අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත. එහෙත් ආණ්ඩුව තුළ පැහැදිලි සහ පොදු නායකත්වයක් නොමැති තත්වයක් පවතිද්දීත්, ඉතිරි පිරිස තවදුරටත් එකට සිටින බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුවෙන් ඉවත්ව සිටින එක් කණ්ඩායමකට නායකත්වය දෙන මහාචාර්ය ජී.එල්.පීරිස් ප‍්‍රහාර එල්ල කරමින් සිටින්නේ, ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් තමන් තේරී පත්වීමේදී ජනතාව ලබාදුන් ජනවරම පාවා දුන් බව පවසමිනි. මින් පෙර පැවැති මැතිවරණවලදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර ඇත්තේ රජය සතු ආර්ථික වටිනාකම් සහිත ව්‍යවසායන් (SOEs) ඇතුළු රාජ්‍ය වත්කම් ආරක්ෂා කිරීමට කැපවී සිටින බවටය.
එහෙත් පසුගිය මැතිවරණවලදී ඉදිරිපත් කළ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් බැහැරව යමින්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂය සිය පක්ෂපාතීත්වය මාරු කළ බවට ඔහු පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස කතා කරමින් චෝදනා කළේය. 2019 ජනාධිපතිවරණයේදී සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය ව්‍යවසායන් (SOEs) තවදුරටත් සංවර්ධනය කර නවීකරණය කරන බවට ඡන්දදායකයන්ට නැවත නැවතත් සහතික වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් පවා විකිණීමට සැලසුම් කරමින් සිටින, වර්තමානයේ මුදල් ඇමැතිවරයාද ලෙස කටයුතු කරන ජනාධිපති වික්‍රමසිංහ මහතා පිටුපසින් තම බර දමා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.
රජයේ අයවැය යෝජනාවලින් පැහැදිලි වන්නේ රජය සතු ව්‍යවසායන්හි විශාල ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස්කරමින් සිටින බවයි. ආණ්ඩුව ආරක්ෂා කිරීමට පක්ෂව වරෙක කතා කළ ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුම දැන් තම ස්ථාවරය වෙනස් කළ යුතු බව අවධාරණය කරති. ශ්‍රී ලංකාව සතු වත්කම්වලින් කොටසක් විකුණා විදේශ සංචිත ඉහළ නංවා ගන්නේ නම් මිස අන්තර්ජාතික වෙළෙඳ පද්ධතියේ කොටසක් වීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකාව සිය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන තුනකට ඉහල අගයක් දක්වා වැඩි කර නොගතහොත්, අන්තර්ජාතික සමාගම් ශ්‍රී ලංකාවේ බැංකු විසින් ලබාදෙන ණයවර ලිපි භාර නොගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයන්ගේ ස්ථාවරයේ නාටකාකාර මාරුව පිටුපස ඇති සැබෑ දේශපාලනය වන්නේ, මේ මොහොතේ පරමාදශීව කටයුතු කිරීමකට වඩා, සිය පැවැත්ම සම්බන්ධයෙන් වූ ප්‍රායෝගික අරමුණු මත පදනම් වූ දේශපාලනයයි. වසරකට පෙර රට මුහුණදීම ආරම්භවූ ආර්ථික අර්බුදයෙන් පසු, පැන නැඟුණු විරෝධතා ව්‍යාපාරය එහි උච්චතම අවස්ථාවට පැමිණියේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නිල නිවාස හා ලේකම් කාර්යාල අත්පත් කරගැනීමත් සමඟය. එම පීඩනය ඔවුන්ගේ ඉල්ලා අස්වීමට හේතු වූ අතර, ජනතාවට මුහුණ දිය හැකි ඕනෑම විශ්වාසනීය නායකත්වයක් තෝරාගන්නා තත්වයකට පාලක පක්ෂය තල්ලු කරනු ලැබීය. ආණ්ඩු පක්ෂයට නායකත්වය ලබා දීම සඳහා, මීට පෙර පස්වතාවක් අගමැතිධූරය දැරූ වත්මන් ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සිය පක්ෂයේ තනි අසුනක් සහිතව එම අභියෝගය භාර ගත්තේ මේ තත්ත්වය තුළය.
ජනාධිපති වික්‍රමසිංහගේ සමහර ක්‍රියා, එනම් විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීම, මෑතක සිට බදු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ දූෂණය පිලිබඳ ප්‍රතිපත්තියක් නොමැතිකම වැනි කරුණු දැඩි විවේචනයන්ට ලක්වී තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ආණ්ඩු බලය ලබා ගනිමින් තේරී පත්වීමෙන් පසුව, විරෝධතා ව්‍යාපාරයට පැවැති සහයෝගය සෑම ආකාරයකින්ම අඩු වී ඇති අතර, ඒ නිසා විරෝධය පළ කරන සංඛ්‍යාවද අඩු වී තිබේ. අත්විඳිමින් සිටින ආර්ථික දුෂ්කරතාවල මට්ටම් තවදුරටත් ඉහල යමින් පවතිද්දී, තම පරිභෝජනය සහ ඉතුරුම් කපා හැරීමට බලකෙරී ඇති බහුතර ජනතාවක් මේ මොහොත නිහඬව දරා සිටිමින් සිටිති. නාගරික කාර්මික ප්‍රදේශ ගණනාවක වරින්වර සහ කෙටි විරෝධතා සිදු වෙමින් පවතින නමුත්, ඒවා තවමත් එක් ප්‍රබල බලවේගයකට ඒකාබද්ධ වීමේ සළකුනු නොපෙන්වයි.
නුදුරේදීම ආර්ථික ප්‍රකෘතිමත් වීමේ බලාපොරොත්තුවක් තවමත් පවතින බව පෙනෙන්නට තිබෙන අතර, ඒ හා සමානව තවත් වටයකින් මහා පරිමාණ මහජන විරෝධතාවක් නිර්මාණය වුවහොත්, ජනතාවගේ කැමැත්ත තවදුරටත් යටපත් කිරීම වෙනුවෙන් ආරක්ෂක හමුදාවන් උපයෝගී කර ගැනීමේ භීතියද අඛණ්ඩව පවතින බව පෙනෙන්නට තිබේ. කෙසේවුවත් විරෝධතා ව්‍යාපාරයේ උච්චතම අවස්ථාවේ ජනතාවට මුහුණ දීමට නොහැකි වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු, තවමත් ජනතාවගෙන් ප්‍රවේශම් වෙති. මේ වන විට, ඔවුන් මීට පෙර අනුබල දුන් ප්‍රතිපත්ති සහ මූලධර්මවලට පටහැනිව කටයුතු කළද, ඔවුන් තවදුරටත් එකට සිටීමට කැමැත්තක් දක්වන බව පෙනේ. උතුරේ කාන්තාවන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡායාරුප ප්‍රදර්ශනය කර තිබූ පුවරුවලට කුණු වූ තක්කාලි වලින් පහර දෙන අයුරින් පෙනෙන්නේ දකුණේ මෙන්ම එහිද පොදු හැඟීමක් පවතින බවයි. සිය නාටකීය පරිවර්තනය සාධාරණීකරණය කරමින් කැබිනට් මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ “ෆිච් ආයතනය නැවතත් අපේ ශ්‍රේණිගත කිරීම් අඩු කර ඇත. ශ්‍රී ලංකාව කවුරුන් පාලනය කළත් ඔවුන් සියලු දෙනාටම එකම ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වනු ඇත. අපි අපේ සංචිත ගොඩනගා ගත යුතුයි.” යනුවෙනි.
රටේ ජනවාර්ගික ගැටුම නිරාකරණය කර, ජාතික සංහිඳියාව නොපමාව ඇති කිරීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය අභිප්‍රාය ප්‍රකාශ කරමින් සිටින්නේ මෙවන් අසීරු තත්ත්වයන් තුළ ය. ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන ලබන වසරේ පෙබරවාරි 04 වැනිදාට ඔහු එම ඉලක්කයක් තබා ඇත. එහෙත් මෙය සැබෑ කළ නොහැකි සිහිනයක් ලෙස බැහැර කළ හැකිය. ජනවාර්ගික ගැටුම බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමට පෙර සිට පැවැති එකකි. එය නිදහස ලැබීමට බොහෝ කලකට පෙර, යටත් විජිත පාලකයන් විසින් හඳුනාගත් ගැටලුවකි. ස්වයං පාලනයක් වෙනුවෙන් එවකට පැවැති ලංකාවේ ඇතැම් නායකයන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සඳහන් කළේ, "ලංකාවේ වැසියන් එක්සත්කම සහ එකාබද්ධවූ ආත්මීය බැඳියාවක් ප්‍රදර්ශනය කළේ නම්, සම්පූර්ණ වග කිව යුතු රජයක් ලබා දීමට ඇති එක් බාධාවක් ඉවත් වීමට ඉඩ තිබිණි" යනුවෙනි.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් නිරීක්ෂණය කරන ලද ශ‍්‍රී ලාංකීය සමාජයේ බෙදුණු ස්වභාවය, ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් යෝජනා වූ සෑම අවස්ථාවකම දක්නට ලැබිණි. 1957 දී ඉරා දැමූ බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම, ක්‍රියාත්මක නොවූ 1965 ඩඩ්ලි සේනානායක - චෙල්වනායගම් ගිවිසුම, 1987 අර්ධ වශයෙන් ක්‍රියාත්මක වූ ඉන්දු - ලංකා සාම ගිවිසුම, 2000දී පිළිස්සුණු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ව්‍යවස්ථා කෙටුම්පත, මහින්ද රාජපක්ෂගේ වකවානුවේ ආණ්ඩුව විසින් අවධානය යොමු නොකළ 2010 සර්ව පාක්ෂික නියෝජිත කමිටු යෝජනා සහ බහුවිධ යෝජනා ගෙන ආ සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ 2015 ව්‍යවස්ථා සභාව, ඉන් අනතුරුවද පවතින නිදර්ශනයන්ය.
වෙනත් වචන වලින් කිවහොත්, වාර්ගික ගැටුමට දේශපාලන විසඳුම අවස්ථා කිහිපයකදී සකස්කර,පසුව නැවත නැවතද සකස් කර ඇත. එම විසඳුම් බලයේ සිටින රජය හෝ ආණ්ඩුව තුළ සිටින කොටස් විසින් පිළිගැනීමට නැඹුරු වී ඇති නමුත්, සෑම විටම බලය නොමැතිව සිටින විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. කෙසේ වෙතත්, මෙවර, ශ්‍රී ලංකා ඉතිහාසයේ වඩාත්ම යුදවාදී සහ වාර්ගිකත්වය මත ජාතිකවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂය, සිය කෙටිකාලීන පැවැත්ම වෙනුවෙන් රඳා පවතින්නේ ජාතිවාදී නොවන දේශපාලන නායකයෙකුගේ නායකත්වය මත ය. මෙය නැවත කිසිදා නොපැමිණෙන සහ ලබාගත යුතු අවස්ථාවකි.
මීළඟ නිදහස් දිනයේදී ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බවට ජනාධිපති වික්‍රමසිංහ කළ ප්‍රකාශයෙන් පිළිබිඹු විය හැක්කේ, අවස්ථා කිහිපයකදීම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වී, නැවත නැවත සකස් කර ඇති දේශපාලන විසඳුම තුළද ප්‍රතිනිර්මාණයවී තිබෙන යථාර්ථවාදී විශ්වාසයක් විය හැකිය. වත්මන් අර්බුදයට මුහුණ දීමේදී, ඒ සඳහා රට එක්සේසත් කිරීමට ඇති මූලිකම විසඳුම දේශපාලන විසඳුම ලෙසින් හඳුනා නොගන්නේ නම් හෝ ඒ වෙනුවෙන් රට එකට ක්‍රියාත්මක නොවන්නේ නම්, අනාගතයක් හෝ පැවැත්මක් නොමැත. මෙය ෂේක්ස්පියර්ගේ ප්‍රකාශයකින් අවසන් කළ හැකිය. “අත් හරින ලද, ඔවුන්ගේ ජීවිතයේ සියලු මුහුදු ගමන්, නොගැඹුරු හා දුක්ඛිත තත්වයන් තුළ බැඳී ඇත. එවැන්නෙන් පිරුණු මුහුදක අපි දැන් පාවෙමින් සිටිමු."
Lanka Newsweek © 2024