Monday 3rd of October 2022

English Tamil
Advertiesment


දමිතා අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවේ මුග්ධ භාවය හෙළි වුණා 


2022-09-08 1296

 

සාමකාමී අරගලකරුවන් දඩයම් කිරීම වහා නවතනු 

 

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රකිනු 

 

 

ජනප්‍රිය නිලි දමිතා අබේරත්න රංගවේදිනිය අත්අඩංගුවට ගැනීම මගින් ආණ්ඩුව සිය මුග්ධ සහ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනය කර ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ජනප්‍රිය රංගවේදිනියක මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටි තරුණ අරගලයේ ක්‍රියාකාරිණියක වූ දමිතා අබේරත්න මහත්මිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ මුග්ධ සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී අභිලාෂයන් ප්‍රසිද්ධියේ  ප්‍රදර්ශනය කළ තවත් එක් අවස්ථාවකි. සාමකාමී ලෙස විරෝධය පෑම ශ්‍රී ලංකාව ඇතුළත රාජ්‍ය හිංසනයට ගොදුරු වීමට හේතුවක් බව සමස්ත ලෝකය හමුවේ කියාපෑමකි.

අදහස් පළ කිරීමට සහ සාමකාමී ලෙස විරෝධය පෑමට ඇති අයිතිය ජන ජීවිතයේ නිදහස සහ රටක ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය පිළිබද ප්‍රමුඛතම සාධකයකි. රටක ආණ්ඩුවක් එකී ජන අයිතිය සීමා කරන්නේ නම් එමගින් පැහැදිළිවම පෙන්නුම් කරන්නේ ජනතා අභිලාෂයන්ට පටහැනිව බලය උදෙසා පමණක් ක්‍රිය කරන පාලනයක ස්වරූපයකි. 

මෑත යුගයේදී එක් පවුල් පාලනයක ගොදුරක් වූ රටක් ලෙස ශ්‍රී ලංකාවේ අති බහුතර ජනතාව ඉතිහාසයේ පෙර නොවූ ආකාරයට මහ මගට බැස විරෝධය පළ කරමින් පැහැදිළිවම ප්‍රකාශ කරන ලද්දේ එවැනි ජන පීඩක පාලනයක් තව දුරටත් ඉවසා සිටින්නට තමන් සූදානම් නොමැති බවයි. දමිතා අබේරත්න වෙතින් පසුගිය කාලයේ දී ප්‍රකාශ වූවේ ජනතාවගේ එකී විරෝධයයි. ආණ්ඩුව මෙවන් මුග්ධ තීන්දු ගැනීමට පෙර ඒ බව වරක් දෙවරක් නොව තෙවරක්ම සිතා බැලිය යුතුය.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අවධාරණයෙන් යුතුව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ සාමුහික අභිලාෂයන් නියෝජනය කරමින් කටයුතු කළ සාමකාමී තරුණ අරගලකරුවන්ට සිදු කරමින් සිටින මේ ආකාරයේ හිංසනයන් වහාම නතර කරන ලෙසය. ඔවුන් පසු පස මහා බලයක්ව සිටි මේ රටේ සමාන්‍ය ජනතාවගේ හඬට නිවැරදිව සවන්දෙන ලෙසටය

 

Advertiesment