Saturday 20th of July 2019

English Tamil


රාජ්‍ය මාධ්‍ය යට ගැසූ යහා පාලනයෙන් සෞඛ්‍යට අත් වූ දියුණුව මෙන්න..!


2019-02-11 5678

ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වග කිව යුතුයි..!

මාර්තු අවසානයේ ඖෂධ හිඟයත් අවසන්..!

හිටපු ජනපතිගෙන් සෞඛ්‍ය ඇමතිට සහතිකයක්..!

රාජ්‍ය මාධ්‍යයෙන් රජයට ප්‍රචාරයක් නැහැ..!

යහා පාලනයේ හොරු හිටියට මිනීමරුවන් නැහැ..!

(සුජිත් මංගල ද සිල්වා)

වාචාලකම් දොඩවන දේශප්‍රේමීන් නිසා රට විනාශයට පත් වූ බව සෞඛ්‍ය, පෝෂණ සහ  දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ජා-ඇල බටඇල උතුර ප්‍රදේශයේ ඉදි කළ 07 වන ඖෂධ සහ ආලේපන කර්මාන්ත ශාලාව විවෘත්ත කිරීමේ උත්සවයට සෙනසුරාදා (09) ද,චීන සහන ණය ආධාරවලින් දිවයිනේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළ යටතේ පොතුවිල් මූලික රෝහලේ ඉදි කෙරෙන තෙමහල්  වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ උත්සවයට ඉරිදා (10) ද, පානදුර නගර ශාලාවේ පැවති රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට ද එක් වෙමිනි. 

දේශීය පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් මිලියන 600 කි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 150 කට මෙමගින් රුකියා හිමි වෙයි.

මේ උත්සවවලදී වැඩි දුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ ද කීය.

“අපේ රටේ සිටි දේශප්‍රේමීන් ඇතැම් පුද්ගලයින් විසින් ඝාතනය කළා. රටේ සුබසෙත වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. එවැනි අය තමයි දේශප්‍රේමීන් වන්නේ. දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ ඖෂධ කර්මාන්ත ශාලා 07 ක් මේ වන විට විවෘත කර තිබෙනවා. එම ආයෝජකයින්ට හරිම පහසුවෙන් කර්මාන්ත ශාලා ඉදිකිරීමට හැකියාව ලැබුණා. මොකද වෙනත් අය වගේ මම මුදල් ඉල්ලන්නේ නැහැ. මෙම කර්මාන්ත ශාලාවේ සභාපතිවරයා ද මම අද තමයි දැක්කේ. රටක් ගොඩනැගීමට නිවැරදි තීන්දු තීරණ ගත යුතුයි.

මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරිමත් සමග මෙරටට අවශ්‍ය සිරප් වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මගේ බලාපොරොත්තුව 2019 වසර අවසන් වන විට මෙරටට අවශ්‍ය ඖෂධවලින් සියයට 80 ක් නිෂ්පාදනය කර අවසන් කිරීමටයි.

ඖෂධ ආනයනය කිරිම සදහා බිලියන ගණනක් වැය කරන මුදල ඉතිරි කර ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා. දේශීය ඖෂධ කර්මාන්ත ශාලා මගින් ලබාදෙන ඖෂධවල මිල ඉතාම අඩුයි. මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල පාලනය කර ඇති අතර, ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග 27 ක මිල පාලනය කිරිමට මම තීරණය කර තිබෙනවා. වෙළෙද පොලට වෙළෙද පොල හැසිරවීමේ ඉඩ  ලබාදිය යුතුයි.

මොකද රටක අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණු කිරීමෙන්  සංවර්ධනය ඇති වන බව ලෝක බැංකුව ද පිළිගෙන තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සහ බෝ නොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබා දී තිබෙනවා. තවත් ඩොලර් මිලියන 100 ක මුදලක් ඉදිරියේ දී ලබාදීමට නියමිතයි.

අපේ රටේ ඖෂධ ආනයනය කරන ව්‍යාපාරිකයින් සිටින්නේ ටිකයි. නමුත් ඖෂධ භාවිතා කරන රෝගීන් ඉතා වැඩියි. අඩු මිලට ඖෂධ ලබාදීම වැඩ පිළිවෙළත් මහ රජාගේ කියලා හිතනවා ඇති. මොකද අපේ රජයේ ප්‍රචාරණය මදි.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය සමග මම සාකච්ඡාවක් පැවැත්වූවා. ඔවුන් කියන්නේ ඩොලරයේ මිල ඉහළ යාම නිසා පාඩුවක් ලබන බවයි. මම ඔවුන්ගෙන් විමසා සිටියා එලෙස පාඩු නම් සියයට 40 ක් බෝනස් දෙන්නේ කොහොමද කියලා.

ඖෂධ මිල අඩු කරන විටත් බාධා එල්ල වුණා. වර්තමානයේ යළි සේනක බිබිලේ ගැන තැන තැන කතා කරනවා. ජාතියේ ප්‍රණාමය පුද කරනවා. ඖෂධ නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කරන විට ඇතැම් පුද්ගලයින් මටත් කිව්වා ඔය කරන්න බැරි වැඩක් කියලා.

නමුත් මම එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළා. මම ධීවර ඇමැති කාලයේ දී ටින් මාළු කර්මාන්තය ආරම්භ කරන විටත් නිලධාරීන් ප්‍රකාශ කළේ බැහැ කියලයි. නමුත් කර්මාන්ත ශාලා 04 ක් ස්ථාපිත කළා.

මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍ය ධූරය දරන කාලයේ ද ටින් මාළු කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට උත්සාහ කළත් එය කිරීමට නොහැකි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට ප්‍රකාශ කර තිබුණා කර්මාන්ත ශාලාවක් විවෘත කර දින 02 කින් වසා දැමුවත් මම ධීවර ඇමැති කාලයේ එය ආරම්භ කළා කියලා රටට කියන්න පුළුවන් කියලා.

නමුත් මම ධීවර ඇමැති කාලයේ ආරම්භ කළ කර්මාන්ත ශාලා විවෘත කිරීමට පැමිණීයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු එහිදී ප්‍රකාශ කළා රාජිත සේනාරත්න ශ්‍රේෂ්ඨ ධීවර අමාත්‍යවරයෙක් බව. මම ඖෂධ කර්මානත ශාලා හිමියන්ට ද කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙනවා අපට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමයි.

සෞඛ්‍ය සේවාවන් දීප ව්‍යාප්ත කර තිබෙනවා. නවීන උපකරණ රෝහල්වලට ලබා දෙනවා. මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ කොළඹ තිබෙන ප්‍රධාන රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කිරීමටයි. සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බියෙන් මුදල් වියදම් නොකර ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ජනතා හිත සුව පිණිස මම දියත් කරනවා.

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් රෝහල්වල මතු වුණා. එම දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් මත තමයි අමාත්‍යාංශයේ වැඩ කටයුතු සිදු වුණේ. එම දිනවල හිටපු අමාත්‍යවරයා ද වට කර ගෙන සිටියේ එම සංගමයේ නිලධාරීන්. අන්තිමට ඇමැතිවරයාටත් මෙම සංගමය එපා වුණා.

වසර 03 කට අධික කාලයක් හිඟයකින් තොරව ඖෂධ ලබාදීමේ වැඩ පිළිවෙළ විනාශ කෙරුණා. අමාත්‍යාංශයේ අරක්ගෙන සිටි වෛද්‍ය සංගමයේ නිලධාරීන්ටවත් ඖෂධ හිඟයක් ඇති වන බව පෙනුනේ නැහැ.

මම රෝගී ජනතාවට මෙවැනි අපරාධයක් කළේ නැහැ. ඖෂධ හිඟයක් ඇති කළ අපරාධයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතුයි. මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයට යළි පත් වූ පසු ඖෂධ හිඟයට අවශ්‍ය විසදුම් ලබාදුන්නා.

පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගුවන් මගින් කොළඹට ගෙනවිත් බෙදා හැරියා. මෙම ඖෂධ හිඟය මාර්තු මස අවසන් වන විට නිරාකරණය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. රෝහල් සංවර්ධනය කිරීම සදහා විදේශීය ආයෝජකයින් රැසක් ඉදිරිපත්ව සිටිනවා. ඔවුන්ගෙන් කොමිස් මුදල් ලබා නොගෙන අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු නැගෙනහිර රෝහල් සංවර්ධනය කිරීමට මම පියවර ගෙන තිබෙනවා.

රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් බලාපොරොත්තු විරහිතව ජීවත් වෙනවා. නමුත් එවැනි තරුණ තරුණියන්ට සෞඛ්‍ය සේවයට අවතීර්ණ වීමේ දොර මම විවෘත කර තිබෙනවා.

සාමාන්‍ය ජනතාවට නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමෙන්  ජනතා සේවාවක් ඉටු කර තිබෙනවා. මැරෙන්න සිටින සෑම පුරවැසියෙකුටම ජිවිතය ලබාදෙනවා. මිනිස් ජීවිතවල වටිනාකම මනුෂ්‍යකමින් බැලිය යුතුයි. නමුත් සමහරු හිතනවා ඇති නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමත් පසුගිය රජයේ ව්‍යාපෘතියක් කියලා. නමුත් අපේ රජයේ ප්‍රචාරය මදි. මාධ්‍යයත් හොයන්නේ වැරදි විතරයි. ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ සැත්කමක් රජයේ රෝහල්වල ආරම්භ කර තිබෙනවා. විදේශීය රටක එවැනි සැත්කමක් සිදු කිරීමට වැය වන මුදල රුපියල් ලක්ෂ 36 ක්. මේ වන විට දරුවන් 100 කට වැඩි පිරිසක් එම සැත්කමට ලක් කර තිබෙනවා.

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ මට ආත්ම ශක්තියක් ඇති වූයේ දරුවන්ගේ ඉල්ලීමකටයි. තැලසීමියා රෝගීන් වෙනුවෙන් මහනුවර මහ රෝහලේ ඉදි කෙරෙන වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නතර වූ බව ඔවුන් මට දැනුම් දුන්නා. නමුත් මම එම දරුවන්ට ප්‍රකාශ කළා තැලසීමියා වාට්ටු සංකීර්ණය ඉදිකර අප්‍රේල් මාසයේ දී විවෘත කරන බව.

මට යළි රජය ලබා ගැනීමේ සටන ආරම්භ කිරිමට ආත්ම ශක්තිය ලැබුණේ එම දරුවන්ගේ ඉල්ලීම මතයි. එදින සිට අරලියගහ මන්දිරය සටන් මධ්‍යස්ථානය කර ගනිමින් රජය යළි ලබා ගැනීමේ අරගලය ආරම්භ කළා.අපේ රජයේ හොරකම් තිබුණත් මිනී මැරුම් නැහැ. නමුත් පසුගිය රජයේ මිනීමැරුම්, සොරකම් තිබුණා.

පානදුර ප්‍රදේශයේ දෙවන ජාතික රෝහල ඉදි කිරීමට මම පියවර ගන්නවා. රුපියල් මිලියන 22,000 ක් ඒ සදහා වැය කරනවා. පානදුර කේතුමතී රෝහල සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 14,000 ක් වැය කරනවා. රෝහල් ගණනාවක් දිවයින පුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් මතු වුණා. එම ඖෂධ හිඟය මග හරවා ගැනීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවස්ථා 03 ක දී ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා.මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟය අවසන් කිරීම මගේ බලාපොරොත්තුවයි.

පසුගිය වසර 03 තුල මම කිසිදු ඖෂධයක් හිඟයකින් තොරව ලබා දුන්නා. ඕනෑම දෙයක් වනසන්න ගත වන්නේ කෙටි කාලයයි. නමුත් එය යළි සැකසීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල අඩු කර තිබෙනවා. තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමට පියවර ගන්නවා. එවිට ඖෂධ වර්ග 100 ක මිල අඩු කිරීම නිසා වෙළෙදනාමයෙන් යුත් ඖෂධ වර්ග 1000 ක මිල අඩු වෙනවා.

පසුගිය වසර 03 ඇතුළත නොමිලයේ අක්ෂි කාච, ස්ටෙන්ස් ලබාදීම සදහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු මුදලක් මම ලබා ගත්තේ නැහැ. සෞඛ්‍ය සේවාවේ  තිබූ දුෂණ වංචා නැති කරමින් තමයි මම මුදල් සොයා ගත්තේ. 2019 වසරේ එම සේවාවන් ඉටු කිරිමට මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 10 ක මුදලක් ඉල්ලා තිබෙනවා.

මේ උත්සව අවස්ථාවන් සඳහා  සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුර සේනාරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ පී. සුන්දරලිංගම්, සාමාන්‍යාධිකාරිනී සුජීවා විඡේසුන්දර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූම්, දියත ෆාමසියුටිකල් සහ හෙල්ත් කෙයා පෞද්ගලික සමාගමේ සභාපති ගයන්ත දෙහිවත්ත, ප්‍රධාන විධායක නිලධාරි නිරෝෂන් ප්‍රනාන්දු,පානදුර එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී විජිත් ප්‍රියන්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, පළාත් පාලන ආයතනවල නියෝජිතයින්, තරුණ තරුණයින්,රෝහල් කාර්ය මණ්ඩල  සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක්ටි එක්ව සිටියහ.