Sunday 10th of December 2023

English Tamil
Advertiesment


ඩොලර් ප්‍රශ්නයට කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියෙන් විසඳුම් 


2022-07-21 7897

 

පොල්-කොහු සහ කොහු බත් කර්මාන්තයට තල්ලුවක්

 

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ අගයදාම සංරචකය මේ වන විට වැවිලි අමාත්‍යාංශය යටතේ වසර පහක් තිස්සේ ක්‍රියාත්මක ව්‍යාපෘතියකි. 2017 වසරේදී ආරම්භකරන ලද මෙම ව්‍යාපෘතිය මේ වන විට අවස්ථා තුනක් යටතේ කෘෂිකාර්මික නිෂ්පාදන අගය දාම සංවර්ධනය සඳහා වූ නව නිෂ්පාදන අදහස් කැඳවීම සිදු කර තිබේ. 

ඒ අතුරින් සුදුසු ව්‍යාපෘති තෝරා ගැනීම සම්මුඛ පරීක්ක්ෂණයකින් සිදු කර ඉන් පසුව අදාළ අදහසට අදාළ විස්තර සහිතව ව්‍යාපෘති වාර්තාවක් ලබා ගනී. එය ස්වාධීන ඇගයීම් කමිටුවකට ඉදිරිපත් කර ඉන් අනතුරුව මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, අපනයන සංවර්ධන මණ්ඩලය, පළාත් කෘෂිකර්ම ලේකම්වරුන්, වාණිජ මණ්ඩල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් අධ්‍යක්ෂ මණ්ඩලයකින් අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා අනුමැතිය ලබා ගැනීම සිදු කරයි. ඉන් පසුව අදාළ ආයතනය සහ කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය ගිවිසුමකට එළැඹ කොන්දේසි සහිතව අදාළ මුදල් නිදහස් කිරීම සිදු කරනු ලබයි. 

කෙසේ නමුත් කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ පළමු කැඳවීමට අදාළව පොල්, කොහු සහ කොහු බත් ආශ්‍රිත කර්මාන්ත සඳහා ඉතාමත් සුළු අයදුම්පත් ගණනක් පමණක් ලැබීම හේතුවෙන් මෙම ක්ෂේත්‍රවලට අදාළ අගයදාම සංවර්ධනයෙන් අපනයන ආදායම් ඉහළ නැංවිය හැකි අවස්ථා පිළිබඳ අධ්‍යයනයක් ව්‍යාපෘති කළමණාකරණ ඒකකය විසින් සිදු කරන ලදී. මේ සඳහා පොල් වගාව සහ නිෂ්පාදනය සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල සහයද ලබා ගන්නා ලදී. 

කොහු බත් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 115 ක පමණ අපනයන ආදායමක් අප රට වෙත ගෙන එන ලද අතර එම අපනයනවලට අගය එකතු කිරීම සඳහා 110% ක යෙදවුම් දායකත්වය රට තුළින්ම ලැබී ඇත. මෙම කර්මාන්ත දියුණු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සොයා බැලීමේ දී පොල් ත්‍රිකෝණය තුළ මෙම කර්මාන්ත බහුල බවත් අනෙකුත් ප්‍රදේශවල කර්මාන්ත ව්‍යාප්තිය අඩුවීම හේතුවෙන් ප්‍රධාන කලාප දෙකකට වෙන් කර අවශ්‍යතා පිළිබඳව සලකා බලන ලදි. එමෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා දැඩි තරගයක් ලබා දෙන ඉන්දියාවේ කර්මාන්තවල ස්වභාවයද මෙහිදී සැලකිල්ලට ගන්නා ලදී.

කර්මාන්තයේ හඳුනාගත් ගැටලු කීපයකි. පොල් ත්‍රිකෝණය තුළ අමුද්‍රව්‍ය සඳහා අධික තරගකාරීත්වය නිෂ්පාදන ගුණාත්මක භාවය අඩුවීම, (වැලි සහ අපද්‍රව්‍ය එකතුවීම වගේම පැරණි යන්ත්‍ර භාවිතය) නිෂ්පාදන කාර්යක්ෂමතාව අඩුවීම, අගය වැඩි නිෂ්පාදන සඳහා ඇති අවස්ථා භාවිතය අඩු වීම, කර්මාන්ත සඳහා ශ්‍රමය සොයා ගැනීමේ ගැටලු, ප්‍රාථමික නිෂ්පාදකයන් තත්ත්ව සහතික ලබා ගැනීමට යොමු වීම අඩු වීම, කර්මාන්ත ශාලා පරිශ්‍ර තුළ අධික දූවිලි සහිත බව නිසා පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු ඇති වීම, පොල් ත්‍රිකෝණයෙන් පිටත පොල්ලෙලි බොහොමයක් කර්මාන්තවලට එකතු නොවී විනාශ වීම ඒ අතර ප්‍රධානය. 

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නිෂ්පාද ක්ෂේත්‍රයේ අපනයන ඉහළ නැංවීමට ඇති අවස්ථා හඳුනා ගෙන මෙම ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා වැඩි කිරීම් සඳහා සරල ක්‍රමවේදයක් ඔස්සේ කොහු සහ කොහු බත් ආශ්‍රිත නිෂ්පාදනකරුන්ට අවස්ථාව මෙම ව්‍යාපෘතියෙන් ඇති කර දෙන ලදී.

මෙහිදී පොල් ත්‍රිකෝණයෙන් පිටත නව කර්මාන්ත අවස්ථා ඇති කිරීමටත් පොල් ත්‍රිකෝණ තුළ කර්මාන්තවල නිෂ්පාදන ගුණාත්මය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත් ආයෝජන අවස්ථා ඇති කර දෙන ලදී. ඉතාමත් අඩු ලාභාංශ යටතේ තම නිෂ්පාදන කර්මාන්තය පවත්වා ගෙන යන ලද නිෂ්පාදන කර්මාන්තකරුවනට ඔවුන්ගේ ඊළඟ තත්ත්වය දක්වා උසස්වීමට ඉතා මහඟු අවස්ථාවක් මින් උදාවූ අතර නව කර්මාන්ත අවස්ථා ඇති කිරීමටත් මෙම ව්‍යාපෘතිය පිටිවහලක් වී ඇත. 

මෙම කර්මාන්ත සඳහා මේ වන විට රුපියල් මිලියන  800 ඉක්මවූ ආයෝජන දිරි ගැන්වීම සඳහා ආයෝජකයන් තිස් දෙදෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 380 ක ගැළපුම් ප්‍රදානයක් අනුමත කර ඉන් රුපියල් මිලියන 231 මේ වන විට නිදහස් කර ඇත. ඒ අතරින් ආයතන 14ක් මේ වන විට නිෂ්පාදන කටයුතු ආරම්භ කර අපනයන සිදු කරන අතර තවත් කර්මාන්ත තුනක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර දේශීය අමුද්‍රව්‍ය ලෙස වෙළඳ පොළට එකතු කරනු ලබයි. 

ඉන් අපනයන කටයුතු ආරම්භකරන ලද ආයතන 14 හි නව ව්‍යාපෘතිය ආරම්භයට පෙර පැවති ආදායම රුපියල් මිලියන 6,344 ක් වූ අතර ව්‍යාපෘතියෙන් පසු 2021 වර්ෂයේදී රුපියල් මිලියන 17,000 ඉක්මවූ ආදායමක් රට තුළට ගෙන ඒමට දායක වී ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත් දත්ත අනුව කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියෙන් දායකත්වය ලබා දෙන ලද කර්මාන්තවලින් පමණක් කොහු බත් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමට සියයට  8 ක පමණ දායකත්වයක් ලබා දී ඇත. ඉදිරියේදී මෙම දායකත්වය තවත් ඉහළ යනු ඇත. 

ව්‍යාපෘති ආරම්භක වර්ෂයෙන් පසු කොහු බත් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන වැඩිවීම 2018 දී ඩො.මි. 119. 98 කි. 2019 දී එම අගය ඩො.මි. 133.83කි. 2020 වන විට මේ ආදායම ඩො.මි.  145.14 දක්වා වැඩිවී ඇති අතර 2022 මැයි මාසය වන විට ලැබී තිබූ ආදායම් ඩො. මිලියන 80.02කි. 

මෙම නිෂ්පාදන ක්ෂේත්‍රයේ අපනයන වැඩිවීම සලකා බලන විට රජය විසින් මේ දක්වා වියදම් කරන ලද මුදලට වඩා කිහිප ගුණයක ඩොලර් ආදායමක් රට තුළට ගෙනවිත් තිබෙන බව පැහැදිලිය. රැකියා බිහිවීමෙන් ජීවන තත්ත්වය උසස් වීම ආදිය සැලකීමේ දී රටක් ලෙස අත්කරගත් ප්‍රතිලාභ බොහොමයකි.
 
 

Advertiesment