Saturday 23rd of September 2023

English Tamil
Advertiesment


ඒ ඊ ගුණසිංහයන් කම්කරු නායකයෙකු පමණක්ම නොවේ 


2022-09-04 7691

 

ප්‍රතාපවත් දේශප්‍රේමියෙකු වූ එතුමා නිදහස් සටනේ පුරෝගාමියෙකු ද වුණා 

 

අවිහිංසා වාදියෙකු ද වූ එතුමා රටට කළ මෙහෙවර අප්‍රමාණයි 

 

කරු ඉතිහාසය ගෙන හැර දක්වයි 
 

කම්කරු නායකයෙකු පමණක් නොව ප්‍රතාපවත් දේශප්‍රේමියෙකු, නිදහස් සටනේ පුරෝගාමියෙකු, සේම මහත්මා ගාන්ධිතුමා සහ අනගාරික ධර්මපාලතුමා අනුගමනය කළ අවිහිංසාවාදීයෙකු ලෙස ඒ ඊ ගුණසිංහයන් රටට-දැයට කළ මෙහෙවර අප්‍රමාණ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, ලංකා කම්කරු සමිතියට අවුරුදු 100 පිරීම නිමිත්තෙන් පැවති උතසවයේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 
 
මෙම උත්සවය පැවැත්වීම ඉතා වටිනා අවස්ථාවක් වශයෙන් මා සලකනවා. වර්තමාන පරපුර ඒ.ඊ ගුණසිංහ මැතිතුමා දකින්නේ කම්කරු නායකයෙක් ලෙස පමණයි. එම නිසා අපේ ඉතිහාසයෙන් එතුමාගේ නාමය අමතක කරන්නේ නම් එම ක්‍රියාව අසාධාරණයක් ලෙස අපි දකිනවා.  

ප්‍රතාපවත් දේශප්‍රේමියෙක්, නිදහස් සටනේ පුරෝගාමියෙක්, නිර්භීත කම්කරු නායකයෙක් සේම මහත්මා ගාන්ධිතුමා අනුගමනය කළ අවිහිංසාවාදීයෙක් ලෙස අපි එතුමාගේ ශ්‍රී නාමය ගෞරවයෙන් අද සිහි කරනවා. එතුමාට අපේ ප්‍රණාමය පුද කරනවා. අපගේ යුතුකමක් වශයෙන් එතුමාගේ ජීවන චරිතයේ වැදගත් සංධිස්ථාන වර්තමාන පරපුර දැන ගත යුතු නිසා ඒ කරුණු සැකෙවින් මා සඳහන් කරන්නට කැමතියි.

ඒ. ඊ. ගුණසිංහ මහතාගේ උපත ද සුවිශේෂී වන්නේ එතුමා උපත ලැබුවේ ද ලෝක කම්කරු දිනය සමරන 1891 මැයි මස පළමු වැනිදාක වීමයි. එතුමා මහනුවරදී උපත ලැබ ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. සමකාලීනයින් සුරුට්‌ටු, සිගරට්‌ මත්පැන් ආදී දුෂ්චරිතවලින් වළක්‌වාලීම සඳහා අමද්‍යප සමිතියක්‌ පිහිටුවා එහි නායකත්වය ගෙන ක්‍රියා කළා. ඒ ඔහුගේ පළමු පියවරයි. පාසලේ සාහිත්‍ය සංගමයේ උප ලේකම් සහ පාසල් පුවත්පතේ උප කර්තෘ වශයෙන් ද පාසලේ නිලතල දරමින් ඔහු කටයුතු කළා.

අනගාරික ධර්මපාලතුමා සහ මහත්මා ගාන්ධිතුමා ආදීන් මහ ජන සුභසිද්ධිය තකා ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියා කරන ආකාරය ගැන අසා පැහැදුනු තරුණ ඒ ඊ ගුණසිංහ එකී අවිහිංසා මාර්ගය ඔස්‌සේ ගමන් කිරීමට සිත යොද වනු ලැබුවා. 
1910 දී හෙතෙම කොළඹට පැමිණ දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වශයෙන් රාජකාරි ජීවිතය ආරම්භ කළා.
1911 දෙහිවල තරුණ සංගමය ආරම්භ කිරීම, "සර්ච්ලයිට්‌" නම් ඉංග්‍රීසි පත්‍රයක්‌ ආරම්භ කිරීම සහ ඒ ඔස්සේ ජාතික හැඟීම් සිත්වලට කාවද්දා ජාතිය පුබුදු කිරීමට මහත් වෑයමක්‌ දරනු ලැබුවා.

දුප්පත් කම්කරුවන්ගේ කියවිමේ රුචිකත්වය ඇති කිරීමට "වීරයා" පත්‍රය ආරම්භ කළා. 1913 ලංකා සේවක සමිතිය ආරම්භ කිරීම මගින් විශාල සේවයක් සිදු කිරීමට ඔහුට හැකි වුණා. රැකියාවල නිරත වන පුද්ගලයින් වෙනුවෙන් ඉංග්‍රීසි ඉගැන්වීමේ රාත්‍රි පාඨශාලාවක්‌ ශ්‍රී ලංකාවේ මුල් වරට ඒ ඊ ගුණසිංහ මහතා බොරැල්ලේ දී ආරම්භ කරනු ලැබුවා. දුප්පත් ළමයින්ගේ අධ්‍යාපනය නංවාලීමට කොම්පඤ්ඤ වීදියේ ඇන්ඩර්සන් කොලීජිය ආරම්භ කළා. 1915 මාර්තු 18 වෙනිදා ඒ ඊ ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුවේ රැකට්‌කෝට්‌ පබ්ලික්‌ ලයිබරියේ රැස්‌වීමක්‌ පවත් වනු  ලැබුවා. 

විදේශිකයින් අපේ රට යටත් කර ගෙන වසර 100ක් සම්පූර්ණ වන දිනය අලලා "යන්ග් ලංකා ලීක්‌" සමිතිය ආරම්භ කළා. 
රට වෙනුවෙන් දිවි පිදීමටත්, ශ්‍රී ලංකාව රැක ගැනීමටත් පොරොන්දු වූ ඒ ඊ ගුණසිංහ මහතා තමාගේ ලේ වලින්ම කොන්දේසි පත්‍රය අත්සන් කර පොරොන්දු දුන්නා.

තරුණ ලංකා පෙරමුණ නමින් තවත් සංවිධානයක්‌ 1918 දී ආරම්භ කරනු ලැබුවා. මහත්මා ගාන්ධිතුමන් අනුගමනය කරමින් නිදහස්‌ ආණ්‌ඩු ක්‍රමයක්‌ ඇති කර ගැනීම සඳහා අවිහිංසාව පෙරදැරි කර ගෙන සටන් කිරීම මෙම සමිතියේ පරමාර්ථය වුණා.
මෙම කාලයේදී රුපියල් දෙකක ඇඟ බද්දක්‌ නොගෙවන සෑම වැඩිහිටි පිරිමියෙකුට දින දෙකක්‌ මහ පාරේ ගල් තැලීමට සිදු වුණා. දුප්පත් ජනතාවට පමණක්‌ හැම විටම මහා පාරේ ගල් තලන්නට සිදු වන බව පෙන්වා දුන් ඒ ඊ ගුණසිංහ මෙම අවනීති අසාධාරණ ඇඟ බද්ද නොගෙවා ගල් තලන්න පටන් ගත්තා. රුපියල් දෙක නොගෙවා පාරේ ගල් තලන්න එන ජනතාව එන්න එන්නම වැඩි වුණා. 

ගිණි කාෂ්ඨක අව්වේ අවුරුදු හතරක්‌ම එතුමා ගල් තැලුවා. සෙනඟ වැඩි නිසා ගල් තලන්න දෙන ආයුද සම්පාදනය කරන්න සුද්දන්ගෙ ආණ්‌ඩුවට නොහැකි වුණා. ඉංග්‍රීසින් ඇති කළ ඇඟ බද්ද 1924 දී කොළඹ නගරයෙන් මුලින්ම ඉවත් කිරීමට කටයුතු කළා. 1925 මුළු ශ්‍රී ලංකාවෙන්ම තුරන් කළා.

1922 සැප්තැම්බර් මස 03 වෙනි දින ලංකා කම්කරු සමිතිය ආරම්භ කර කම්කරු ජනතාවගේ සුභ සිද්ධියට විශාල වැඩ කොටසක්‌ කළා. සේවය වහල් මෙහෙවරක් ලෙස සැළකූ අවධියක ශ්‍රමයේ වටිනාකමත්, වෘත්තියේ ගෞරවයත් රැක දිමට එතුමා නිතරම කටයුතු කළා.

1922-1923 දුම්රිය වැඩ වර්ජනය සාර්ථකවීමෙන් පළමු වරට කම්කරු සහනදායක කොමිසමක්‌ පත් කර පඩි වැඩි කරනු ලැබුවා. ස්‌ථිර නිවාඩු ඇතුළු අද කම්කරු ජනතාව භුක්‌ති විඳින වෘත්තීය අයිතිවාසිකම් සියල්ලම ලබා දෙන්න කටයුතු කළේ එතුමායි.

1928 කම්කරු පක්‍ෂය ආරම්භ කර ශ්‍රී ලංකාවේ වනිතාවට ප්‍රථම වතාවට දේශපාලනයට පිවිසීමේ අවස්‌ථාව සළසා දුන්නේ එතුමා විසිනුයි. 1931 මැතිවරණය වර්ජනය කිරීම සඳහා කොළඹ නගර සභාවේ රැස්‌වීමක්‌ සංවිධානය කර තිබුණා. ටී. බී. ජයා මහතා ඇතුළු කීප දෙනෙකු කථා කිරීමට නියමිතව තිබුණා. ඡන්දයේ අයිතිය භුක්‌ති විඳීමට කම්කරු ජනතාව සූදානම් වන මොහොතේ එකී අයිතිය විනාශ කිරීමට එරෙහිව සටන් කළා.

සර්ව ජන ඡන්ද බලය දුප්පතාගේ ආයුධයක්‌ බවටත්, කම්කරු ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ප්‍රකාශ කළා. 1931 පැවැත්වූ මැතිවරණයෙන් මැද කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් පත් වූයේ සර්ව ජන ඡන්ද බලයේ වටිනාකම පෙන්වමිනුයි. කොළඹ නගර සභාවට තේරී පත් වූ ඒ ඊ ගුණසිංහ මහතා ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපතිවරයා වශයෙන් ඉතිහාසයට එක්‌ වුණා. 

1948 ඩී. එස්‌. සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ කැබිනට්‌ මණ්‌ඩලයේ කාර්ය නියමයක්‌ නැති ඇමැති සහ ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන්ද, පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේද, දෙවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේද, පළමු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රීවරයකු වශයෙන් ද අවුරුදු 15 මාස 6 දින 19 ක්‌ කටයුතු කළ ඒ ඊ ගුණසිංහ මහතා කම්කරු සහ සමාජ සේවා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් සහ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළා. 

ඉන්දුනීසියාවේ සහ බුරුමයේ තානාපතිවරයා වශයෙන්ද කටයුතු කළ ඒ ඊ ගුණසිංහ මහතා 1967 අගෝස්‌තු 01 වෙනි දින කොළඹ මහ රෝහලේ මෙමෝරියල් වාට්‌ටුවේදී ස්‌වභාවධර්මයට අනුකූලව අභාවප්‍රාප්ත වුණා. පිදිය යුතු පුද්ගලයකුට ගෞරවය දැක්වීමට මෙම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් අපගේ හිතවත් විජිත කරදිගොන්න මැතිතුමා ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයට මාගේ ස්තූතිය පුද කරනවා.

Advertiesment