Friday 22nd of October 2021

English Tamil
Advertiesment


ජීවිතය කියන්නේ (නො)කිසිවකි


2019-07-02 5668

 

බුදුන් වහන්සේට අනුව සියල්ල අනිත්‍යයි. දුක්ඛයි. එමෙන්ම අනාත්මයි. ඒ ති‍්‍රලක්‍ෂණයට අනුව සියල්ල ‘(නො)’ කිසිවක් මිස ‘කිසිවක් නොවේ.එනම් සියලූ නාම (ස්පර්ෂ, වේදනවා සංඥා, සංස්කාර, විඥාන) රූප (ආපෝ, තේජෝ, වායෝ, පඨව) හි මූලය තරංග විශේෂයකි. ශක්ති විශේෂයකි. එහි ස්වභාවය වේගවත් චලනයයි. චලනයෙහි ප‍්‍රතිඵලය වෙනස් වීමයි. එනම් කිසිවක් ස්ථාවරව සහ ආත්මීයව නොපවතී. ති‍්‍රලක්‍ෂණයට අනුව සියල්ල ‘(නො) කිසිවක්’ මිස ‘කිසිවක්’ නොවේ යැයි කීවේ මේ නිසාය. මේ අනුව ‘පුද්ගලයා’ යනුවෙන් කිසිවෙකුද නොපවතී.

යථාර්තය ඒ නමුත් ඔබ අතීතයේ පැවැති බවත් මේ මොහොතේ පවතින බවත් අනාගතයේ පවති වී යන බවත්, ස්ථිරය. ඔබ සත්‍ය වශයෙන්ම පවතිනවා යැයි ඔබට දැන හැෙඟන්නේ ඇයි?

සුදු කඩදාසියක් මත එකිනෙක ෙඡ්දනය වන පරිදි සරල රේඛා සමූහයක් නිර්මාණය කළහොත් ඒ සියලූ රේඛා ෙඡ්දනය වන කේන්ද්‍රයේ ‘තද තිතක්’ නිර්මාණය වේ.

නමුත් ඒ සත්‍ය වශයෙන් පවතින තත්ත්වයක් නොවන බවත්, සරල රේඛා එකිනෙක ෙඡ්දනය වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වූ සුවිශේෂී තත්ත්වයක් බවත්, ඒ අනුව ඒ රේඛා එකිනෙක යළි ඉවත් කළොත් ඒ තිතද අන්තර්ධාන වන බවත්, අපි දනිමු.

එමෙන්ම ගිනි පුළිඟුවක් කවාකාරව කරකැවීමේදී ගිනි බෝලයක් (පුළිඟු වෘත්තයක්* නිර්මාණය වේ.

නමුත් ඒ ද සත්‍ය වශයෙන් පවතින පුළිඟු වෘත්තයක් නොව ගිනි පුළිඟුව කවාකාරව කැරකැවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වුනු තත්ත්වයක් බවත්, ගිලි පුළිඟුවේ චලනය අත්හිටු වූ විට පුළිඟු වෘත්තයද අන්තර්ධාන වන බවත් අපි දනිමු.

‘පුද්ගලයා’ගේ තත්ත්වයද එයමය. ඔහු නිර්මාණය වී ඇත්තේ නාම - රූප යන කොටස් දෙකේ සංයෝජනයෙනි. නාම යනු දැනෙන ස්වභාවයයි. රූප යනු පෙනෙන ස්වභාවයයි.

මේ නාම කොටස් (ස්පර්ශ, වේදනා, සංඥා, සංස්කාර, විඥාන) සහ රූප කොටස් (ආපෝ, තේජෝ, වායෝ, පඨවි) එකින් එක ඉවත් කොට විමර්ශනය කළහොත් ‘පුද්ගලයා’ යනුවෙන් ද ‘කිසිවක්’, ‘යමක්’, ‘තත්ත්වයක්’ හෝ ‘දෙයක්’ නොපවතින බව වැටහෙනු ඇත.

එනම් මේ නාම සහ රූප කොටස් පිළිවෙළින් එකින් එක ඉවත් කළහොත් ‘පුද්ගලයා’ යනුවෙන් යම් ස්ථාවර තත්ත්වයක් හෝ යමක් නොලැබෙනු ඇත.

එනම් පුද්ගලයා යනු කි‍්‍රයාවන් සමුදායක් පමණි. ඒ කි‍්‍රයා සමුදාය හැරුණු කොට ඒ කි‍්‍රයාවේ ඵල භුක්ති විඳ ගන්නා ‘සැබෑ පුද්ගලයෙක්’ හෝ ‘ආත්මයක්’ කිසිවෙකුගේ අභ්‍යන්තරයෙහි නොපවතී.

එනම් අනුභවය, නින්ද, මෛථුනය සහ සිතීම ආදි සියල්ල කි‍්‍රයාවලියක්ම පමණි. ඒ අනුව ඒ කි‍්‍රයාවන් සහ ඒ කි‍්‍රයාවන්හි ප‍්‍රතිඵලය සැබෑ වශයෙන් භුක්ති විඳින ආත්මයක් නොමැත.

නමුත් කිසියම් කි‍්‍රයාවක් සිදුවූ පසු එළැඹෙන ඊළඟ මොහොතේම ඒ කි‍්‍රයාව සිදුවූ බව අපි ප‍්‍රත්‍යක්‍ෂ කරමු.

උදාහරණයක් වශයෙන් ඔබ කිසියම් ලිපියක් ලියූ බව සිතන්න. ඒ ලියා අවසන් කිරීමෙන් පසුව එළැඹෙන මොහොතේදීම ඒ කි‍්‍රයාව සිදුවූ බව ඔබට විශ්වාසය. එමෙන්ම ඒ මොහොත යළි ස්මරණ කිරීමේ ශක්තිය ද ඔබ සතුය. එනම් ඒ අවස්ථාවට, ඒ අත්දැකීමට, ඒ මොහොතට ඔබේ ශරීරයට යලි පිවිසීමට නොහැකි වුණත්, ඔබේ සිතට පිවිසීමේ හැකියාව තිබේ.

ඒ අනුව අප සිදුකරන සෑම කි‍්‍රයාවක් පිළිබඳවම අපට හොඳ මතකයක් තිබේ. එමෙන්ම ඒ කි‍්‍රයාවේ අප නියැලූණු බවට විශ්වාසයක් තිබෙන අතර ඒ හොඳින් ප‍්‍රත්‍යක්‍ෂය. එමෙන්ම එළැඹෙන නව මොහොතේ (වර්තමානයේදී)  ඕනෑම අවස්ථාවක අපට ඒ  ඕනෑම කි‍්‍රයාවක් සිදුවූ මොහොත සිතින් ස්මරණය කළ හැකිය. එනම් ඒ අවස්ථාවට සිතින් ගමන් කිරීමේ ශක්තිය තිබේ. ඒ අත්දැකීම යළි සිතින් විඳිය හැකි අතර ඒ තුළ ජීවත් විය හැකිය.

එමෙන්ම අපේ අනාගතය අපට මනසින් නිර්මාණය කළ හැකිය. උපකල්පනය කළ හැකිය. අප සිතන පරිදි අපේ අනාගතය සකස් කර ගැනීමෙහි ලා අපට වෙහෙසිය හැකිය. එනම් බොහෝ විට අපට අපේ අනාගත බලාපොරොත්තු සඵල කොට ගත හැකිය.

මේ තත්ත්වය එනම්, මතකය සහ බලාපොරොත්තුව අප තුළ පුද්ගල ග‍්‍රහණය ඇතිකොට තිබේ. එනම් මතකය නිසාත් බලාපොරොත්තුව සහ ඒ සඵල කොට ගැනීමට අපට යමක් කළ හැකි නිසාත් ‘සත්‍ය පුද්ගලයෙකු’ සිටිතියි අපි ග‍්‍රහණය කොට ගනිමු. එනම් ආත්මීය දෘෂ්ඨියට අවතීර්ණ  වූවාහුය.

ඒ අනුව මතකය හේතුකොට ගෙන අතීතයේ සිටි බව අපට මතකය. වර්තමානයේ කි‍්‍රයාත්මක වෙමින් පවතින බැවින් එහි ද අපි සිටින බව අපට ප‍්‍රත්‍යක්‍ෂය. එමෙන්ම අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකි බැවින් ද ඒ වෙනුවෙන් අපි යමක් කළ හැකි හෙයින්ද අනාගතයේද අප සිටිනු ඇතැයි අපි විශ්වාස කරමු.

කි‍්‍රයාවන් සමුදායක් පමණක් නොව ස්ථිර පුද්ගලයෙකු ද සිටින බව අපිට දැන හැෙඟන්නේ මේ නිසාය.

සිත ඉතා වේගවත්ය. අපේ සිතට කොතරම් සිතිවිලි පැමිණියත් ඒ සෑම සිතුවිල්ලකටම සිතේ ඉඩ ඇති අතර සිතුවිලි නිදහසේ වේගවත්ව ගලන බැවින් සිතුවිලි දෙකක් අතර පවතින පරතරය අපට ග‍්‍රහණය කොට නුහුණේ සත්‍ය වශයෙන්ම සිතන පුද්ගලයෙක් (ආත්මයක්) ඇතැයි අපි ගනිමු..

(සුජිත් මංගල ද සිල්වා )

Advertiesment