමත් වැදගත්ය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සීමාව තුළ මේ ගැටලුව විසඳා ගත හැකි නම් එය ඉතාමත් වැදගත් උත්සාහයක් බව මගේ යෝජනාවය.

පළාත් පාලන මැතිවරණ විකට්ටුව පැත්තෙන් ජනාධිපතිතුමා සිටින්නේ අවදානම් කලාපයක යැයි මම මීට පෙර සඳහන් කළෙමි. මගේ අදහස වන්නේ උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉදිරියට දමා ඇති පන්දුව ඉතාමත් බරපතළ හා ධනාත්මක එකක් බවය. මෙයට අනෙකුත් දේශපාලන නායකයන් හා පක්ෂ මුහුණ දෙන්නේ කෙසේද යන්න විමසිල්ලෙන් බැලිය යුතු වන්නේ ඉදිරි මැතිවරණ දේශපාලනයේ උතුරේ චිත්‍රය වෙනස් වන්නට මේ උත්සාහය හේතු විය හැකි නිසාය.

මැතිවරණ දේශපාලනය පැත්තකින් තැබුවත්, මේ රටේ ස්ථාවර හා සමෘද්ධිමත් අනාගතයක් වෙනුවෙන් රට තුළ ජනවර්ග අතර අර්බුද විසඳා ගැනීම අනිවාර්ය බව මගේ අදහසය. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි සිටින්නේ කලාපයේ අනෙක් රටවලට වඩා පසු පසින්ය. භාෂා 35 සහ සංස්කෘතික අනන්‍යතා රාශියක් සහිත ඉන්දියාව එක් ශක්තිමත් රාජ්‍යයක් ලෙසින් ලෝක දේශපාලනයේ ‘‘හයිකාරයෙක්’’ වෙද්දී භාෂා 02ක් තිබෙන පුංචි රටක් වන අප තවමත් සිටින්නේ 1933 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දේශපාලන ස්ථාවරයේවීම විහිළුවක් නොව ඛේදවාචකයක්ය.

1933 ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ජී.ජී. පොන්නම්බලම් මහතා සහ පිලිප් ගුණවර්ධන මහතා විවාද කළ කාරණය ඊට වසර 89 පසුව පොන්නම්බලම්ගේ සහ ගුණවර්ධනගේ මුණුපුරන් දෙදෙනාද පාර්ලිමේන්තුවේ වාද කරන්නට වෙන තත්ත්වයකට අප පත් වී තිබෙන බව සංකේතාත්මකව පෙන්වන්නේ මේ ඛේදවාචකයේ තරමය. මේ අර්බුදයෙන් ගොඩ ඒමට දරන උත්සාහය ශක්තිමත්ව බාරගත යුතුවා පමණක් නොව ඒ සඳහා ධනාත්මකව සහභාගි විය යුතු බව මගේ යෝජනාවය.

 
ආර්ථිකයේ තත්ත්වය

 

මෙවර ලිපියේ ආර්ථික අභියෝගය අවසානයට පොදුවේ එහි ඇති බලපෑම හෝ අදාළත්වය පහළට වැටී ඇති නිසා නොවේ. ආර්ථිකමය වශයෙන් රට වැටී ඇති අගාධය තෙරක් නොපෙනෙන තරම්ය. එය ගොඩ ගැනීමේ කෙටිකාලීන වැඩසටහන් යොදමින් ‘‘එදා වේල පිරිමසා ගැනීමෙන්’’ එහාට යමක් කරන්නට මේ රජයට හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැත.

රටට නව බලාපොරොත්තුවක් සහිතව ජනවරමකින් පත්වන පාලනයක් නොමැතිව ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදු කළ නොහැකිය. ඒ නිඅසා වත්මන් රජයට කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් හුදු යෝජනා කිරීමෙන් එහාට ගෙන යාමේ හැකියාව ඉතාමත් අල්පය.

අනෙක් අතට පොහොට්ටුවේ ප්‍රධානීන් සිටින්නේ මේ ආර්ථික අර්බුදය ගැන හරි හමන් තේරුම් ගැනීමකින් නොවන බව මගේ අදහසය. පරණ හණ මිටි අදහස් සහ මුග්ධභාවයේ ප්‍රකාශනවලින් එහාට ගිය නව දැක්මක් ආණ්ඩුවේ බොහෝ අයගේ ප්‍රකාශ තුළින් ඉදිරිපත් වන්නේ නැත.

ඒ නිසාම ආර්ථික අර්බුදය ජයගත හැක්කේ නව දැක්මක් හා නව ජනවරමක් හරහාය. එතෙක් සිදුකරන තාවකාලික, සිල්ලර විසඳුම් පිළිබඳව වැඩි යමක් මේ සටහන තුළ සාකච්ඡා කිරීමේ ඉඩක් නැත.

රට හමුවේ ඇති අභියෝග 03ක් ලෙසින් පළාත් පාලන මැතිවරණය, උතුරේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සහ ආර්ථික අර්බුදය යන කාරණා හමුවේ ආණ්ඩුවේ උපාය මාර්ග දෙස සමාජය විමර්ශනශීලීව බැලිය යුතු බව මගේ මේ දැක්මය.

-ලංකාදීප-
Advertiesment