අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොසළකා ක්‍රියා කිරීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ සහ සමාජ-දේශපාලන ක්‍රමයේ ඇති වී තිබෙන ගරා හැලීම හේතුවෙන් ඒ සියල්ලෙහි බිඳ වැටීමක් ඇතිවී, ඒ නිසා රට බංකොලොත් වී ශ්‍රී ලංකාව අරාජිකත්වයකට තල්ලු වී යනු ඇතැයි කියන අදහස මට ඇති වූයේ අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසුවය.
ඒ වන විට ශ්‍රී ලංකා රාජ්‍යය විශාල ප්‍රමාණයේ අභ්‍යන්තර කැරලි දෙකකට මුහුණ දී ඒවා දුෂ්කර ලෙස පරාජය කර තිබුණද එම කැරලි නිසා රාජ්‍යයට ද, සමාජ-දේශපාලන ක්‍රමයට ද බරපතළ හානි සිදුවී තිබුණි. මේ කැරලි දෙකම පරාජය කළේ ඒවා ඇතිවූ වහාම නොව ඒවා බොහෝ දුර දිග ගොස් කැරලිකරුවන් එම කැරලි ජය ගන්නට ආසන්න තත්ත්වයකට පත් වීමෙන් පසුවය.
ජනතා විමුක්ති පෙරමුණේ සිංහල දෙවැනි කැරැල්ල මාස 24ක් තරම් දීර්ඝ කාලයක් අල්ලා ගෙන සිටීමට එම කැරලිකරුවන් සමත් වී තිබුණි. එල්ටීටීඊය ද ඔවුන්ගේ දෙමළ කැරැල්ල වසර 24 ක් තරම් දීර්ඝ කාලයක් පවත්වා ගෙන යාමට සමත්ව තිබුණි. බොහෝ කල් පසුවී හෝ මේ බිහිසුණු කැරලි දෙක පරාජය කරන්නට අරක්ෂක හමුදා සමත් වුවද එම කැරලි නිසා ආරක්ෂක හමුදාවන්ට ද, රාජ්‍යයට ද, සිංහල දෙමළ සමාජයට ද, රටේ සමාජ-දේශපාලන ක්‍රමයටද විශාල හානියක් සිදුවී තිබුණි.
එම කැරලි නිසා විනාශ වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 150,000කටත් වඩා වැඩි විය හැකිය. හිංසාවට සහ පීඩාවට ලක්වූ අයගේ සංඛ්‍යාව මිය ගිය අයගේ සංඛ්‍යාව වගේ තුන් හතර ගුණයක් විය හැකිය. මෙම කැරලිවලදී කැරලිකරුවන් සේම ආරක්ෂක හමුදාවන් ද තරඟකාරි ලෙස සමාජය මත උපරිම තරමක් කෲරත්වයක් මුදා හැර තිබුණ අතර එම තත්ත්වය සමස්ථ සමාජයේ මනස අඩු වැඩි ප්‍රමාණයකට විකෘති කිරීමට සහ රෝගි කිරීමට හේතු වී තිබුණි. එම විශේෂ වටාපිටාව මත රට තිබුණේ ලොකූ ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයකය.
එම කැරලි නිසා ද, නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයෙකු මුල් කොට ගත් ආණ්ඩු ක්‍රමය නිසා ද, රාජ්‍යයට සහ සමාජ-දේශපාලන ක්‍රමයට සිදුවී තිබුණ බරපතළ හානි නිවැරදි කිරීම සදහා ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් කරළියට ගැනීම යහපත් ඉදිරි ගමනක් වෙනුවෙන් රටට නැතුවම බැරි කොන්දේසියක් වී තිබුණද වේළුපිල්ලේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් ඇති කර ගෙන තිබූ ආශ්වාදජනක හැගීම් විසින් එම යථාර්තය තේරුම් ගැනීමට රටට තිබුණ හැකියාව නැති කර තිබුණි.
යුධ ජයග්‍රහනයේ දෙවැනි සංවත්සරයට ආසන්න කාලයේ දී රට ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට යොමු කිරීමේ වැදගත්කම රාජ්‍යය නායකයාට (ජනාධිපති මහින්ද රාජපක්ෂට) ඒත්තු ගැන්වීමට මම උත්සාහ කළෙමි. මගේ ඉල්ලීම අනුව ඒ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලද අතර ඊට ජනාධිපති ද, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ ඇමතිවරයෙකු වූ ඩලස් අලහප්පෙරුමද සහභාගි විය. ඒ ගැන කෙරෙන සාකච්ඡාව පැය තුනක් තරම් දීර්ඝ කාලයක් එක දිගට පැවතියත් මගේ ප්‍රතිසංස්කරණ අදහස හොදින් තේරුම් ගැනීමට ජනාධිපතිවරයා සමත් වූයේ නැත.
ඉන්පසු "රාවය" පුවත්පතේ 25 වැනි සංවත්සරයේ දී ද ජනාධිපති ඇතුළු අනෙකුත් ප්‍රධාන පක්ෂ නායකයින් එම අවස්ථාවට සහභාගි කර ගනිමින් රට ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට යොමු කිරීමේ අවශ්‍යතාව බැරෑරුම් ලෙස ඔවුන් වෙත අවධාරණය කළත් එම ආයාචනය ද ඒ සදහා කෙරෙන සාර්ථක සංවාදයක් බවට පත් වීමක් සිදු වූයේ නැත.
අනතුරුව "ලංකාව ගලවා ගැනීම" සහ "ජාතියේ ඛේදවාචකය" යන නම්වලින් පොත් දෙකක් ලියා පළ කරන්නට සිදු වූයේ මාගේ එම ප්‍රවාදය සමාජ ගත කිරීමේ අවශ්‍යතාව සලකාය. එම ප්‍රවාදයෙන් කියන දේ වූයේ, "දිගින් දිගට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොසළකා හරින තත්ත්වයක් මත රාජ්‍යයේ සහ සමාජ-දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන ගරා හැලීම වර්ධනය වී සමාජ-දේශපාලන ක්‍රමයේ ද, ආර්ථිකයේ ද ,කඩා බිඳ වැටීමක් ඇතිවී රට බංකොලොත් සහ අරාජික තත්ත්වයකට තල්ලු වීමට නියමීත බවය". ඒ සමග එම ප්‍රවාදය සමාජයට ඒත්තු ගැන්වීම සඳහා මට ලියන්නට සිදුවූ ලිපි ගණන සිය ගණනක් විය හැකිය.
පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ මංගල සමරවීරගේ චරිතාපදානය දොරට වැඩීමේ උත්සවයේ දේශනය කරන ලදේ මාය. මා එම දේශනයේ කතාව බවට පත් කර ගත්තේ ශ්‍රී ලංකාවේ අර්බුදයේ අනාගතය පිළිබඳ මාගේ එම ප්‍රවාදයයි. මා එහි දී කීවේ ඉදිරි ජනාධිපතිවරණයෙන් කවරෙකු දිනුවත් රටේ සමාජ-දේශපාලන ක්‍රමයේ සහ ආර්ථිකයේ බිද වැටීමක් ඇතිවී රට බංකොලොත් සහ අරාජික තත්වයකට පත් වීමට නියමිතව තිබෙන බවය.
මා එම විග්‍රහය කළේ නිදහසේ සිටම රටේ කටයුතු සිදු වී තිබූ අවුල් සහගත ස්වරූපය ද පෙන්වා දෙමිනි. මංගල සමරවීර එහිදී කළ ස්තූති කතාවේදී මා කරන ලද විග්‍රහය පිළි ගනිමින් විටින් විට බලයට පත්වූ ආණ්ඩු ගණනාවක කොටස්කරුවකු ලෙස ක්‍රියා කිරීම මගින් රටට සිදුවී තිබෙන හානියට තමන්ද පංගු කාරයෙකු ලෙස ක්‍රියා කර ඇති නිසා ඒ ගැන තමන් කණගාටු වන බවද කීවේය.
ජනාධිපතිවරණය කාලයේදී දුරකථනයෙන් කතා කළ අවස්ථාවක දී ඔහු මට කීවේ පොත දොරට වැඩීම වෙනුවෙන් මා කරන ලද කතාව විටින් විට දෝංකාරයක් ලෙස තමන්ට ඇසෙන බවය. පසුව ඔහු සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් වී සමස්ථ ක්‍රමයේ ගැඹුරු වෙනසක් දිනා ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින කෙනෙකු බවට පත්විය.
කිසියම් විශේෂ අවස්ථාවකදී ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට දොරටු විවෘත කරවා ගැනීම සඳහා පුරෝගාමි භූමිකාවක් ඉටු කිරීමට තමන්ට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කළ බවද පෙනෙන්නට තිබුණි. ඔහු හැමදාමත් තරුණ පරපුර වෙනුවෙන් පෙනී සිටි කෙනෙකු විය. එහෙත් රටේ අවාසනාවකට ඔහු තරුණ නැඟිටීමට පෙර මිය ගියේය. තරුණ නැගිටීම ඇති වන විට ඔහු ජීවතුන් අතර සිටියේ නම් ඔහු කුමක් කරනු ඇත්ද..? තරුණ නැගිටීමේ සැබෑ අපේක්ෂා සපුරා ගැනීම සඳහා එම අරගලය ව්‍යවස්ථාපිත රාමුවකට ගැනීමේ අවශ්‍යතාව ඔවුන්ට බලවත් ලෙස පෙන්වා දෙන අතර එම ඉලක්කය සපුරා ගැනීම සඳහා බලවත් ලෙස ඔවුන්ට අධාර කරන පිළිවෙතක් ද අනුගමනය කරනු ඇතැයි සිතමි.
ඉතා වැදගත්ම දේ ශ්‍රී ලංකාවේ අර්බුදයේ ගමන් මග පිළිබඳව මා කර තිබෙන පුරෝකථනය සැබෑවීම නොව ඊට ඇතුළත් බිහිසුණුම අනාවැකිය ලෙස සැළකිය හැකි රට අරාජික වීම ගැන සහ ඊට ආවේණික බිහිසුණු සහ විනාශකාරි ස්වභාවය තේරුම් ගැනීමට රට අසමත් වීමය.
අරාජික තත්ත්වයක් යන්නෙන්, ප්‍රති අධිකාරි බලයක් ඇති කර ගැනීමකින් තොරව රජයේ අධිකාරි බලය බිද වැටුණු තත්ත්වයකදී ඇති විය හැකි බිහිසුණු සහ අවුල් සහගත තත්ත්වයක් අදහස් කෙරේ. බර්ට්‍රන්ඩ් රසල්ගේ "Power: A New Social Analysis" නැමැති කෘතියේ කියා තිබෙන්නේ "ඒකාධිපති තත්වයකටත් වඩා අරාජික තත්වයක් බිහිසුණු සහ විනාශකාරී" බවය.
ඒ නිසා අරාජික තත්ත්වයක් පරාජය කිරීම සඳහා පළමුවෙන් ඒකාධිපති පන්නයේ පාලනයක් හෝ ඇති කර ගත යුතු බව ඔහු කියයි. එහෙත් ශ්‍රී ලංකාවේ උගතුන් සිතන බව පෙනෙන්නේ දැන් තිබෙන දූෂිත රාජපක්ෂ පවුල් පාලනයට වඩා අරාජික තත්ත්වයක් වඩා යහපත් බවය.
ගෝල්ෆේස් අරගල භූමියේ සිටි විරෝධතා කරුවන්ට අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි ආණ්ඩු පක්ෂයේ ආධාරකරුවන් කණ්ඩායමක් පහර දීමේ සිද්ධිය නීතියට පටහැනි, හෙළා දැකිය යුතු, බිහිසුණු සහ මිලේච්ඡ සිද්ධියක් ලෙස සැළකිය හැකිය. එහෙත් ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුවේ සමහර ප්‍රමුඛ ආධාරකරුවන්ගේ නිවාස, දේපළ සහ කලාතුරකින් හෝ ජීවිත ඉලක්ක කොට ගෙන එල්ලවු පහරදීම් ගෝල්ෆේස් අරගල භූමියට එල්ලවූ පහර දීමට වඩා කිහිප ගුණයකින් බිහිසුණු සහ මිලේච්ඡ පහර දීම් ලෙස සැළකිය හැකිය.
එම පහර දීම්වලට සාමාන්‍ය මහජනයා ද සම්බන්ධ වන්නට ඇතත් ඒවා මෙහෙයවන ලද අය සමාන්‍ය මහජනයා විය නොහැකිය. එම ප්‍රහාරයෙන් ආරම්භවී ඉන්පසු ගෙවුණු දින දෙක තුන රට හොඳ සිහිය අහිමි කර ගනිමින් ආවේශවී ක්‍රියා කරන තත්ත්වයකට පත්ව සිටි අතර රට ගමන් ගනිමින් තිබුණේ අරාජිකත්වයේ බිහිසුණු අගාධයට ය.
නව අගමැතිවරයෙකු පත්වීම නිසා සංකේතාත්මක වශයෙන් රටේ ආණ්ඩුවක් ඇති වී අරාජිකත්වයට යන ගමනේ ලොකු පසු බැස්මක් ඇති විය. අගමැතිකම භාර ගැනීම නිසා ඇතිවූ එම වෙනස සමහර අය විස්තර කරමින් තිබෙන්නේ "බිත්තියට හේත්තු කර තිබු රාජපක්ෂ ආණ්ඩුව" එම තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා කරන ලද්දක් ලෙසය. එම ක්‍රියාව රාජපක්ෂ ආණ්ඩුවේ යහපතට හේතු වන්නට ඇතත් ඊට වඩා රටේ යහපතට හේතු වීයයි කිව හැකිය. රාජපක්ෂ පාලනය පරාජය කරන්න යන්නේ ව්‍යවස්ථානුකූල ක්‍රමවලට නොවේ නම් ඉන් ලැබෙන ප්‍රතිඵලය වනු ඇත්තේ වඩා හොඳ විකල්ප පාලනයක් වෙනුවට වඩා භයානක අරාජික තත්ත්වයකි. එම තත්ත්වය සමාන කළ හැක්කේ කබලෙන් ලිපට වැටීමකට ය.
රාජපක්ෂ රෙජීමය පමණක් නොව රටේ පවතින දුෂ්ඨ සහ දූෂිත ක්‍රමයද පරාජය කළ යුතුය. එම කාර්ය භාරය කළ යුත්තේ ව්‍යවස්ථානුකූල ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකින් මිස රට අරාජික කිරීමට හේතුවන බලහත්කාරී ලෙස ආණ්ඩු පෙරලන ප්‍රවේශයකින් නොවේ.
මේ මොහොතේ රට මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය වනුයේ රට අරාජික තත්ත්වයකට තල්ලු වීම වැලකීමය. රට එවැනි තැනකට යාම වලකා ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීමට අවශ්‍ය ශක්තිමත් වටාපිටාවක්ද ඇති කරමින් System Change එකක් ද දිනා ගැනීම සඳහා තෝරා ගත හැකි හරි මාවත වනුයේ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කිරීමය.
එවැනි වැඩ සටහනක් බෙදී සිටින දේශපාලන පක්ෂ ඒකාග්‍ර කිරීමට ද, බලාපොරොත්තු විරහිත තත්ත්වයක සිටින මහ ජනතාව අතර අලුත් බලාපොරොත්තු ඇති කිරීමට ද හේතු වනු ඇත. ප්‍රතිසංස්කරණ වැඩ සටහන දකුණු අප්‍රිකාවේ වගේ ප්‍රධාන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන දෙයක් බවට පත් කළ හැකිය.
ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සදහා ක්‍රියා කරන අතර සුදුසු ආණ්ඩු ක්‍රමයක් සඳහා පොදු එකඟතාවයක් ඇති කර ගනිමින් එම ආණ්ඩුක්‍රමය සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගන්නා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නීති රීති සහ ප්‍රතිපත්ති ඇති කර ගන්නා තැනකට යා හැකිය.
දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමට අවශ්‍ය බලතල මැතිවරණ කොමිසමට ලබා දිය හැක. ඡන්ද ව්‍යාපාර සඳහා පක්ෂවලට සහ අපේක්ෂකයින්ට ලැබෙන අරමුදල් සහ වියදම් නියාමනය සදහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ විදිවිධාන ඇති කළ හැකිය.
ඒ සියල්ල ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ පළමු අදියරයට අයත් වැඩ බවට පත් කළ හැකිය. පළමු අදියරයේ සහ දෙවැනි අදියරයේ ප්‍රතිසංස්කරණ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ වැඩ සටහනක අදියර දෙකක් විය යුතු අතර මැතිවරණයෙන් කුමන පක්ෂයක් බලයට ආවද දෙවැනි අදියරයට ඇතුළත් ප්‍රතිසංස්කරණ වැඩ සටහන ඒ ආකාරයයෙන්ම ක්‍රියාත්මක කිරීම පැහැර හැරිය නොහැකි ව්‍යවස්ථාපිත වගකීමක් බවට පත් කළ යුතුය.
එක්සත් ජාතින්ගේ සංවිධානය එම ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ නිරීක්ෂකයෙකු බවට පත් කර ගැනීම මගින් විශේෂ වශයෙන් අතුරු ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සහ මහජන සහභාගි ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම් සේම තාක්ෂණ සහය ලබා ගත යුතුය. ක්‍රමයේ යහපත් සහ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතු වන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකින් මුළුමනින් බැහැර වී සිටීමේ හැකිවක් දේශපාලන පක්ෂවලට නැත. සමහර විට ඒ නිසා එම ප්‍රතිසංස්කරණ වැඩ සටහන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගැනීමට ද ශක්තිමත් පදනමක් ලබා දෙන දෙයක් බවට ද පත් විය හැකිය.
Lanka Newsweek © 2023