Thursday 13th of February 2025

English Tamil
Advertiesment


එජාපයේ අර්බුදය සහ රනිල් ප්‍රශ්නය..!


2019-07-02 14361

“රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂගේ ගැලවුම්කරයාය”

“සජිත් ප්‍රේමදාසට දේශපාලන දෘෂ්ටියක් හෝ ඉදිරි දර්ශනයක් නොමැත”

“මෛත්‍රී-මහින්ද-ගෝඨා-බැසිල්” යනු සිංහල සමාජයේ නායකයෝ පමණය”

“එජාපයට විකල්ප නායකයකු නොමැතිවීමට රනිල් වික්‍රමසිංහ වග කිව යුතුය”

දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය මුහුණ දෙන අර්බුදය අවසන් වී ඇති බවක් නොපෙනේ. පහළ මට්ටමේ සිටින තරුණ පෙළේ මන්ත්‍රී-ඇමතිවරුන් ප්‍රසිද්ධියේ පළ කරන අපේක්ෂාභංත්වය සහ විරෝධතා ප්‍රකාශවලට අලුතෙන්ම එකතු වී ඇත්තේ සුජීව සේනසිංහ ඇමැතිවරයාය. 2015 මැතිවරණ ව්‍යාපාරයේ, ප්‍රධාන කථිකයෙකු සහ  ප්‍රචාරකයෙකු වූ ඒ මහතා,රනිල් වික්‍රමසිංහ නායකත්වය ගැන ඇති විශාල කලකිරීම දැන් ප්‍රසිද්ධියේම පළ කරයි.

එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා පළ කරන අදහස්වලින් පෙනෙන්නේ,  ඔවුන් දැනටමත් 2019 සහ 2020 වසරවලදී ලැබීමට නියමිත දේශපාලන පරාජය ගැන හිත හදා ගෙන සිටින බවයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනයේ මෑත කාලයේ සිදු වී ඇති දේවල් දෙස බලන විට එතරම් දුක් වීමට ඒ බොහෝ දෙනාට හේතුවක් නැත.රාජපක්ෂ පවුලෙන් කවුරුන් දිනුවත් ඊළග ආණ්ඩුවේ ඇමති ධූර ලබා ගැනීම දුෂ්කර කාර්යයක් නොවනු ඇත.

ඒ සඳහා කරන්නට තිබෙන්නේ තැඹිලි පාට කමිස සාරි මිලදී ගැනීමය. එය සතියක් තුළ කළ හැකි කාර්යයකි.පක්ෂවලටත්,පක්ෂ නායකයාටත් ඇති දේශපාලන බැඳීම සහ පක්ෂපාතිත්වය අතිශයින්ම නම්‍යශීලිවීම, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සංවිධානමය මුලධර්මයක් වී ඇති ශ්‍රී ලංකාවේ බොහෝ මන්ත්‍රීවරුන්ට,ආණ්ඩු වෙනසක් යනු විසඳුමක් නැති ගැටලුවක් නොවේ. එය ගැටලුවක් වන්නේ ගම් මට්ටමෙන් සිටින පාක්ෂිකයන්ට සහ ඡන්දදායකයන්ටය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය  දැනට මුහුණ දී තිබෙන සුවිශේෂ ප්‍රශ්නයක් තිබේ. එය ගැන තරමක් විභාග කිරීම මේ ලිපියේ අරමුණයි. එය වනාහි උම්මග්ග ජාතකයේ මහෞෂධ පඩිතුමාටත් විසඳිය නොහැකි ප්‍රශ්නයකි.එය අන් කිසිවක් නොව එක්සත් ජාතික පක්ෂයේ  ‘රනිල් ප්‍රශ්නයයි” එය ප්‍රහෙලිකාවක් ලෙස ප්‍රකාශ වන්නේ “එක්සත් ජාතික පක්ෂයට  ඇතුවත් බැරි නැතුවත් බැරි නායකයා රනිල් වික්‍රමසිංහ”ලෙසය.

ඇතුව බැරි රනිල්

එජාප නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘ඇතුවත් බැරි’ පැත්ත ගැන පළමුවෙන් බලමු. එජාපයේ සමහර ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම මෙන්ම පක්ෂ විනය යන සම්ප්‍රදායික දේශපාලන ගුණධර්මද නොතකමින් ප්‍රසිද්ධියේම කියන්නට පටන් ගෙන තිබෙන දෙයක් නම් “ අගමැති රනිල් වික්‍රමසිංහගේ කාලය අවසන් වී ඇත” යන්නයි. ඔහු නායකත්වයේ තව දුරටත් සිටීම පක්ෂයේ ඉදිරි ගමනට සහ ඉදිරි ජයග්‍රහණවලට ප්‍රධානම  බාධාව බවද ඔවුහු ව්‍යංගයෙන් කියා සිටිති.

“පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීම” යනුවෙන් ඇත්තටම කළේ බොරුවක් බව පක්ෂයේ ළාබාලම මන්ත්‍රීවරුන් වන හිරුනික ප්‍රේමචන්ද්‍ර සහ වසන්ත සේනානායක වැනි අය විවෘතවම කියා සිටියහ.සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ද දැන් එම සමුහ ගායනයට එකතු වී සිටින්නේ එජාපයේ පහළ පෙළේ පක්ෂිකයන් ද අතර වේගයෙන් පැතිරෙන අදහස් ප්‍රකාශ කරමිනි.එනම් එජාපයට තව දුරටත් ඉදිරියට යන්නට නම් රනිල් වික්‍රමසිංහ විශ්‍රාම ගත යුතු බවත් අලුත් නායකත්වයකට ඉඩ දිය යුතු බවත්ය. එම අලුත් නායකයා වශයෙන් ඔවුන් සිතන බව පෙනෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාය.

අලස අගමැති

අගමැති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයට දැන් බරක් වී ඇතැයි සිතන්නට එජාපයේ ඇමතිවරුන්ට,මන්ත්‍රීවරුන්ට සහ පාක්ෂිකයන්ට නොයෙකුත් හේතු තිබෙන්නට පුළුවන.ඒ අතර ස්වාධීන දේශපාලන නිරීක්ෂකයන්ට ද පෙනෙන, අති මූලික කරුණක් තිබේ.එය නම්,ඉතා අමාරුවෙන් ලබා ගත් අගමැති ධූරයේ අවුරුදු හතරකටත් වඩා හිද ගෙන ලබා දුන් සාධනීය දේශපාලන ජයග්‍රහණ පිළිබඳ වාර්තාවක් මෙරට ඡන්දදායකයන් ඉදිරියේ තැබීමට අගමැති රනිල් වික්‍රමසිංහට 2019-2020 දී නොහැකිවීමයි.

මෙම ගැටලුවට මුහුණ දීමට අලුත් ආරම්භයක් ගැනීමේ අවකාශය පසු ගිය විශ්වාස භංග  යෝජනාව ජය ගැනීමෙන් පසු ඔහුට ලැබුණත්,ඒ වෙනුවට ඔහු ප්‍රදර්ශනය කරන්නේ සුපුරුදු අකාර්යක්ෂමභාවය,දේශපාලන කම්මැලිකම සහ ඉදිරි දර්ශනයක් නැතිකමය.ඉදිරි දර්ශනයක් නැති ගෝඨාභය රාජපක්ෂට ගැලවුම්කරුවකු ලෙස ඉදිරියට පැමිණෙන්නට ඉඩ සලසන්නේ ද අලස අගමැතිවරයකු වී ඇති රනිල් වික්‍රමසිංහ මහතාය.“යහ පාලනය” යනු “අලස පාලනය” ලෙස වරදවා තේරුම් ගැනීම ඔහු තවමත් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ සිටීමෙන් එජාපයේ දේශපාලන අනාගතය කඩා වැටෙන බවට පාක්ෂිකයන් අතර ඇති වී තිබෙන දුක්ක දායක සංවේදනා සාධාරණය. එහෙත් ප්‍රශ්නය වන්නේ රනිල් වික්‍රමසිංහ නැති එජාපයට කවර අනාගතයක් තිබෙන්නේ ද යන්නය.

නැතිවත් බැරි රනිල්

එජාපය අවාසනාවන්ත වන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරු සේවීමේ දී ය.රනිල් වික්‍රමසිංහගෙන් පසු නායකත්වය ගැනීමට පරිණත,දුරදක්නා,කාර්යශුර සහ උපායික නුවන ඇති දෙවැනි පෙළේ නායකත්වයක් ගොඩනගා ගැනීමට එජාපය අසමත් වී ඇත.රනිල් වික්‍රමසිංහ වෙනුවට නායකත්වය ගැනීමට අපේක්ෂාවෙන් සිටින සජිත් ප්‍රේමදාස මහතා තවමත් ප්‍රදර්ශනය කර තිබෙන්නේ දේශපාලන ශක්තීන්ට වඩා අඩුපාඩුකම්ය.ඔහුගේ ප්‍රධානම අඩුපාඩුව නම් ඔහුට මනා ලෙස සකස් වූ සහ තමාගේම වූ දේශපාලන දෘෂ්ටියක් හෝ ඉදිරි දර්ශනයක් හෝ නොවීමයි.ඔහු ජනතාව අමතා දිනපතාම වගේ පවත් වන කතා පුවත්පත්වල කිය වන විට කෙනෙකුට මතක් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවත් වන කතාය.ඒවා වනාහී හරයාත්මක දේශපාලන පණිවිඩයක් නැති දේශපාලන වශයෙන් හිස් ඒවාය.

තමාගේ පියා ගැන සෑම කතාවකදීම කතා කිරීම ජනතාවට දෙන දේශපාලන පණිවිඩයක් නොවන බවත්,රටේ නායකයා වීමට අපේක්ෂා කරන කෙනෙකුගේ සංවර්ධන වැඩ පිළිවෙළ ගෙවල් හැදීමට වඩා පුළුල් එකක් බවත්,පන්සල් ප්‍රතිසංස්කරණය කිරීමට “චෙක්පත්” ප්‍රධානය කිරීම සාර්ථක දේශපාලන පණිවිඩයක් නොවන බවත් එතුමාට තවමත් වැටහී නැත. බහු ජන වාර්ගික සමාජයක දේශපාලන නායකයකු ඇති කර ගත යුතු දේශපාලන ආයාචනය ගැන සජිත් ප්‍රේමදාස මහතා තවම සිතන්නටවත් පටන් ගෙන නැත.

දුර්වල ප්‍රජාතන්ත්‍රවාදියා

රනිල් වික්‍රමසිංහගේ විශේෂත්වය පෙනෙන්නේ,එජාපයේ ඔහුට අමතර සිටින සහ පහළ පෙළේ ද නායකයන් සමග ඔහු සසදන විටයි.ප්‍රජාතන්ත්‍රවාදයේ සහ දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාව ගමන් කළ යුතු ඉදිරි මඟ පිළිබඳව වඩාත්ම නිවැරදි සහ නිරවුල් වැටහීමක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහට පමණි.

එජාපයේ බොහෝ දෙනා, ශ්‍රීලනිපයේ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද බොහෝ දෙනා වගේ “ප්‍රජාතන්ත්‍රවාදය” යන්න දකින්නේ හුදෙක් උපකරණාත්මක ප්‍රවෙශයකිනි. එනම් බලයට පැමිණීමේත් ආත්මාර්ථයේත් මාර්ගයක් ලෙසින් පමණි. රනිල් වික්‍රමසිංහගේ වෙනස නම් ප්‍රජාතන්ත්‍රවාදය දෙස උපකරණාත්මක ප්‍රවේශයකින් බලන ගමන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන වටිනාකම් සහ මූලධර්ම ගැන අවබෝධයක් සහ ඒ වෙනුවෙන් කැපවීමක් ද ඔහුට තිබීමයි.

එහෙත් ඔහුගේ බරපතළම අඩුපාඩුව නම් එම කැපවීම අධිෂ්ඨාන සහගතව ඉදිරියට ගෙන නොයාමයි. තමා ආරම්භ කළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට රනිල් වික්‍රමසිංහට තිබුණේ හුදෙක් බුද්ධිමය කැපවීමක් පමණි. දේශපාලන කැපවීමක් නොවේ.රනිල් වික්‍රමසිංහ වනාහී දුර්වල ප්‍රජාතන්ත්‍රවාදියෙකි. දුර්වල බහුත්වවාදීයෙකි.එබැවින් ඔහු දැන් කර ඇත්තේ එම ප්‍රජාතාන්ත්‍රිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අත හැර දැමීමයි.එයට පුණර්ජීවනය දිය හැකි විකල්ප නායකයකු එජාපයේ සිටින බවට කිසිදු සලකුණක් ද නොමැත.

ශ්‍රී ලංකාවේ දෙමල සහ මුස්ලිම් සුළු ජන ප්‍රජාවගේ දේශපාලන විශ්වාසය දිනා ගත හැකි දැනට සිටින එකම සිංහල නායකයා රනිල් වික්‍රමසිංහවීම ද ඔහු පිළබඳ දේශපාලන ගැටලුවේම කොටසකි. මෛත්‍රීපාල සිරිසේන,මහින්ද රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ සිංහල සමාජයේ දේශපාලන නායකයෝය.

එම සීමාව ඉක්මවා යාමට මෛත්‍රීපාල සිරිසේන මහතාට තිබූ අවකාශය එතුමා දැන් නැති කර ගෙන තිබේ. එතුමා දැන් පත් වී තිබෙන්නේ සිංහල බෞද්ධ සමාජයේ කුඩා නායකයකුගේ තත්ත්වයකටය.ඊට වෙනස්ව රනිල් වික්‍රමසිංහ බුද්ධිමය වශයෙන් වැටහීමක් තිබෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සහ බහුත්වවාදී දේශපාලනඥයෙකි.එහෙත් ඔහු අප දුටු පරිදි දුර්වල ප්‍රජාතන්ත්‍රවාදීයෙකි.දුර්වල බහුත්වවාදීයෙකි. කාරණා දෙකකින් ඔහුගේ මෙම ලක්ෂණය පිළිබිඹු වේ.

පළමු වැන්න එජාපයේ දෙවැනි සහ තෙවැනි පෙළේ නායකයන් බුද්ධිමය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සහ බහුත්වවාදීන් කිරීමට ඔහු උනන්දු නොවීමයි.දෙවැන්න ප්‍රජාතන්ත්‍රවාදය සහ බහුත්වවාදය පදනම් කොට ගත් දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක්‌ ආරම්භ කර එය අතර මඟ අත හැර දැමීමයි. ඒ ව්‍යාපෘතිය අලුත් කළ හැකි විකල්ප නායකයකු එජාපයේ නැතිවීමට රනිල් වික්‍රමසිංහ වග කිව යුතුය.

2019 -2020  මැතිවරණවලදී එජාපය පරාජයවීමට තිබෙන ඉඩ කඩ බොහෝය. එජාපයේ අනාගත නායකයාවීමට බලා සිටින දෙවැනි පෙළේ නායකයන් රනිල් වික්‍රමසිංහ ගැන සිත් තැවුලෙන් සිටියත්,ඔහු නායකත්වයෙන් එළවීමට තරම් උත්සහ නොගන්නට හොදටම ඉඩ තිබෙන්නේ එහෙයිනි. එහෙත් එජාපයේ අර්බුදය ඇතුලෙන් කැකෑරෙමින් දිගටම පවතිණු ඇත.

ජයදේව උයන්ගොඩ

-රාවය-

 

 

Advertiesment