Tuesday 23rd of July 2024

English Tamil
Advertiesment


කඩා වැටුණු රට ගොඩගන්නේ මෙහෙමයි


2022-10-06 13966

 
-සටහන-
 (උපුල් වික්‍රමසිංහ)

 

වැරදි ප්‍රතිපත්ති හා තීන්දු තීරණ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය හැකිලිණි. ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑම ද එම ලැයිස්තුවට එක් කළ යුතුය. ඊට අමතරව බලශක්ති සහ ආහාර අර්බුද ද උද්ගතව තිබේ. ආර්ථික අර්බුදය ගැන තවදුරටත් අවධානය යොමු කරන්නේ නම්, 2022 වසරේදී මූර්ත දළ ජාතික නිෂ්පාදනය ඍණ 8.7 ක් වනු ඇති බවට ඇස්තමේන්තුගත කර තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙවැනි කඩාවැටීමක් මින් පෙර සිදුව නැත.

2015-2019 කාලයේදී සංචාරක කර්මාන්තයෙන් වාර්ෂිකව උපයන ලද ආදායම ඩොලර් මිලියන 3700 ක් පමණ විය. එහෙත් කොවිඩ් වසංගතයෙහි බලපෑම හමුවේ,  එය 2020 වර්ෂයේදී ඩොලර් මිලියන 682 දක්වා අඩු විය. 2021 වසරේදී එම අගය වාර්තා වූයේ ඩොලර් මිලියන 507 ක් වශයෙනි. කෙසේවෙතත් මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේදී යම් වර්ධනයක් පෙන්නුම් කරමින් ඩොලර් මිලියන 893 ක ආදායමක් උපයා තිබේ. එසේවුවද සංචාරක කර්මාන්තය මෙතෙක් යථාතත්ත්වයට පත්ව නැත.

මෙරට වියදම් අංශය 2020-2021 කාලයේදී වාර්තාගත ලෙස ඉහළ ගියේය. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ වැඩසටහන් වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවීම ඊට බලපෑ ප්‍රධාන හේතුවක් විය. එසේම අඩු ආදායම්ලාභීන් සඳහා විවිධ සහන ලබා දීම ද රාජ්‍ය වියදම් අංශය වැඩි වීමට හේතු විය. ලෝක පරිමාණයෙන් ඉන්ධන මිල ගණන් ඉහළ යෑම මගින් ද රාජ්‍ය වියදම් අංශයට දැඩි පීඩනයක් ඇති කරන ලදී.

රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑමෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරවල වටිනාකම අඛණ්ඩව පහළ ගියේය. විදේශ ප්‍රේෂණ ලැබීම් හි කැපීපෙනෙන අවවර්ධනයක් ද දැකගන්නට ලැබිණි. බොහෝ විදෙස්ගත ශ්‍රමිකයෝ අනීතික මාර්ග ඔස්සේ රටට මුදල් එවීමට පටන් ගත්හ. එබැවින් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේදී දේශීය මූලාශ්‍ර වෙත යොමු වීමට රජයට සිදු විය. මේ තත්ත්ව හමුවේ මෙරට ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය.

2018 වර්ෂය වන විට රුපියල් බිලියන 473 ක් ව පැවති රජයේ ණය අගය, 2021 වන විට බිලියන 2095 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එසේම විදේශ සංචිත ද වේගයෙන් පිරිහුණි. මුදල් අච්චුගැසීම සහ ගත් තවත් තීන්දු තීරණ කිහිපයක් නිසා උද්ධමනය ද ඉහළ ගියේය. වෙසෙසින්ම ආහාර අංශයේ උද්ධමනය ශීඝ්‍රයෙන් වැඩි විය. විදේශ විනිමය හිඟය නිසා අන්තර් භාණ්ඩ, ගෑස්, ඉන්ධන, ඖෂධ ආදිය ආනයනය කිරීමට නොහැකි වීමෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය. ඒවායෙන් ඇතැම් භාණ්ඩ මේ වන විටත් ලබා දෙන්නේ පාලනයක් සහිතවය.

මේ අර්බුදය හමුවේ රජය ගත් ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමද වැදගත්ය. මිල පාලන ප්‍රතිපත්ති එක් එක් අවස්ථාවලදී ක්‍රියාත්මක කිරීම, දුප්පත් ජනයා ඉලක්ක කර ගත් සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීම ඒ අතර ප්‍රධාන විය. එසේම රාජ්‍ය අංශයේ වියදම් අවම කිරීම අරබයාද ඇතැම් ක්‍රියාමාර්ග ගන්නා ලදී.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග තුන්සිය ගණනක් ආනයනය සීමා කළේය. එසේම පොලී අනුපාත ඉහළ දමමින් මහජනයා සතු මුදල් බැංකු ක්‍රමය වෙත ගෙන ඒම දිරිමත් කිරීමට පියවර ගත්තේය. රටවල් සහ සංවිධානවලින් මූල්‍ය ආධාර ලබා දෙන ලෙස ඉල්ලීම් කළේය. එහි ප්‍රතිඵලයක් හැටියට ඇතැම් රටවලින් මානුෂීය ආධාර ලබා ගැනීමට හැකි විය. ඉන්දියාව, චීනය, ජපානය, අමෙරිකාව, බ්‍රිතාන්‍යය ආදී රටවල් අපට උපකාර කිරීමට ඉදිරිපත් විය. ආදායම් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ද රජය යම් යම් ක්‍රියාමාර්ග ගත්තේය. ඒ යටතේ බදු ඉහළ නැංවීමත් බදු සහන ඉවත් කිරීමත් සිදු කළේය. ඒවායෙහි කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු තිබුණ ද ඒ සඳහා ප්‍රයත්න දැරීම ගැන සතුටු විය හැකිය. පිරිවැය පදනම් කර ගත් මිල ක්‍රමයක් විදුලිය සහ ඉන්ධන සඳහා හඳුන්වා දීම ඉතාම වැදගත් ක්‍රියාමාර්ගයක් වශයෙන් හැඳින්විය හැකිය.

ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය සහ ඒ හමුවේ රජය ගත් ක්‍රියාමාර්ග ඒ ආකාරයට පැහැදිලි කළ හැකිය. මේ වන විට රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටියි. එම අරමුදලෙන් ලංකාව සඳහා අනුමත වී ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදලකි. ඒ, වසර 4 ක කාලයක් සඳහාය. විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය කරමින් ලාභ ලබන තත්ත්වයට පත් කිරීම, පිස්කල් ප්‍රතිපත්තිය වෙනස් කිරීම, පිරිවැය ආවරණය කර ගත හැකි පරිදි බලශක්තිය සඳහා මිල ක්‍රමයක් හඳුන්වා දීම ආදිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් මාණ්ඩලික මට්ටමේ එකඟතාවෙන් ප්‍රකාශිත යෝජනා වන අතර ශ්‍රී ලංකා රජය ඒ අරබයා වන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවක් ද දැකිය හැකිය. එසේම අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කර ගැනීම සඳහා වන සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කරන්නේ කෙසේද යන්න ගැන ද එම එකඟතාවෙන් අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර මේ දිනවල සිදු වෙමින් තිබෙන සාකච්ඡාවලදී රාජ්‍ය ණය කළමනාකරණය සහ තිරසාර මට්ටමක් පවත්වා ගෙන යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇත. එසේම මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගෙන යෑම, මුල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිපත්ති කවරේද යන්න ගැනත් සාකච්ඡා වේ. රාජ්‍ය අංශයේ දූෂණය සහ අකාර්යක්ෂමතාව නැති කිරීමට අදාළ යාන්ත්‍රණ ඇති කිරීම සහ ආර්ථික වර්ධනයට අවැසි ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඒ යටතේ සාකච්ඡා සිදු වේ. දැනට ඉදිරිපත්ව ඇති පුරෝකථනවලට අනුව 2024 දී මෙරට ආර්ථිකය වර්ධන වේගය සියයට 1.5 කින්ද 2027 දී සියයට 3.1 කින්ද වර්ධනය වනු ඇත.

එසේම 2024 වන විට උද්ධමනය අඩු මට්ටමකට ගෙන ඒමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි වසර හතරක කාලයේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සාර්ව ආර්ථිකය ඉලක්ක කිහිපයක් තිබේ. කෙසේවෙතත් අප ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුය. ඒ අරබයා ජපානය යම් නායකත්වයක් ගෙන ඇති බව පෙනේ. ඒ අනුව,, ජපානය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහාය වන්නැයි චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීම් කර ඇති බව ප්‍රකාශිතය. ඊට අදාළ සාකච්ඡා විදේශ අමාත්‍යාංශ මට්ටමින් සිදු වෙමින් තිබෙන බවද පැවසේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූලික සාකච්ඡා ආරම්භ කර තිබුණ ද ඒවා ඉක්මනින් අවසන් වෙතැයි සිතිය නොහැකිය. එම නිසා මේ අර්බුදය හෙමින් ඉදිරියට ඇදෙමින් යන ස්වභාවයක් දැකිය හැකිය. එයින් ජනතාව පීඩාවට පත් වනු ඇත.

මේ වන විට ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදවලට මුහුණ පා ඇත. ඒ යටතේ ඉදිකිරීම් අංශයට අවශ්‍ය අන්තර් භාණ්ඩ ලබා ගැනීම ගැටලුකාරී වී තිබේ. තවද එම අංශයේ විශාල පිරිසකට මේ වන විට රැකියා අහිමි වී තිබේ. ඩීසල් සහ යන්ත්‍රෝපකරණවල මිල ඉහළ යෑම හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ පිරිවැය ද ඉහළ ගොස් ඇති ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. බලශක්ති අංශය වෙනුවෙන් දැරීමට සිදුව ඇති අධික පිරිවැයෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන, ඇඟලුම්, විදුලිබල ආදී අංශ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇත. මෙමගින් ඇති කරන පීඩනය රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ඇතැම් ස්ථාවර වැටුප් ලබන්නන්ට බලපානු ඇත. සමහර දත්ත නිවැරදි නොවුණත් මන්දපෝෂණ තත්ත්වයක් ගැන ද මේ වන විට සාකච්ඡා සිදු වෙමින් තිබේ.

මේ අර්බුදයෙන් අප ගොඩ එන්නේ කෙසේද යන්න ගැන විමසා බැලීම ඉතාම වැදගත්ය. ඊට අවැසි කෙටි කාලීන ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන තිබේ. අවුරුදු 5 ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට අවසර ලබා දීම, විදේශවල සිට මෙරටට මුදල් එවන අය සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන රථ වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමට යෝජනා කිරීම ආදිය ඒ අතරින් කිහිපයකි.

ආණ්ඩුව වෙනස් වී තිබේ. එසේම හිටපු ජනාධිපතිවරයා වෙනුවට අලුත් ජනාධිපතිවරයෙක් පත්ව සිටියි. කවර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක වන්නේ ද යන්න පැහැදිලි නැත. දේශපාලන දර්ශනය කුමක්ද යන්න පැහැදිලි නැත. එවැනි තත්ත්වයක් පවතින විට අමාත්‍යාංශවල අරමුණු වෙනස් වේ. නව ආදායම් උපයන ක්‍රමවලට යොමු වීමක් අමාත්‍යාංශ මට්ටමින් සිදු වන බවක් පෙනෙන්නට නැත. ඊට හේතුව නිවැරදි දර්ශනයක් නොමැති වීමය. පස් අවුරුදු දස අවුරුදු වශයෙන් වන සැලසුම් නොමැති වීමද ප්‍රශ්නයකි. ප්‍රතිපත්ති ස්ථාවරකරණය කිරීම ද අවැසිය.

අපේ සාගර කලාපයේ විශාල සම්පත් ප්‍රමාණයක් තිබුණද ඒවායෙන් නිසි ප්‍රයෝජන ගැනීමට අප මෙතෙක් සමත්ව නැත. ඒ සඳහා පුහුණු ශ්‍රම බළකායක් ඇති කළ යුතුය. සාගර ආර්ථිකයෙන් ඵල නෙළා ගැනීමට අප දැන්වත් යොමු විය යුතුය. එසේම සංචාරක කර්මාන්තයේදී හරිත සංචාරක කර්මාන්තය, සාගරය ආදිය ප්‍රවර්ධනය කිරීමත් ඒ ඔස්සේ වැඩි සංචාරකයන් ප්‍රමාණයක් රටට ගෙන්වා ගැනීමටත් ක්‍රියා කළ යුතුය. ඒ අරභයා තානාපති කාර්යාල මට්ටමින් සාකච්ඡා ආරම්භ කිරීම අවැසිය.

ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායලය ආදී රටවල වෙනත් රටවල ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා තිබේ. ඒ අරභයා යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක වුවද නිසි ඒකාබද්ධ වැඩසටහනක් ඇති බවක් පෙනෙන්නට නැත. අදාළ රටවලට වැඩි වශයෙන් ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා අධ්‍යාපන, වෘත්තීය පුහුණු, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආදී ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතුය. නේපාලය මේ වන විට ජපානය වෙත යැවීම සඳහා දස දසහක පුහුණු ශ්‍රම බළකායක් ගොඩ නගමින් සිටියි. ශ්‍රී ලංකාවද ඒ ආකාරයේ නිශ්චිත වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.

විරැකියාවට විසඳුම් සෙවීම ද අවශ්‍ය වේ. ඒ අරභයා කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් බෝග නිෂ්පාදනය, ගොවි බිම් හරහා තරුණ ව්‍යවසායකයන් බිහි කිරීම ඇතුළු තවත් ක්‍රියාමාර්ග බොහොමයක් අනුගමනය කළ හැකිය. ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යය. එසේම සුළු හෝ ආදායම් ලැබිය හැකි මාර්ග තිබේ නම්, ඒවා භාවිතයට ගැනීමට ද වග බලා ගත යුතුය. වැදගත් වන්නේ සැලසුම්සහගතව කටයුතු කිරීමය.

ලෝක පරිමාණයේ ආහාර අර්බුදයක් ඇති වුව හොත් ශ්‍රී ලංකාව වැනි රටවල් එහි බලපෑමට ලක් වනු ඇත. එබැවින් අප ආහාර අර්බුදයට පිළියම් යෙදිය යුතුය. හිස් ඉඩම්වල වගා කටයුතු ආරම්භ කිරීම ඒ සඳහා අනුගමනය කළ හැකි එක් ක්‍රමයකි. ඊට අදාළ සැලසුම් ගණනාවක් පසුගිය කාලයේදී ඉදිරිපත් වුවද ඒවා කොතරම් වේගවත්ව ක්‍රියාත්මක වන්නේද යන්න ප්‍රශ්න සහගතය.

ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ සොයා බැලෙන යාන්ත්‍රණවල අඩු පාඩු තිබේ. වෙසෙසින්ම දේශීය භාණ්ඩ අපනයනය කරන ව්‍යවසායකයන් මේ වන විට අමුද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධ ගැටලුවලට මුහුණු පා සිටින බව වාර්තා වේ. එබැවින් ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න හඳුනා ගෙන ඒවා විසඳීමට අදාළ යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කළ යුතුය.

Advertiesment