Monday 3rd of October 2022

English Tamil
Advertiesment


කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්නා හැටි මෙන්න 


2022-09-15 1194

 

 මහා බැංකු අධිපති කරුණු පහදයි 

 

ආර්ථිකයේ හෙළිනොවූ යථාර්ථය

 

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය සහ ඉදිරි මග

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා ‘"ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය සහ ඉදිරි මග" යන තේමාව යටතේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වෙනුවෙන් කළ දේශනය ඇසුරින් සකස් කෙරිණි.

වර්තමාන ආර්ථික අර්බුදයට බලපෑ හේතු කවරේදැයි තේරුම් ගැනීම අවශ්‍යය. එකී හේතු දිගුකාලීන සහ කෙටිකාලීන වශයෙන් කොටස් දෙකකි. ඉදිරියට යාමේ දී මේවා තේරුම් ගැනීම වැදගත්ය. පළමුවෙන් මේ අර්බුදයට දිගුකාලීනව බලපෑ හේතු කෙරෙහි අවධානය යොමු කළ හැකිය. රටක ආර්ථිකයක වැදගත්ම සාධකය එහි වර්ධන වේගයයි. ජන ජීවිතය උසස් කරලීමේ වැදගත්ම දර්ශකය වන්නේ ද එයයි.

1977 දී ආර්ථිකය විවෘත කිරීමෙන් පසු මෑත කාලය දක්වා කලාපයේ අනෙක් රටවල් සමඟ සසඳන විට යම් ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට අපට හැකිවී තිබේ. 2011-2012 වසර වනතෙක් සියයට 4.5ක සියයට 5ක පමණ ආර්ථික වර්ධන වේගයේ සාමාන්‍යයක් ඒ අනුව දැක ගන්නට පුළුවන. ඒ අනුව එම කාලයේ දී ආර්ථික වර්ධන වේගයේ ලොකු ප්‍රශ්නයක් තිබී නැත.

එහෙත් 2012-2013 වසරවලින් පසුව එම ආර්ථික වර්ධනයේ සාමාන්‍යය සෑහෙන පමණ අඩු අගයක් ගෙන තිබේ. මෙයින් පෙනෙන්නේ දිගු කාලයක් ආර්ථිකය වර්ධනය වී එක්වරම පහළ වැටී ඇති බවය. ඒ විවිධ හේතු බලපෑමෙනි. ඒක පුද්ගල ආදායමද මෙහි තිබෙන තවත් සාධකයකි. කාලයක් තිස්සේ සාමාන්‍ය ලෙස වර්ධනය වූ මෙරට ඒක පුද්ගල ආදායම 2005-2006 වසරවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය. ඒක පුද්ගල ආදායම අමෙරිකන් ඩොලර් 4000 ඉක්මවා තිබෙන්නේ 2017 වසර ආසන්නයේදීය.

ඉන්පසුව ඒක පුද්ගල ආදායමේ අඩුවීමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව මේ වසර අවසානය වනවිට අමෙරිකන් ඩොලර් 3200 මට්ටමට මෙරට ඒක පුද්ගල ආදායම කඩා වැටෙනු ඇත. මේ දර්ශකය අනුව පෙනෙන්නේ 2012 වසර දක්වා ආපසු ගමන් කිරීමකි. ආර්ථික ව්‍යුහයේ, ක්‍රමවේදයේ යම්කිසි ප්‍රශ්නයක් තිබෙන බව ආර්ථික වර්ධන වේගයේ පසු බැසීමෙන් පෙන්නුම් කරන්නකි. ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 4000වීමත් සමඟ මැදි ආදායම් උගුලට හසුවී එයින් පහළට වැටී ඇති ස්වභාවයක් මේ දර්ශක දෙක දෙස බලන විට පෙනී යන්නකි.

උද්ධමනය මීළඟට ඇති සැමට දැනෙන, දකින ප්‍රධාන සාධකයයි. උද්ධමනය වැඩි කාලයට ඇත්තේ දැඩි පීඩනයකි. බඩු මිල වැඩි බව සැවොම කියන කතාවය. 1977 සිට 2009 පමණ දක්වා සාමාන්‍යයක් වශයෙන් උද්ධමනය පැවැතියේ සියයට 12ක අගයකය. එනම් අංක දෙකක උද්ධමනයකි. එය දිගු කාලයක් පැවැතියේය. එහෙත් 2008-2009 වසරවලින් පසුව 2020-2021 දක්වාම සියයට 5ක පමණ සාමාන්‍ය උද්ධමනයක් පවත්වාගෙන යාමට ද හැකිවී තිබේ. කෙසේ වුවත් 2022 වන විට එක්වරම ඉතිහාසයේ ඉහළම උද්ධමන වේගයට එම අගය පත්ව තිබේ. එම අගය සියයට හැටකි. අධි උද්ධමනකාරී තත්ත්වයකට රට ගමන් කරමින් තිබේ. භයානකම තත්ත්වය මෙයයි.

සිම්බාබ්වේ, ලෙබනනය අධි උද්ධමනය ඇති රටවල්ය. එම රටවල සිදුවන්නේ ඉතා අවාසනාවන්ත සිදුවීමය. අධි උද්ධමනය ආර්ථිකයට බරපතළ තර්ජනයකි. එය වළක්වා ගැනීම ද එලෙසම අභියෝගකාරීය. අධි උද්ධමනකාරී තත්ත්වයට ගමන් කළහොත් ආර්ථිකයේ පාලනය මහ බැංකුවටත් රජයටත් අහිමිවනු ඇත. ආර්ථිකයේ පරිපාලනය ගිලිහී යනු ඇත. කිසිවකුටත් ව්‍යාපාර කරන්නට ලැබෙන්නේ නැත. සියලු ව්‍යාපාර කඩා වැටෙනු ඇත.

මේ ආකාරයට ගියොත් රුපියල් සීයේ රුපියල් පන්දහසේ බිංදු කපා හැරීමට සිදුවනු ඇත. මේ නිසා ආර්ථිකය ස්ථාවර කිරීමට නම් දැනට ඍණ මට්ටමට ගමන් කරන ආර්ථික වර්ධන වේගය ධන අගයකට එසවිය යුතුය. ඒ වගේම උද්ධමන අගය පාලනය කළ යුතුය. එසේ නොවුණොත් පාලනයක් නැතිව ආර්ථිකය තව තවත් වළපල්ලට ගමන් කරනු ඇත.

සාර්ව ආර්ථිකය පැත්තෙන් බලනවිට රජයේ අයවැය හිඟය සහ රටේ විදේශ විනිමය ආදායම හා වියදම පැත්තෙන් ඇති හිඟය පවතින ලොකුම අසමතුලිතතාවයි. මේවායේ අතිරික්තයක් වාර්තා කර තිබෙන්නේ පනස් ගණන්වල පමණි. එනම් වියදමට වඩා ආදායම් වැඩිවීමය. ඉන් පසු දිගින් දිගටම වාර්තා කර තිබෙන්නේ හිඟයකි. බිංදුවට වඩා අඩු අගයක් යනු හිඟයකි.

මුළු ආර්ථිකයේ රජයේ ක්‍රියාකාරිත්වය සියයට 20ක් සියයට 30ක් පමණය. සියයට හැත්තෑවක් පමණ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී වන්නේ පෞද්ගලික අංශයයි. විදේශ විනිමය ඉපැයීම් සහ වියදම් අතර විශාල පරතරයක් පැවැතීමට මූලික හේතුව වී තිබෙන්නේ දිගු කාලයක පටන් පවත්වාගෙන යන රජයේ අයවැය ඍණ හිඟයයි. මෙය විද්‍යානුකූලව ඔප්පුකර ඇති කරුණකි. කුමන රටක වුව ද දිගු කාලීනව අයවැය හිඟයක් පවතින්නේ නම් එරටේ දිගුකාලීනව විදේශ විනිමය හිඟයක් ද පවතිනු ඇත. ඒ තත්ත්වය අපේ රටේ පැහැදිලිව පෙන්නුම් කර තිබේ.

රජයේ අයවැය හිඟය පවතින විට එය පියවීමට ණය ගත යුතුය. ඒ දේශීය හෝ විදේශීය වශයෙනි. දේශීය වශයෙන් ණය ගන්නා විට සිදුවන්නේ පොලී අනුපාත වැඩි වීමය. මෙලෙස රජය ණය ගන්නේ පෞද්ගලික අංශයට ගැනීමට ඇති සම්පත්ය. පෞද්ගලික අංශයේ අයට ආයෝජනයට ඇති මුදල් මෙලෙස රජය ණයට ගැනීමෙන් සිදුවන්නේ ඔවුන්ට සම්පත් හිඟවීමය.

වැඩිවන පොලී ගෙවීමට තවත් ණය ගන්නා විට අයවැය හිඟය ද වැඩිවනු ඇත. ඒ වගේම රජය ආදායමට වඩා වියදම් කරන විට සිදු වන්නේ ආනයන සඳහා ඇති ඉල්ලුම වැඩිවීමය. විශාල වශයෙන් ව්‍යාපෘති කරන විට ඒවාට අවශ්‍ය දෑ ආනයනය කෙරේ. මේ හරහා සිදුවන්නේ අපනයනයට වඩා ආනයන ඉහළ යාමකි. රජයේ වියදම් වැඩිවීම විදේශ විනිමය හිඟයක් ඇතිවීමට බලපාන්නේ ඒ ආකාරයෙනි. මේ හිඟය පියවීමට නම් විදේශ ණය හෝ විදේශ ආයෝජන ලැබිය යුතුය.

මේ හිඟය පියවීමට අවශ්‍ය විනිමය විදේශ ආයෝජන ලෙස ලැබෙන්නේ නම් ප්‍රශ්නයක් නැත. එහෙත් ණය හැටියට මේ මුදල් සොයා ගන්නේ නම් රජයේ ණය බරත් රටේ ණය බරත් වැඩිවනු ඇත. ඒ වගේම ආනයන වැඩිවන විට ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩිවී රුපියලේ අගය පිරිහේ. ප්‍රමාණවත් සංචිත අප සතු නොවේ නම් මේ පිරිහීම පාලනය කළ නොහැක. රුපියලේ අගය පිරිහීම යනු යළිත් වරක් උද්ධමනය ඉහළ යාමකි. ආනයන වියදම් වැඩිවීමකි. මේ සියල්ල හරහා නැවතත් සිදුවන්නේ අයවැය හිඟය වැඩිවීමය. පවතින චක්‍රය එයයි. ප්‍රශ්නය විසඳීමට නම් මේ චක්‍රය කොතැනකින් හෝ කැඩිය යුතුය. ස්ථාවරත්වයක් ඇති කළ යුතුය.

අසූ ගණන්වල දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට විස්සක් පමණය. එහෙත් පසුගිය වසර දෙකේදී එම අගය සියයට අටකි. මෙය ඉතිහාසයේ තිබූ අඩුම අගයයි. ආදායම් වැඩි නම් වියදම් කිරීමේ හැකියාව ද වැඩිය. සහනාධාරදීමට, ව්‍යාපෘතිවලට ඒ මුදල් යෙදවිය හැකිය. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සමාජ සුබ සාධනයට වියදම් කිරීමේ වගකීම රජයට තිබේ. වියදම් කිරීමට අවශ්‍ය නම් ඒ හා සමාන ආදායමක් ද තිබිය යුතුය. එහෙත් ආදායමක් නැති තැනක වියදමට මුදල් ඉල්ලන විට සිදුවන්නේ පීඩනය වැඩිවීමය. භාණ්ඩාගාරය තව තවත් ණය ගැනීමය. එවිට ණය බර වැඩිවනු ඇත. 

අසූ ගණන්වල දී ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට එකසිය අටට ගොස් තිබේ. 2001 දී එම අගය සියයට එකසිය පහකි. එහෙත් මේ දිනවල එම අගය සියයට 99කි. සාපේක්ෂව බැලූවිට ණය අර්බුදයක් තිබිය නොහැක. එහෙත් එදා ගෙන ඇති ණයත් මෑත කාලයේ ගත් ණයත් අතර වෙනසක් තිබේ. අසූ ගණන්වල සහ අනූ ගණන්වල ගත් ණයවල වැඩි වශයෙන් සහනදායී ණය ඇතුළත්ය. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහ ඇතැම් රටවලින් සියයට 0.2ට සියයට බිංදුවට ලබාගත් ණය නිසා ණය ගෙවීමේ ලොකු බරක් තිබුණේ නැත. ප්‍රතිශතයක් වශයෙන් ණය වැඩි වුවත් ණය අර්බුදයක් කරා එදා නොගියේ ඒ නිසාය. 

එහෙත් 2021 අවසන් වනවිට ණය බර සියයට සියයක් වුවද අප සිටින්නේ ණය අර්බුදයකය. එයට හේතුව කුමක්ද? අසූ ගණන්වල දී විදේශ ණය වැඩි වී ඇත්තේ කඩිනම් මහවැලි ව්‍යාපාරයට විශාල වශයෙන් විදේශ ණය සහ ආධාර ලැබීම නිසාය. දේශීය මුදල් මේ ව්‍යාපෘතියට යොදාගෙන ඇත්තේ අඩුවෙනි. එහෙත් පසුකාලීනව රටේ ආදායම් වැඩිවීමත් සමඟ සහනදායී ණය අඩුවී තිබේ. ඒ වෙනුවට වාණිජ ණය ගැනීම් වැඩිවී තිබේ. එම ප්‍රතිශතය සියයට පනහට ආසන්න වනතෙක් වැඩිවී තිබේ.

සහනදායී ණය සියයට 1ට අඩු පොලියකට නැවත ගෙවීමට වසර විස්සක තිහක කාලයක් ලැබුණ ද වාණිජ ණය ගැනීමට සිදුවන්නේ සියයට හතේ අටේ පොලියටය. ඒ වගේම ඩොලර්වලිනි. මේ ණය ගෙවීමට ලැබෙන වැඩිම කාලය ද වසර දහයකි. වියදම වැඩි එවැනි කෙටිකාලීන ණයක් ගත්විට එම මුදල් යෙදවිය යුත්තේ රටේ ආදායම් වැඩි වන කටයුතුවලටය. විදේශ විනිමය ඉපැයීම් වැඩිවන මාර්ගවලය. එවනි තැනක ණය ගෙවීමට නොහැකිවී ණය අර්බුදයක් මතුවන්නේ නැත. එදා ණය අර්බුදයක් ඇති නොවීමේත් අද ණය අර්බුදයක් ඇතිවීමේත් රහස එයයි.

මහවැලි ව්‍යාපාරයට එදාගත් ණය හේතුවෙන් විදේශ විනිමය ඉපැයීම් පැත්තෙන් සිදුවූ කරුණු දෙකකි. රටේ කෘෂිකර්මාන්තය දියුණු වී ආහාර නිෂ්පාදනය ඉහළ යාමෙන් යම් සහනයක් ලැබුණි. ජල විදුලි බල උත්පාදනයෙන් වන ඉතිරිය අනෙක් කාරණයයි. වැසි කාලයට අදත් සියයට හැටක් විදුලිය නිපදවෙන්නේ ජලයෙනි. විදුලිය නිපදවීමට යන වියදම බිලියන හතරක් නම් ජල විදුලි නිෂ්පාදනයත් නොතිබුණා නම් මේ වනවිට බිලියන හයක් ගෙවීමට සිදුවේ. එහෙත් ජල විදුලියට කර ඇති ආයෝජනය නිසා වසරකට බිලියන දෙක බැගින් ඉතිරි වී තිබේ. ආයෝජනයකින් රටට විදේශ විනිමය ඉපැයීම හෝ ඉතිරිකර ගැනීමෙන් රටට වී ඇති ප්‍රතිලාභය මේ හරහා තේරුම්ගත හැකිය.

පසුගිය කාලයේ වාණිජ ණය ගෙන වියදම් කළේ කුමකටද? මේ කාලයේ විශාල අයවැය හිඟයක් තිබුණි. එසේ තිබිය දී වැඩියෙන් වියදම් කර තිබෙන්නේ රජයේ සේවකයන් බඳවා ගැනීමටය. පඩිනඩි ගෙවීමටය. විශ්‍රාම වැටුප් ගෙවීමටය. පොහොර ඇතුළු විවිධ සහනාධාර දීමටය. අඩු මිලට පෙට්‍රල් දී පාඩුවන රාජ්‍ය ආයතනවලට මුදල් දීමටය. වාණිජ මට්ටමෙන් විදේශ ණය ගෙන මෙවැනි කටයුතුවලට වියදම් කළ විට ඒවායෙන් නැවත විදේශ විනිමය ඉපැයීම් මාර්ග විවෘත වන්නේ නැත. අද තිබෙන අර්බුදයේ මූලික කාරණය එයයි.

මේ මොඩලය පවත්වාගෙන ගොස් තිබෙන්නේ ණය ගනිමින් එම ණය ගෙවීමට තවත් ණය ගනිමිනි. ලබාගන්නා ණයකින් ආදායම් වැඩි නොවන නිසා එම ණය ගෙවීමට තවත් ණයක් ගෙන තිබේ. එහෙත් රටක් වශයෙන් ආර්ථික වර්ධන වේගය වැඩි වූ නිසාත් උද්ධමනය පාලනය කරගෙන සිටි නිසාත් අපට ණය දීමට විදෙස් රටවල් පසුබට වූයේ නැත. වෙළෙඳපොළට පිවිසීමේ අවකාශය තිබුණි.

විදේශිකයන් ණය දෙන තරමට අපි ණය ගත්තෙමු. මේ ක්‍රමවේදය දිගට පවත්වාගෙන ගියේ ඒ ආකාරයෙනි. එහෙත් යම් ස්ථානයක දී ඔවුන් ණය දීම නැවැත් වූ විට රට බංකොළොත්ය. ලබාගත් ණය ගෙවීමේ හැකියාවක් ද නැත. මේ නිසා රජයත් රටත් දෙකම බංකොලොත්ය. 2020 දක්වාම මේ ක්‍රමය පවත්වාගෙන ඇත්තේ ණය ලබාගෙන සංචිත තර කර එම සංචිත යොදාගෙන ඊළඟ වසරේ ණය ගෙවීමෙනි. ණය ගන්නා තාක් මේ චක්‍රය පවත්වා ගන්නට පුළුවන.

2021 දී ණය ගැනීමේ වෙළෙඳපොළ ප්‍රවේශය අපට අහිමිව ගියේය. එහෙත් ණය බර එලෙසමය. ණය බර එලෙසම තිබිය දී ණය නොගෙවන විට වැටෙන්නේ බංකොළොත් කාණ්ඩයටය.

රජයේ ආදායම් යම් ආකාරයකට වැඩි වුවත් ණය වැඩි වූ නිසා එම ආදායමෙන් වැඩි කොටසක් පොලී ගෙවීමට වැය වනු ඇත. 2020-2021 වසරවල රජයේ ආදායම් පහළ යාම නිසා ආදායමේ ප්‍රතිශතයක් ලෙස පොලිය සියයට 72ක් වී තිබේ. මේ කාලය රජයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වල පොලිය සියයට හතරක පහක තබාගත් කාලයකි.

එලෙස තිබියදීත් පොලිය සියයට 72ක් වූයේ ආදායම් වැටීම නිසාය. ආදායමෙන් සියයට 72ක් පොලී ගෙවීමට වැය කළ විට ඉතිරියෙන් කළ හැක්කේ කුමක්ද? රජය දැන් සිරවී සිටින්නේ එතැනය. භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලූවිට දීමට නැත්තේ ඒ නිසාය. මේ අර්බුදය වටහා ගත යුතුය.

රජයේ තත්ත්වය එසේ වෙද්දී රට පැත්තෙන් වන්නේ කුමක්ද? විදේශ විනිමය වියදම වැඩි වුවද ඊට සාපේක්ෂව ආදායම වැඩිවී නැත. රජය කුමන තත්ත්වයක සිටියද රටක් වශයෙන් විදේශ විනිමය උපයාගෙන සිටියා නම් ඒවා භාවිතකර ණය ගෙවීමට තිබුණි. එහෙත් රටක් හැටියට රජයත් පෞද්ගලික අංශයත් දෙකම එකතු කළත් විදේශ විනිමය උපයා නැත. ලංකාවේ එසේ වුවද බංගලාදේශය, ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, දකුණු කොරියාව යන රටවල විදේශ විනිමය ඉපැයීම් අතින් විශාල වර්ධනයක් ලබාගෙන තිබේ. එහෙත් අපේ විදේශ විනිමය වියදම් දිගටම වැඩිවී තිබේ. පරතරය වැඩිවී ඇත්තේ ඒ අනුවය.

දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම 2001 වන විට සියයට 33ක පමණ අගයක තිබුණි. එය මේ වනවිට සියයට 15ට වඩා අඩුවී තිබේ. රටේ මුළු නිෂ්පාදනය ගත්තද අපනයන හරහා විදේශ විනිමය උපයන පංගුව අඩුවී තිබේ. රටේ ආර්ථිකය සියයට පහකින් පමණ වර්ධනය වුවද එය සිදුව ඇත්තේ අපනයන කර්මාන්තවලින් නොවේ. දේශීය කර්මාන්තවලිනි. එනම් ඉදිකිරීම්, ප්‍රවාහන, මූල්‍ය සේවාවලිනි. මේවා ලොකුවට වර්ධනය වී තිබේ. ආර්ථික වර්ධනය පිම්බී පෙනුණේ ඒ අනුවය. එසේ වැඩි වුවද විදේශ විනිමය අවශ්‍ය පමණට උපයා නොගත් විට සිදුවන්නේ යම් තැනක දී සිරවීමය. ආනයන අපනයන පරතරය වැඩිවීමය.

මෙවන් පසුබිමක විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වනවිට එමගින් රට මුදාගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පමණි. මීට පෙර ලංකාව අවස්ථා 16කදී මූල්‍ය අරමුදලට ගොස් තිබේ. මෙවර ගොස් තිබෙන්නේ දාහත්වැනි වරටය. පෙර අවස්ථාවලදී කර තිබෙන්නේ අපට තිබෙන අර්බුදයේ ස්වභාවය පහදා දී පෙර වැරැදි හදාගෙන යන බවට පොරොන්දුවී ඉදිරි කාලයේදී ගොඩ ඒමට ණයක් දෙන ලෙස ඉල්ලා සිටීමය. ඒ ආකාරයට ණයක් ගෙන යම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර එය අවසන් වූ පසු නැවත අඩි දෙකක් පසුපසට ගොස් කටයුතු කිරීමය. ආදායම් අඩුවී වියදම් වැඩිවන පරිසරයට යළි අනුගත වීමය. සහනාධාරදීම් වැඩිවීමය.

මිල ගණන් වෙනස් කරන්නේ නැත. එනිසා සිදුවන්නේ සංස්ථා පාඩු ලැබීමය. අවස්ථා දහසයකදී ගෙවුම්ශේෂ ප්‍රශ්නය මතු වුවද වාසනාවකට මෙන් ණය අර්බුදයක් නිර්මාණය වනතුරු එතැන සිටියේ නැත. අර්බුදය පෙනෙන විටම මූල්‍ය අරමුදලෙන් මුදල් ටිකක් ලබාගෙන අර්බුදයෙන් ගොඩවී තිබේ. 2016-2017 වසරවලදී මූල්‍ය අරමුදලට ගොස් රටේ බදු වැඩිකර රජයේ ආදායම් වර්ධනය කර ගැනීම මෙයට හොඳම උදාහරණයයි. එහෙත් 2019 දී පත්වූ ආණ්ඩුව මෙය අනෙක් පැත්ත හැරෙව්වේය. රජයේ ආදායම අහිමිකර ගත්තේය. ආපස්සට ගමන් කළේය. අර්බුදය වර්ධනය වූවේය.

මේ වැරැදි නිවැරැදි නොකරන්නේ නම් ඉදිරි වසර 20 දී තවත් දහසය වතාවක් මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට සිදුවිය හැකිය. මෙවර මූල්‍ය අරමුදලෙන් මුදල් ටිකක් ලබාගෙන ලබන වසරේදී ගොඩ එන්නට පුළුවන. එසේ ගොඩ ආ පමණින් දැනට ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ අනෙක් පැත්තට හැරවුවහොත් යළිත් වසර තුනකින් මේ හා සමානම ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවනු ඇත. රටක් හැටියට ක්‍රියාත්මක කළ යුතු නිවැරැදි ප්‍රතිපත්ති මාලාවක් තිබේ. ආණ්ඩුව කුමක් වුවත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යාමේ වගකීම ඇත්තේ මහජන නියෝජිතයන්ටය. එහෙත් ඡන්ද කාලවලදී මේ අය ජනතාවට කියන්නේ කුමක්ද? පවතින ක්‍රමය වැරැදියි කියාය. එය අනෙක් පැත්ත හරවන බවය. බදු අඩුකරන්නම් කියාය.

තව තවත් සහන දෙන්නම් කියාය. පෙට්‍රල් මිල අඩු නොකරන බවය. ඩීසල් අඩුවට දෙන්නම් කියාය. ජනතාවත් කරන්නේ මේ පොරොන්දු ඉටුකර ගැනීමට එම පිරිස පත්කර ගැනීමය. බලයට පත්වූ පසු කරන්නේ දුන් පොරොන්දු ඉටු කිරීමය. එය මහජන නියෝජිතයන්ගේම වරදක් නොවේ. මෙවන් පොරොන්දු ඉටුකළ විට අමාරුවේ වැටෙන්නේ තමන්ම බව ජනතාවට තේරෙන්නේ නැත. අද බලයේ සිටින අය කියන්නේ ගිය ආණ්ඩුව කළ දේ වැරැදියි කියාය. තමන් බලයට පත්වූ පසු ඒවා වෙනස් කරන බවය. අවසානයේ වන්නේ නැවතත් මුලින් තිබූ අර්බුදය මතුවීමය. යථාර්ථය එයයි.

රාජ්‍ය සංස්ථාවල තත්ත්වය කුමක්ද? මේ ආයතනවල පසුගිය කාලයේ පාඩුව ට්‍රිලියනයකි. (කෝටි ලක්ෂයකි) මේවා ගෙවන්නේ කවුද? බලශක්ති ඇමැතිවරයා මේ කරුණ හොඳින්ම දන්නා කෙනෙකි. එහෙත් ලබන මැතිවරණයේ දී ලාම්පුතෙල්, පෙට්‍රල් අඩු මිලට දෙන්නම් කියා පොරොන්දු වන්නට පුළුවන. එවැනි පොරොන්දුවලට ඡන්ද ලැබිය හැකිය. එහෙත් ජනතාවට කිව යුත්තේ ඒවා නොවේ. අඩුමිලට මේවා දිය නොහැකි බව ඔවුන්ට පහදා දිය යුතුය. අඩු මිලට දුන්විට ඒ පාඩුව පියවීමට බදු හරහා ජනතාවගෙන්ම මුදල් සොයා ගැනීමට සිදුවන බව තේරුම්කර දිය යුතුය. ණයක් ගත්තත් පියවීමට සිදුවන්නේ බදු මුදල්වලිනි. මේ කාරණය ජනතාව ද වටහාගත යුතුය.

කෙසේ වුවත් ගෙවුණු වසර දෙකේ දී ඉතිහාසයේ ලොකුම ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ කෙසේද? පළමු කාරණය කිසිවෙක් ඉල්ලා නොසිටි පසුබිමක විශාල වශයෙන් බදු කපා හැරීමය. ඒ හරහා රජයේ ආදායම අහිමිකර ගත්තේය. 2018-2019 වසරවල අයවැය හිඟය යම් ආකාරයට කළමනාකරණය කර ගත්තේය. එහෙත් 2020-2021 වනවිට විදෙස් රටවලින් ණයදීම නැවතුණේය. 2020 දී සිදුව ඇත්තේ ශුද්ධ වශයෙන් ණය ගෙවීම මිස ශතයක්වත් ලැබී නැත. වැඩි වූ අයවැය හිඟය පියවාගෙන ඇත්තේ දේශීය මූලාශ්‍රවලිනි. අවශ්‍ය පමණට මුදල් නොවූ නිසා මහ බැංකුව කළේ මුදල් අච්චු ගැසීමය.

මෙවන් අයවැය හිඟයක් පියවීමට බංකොළොත්බව කීම හැරෙන්නට වෙනත් ක්‍රමයක් නැත. මහ බැංකුවෙන් මුදල් අච්චු ගසා රජයට දිය යුතුය. කොවිඩ් කාලයේ දී කෙටිකාලීනව මේ ක්‍රියාවලිය කළ හැකිව තිබුණි. ලෝකය පුරා මහ බැංකු තාවකාලිකව මුදල් අච්චු ගසා 2020 වසරේ කටයුතු ආවරණය කර ගත්තේය. එහෙත් තත්ත්වය යහපත් වූ පසු ඒ ක්‍රියාවලිය ආපසු හැරවිය යුතුය. ලංකාවේ එසේ වූයේ නැත. 2020 වසරටත් එම ක්‍රමයම ක්‍රියාත්මක කළේය. අද සියයට 60ට සියයට 70ට උද්ධමනය වැඩිවී තිබෙන්නේ මේවායේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ තත්ත්වය කලින් දැක අනතුරු ඇඟවීම් කළද කිසිවෙක් එය ගණන් ගත්තේ නැත.

රුපියල් අච්චු ගසමින් තිබෙන සංචිත භාවිත කරමින් විදෙස් ණය ගෙව්වේය. අලුතෙන් ණය නොලැබෙන පසුබිමක සංචිත අවසන් වූ විට ණය ගෙවන්නේ කෙසේ ද? ඩොලර් බිලියන 7.6ක සංචිත තිබුණි. පසුගිය අප්‍රේල් මාසයේ දී භාවිතයට ගතහැකි සංචිත තිබුණේ ඩොලර් මිලියන 20කි. එහෙත් අප්‍රේල් 18 වැනිදා ඩොලර් මිලියන 200ක ණයක් ගෙවීමට තිබුණි.

ඉදිරි මාස 12ක කාලයේ දී ඩොලර් බිලියන 6ක් ගෙවීමට තිබුණි. මේ තත්ත්වය ඇතිවීමට මාස හයකට පෙර ප්‍රතිපත්ති පෙර දැක්මක් ප්‍රකාශයට පත් කරමින් පෙන්නා දී තිබුණේ ඉදිරි මාස හයේදී ඩොලර් බිලියන දහයක් ලැබෙන බවය. එහෙත් ශතයක්වත් ලැබී තිබුණේ නැත. ඉන් ඉදිරියට ණය ගෙවීමට නොහැකි බව තීරණය කළේ මෙවන් පසුබිමකය.. කිසිදු කතාවකින් තොරව ණය නොගෙවා සිටියහොත් සිදුවන්නේ නිකම්ම ක්‍රිබ් එකට නම යාමය. එවිට කිසිදු තැනකින් ණය ගත නොහැක. එවිට කොහොමත් බංකොලොත්ය.

අපට රටක් වශයෙන් ඒ තැනට වැටීමේ වුවමනාවක් තිබුණේ නැත. එනිසා අප මුහුණ දී සිටින තත්ත්වය පැහැදිලි කරදී යම් වැඩ සටහනකට අනුගතවීමට අවශ්‍ය කටයුතු කළේය. ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතිවිය හැකි තත්ත්වය කලින්ම පුරෝකථනය කර තිබුණි. එහෙත් ඒවා ගණන් ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.

2020 කොරෝනා කාලයේ දී මූල්‍ය අරමුදල කිසිදු කොන්දේසියක් නැතිව බොහෝ රටවලට මුදල් ලබා දුන්නේය. ලංකාවටත් ඩොලර් මිලියන 800ක් පමණ එලෙස ගැනීමේ අවස්ථාව තිබුණි. මේ මුදල් මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියද අවාසනාවකට මෙන් ඔවුන් මෙරට ණය තිරසාර නොවන බවට ලැයිස්තුගත කර තිබුණි. ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව පෙන්නා දී තිබුණි.

එහෙත් ඒ අවස්ථාවේ ආණ්ඩුව ඒවා ප්‍රතික්ෂේප කර දේශීය මොඩලයකින් අර්බුදය විසඳා ගන්නා බව ප්‍රකාශ කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයෙන් ඉන්දියාවෙන් 2020 දී ඉල්ලීම් කළද ඒවා සාර්ථක වූයේ නැත. ලෝක බැංකුවෙන්ද යහපත් ප්‍රතිචාර නොවීය. ඔවුන්ට විශ්වාස කළ හැකි ශක්‍යතා වාර්තාවක් පෙන්නුම් කළ යුතු වුවත් ඒවා වූයේ නැති තරම්ය. ඒ අතර මුදල් හුවමාරු කෙටි කාලීන ණය හරහා යම් පමණකට රට ඇදගෙන ගියේය.

සංචිත යොදවමින් සෑහෙන කාලයක් රුපියලේ අගය රැක ගත්තේය. සංචිත හිඳෙන විට කළේ රුපියල පාවීමට ඉඩ හැරීමය. 203කට තිබූ රුපියල 380ට ගියේ ඒ අනුවය. මේවා කරන ක්‍රමයක් තිබේ. විනිමය අනුපාතිකය අනෙක් සියලු ප්‍රතිපත්තිවල අවසන් ප්‍රතිඵලයයි. මෙවැන්නක් කිරීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකර, මුදල් ප්‍රතිපත්ති දැඩිකර, පිස්කල් ආදායම් වැඩි කිරීම ආදිය කළ යුතුව තිබුණි. එහෙත් අන්තිමට කළ යුතුව තිබූ දේ මුලින්ම කළේය. රුපියලේ අගය සියයට අසූවකින් පමණ පිරිහීම නිසා උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. අද දකින්නේ ඒවායේ බලපෑම්ය.  අත්‍යවශ්‍ය දේවල් නැති වූයේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති වූයේ පැය 13ක විදුලි කප්පාදුවකට ගියේ මේවායේ ප්‍රතිඵලයක් වශයෙනි. මිරිහානේ සිදුවීමෙන් පසු විදේශ විනිමය ලැබීම් තවත් අඩුවූවේය. ඇතිවූ පීඩනය හමුවේ ආණ්ඩුව පෙරළා දැමීමට ජනතාව කටයුතු කළෝය.

මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් සිටින්නේ මේ ප්‍රශ්නය විසඳා ගැනීමටය. ඉදිරි දින කීපයේදී ඔවුන් සමඟ සම්මුතියකට පැමිණීමට හැකිය යන විශ්වාසය තිබේ. ණය ගෙවීම පැහැර හැරීම නිසා තිබෙන විදේශ විනිමය තෙල්, ගෑස් ගෙන්වීමට යොදා ගැනීමට හැකිවී තිබේ. එසේ නොවුණා නම් තවමත් රටපුරා දිගු පෝලිම්ය. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට බදු සංශෝධන කර තිබේ. එය ප්‍රමාණවත් නැත. ඉදිරියේ දී තවත් සංශෝධන කිරීමට සිදුවනු ඇත.

අවම වශයෙන් සියයට 15ක මට්ටමටවත් රාජ්‍යයේ ආදායම වර්ධනය කරගත යුතුය. බංකොලොත් බව ප්‍රකාශ කළ පසු අපට ණය ලැබෙන්නේ නැත. එනිසා ලැබෙන ආදායම කළමනාකරණය කරගත යුතුය. මුදල් සහ පිස්කල් ප්‍රතිපත්ති දැඩි කළ යුතුය. පෙර වසරේ ඩොලර් බිලියන දෙකක් වූ ආනයන වියදම සඳහා දැන් වැය කරන්නේ ඩොලර් බිලියන 1.3කි. එසේ වී ඇත්තේ ඉහත කී දැඩි ප්‍රතිපත්ති හේතුවෙනි. මේ දැඩි ප්‍රතිපත්ති නිසා බොහෝ ව්‍යාපාර පහත වැටීමක්ද සිදුව තිබේ. ගොඩඒමට තිබෙන්නේද මෙතැනින්මය. නැවතත් ආනයනයට පෙර පරිදි ඉඩ දුනහොත් ආනයන වියදම වැඩිවී තෙල්, ගෑස් ගෙන්වීමට විදේශ විනිමය හිඟවනු ඇත. ජනතාව පාරට බසිනු ඇත. එවන් තැනක දී නැවත ආණ්ඩුව වෙනස් වන්නටද ඉඩ තිබේ.

එනිසා තිබෙන්නේ අමාරු කාලයකි. මේ කාලය අමාරුවෙන් ගෙවා ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ගොස් ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වසරක් දෙකක් අවශ්‍යය. මේ අමාරු කාලය මේ වසර අවසන්වන තෙක් පැවතිය හැකිය. මේ කාලයේ දී ජනතාවට අවශ්‍ය අවම පහසුකම් සලසන්නේ කෙසේ දැයි අභියෝගයකි. යම් ප්‍රගතියක් දැක ගන්නට පුළුවන. ආනයන බිල අඩුවීම උදව්වක් වී තිබේ. යළිත් රථ වාහන තදබදය ක්‍රමයෙන් ඇති වෙමින් තිබේ.

මේ ආකාරයට ඉන්ධන පිච්චීමට ගියහොත් නැවතත් තෙල් පෝලිම් ඇතිවේ ද යන බිය තිබේ. මේවා කළමනාකරණය කරගත යුතුය. ආනයන සීමා පනවා ඇත්තේ ඒ අරමුණෙනි. ආනයන වියදම තවත් ඩොලර් මිලියන දෙතුන් සියයකින් අඩුකර ගතහොත් පහසුවෙන් ඉන්ධන, ගෑස් සපයා ජනතාවගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට අවස්ථාව උදාකරගත හැකිය. මූල්‍ය අරමුදලේ කටයුතු නිමවන තෙක් ඉදිරි මාස තුන හතරේ කටයුතු පහසු වන්නේ නැත.

මේ අවස්ථාවේ කරන්නට සිදුව ඇත්තේ අමාරුම කටයුතුය. ඉන්ධන, විදුලි ගාස්තු ජල බිල් වැඩි කිරීමට සිදුව තිබේ. මේවා මෙතෙක් කල් නොකර සිටීම නිසා දැන් නොකර බැරි තැනට තල්ලු වී තිබේ. මේ නිසා පීඩනය, වේදනාව වැඩිය. කුමන ආකාරයකින් හෝ මේවායෙන් වැඩිම බලපෑම තිබෙන්නේ අඩු ආදායම්ලාභීන්ටය. උද්ධමනය සියයට 60ක් යනු ගිය වසරේ රුපියල් සියයකින් ජීවත් වූ කෙනා මේ වසරේ රුපියල් 40කින් ජීවත් විය යුතු බවය. ඇතැම් අයට මේ තත්ත්වය දරාගත හැකිය.

කුලී වැඩ කරන අයෙක් ගිය වසරේ රුපියල් 1500ක් අය කළා නම් මේ වසරේ එය රුපියල් 3000 දක්වා වැඩිකර තිබේ. ත්‍රීවිලර් පදවන අය කිලෝ මීටරයට සියයක් අය කළා නම් දැන් එය රුපියල් 200ක් කර තිබේ. මෙවන් අයට පවතින තත්ත්වය කළමනාකරණය කරගත හැකිය. එහෙත් දුප්පත් අය, ස්ථාවර ආදායම් ලබන අය, රජයේ සේවකයන්, විශ්‍රාමිකයන් ප්‍රශ්නයට මුහුණදෙන බව අමතක නොකළ යුතුය. සමාජ ආරක්ෂණ ජාලයට අනිවාර්යයෙන් මුදලක් වෙන් කළ යුතු බව මූල්‍ය අරමුදල පවා පෙන්නා දෙන්නේ මේ නිසාය. එසේ නොවන තැනක අමාරු ආර්ථික ප්‍රතිසංස්කරණ තිරසාරත්වයට පත්කළ නොහැක.

ජනතාවට ජීවත්වීමට නොහැකි වූ විට ඕනෑම දෙයක් කරන්නට පුළුවන. එවන් රැල්ලක් තවම මේ රටේ ඇතිවූයේ නැත. පසුගිය කාලයේ අරගලය ලෙස පැමිණියේ වෙනත් රැල්ලකි. අඩු ආදායම්ලාභීන්ට ජීවත්වීමට නොහැකිව පාරට බැස්සොත් එය කෙළවර වන්නේ ලේ වැගිරීමකිනි. එය පාලනය කිරීමට නොහැක.

උද්ධමනය පාලනය වැදගත් වන්නේ ඒ නිසාය. පවත්නා උද්ධමනයට සරිලන ආකාරයට ආදායමක් ලබා ගැනීමට අවස්ථාව ලබාදීම අවශ්‍යය. ඉදිරියේ තිබෙන අභියෝගය එයයි. මෙයින් ගොඩ ඒමට ඇති එකම වැඩ පිළිවෙළ වර්තමානයේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ මිස වෙනකක් එකක් නොවේ. නිවැරැදි මාර්ගය එයයි. ඇතිවන පීඩන වැළැක්විය නොහැක.

 
-සකස් කළේ-
(චමින්ද මුණසිංහ)
Advertiesment