Monday 26th of October 2020

English Tamil
Advertiesment


“He is better than others”-“ජැක්සන් ඇන්තනී”


2019-07-02 11101

වසරේ හොඳම නළුවා . . . පසුගියදා අවසන් වුණු සිනමා සම්මාන උලෙළකින් නැවත වතාවක් මේ කිරුළ දිනා ගැනීමට අපේ සිනමාවේ අසහාය නළු ප්‍රතිරූපයක් හිමි ජැක්සන් ඇන්තනී සමත් වුණා. සම්මාන යනු ජැක්සන්ගේ ජීවිතයට අලුත් දෙයක් නොවුණ ද නළුවෙකුට තම හෘද ස්පන්දනය යළි යළිත් උණුසුම්ව දැනෙන්නට එය සුවිසල් උත්තේජනයක් වෙනවා. මෙකී හෘද ස්පන්දනයේ උණුසුම මැකී යන්නටත් ප්‍රථම සම්මානයක සතුටත් ඉදිරි සිනමා ජීවිතයත් ගැන සුහද කතාබහකට අපි මුල පිරුවා.

‘මේ සම්මානය ගැන පොදු සතුටක් මගේ හිතේ තිබෙනවා. සම්මානයක් ලැබුණාම කවදත් හිමිවෙන සතුටක් ඒක. ඊට අමතරව මගේ හිතේ වෙන සතුටක් තියෙනවා. ඔහු කියනවා.

ඇත්තටම අපට ඕනෑ ඒ සතුට මොකක්ද කියලා දැනගන්න. සමහර විට ඒක මුළු මහත් සිනමා කර්මාන්තයටම දැනෙන සතුටක් වේවි.

‘මගේ අරමුණක් ජයග්‍රහණය කිරීම සඳහා මේක ඉණි මඟක් වෙයි කියලා මට හිතුණා. මම මේ ලැබුවේ 51 වැනි සම්මානය. හොඳම නළුවා විදියට වේදිකාවේ, රූපවාහිනියේ හා සිනමාවේ යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම මේ ලැබුවේ 16 වැනි සම්මානය. මගේ අරමුණ වුණේ සිනමා කර්මාන්තය ගැන සිතීමයි. අපි අඩුවෙන්ම හිතන්නෙත් මේ කාරණේ ගැනනේ. අද වෙනකොට මේක කර්මාන්තයක් කියලා කියන්නත් බැරි මට්ටමකට වැටිලා. ජාත්‍යන්තරව බැලුවොත් අපි තාම සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කරලා නෑ. ඒක මට මෑත කාලයේ මගේ තිබුණු අන්තර් ජාතික සබඳතා සමඟ කටයුතු කරත්දී ඔප්පු වුණු දෙයක්. ලංකාවේ සිනමා කර්මාන්තයට තිබෙන එකම පිළියම ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි කර ගැනිමනේ. දැන් ‘සූර්යා’ චිත්‍රපට සමාගම නොතිබුණා නම් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට නිධානයක් හදන්න මුදල් වැය කරන්න සමාගමක් නෑනේ. අපේ සිනමා කර්මාන්තය අන්තයටම පිරිහිලා දැන් තියෙන්නේ. මේකෙන් මුදවා ගන්න නම් පළමුවෙන්ම අපි කරන්න ඕන ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි දියුණු කර ගැනීම. ඊළඟ ප්‍රශ්නය තමයි අපේ රටේ ජනගහනයේ තිබෙන සීමාව. ඒකට අපට පුළුවන් නම් කලාපීය සිනමාව ජයගන්න ඒක තමයි අපට තිබෙන ළඟම ලොකුම විසඳුම.

මම ‘අබා’ චිත්‍රපටය කරන කාලේ ඉඳලම මේ කලාපීය සිනමාව ආක්‍රමණය කරන්න තනි කැරැල්ලක් මෙහෙයවනවා. දැන් මෙන්න මේ කාරණාවට මම සම්මාන දිනා ගත්ත ධර්ම යුද්ධය කියන චිත්‍රපටය සම්බන්ධ වෙනවා. ධර්ම යුද්ධය කියලා කියන්නේ ඉන්දීය කලාපීය චිත්‍රපටයක්. ‘ධර්ම යුද්ධය’ කන්නඩ, මලයාලම්, දෙමළ, හින්දි, තෙළිඟු ආදී භාෂාවලින් නිර්මිත වෙලා සිංහලෙන් හැදෙන්නේ හයවැනි චිත්‍රපටය ලෙස. අපේ රටේ මේ චිත්‍රපටයට ලැබුණු ජන ප්‍රසාදයට අමතරව මේ චිත්‍රපට පහම ඉන්දියාවේ ජනකාන්ත චිත්‍රපට වෙනවා. ඒ නිසා ඉන්දීය සිනමාව හයවැනියා ගැන හොයා බලනවා. ඒ වගේම ඒ චිත්‍රපට 5 රඟපෑව නළුවන් පස් දෙනාම මේ හයවැනි නළුවා ගැන සොයා බලනවා. ධර්ම යුද්ධය තිරගත වුණු පළමු දිනයේම මේ චිත්‍රපටය නැරැඹුවා සුරේෂ් බාලාජී කියන දකුණු ඉන්දීය සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයා. ඔහු තමයි මේ චිත්‍රපටය ‘පාපනාසම්’ නමින් දෙමළ භාෂාවෙන් නිෂ්පාදනය කළේ. එහි ප්‍රධාන නළුවා වුණේ කමලහසන්. ඔහු මේ චිත්‍රපටය නරඹලා කිව්වේ ‘He is better than others’ කියලා. මේ පැහැදිලි කිරීම ඔහු අරන් ගියා ඉන්දියාවට. හය වැනි චිත්‍රපටයේ රඟපාන ජැක්සන් ඇන්තනී නම් නළුවා මැනවින් ඒ චරිතය හසුරුවනවා කියලා. මේ ආරංචිය කේරලයට ගියා. කේරලයේ අයිරිෂ් ග්‍රීන් කියන සමාගමේ බීනා උන්නික්‍රිෂ්ණන් මේ ගැන සොයා බැලුවා. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ අනිල්කුමාර් අධ්‍යක්ෂණය කරන ‘ලක්නව්’ චිත්‍රපටයට මාව තෝර ගන්නේ මේ චිත්‍රපටයේ රංගනය නිසයි.

ධර්ම යුද්ධය වෙනුවෙන් දිනූ සම්මානයේ වටිනාකම ජැක්සන්ට පමණක් නොව සමස්ත ලාංකීය සිනමා කලාවටම වටිනාකමක් එකතු කරනුයේ ඒ නිසයි. කලාපීය සිනමාව වෙනුවෙන් කැරැලි ගැසූ කැරැලිකරුවෙකුට ඒ මත අඩියක් තබා ගන්නවා යනු සුවිශේෂී සංසිද්ධියකි. ජැක්සන් ඒ ඉණි මඟේ එක් කණුවකට නැඟ අනෙක් කණුව මත අඩිය තබන්නට සූදානමින් සිටී. දවසින් දවස, වසරින් වසර ඒ අඩිය ඉහළට එසවීමට අවැසි ශක්තිය ධෛර්යය සේම ආත්ම විශ්වාසය, අභිමානය මෙන්ම හැකියාව, දක්ෂතාවය ද ඔහුට ඕනෑ තරම්ය. තනිව කැරැලි ගැසූ මිනිසෙකුට මේ ජයග්‍රගහණය ද මහ මෙරකි.

ජැක්සන් ලක්නව් චිත්‍රපටයට තෝරා ගැනීමෙන් පසු ඔහු කේරල සිනමා කර්මාන්තයට හඳුන්වා දෙන්නේ ද ඉන්දීය කලාපීය සිනමාවේ හයවැනි චිත්‍රපටය වූ ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙසින්. ලක්නව් චිත්‍රපටයේ රංගන කටයුතු සිදු වූ කේරළයේ ගත කළ කාලය තුළ ද මේ ආරංචිය එරට සිනමා කර්මාන්තය තුළ ප්‍රචලිතවීමෙන් තවත් චිත්‍රපට නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු ඔහු සොයා එන්නට වුණා.

‘ලක්නව්’ චිත්‍රපටයේ රූගත කිරිම් වෙනුවෙන් සුවිශේෂ මහන්සියක් මට ගන්න වුණා. මේ චිත්‍රපටයේ පිටපත මුලින්ම මට එවලා තිබුණේ මලයාලම් භාෂාවෙන්. මලයාලම් ගුරුවරයෙකු ළඟට ගිහින් ඒක පරිවර්තනය කරලයි මම කියව ගත්තේ. ඊට පස්සේ ඉංග්‍රීසි පිටපතත් මට ලැබුණා. කේරලයේ ඉන්න ගමන් මලයාලම් භාෂාව හැදෑරුවා. ඒ චිත්‍රපටයේ දෙබස් කැවීමුත් මා ලවාම කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. තවම ෂූටිං ඉවර නැති නිසා ඉදිරියේදී සිද්ධ වේවි. මේ අතරම අනිල් කුමාර් අධ්‍යක්ෂණය කරන ඔහුගේ ඊළඟ චිත්‍රපටයේ සුවිශේෂි චරිතයකට දැනටමත් මාව තෝරගෙන තිබෙනවා. අනිල් කුමාර් හදන්නේ එයාගේ ඊළඟ චිත්‍රපටයටත් මාව ප්‍රධාන චරිතය කරගෙන ලංකාවේ නිෂ්පාදනය කරන්න භාෂා ත්‍රිත්වයකින්. (මලයාලම්, සිංහල හා දෙමළ). දැන් මට දැනෙනවා අපේ චිත්‍රපට කර්මාන්තය එගොඩ යන්නත්, එගොඩ චිත්‍රපට මෙගොඩට එන්නත් පාලමක් හැදෙනවා කියලා. මා පිළිබඳ කීර්ති නාමයක් ඉන්දියාව තුළ විශේෂයෙන් කේරළය තුළ ගොඩනැඟී තිබෙනවා. මේ කාලය ඇතුළත මම හර්ෂ කුමාර නවරත්නත්, සුනිල් රත්නායකත් දෙදෙනාගේ මැදිහත්වීමෙන් ඉන්දීය සමාගමකට චිත්‍රපට යෝජනාවක් ඉදිරිපත් කළා. මේ වන විට එය සෑහෙන සුබ ලකුණු දකිමින් ඉන්නවා. මේ සියලු කාරණා සිද්ධ වෙන්නේ ධර්ම යුද්ධය මුල් කරගෙන.

ජැක්සන් කලක පටන් දුටු සිහිනයක් සැබෑවෙන ලකුණු පහළ වෙමින් පවතිනවා. පොදුවේ බැලූ කළ මේ කාරණා අපේ රටේ සිනමා කර්මාන්තය විෂයෙහි බලපාන සුබ ලකුණුය. තනි උත්සාහයකින්, තනි වෑයමකින් ඔහු ජය ගන්නට උත්සාහ කරනුයේ මුලු මහත් රටක, ජාතියක අනන්‍යතාවය සුරකින සංස්කෘතිකාංගයක ජාත්‍යන්තර වෙළෙඳපොළය. ධර්ම යුද්ධයට පසුබිම් වූ අනෙකුත් චිත්‍රපට සියල්ලෙහිම ප්‍රධාන චරිත රඟපෑ නළුවන් සයදෙනා අතරින් සම්මානයට පාත්‍ර වී ඇත්තේ නළුවන් තුන් දෙනෙකි. මොහාන් ලාල් පළමු චිත්‍රපටයේ රඟපා කේරලයේ සිනමා සම්මාන උලෙළ තුනෙන්ම හොඳම නළුවාට හිමි සම්මාන තුනම දිනා ඇත. තෙළිඟු චිත්‍රපටයේ රඟපෑ වෙන්කටාෂ් තෙළිඟු සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවාට සම්මාන දිනා ඇත. කමලහසන් පාපනාසම් චිත්‍රපටය මුල් කරගෙන ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ නිර්දේශිත නාමයන් අතරට පැමිණිය ද සම්මාන ලබා නැත. අජේ දේව්ගන් ‘දෘෂ්‍යම්’ චිත්‍රපටය මුල් කරගෙන සී සිනේ සිනමා උලෙළේ නිර්දේශ වුව ද සම්මාන ලබා නැත. ධර්ම යුද්ධය සිංහල භාෂිත චිත්‍රපටයේ රඟපෑ ජැක්සන් ඇන්තනීට හිමි වූ සම්මානය ද මේ වන විට මේ සම්මාන ගොන්නට එකතු වී හමාරයි.

‘මට ලැබුණු මේ සම්මානයත් අර ජාත්‍යන්තර නාම ලැයිස්තුවට එකතු වෙනවා. මම පෞද්ගලිකව මගේ රාක්කයට තව සම්මානයක් එකතු කර ගත්තාය කියනවට වඩා මේ සම්මානය භාවිත කරලා මම තනියෙන් කරගෙන ගිය කැරැල්ලට පොඩි උත්තේජනයක් ලැබුණා. ඒක ඓතිහාසිකව වටිනා සිද්ධියක් බවට පත් වෙනවා කියන එකයි මගේ මූලික අදහස.

ඉතිහාසය පුරා බැලූ කල සිනමාව වෙනුුවෙන් නොයෙක් දෙනා නළු නිළියන්, අධ්‍යක්ෂවරුන්. නිෂ්පාදකවරුන්, කාර්මික ශිල්පීන් ලබා ගත් සම්මානයන් නම් කොතෙකුත් තිබේ. සම්මානය අනාගතයට දිරිදීමක් වුව ද එවන් අනාගතයක් සුරක්ෂිතව නිර්මාණය කර ගැනීමේ බාරදූර අසීරු වගකීම වර්තමානය වන විට කර්මාන්තයේ නියැලෙන සියලු දෙනා පිටම පැටවී ඇති බරපතලම කාරණාව බවට පත් වී ඇත. ජැක්සන් ද මෙම බරපතල කරුණ උර දරාගෙන ගිමන් වෙහෙසක් ද නොසලකා සිනමා වන්දනාවක යන එක්තරා ආකාරයක බැතිමතෙක්ය.

අපේ රටේ සිනමාව ලංකා ආර්ථිකයේ සාධකයක් බවට පත් කරන්න ඕනෑ. දැන් නැත්තේ ඒකයි. අපේ රටේ සිනමාව තාම පවතින්නේ සේවාවක් විදියට. ඉන්දියාවේ සමස්ත මුදල් සංසරණයේ 25% ක් සිනමාවේ. ලෝකේ අනෙක් රටවලුත් එහෙමයි. නමුත් අපේ රටේ සිනමාවයි ආර්ථිකයයි අතර කිසිම සම්බන්ධයක් නෑනේ. අද වෙනකොට ඒක කොච්චර පල්ලෙහාට වැටිල ද කියනවා නම් සිනමාව රඳවන්න ඕනෑ අමාත්‍යාංශය මොකක්ද කියලවත් හිතාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. මේකට බලපාන්නේ ආර්ථික දේශපාලන සාධක කියලා මට හිතෙන්නේ. 1977 න් මෙහාට අපිට බලපාන්නේ විවෘත වෙළඳ ආර්ථිකයක්. අපේ රටේ කොයි තරම් ආණ්ඩු මාරු වුණත්, ව්‍යවස්ථා මාරු වුණත්, පක්ෂ පාට මාරු වුණත් කවුරුවත් යෝජනා කරලා නෑනේ නැවත සංවෘත ආර්ථිකයට මාරු වෙන්න කියලා. ඒ නිසා අපි සමස්ත රටම එකඟ වෙලා තියෙනවා විවෘත වෙළෙඳ ආර්ථිකයට යන්න. මෙතනදි අපි බලන්න ඕනෑ නිදහස් වෙළෙඳ ආර්ථිකයට ගැළපෙනවද අපේ රටේ සිනමාව කියලා. එහෙම නම් සිනමාවත් වෙළෙඳ ගනුදෙනුවකට පොහොසත්කමින් යුතු වෙන්න ඕනෑ. වෙළඳපොළේ කේවල් කරන නුසුදුසු භාණ්ඩයක් තමයි කැපිලා විනාශ වෙලා යන්නේ. අපේ රටේ සිනමාවත් අන්න ඒ වගේ අබල දුබල කේවල් භාණ්ඩයක් වෙලා.

මේ අද තත්ත්වය. ඒත් අපිට පේ‍්‍රක්ෂකාගාර ඉතිරී ගිය සිනමා ඉතිහාසයක් තිබුණා. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය කියලා අපි හඳුන්වන ඒ ඉතිහාසය අදටත් අපි සිහිපත් කරන්නේ බැති සිතින්. එහෙත් ඒ අතීත කාලය තුළ විතරක් ඉඳගෙන ස්වර්ණමය සිනමාවක් අනාගතයට ගොඩ නැඟිය හැකිද? අපි අපෙන්ම ප්‍රශ්න කළ යුත්තේ ද එයයි.

1979 චිත්‍රපට සංස්ථා වාර්ෂික වාර්තාවලට අනුව එදා ප්‍රේක්ෂකයෝ මිලියන 78.4 ක් චිත්‍රපට බලලා තිබෙනවා. ඒ මිලියන 78.4 2005 වෙන කොට මිලියන 07 ට බහිනවා. අද තවත් බැහැලා ඇති. 1979 දක්වා සිනමාව අපි උපරිම ලෙස ආර්ථික සාධකයක් ලෙස හදාගෙන තිබෙනවා. එතැන් සිට බැහැගෙන යනවා. ඒකට හේතුව 1977 විවෘත ආර්ථිකය ආවට ඒකට ගැළපෙන්න අපි අපේ සිනමාව සකස් කර ගත්තේ නෑ. එහෙම සකස්කර නොගත්ත බොහෝ දේ අද අර්බුදයට ලක් වෙලානේ. අපි ගත්තොතින් අධ්‍යාපනය, ඒකත් නිදහස් වෙළෙඳ ආර්ථිකයට ගැළපෙන පරිදි සකස් කර ගත්තේ නෑ. නියාමනය කළේ නෑ. ඔහේ අතහැරලා දැම්මා. ඒක ටියුෂන් කඩේකින් පටන්ගෙන පුද්ගලික විශ්ව විද්‍යාලය දක්වා ඇවිත් අද වන විට ඛේදවාචකයක් බවට පත් වෙලා. සිනමාවත් අපි වෙළෙඳ ආර්ථිකයට සරිලන පරිදි සකස් කර ගත යුතුයි. එහෙම නැතිව සේවාවක් හෝ අනාථ ආධාරයක් කර ගත යුතු නෑ.

දැන් පසුගිය දිනක මටත් ආරාධනාවක් තිබුණා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් වයෝවෘද්ධ කලාකරුවන්ට ලබා දුන් රු: 2000/- විශ්‍රාම වැටුප රු 5000 ක් කරලා ප්‍රදානය කරන උත්සවයට එන්න කියලා. මට ඒක ඇහෙනකොට දැනුණේ මංගල්‍යයක් නෙමෙයි අවමංගල්‍යයක් ලෙසයි. ඒකෙන් කියන්නේ ලංකාවේ සිනමාකරුවකුගේ අනාගතය රු: 5000 න් කෙළවර වෙන්නේ කියන එකනේ. ඒ නිසා මම ඒ උත්සවයට සහභාගි වුණේ නැහැ. මගේ විරෝධය දැක්වීමට නොවෙයි. එහෙමවත් හම්බ වෙන එක ලොකු දෙයක් තමයි. නමුත් අපි ඒකට සන්තෝෂ වෙන්නේ කොහොමද. මම කියන්නේ කලාකරුවන්ට නෙමෙයි අනාථ ආධාර දෙන්න ඕනෑ. සිනමාවයි ගොඩ ගන්න ඕනෑ. අනාථ ආධාර නෙමෙයි අවශ්‍ය කරන්නේ ප්‍රතිපාදන.

ලංකාවේ සිනමාව ඇද වැටෙන්න හේතු වුණු කාරණා කීපයක් දකිනවා. එකක් තමයි එය ආර්ථික සාධකයක් නොවීම. ගුණාත්මක වූ වාණිජ සිනමාවක් හදාගත්ත නැති කරුමය. අනෙක් එක ප්‍රධානම දේ තමයි අපේ රටේ සාහිත්‍යයේ පිරිහීම. සාහිත්‍යයේ පිරිහීම, සිනමාවේ රසිකත්වය පිරිහීමට සහ සිනමාකරුවා පිරිහීමට දඩි ලෙස බලපෑවා. අද අපේ රටේ චිත්‍රපට කලාවේ තිබෙන ලොකුම ගැටලුව තමයි හොඳ තිර රචනා නොතිබීම. තිර රචකයා යන කෙනා වඳ වී යන සත්වයෙක් බවට පත් වෙලා. ඉස්සර ගත්තම අජිත් තිලකසේනලා, එච්. ඒ. සෙනවිරත්නලා, ධර්මසේන පතිරාජලා හිටියා. දෙවනුව අපි දැක්කා තිස්ස අබේසේකරලා, ධර්මසිරි ගමගේ වැනි අය. ඊට පසුව ඩී. කීරගලආරච්චිලා හිටියා. මේ අය හොඳ කතාකාරයෝ. මේ කතන්දර කීමේ කලාව ගැන මම මේ දවස්වල හොඳ අත්දැකීම් ලබනවා. කේරළ සිනමාව කියන්නේ ඉන්දියාවේ තිබෙන අඩු වියදමකින් චිත්‍රපට හදන සිනමාව. ඒගොල්ල තනිකරම කතන්දරයෙන් තමයි ජයග්‍රහණය කරන්නේ. මම සම්බන්ධ වුණු ‘ලක්නව්’ චිත්‍රපටය නූතන මිනිසුන්ගේ කතාවක් සහිත චිත්‍රපටයක්. මම එහෙට ගිය ගමන් පිටපත් රචකයාව හඳුන්වා දුන්නා. කොණ්ඩෙ, රැවුල වවාගත් නැෂනල් එකයි සරමයි අඳින, මට වඩා තරුණ හැබැයි සාම්ප්‍රදායික සාහිත්‍යයෙන් පෝෂණය වෙච්ච මිනිසෙක්. එයාට මලයාලම් භාෂාව හැර ඉංග්‍රීසි භාෂාවවත් බෑ. නමුත් එයා සාහිත්‍ය සූරී කෙනෙක්. විශාල සාහිත්‍ය ඥානයක් තිබුණ සාහිත්‍යකරුවෙක්. ඔහු තමයි මේ නූතන චිත්‍රපට කතාන්දරය ලියන්නේ. අපෙන් සාහිත්‍යය විෂය කියන එක දුරස් වෙන්නේ 1972. ඒ කාලයේ පාසල් විෂය නිර්දේශයෙන් විෂයන් තුනක් අයින් කරනවා. ඉතිහාසය, සාහිත්‍යය සහ ප්‍රජාචාරය. මේ විෂයන් තුන ඉවත් කිරීම වර්තමාන ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ සිතුවිලි, ජීවිතය වෙනස් කරන්න හුඟාක් බලපාලා තිබෙනවා. හැබැයි දැන් ඒක කළොත් තව අවුරුදු 20 කින් අපට හැදෙන්න පුළුවන් වෙයි. මම වර්තමාන අධ්‍යාපන ඇමතිතුමාට කියනවා ඒක කළොත් කන්නන්ගර මහත්තයා වගේ ඉතිහාසගත වෙන්න පුළුවන් වෙයි. මම ඒක ඔය විදියට කියලා 2006 දී කොහොම හරි ඉතිහාසය විෂය ඇතුළත් කර ගත්තා.

ධර්ම යුද්ධයෙන් පසු ජැක්සන් කේරළයේ රූගත වූ ‘ලක්නව්’ චිත්‍රපටයට සම්බන්ධ වූ අතර මේ වන විට එහි රූගත කිරිම් බොහෝ දුරට නිම වී ඇත. මේ දිනවල ඔහු ධර්ම යුද්ධය චිත්‍රපට කණ්ඩායම විසින්ම නිපදවන අලුත්ම චිත්‍රපටයේ දර්ශන ගත කිරීම් සඳහා සහභාගි වෙමින් සිටී. ‘උදුම්බරා’ නමින් යුත් එම චිත්‍රපටය මෙරට ක්‍රීඩිකාවක ජාතික තලයට හා ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ ප්‍රයත්නයක නිරත වෙන ක්‍රීඩා පුහුණුකරුවකුගේ චරිතය ඔහු නිරූපණය කරයි.

ධර්ම යුද්ධය සිනමා කණ්ඩායමත් සමඟ මම මේ දිනවල කටයුතු කරන්නේ. ඔවුන්ගේ පෙර චිත්‍රපටවලට වඩා දැවැන්ත නිර්මාණයක් මේක. මම රඟපාන්නේ ක්‍රීඩා පුහුණුකරුවකුගේ චරිතය. ඔහුගේ ජීවිතයේ විවිධ ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ දීලා කම්පාවට පත් වෙලා ඉන්න කොට දකිනවා පොඩි කෙල්ලෙක් දුවනවා. ඇය හරහා ඔහු නැවත ජීවිතයෙන් නැඟිටිනවා.

(හේමාලි විජේරත්න-සරසවිය)

 

Advertiesment