ණය ප්‍රතිව්‍යුහගත කළ පමණින් සියලු ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටු සභාපති, වරලත් ගණකාධිකාරී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනාංශයේ මහාචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කර සිටියි.
රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සහ ඊට අදාළ විසඳුම් සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස දක්වා සිටින මහාචාර්ය අනිල් ජයන්ත මහතා මෙසේ ද පවසයි.
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදිහට රටක් සංවර්ධනය දෙසට ගමන් කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය උසස්වීම වැනි කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ආර්ථිකයක් කියන්නේ රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමත්, එයින් ජනිත කරන ධනය බෙදා හැරීමත්, රැකී රක්ෂා සම්පාදනය කිරීම, පොලී සහ විදේශ විනිමය අනුපාත තීරණය කිරීම, විදේශ වෙළඳාම සහ විදේශ සංචිත පවත්වා ගෙන යාම වැනි කරුණු ගණනාවක් එකිනෙකට බද්ධ වීමයි.
ආර්ථිකයේ පවතින සැබෑ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරමින් නිවැරදි දිශාවකට ගෙනයන්න උත්සාහ කරනවා වෙනුවට පාලකයන් මේ දක්වා කළේ දත්ත විකෘති කරමින් ප්‍රධාන ආර්ථික ප්‍රශ්න යට ගැසීමයි. ජාතික ජන බලවේගය හැකි සෑම අවස්ථාවකදීම පවතින යථාර්ථය පෙන්වා දෙන්න කටයුතු කළා. ඒ නිසාම දැන් රට තුළ සාමූහිකව අපි කවුරුත් එකතු වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි කියන අවබෝධයට ඇවිත් තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය තුළ ඒ ඒ අනුක්ෂේත්‍ර පිළිබඳව ප්‍රාමාණික දැනුම තිබෙන බුද්ධිමතුන් එකතු වී සිටිනවා. අපි සියලු දෙනා එක්වී ආර්ථිකය පිළිබඳව යම් ගවේෂණාත්මක විමර්ශනයන් සිදුකරමින් මහජනතාව දැනුවත් කරන්න විද්‍යාත්මක තොරතුරු සහිතව කරුණු ඉදිරිපත් කරනවා. පවතින තත්වය පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් ලබාගන්නා කරුණු අනුව රට තුළ පවතින සීමිත සම්පත් නිසි පරිදි කළමනාකරණය කරමින් පොදු අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කරනවා. එහි ආරම්භක පියවර ලෙස තෝරාගත්, ක්ෂණිකව සමාජයේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා. මේ මොහොත වන විට ආණ්ඩුව තමන්ගේ බලය පවත්වාගෙන යාමේ අරමුණින් මඟහැර යන, මහජනතාවගේ ජීවිතවලට එල්ල වී තිබෙන ආර්ථික අර්බුදයේ භයංකාරකම පිළිබඳව අපි හෙළි කරන්න සූදානම්. ආර්ථික අර්බුදයට මේ ආණ්ඩුව මූලික වශයෙන් වගකිව යුතු වුවත් කිසිකෙනෙකුට මේ අර්බුදය මඟහැර යන්න බැහැ.
මූලිකවම ගත්තොත් පවතින ණය බර, රටක් හැටියට දරාගන්න බැහැ. විදේශීය ණය පංගුව විශාල වශයෙන් වැඩිවීම ඊට බලපා තිබෙනවා. මේ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විශාල සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. ආණ්ඩු බලය කවුරුන් විසින් හෙබවූවද, හොබවන්න බලා සිටියද, ඒ ඕනෑම කෙනෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන්නම වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ රටේ සියලු ආර්ථික ප්‍රශ්න විසඳනවා කියන එක නොවෙයි. රට සංවර්ධනයට යනවා කියන එක නොවෙයි. මූලික අඩිතාලමක් දමා ගන්න, හුස්ම ගන්න, අවස්ථාව සලසා ගන්නවා කියන එකයි. මේ සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වී තිබෙනවා. 1959 සිට අපි මූල්‍ය අරමුදලේ සාමාජික රටක්. ඒ සාමාජිකයන්ට ලැබෙන සියලු වරප්‍රසාද අපට හිමියි. ඔවුන් තම සාමාජික රටවලට ගෙවුම් ශේෂ අර්බුදයකින් බේරා ගැනීමට උපදෙස් දීම සහ මැදිහත් වීම සිදුකරනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මූල්‍ය අරමුදල මැදිහත්වී සාකච්ඡා කිරීම හොඳයි. නමුත් අපේ රට සංවර්ධනය කිරීමේ සැලැස්ම හෝ එහි ගමන් මඟ මූල්‍ය අරමුදලෙන් ලබාදෙන්නේ නැහැ. එය ඔවුන්ගේ කාර්යභාරයක් නොවෙයි. අපේ රට දියුණු කිරීමෙන් සහ දිශානතිය තීරණය කිරීම අප විසින් කළ යුතුයි. නමුත් මේ වන තෙක් ආණ්ඩුව ඒ සඳහා සැලසුම් සකස් කර නැහැ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්ලිෆඞ් චාන්ස් සහ ලසාඞ් කියන ජාත්‍යන්තර ආයතන දෙක මැදිහත් කරගෙන තිබෙනවා. ක්ලිෆඞ් චාන්ස් මැදිහත් වී මූලික සාකච්ඡාවක් සිදුකළා. එහිදී මතුවුණු මූලික කාරණා කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතුයි. පළමුවෙන්ම රජයේ ආදායම සහ වියදම අතර පවතින ප්‍රාථමික ශේෂය ධන 2.3 දක්වා 2025 වන විට ගෙනයා හැකි බව ආණ්ඩුව කියනවා. නමුත් පවතින තොරතුරු දත්ත විශ්ලේෂණය කළ විට එය ලේසි වැඩක් නොවන බව අපට පෙනෙනවා. මේ තත්වයට ළඟා වුණොත් පමණක් ණය තිරසාර තත්වයකට ළඟා විය හැකියි. ඒ කියන්නේ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය දරාගත හැකි ආකාරයට සකස් කර ගැනීමයි. පවතින තත්වයන් යටතේ රට රටවල්වල ණය පිළිබඳව ගැටලුව වෙනස් වෙනවා. ජපානය වගේ රටක ණය බර 250%ක් වෙනවා. නමුත් එය ඒ රටට දරාගත හැකි, ගෙවිය හැකි තත්වයක්. නමුත් අපේ ප්‍රමාණවත් ආදායම් ඉපයීමක් නැති නිසා අපේ ණය තිරසාරභාවය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%ට වඩා අඩුවෙන්න ඕනෑ. එහෙම නම් ණය තිරසාරභාවය ඇති කර ගන්නේ කොහොමද කියන සැලසුම් සකස් කරන්න ඕනෑ. ආණ්ඩුව පැත්තෙන් ප්‍රාථමික අයවැය ශේෂය ධන 2.3ට යන ආකාරය පැහැදිලි කරන්නේ නැහැ.
මේ තත්වය තුළ ආණ්ඩුව රජයේ ආදායමෙන් ණය පොලී ගෙවීම ඉවත් කර අනෙකුත් වියදම් සමග දළ ජාතික නිෂ්පාදිතය සමග සැසඳීමෙන් ධන අගයක් ලබා ගැනීමට උත්සාහ කරන බවට මත අපට සැකයක් ඇතිවී තිබෙනවා. මේ ශේෂය 2021 ඍණ 6%යි. 2020 දී එය තිබුණේ ඍණ 4.6යි. තව අවුරුදු දෙකකින් 2025 වන විට ධන 2.3ට යන්නේ කොහොමද? මහ බැංකුවට අනුව 2023 දී ඍණ 8%ක හිඟයක් තිබිලා 2024දී ධන අගයකට පරිවර්තනය වී 2025දී ඔය කියන ඉලක්කයට යන බව සඳහන් කරනවා. මේ තත්වය තුළ අපිට පැහැදිලි වෙන්නේ පොලිය හැර රජයේ විශාල වැය බරක් දරන රාජ්‍ය වැටුප් ගෙවීම මහජනතාව පීඩනයට පත්කරමින් කපා හැරීමේ ඉඩකඩක් තිබෙන බවයි. වියදම් කපා හැරීම කියලා එන්නේ එතනට බව අපි හිතනවා. නමුත් වියදම් තුළ වංචා, දූෂණ, නාස්තිය සියල්ලම තිබෙනවා. කළ යුත්තේ වංචා, දූෂණ, නාස්තිය ඉවත් කිරීම මිස වැටුප් අවම කිරීම නොවෙයි. මේ කියන ධන 2.3නේ ඉලක්කයට යන්න නම්, ආදායම් වැඩිකර ගෙන වියදම් කපන්න ඕනෑ. පවතින ව්‍යුහය ඇතුලේ ආදායම් වැඩිකර ගන්න නම් ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඕනෑ. පවතින සොච්චම් ජාතික ධනයෙන් වැඩිපුර උකහා ගන්න ආණ්ඩුව ක්‍රියාකළහොත් මහජනතාව අන්ත පීඩනයකට පත්වෙනවා. මෙයින් සිදුවෙන්නේ මහජනතාවගේ යහපත නොවෙයි ආණ්ඩුවේ බේරීමයි. ඒ වෙනුවෙන් බදු පිට බදු පැමිණීමිට නියමිතයි. සහන කපා හැරීම සහ විදුලි බිල, ජල බිල වැනි සියලු වියදම් ඉහළ දැමීමට නියමිතයි.
මේ අනතුර අපි තේරුම් ගන්න ඕනෑ. තේරුම් ගැනීමෙන් තත්වය පරාජය කරන්න ඕනෑ. ඕනෑම ආණ්ඩුවකට විනාශකාරී ලෙස ජාතික සම්පත් විකුණා දමන්න ලේසියි. මේ වන විටත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන තවත් කොන්දේසියක් වන්නේ විදුලිය, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය හා භාණ්ඩ හා සේවාවල පිරිවැය ආවරණය වන පරිදි මිල නියම කළ යුතු බවයි. නමුත් මේ තුළින් යම් පීඩනයකට පත්වෙන කණ්ඩායම් වලට සහන ලබාදෙන්නත් මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙනවා. නමුත් ගෑස් මිල, ඉන්ධන සහ විදුලිය මිල තුළ ඒවායේ සැබෑ නිෂ්පාදන පිරිවැයට අමතරව වංචා, දූෂණවලින් කොටසකුත් ඇතුළත් කර තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විට අයි.ඕ.සී. සමාගම මේ වසරේ දෙවන කාර්තුවේ රුපියල් බිලියන දහයක ශුද්ධ ලාභයක් පෙන්වා තිබෙන්නේ මේ නිසයි. තව පැත්තකින් මහ බැංකුවේ ස්වාධීනත්වය සහ මූල්‍ය ස්ථායීකරණය වෙනුවෙන් ඉඩදෙන්න ඕනෑ. වෘත්තීයමය වැඩකටයුතු කරන්න මහ බැංකුවට අදාළ ස්වාධීනත්වය ලබාදිය යුතුයි. එක අරමුණක පිහිටලා රජයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාකරන්න ආණ්ඩුව ඉඩදිය යුතුයි. නමුත් බලය රැකගැනීම හෝ ලබාගැනීම වෙනුවෙන් බදු ප්‍රතිපත්තිය අඩු-වැඩි කරමින් මූල්‍ය ප්‍රතිපත්තිය බිල්ලට දෙන තත්වයක් අපි දකිනවා. අද තිබෙන තත්වය අනුව මහ බැංකුව ක්‍රියාත්මක කරන මූල්‍ය උපක්‍රමවලට ආණ්ඩුව සහයෝගය නොදෙන ගැටුමක් නිර්මාණය වෙන්න පුළුවන්.
මේ වන විටත් මූල්‍ය අරමුදලෙන් අපි දහසය වතාවක් විස්තීරණ අරමුදල් පහසුකම් ලබාගෙන ගෙවුම් ශේෂ තුළනය සම්බන්ධ ගැටලු මඟහරවාගෙන තිබෙනවා. නමුත් කුඩා කුඩා සංශෝධන කළා මිස අපේ රට නිසි මාර්ගයක සංවර්ධනයට ගියේ නැහැ. මේ වතාවේ ඩොලර් කෝටි 290ක් අවුරුදු හතරක් තුළ ලැබෙන්නේ. මේ යන ගමන් මාර්ගය මත මේ ණය මුදල මත සියලු ප්‍රශ්න විසඳෙන බවට මිථ්‍යා මතයකට නොයා යුතුයි. මේ ණය ලබාදීමේදී මතුපිටින් නොපෙනෙන අය කිරීම් කරනවා. පොලිය අඩු බව ඇත්ත. නමුත් දැනට පොරොන්දුවී තිබෙන ඩොලර් කෝටි 290 වෙනුවට ඊට අඩු ප්‍රමාණයක් ආණ්ඩුව ඔවුන්ගේ කොන්දේසි ඉටුකිරීම මත ලබාදුනහොත් මුළු ණය මුදලටම පොලී අය කරනවා. ඒ වගේම සැඟවුණු සේවා ගාස්තුවකුත් තිබෙනවා. අපි මුල්ම ණය වාරික ලබාගත් 1964 ඉඳලා සලකා බැලුවාම 1984 සිට මේ දක්වා ලබාදී තිබෙන්නේ ඩොලර් කෝටි 350ක වගේ ණය ප්‍රමාණයක්. නමුත් අපි එම කාලය තුළ ගෙවූ සහ ඉදිරියේදී ගෙවන්න තිබෙන සේවා ගාස්තු සහ පොලිය ගණනය කළාම ඩොලර් කෝටි සියයකට ආසන්න ප්‍රමාණයක් ගෙවීමට සිදුවී තිබෙනවා. මූල්‍ය අරමුදල අපේ රටේ තිබෙන දේශපාලන තත්වය මත දූෂණය, අවම කිරීම පිළිබඳවත් කරුණු දක්වා තිබෙනවා. ණය තිරසාර සැලැස්ම පිළිබඳව මේ දක්වා ආණ්ඩුව සැලසුමක් ඉදිරිපත් නොකළත් මෑතකදී සැලසුමක් ඉදිරිපත් කරන බවක් පේන්නේ නැහැ. මේ තත්වය තුළ අර්බුදයෙන් ගොඩයාම වෙනුවට තව තවත් ගැඹුරු වන බව පැහැදිලි වෙනවා. ඉදිරියේදී ජාතික ජන බලවේගයේ ආර්ථික සභාව පවතින තත්වය පිළිබඳව ජනතාවට කරුණු ඉදිරිපත් කරනවා. ඒ තුළින් පවතින ආර්ථික අර්බුදය පිළිබඳව හොඳ සංවාදයක් හදාගන්න අපි අපේක්ෂා කරනවා.
Lanka Newsweek © 2024