Sunday 10th of December 2023

English Tamil
Advertiesment


හොඳටම කළේ බැසිල් ද, රවී ද..?


2022-04-06 7807

 

රවී ගැන ඔබ මේ තොරතුරු දන්නවා ද..?

 

ගෙවුම් ශේෂ අර්බුදය රවී කළමනාකරණය කළේ මෙහමයි 

 

ජනතාවට සහන මල්ලක් දුන්නේ නත්තල් පප්පෙක් නිසා නොවේ  

 

බැසිල් අසමත් වෙද්දී, රවී සමත් වුණේ කෙසේ ද..?

 

රවී ගැන සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විග්‍රහය මෙන්න..!

 

 

(ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ්  වාස්,  ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ,  එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර)

 

ශ්‍රී ලංකාව වර්තමානයේ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර මෙලෙස ආර්ථික අර්බුදය උග්‍ර වන විට ඒ සමගම දැවැන්ත සමාජයීය ගැටලු  රාශියක් පැන නැගීම නවතා දැමිය නොහැකි තත්ත්වයකි. එසේ නම් ඉදිරියේදී හොරකම්, මැරකම් සහ මිනී මැරුම් ආදිය ද වේගයෙන් ඉහළ යන බව ආර්ථික විශේෂඥයින්ගේ සේම සමාජ ක්‍රියාකාරීන්ගේ ද අදහසයි. 

වර්තමානයේ දී ඇතැමුන් වසර හැත්ත හතරක දේශපාලන ඉතිහාසයට ඇඟිල්ල දිගු කළ ද මෙම දැවැන්ත ණය උගුල මත උඩුදුවා ඇති විදේශ විනිමය අර්බුදය සැබැවින්ම නිර්මාණය වූයේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන එම පවුල් පාලන සමයේ දී බව අවධාරණය කළ යුතුය. වර්තමාන මුළු ණය ප්‍රමාණයෙන් 34% ක් පමණ 2007 වර්ෂයේදී ලබා ගෙන තිබීමෙන් ඒ බව මනාව සනාථ වේ. 

2015 වන විට ද ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත සහ විදේශීය ණය කළමනාකරණය මෙවැනිම අර්බුදයකට ගමන් කරමින් තිබුණි. නමුත් ජාතියේ වාසනාවකට වගේ 2015දී යහ පාලන රජය බලයට පැමිණි අතර ම මුදල් අමාත්‍ය ධූරය ආසියා ශාන්තිකරයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ රවී කරුණානායක මහතාට හිමි විය. ඔහු ඉතාම සූක්ෂම ලෙස මෙම ගැටලුව විසදු අතර ශ්‍රී ලංකාවට නැවතත් ජාත්‍යන්තරය ඉදිරියේ සෘජුව නැගී සිටීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරන ලදී. නමුත් ඔහුට පදනම් විරහිත චෝදනාවක් එල්ල කොට එම අමාත්‍ය ධූරය අහිමි කළ නිසා අපගේ අදහසට අනුව ශ්‍රී ලංකාව දශක ගණනාවක් ආපස්සට ගමන් කර ඇත. 

යහ පාලන රජය අවසන්වීමෙන් පසු නැවතත් වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමඟ සිදු කළ ඉතා අදූරදර්ශී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නිසා යහ පාලන රජය විසින් තරමකට හෝ විසඳා තිබූ රාජ්‍ය මූල්‍ය අර්බුදය සෑම ආකාරයකින්ම නැවතත් ආපස්සට ගෙන යාමට හේතු විය. 

ආරම්භයේදීම VAT බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම හේතුවෙන් රාජ්‍ය අයවැය මත දැවැන්ත අමතර පීඩනයක් ඇති කිරීම වර්තමාන අර්බුදයේ මූලාරම්භය බව නොරහසකි. ඉන්පසුව සීනි බදු වංචාවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමි වූ මුදල රුපියල් බිලියන 15.9 කි. ශ්‍රී ලංකාව ණය ගෙවා ගැනීමේ අර්බුදයක සිටින රටක් බවට වන පළමු සංඥාව ජාත්‍යන්තරයට ලැබුණේ, VAT බදු කපා හැරීමත් සමගම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පහතට වැටීමත් සමගය. එසේ බදු කපා හැරීම කෙතරම් අදූරදර්ශී මෝඩ සහ තකතීරු තීරණයක්ද යන්න එමගින් මානව පැහැදිලි වේ. කෙටි කාලීන ඡන්ද වාසිය වෙනුවෙන් මෙවැනි අදූරදර්ශී ක්‍රියා රවි කරුණානායක මහතා සහ යහ පාලන ආණ්ඩුව කිසිදු දිනක සිදු නොකළේය.

එසේම වර්තමාන ආණ්ඩුව කිසිදු විනයකින් සහ අවබෝධයකින් තොරව රුපියල් කෝටි ගණන්  අච්චු ගැසීම හේතුවෙන් රුපියලේ අගය වේගවත්ව පිරිහෙමින් ඇත. මේ ආණ්ඩුව 2021 දී පමණක් මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.2 කි. මෙම ප්‍රමාණය මේ දක්වා මුද්‍රණය කරන ලද මුළු මුදල් ප්‍රමාණය වගේ කිහිප ගුණයකි. ඒ සමගම ඩොලරයේ අගය අනම්‍ය ලෙස බැඳ තබා ගෙන සිටීමෙන් තව දුරටත් රට අභ්‍යන්තරයට ඩොලර් ගලා ඒම ඉතා සීමා සහිත වූ අතර විදෙස් ශ්‍රමිකයින් උන්ඩියල් ක්‍රමය භාවිතා කිරීමට දිරි ගැන්වීය. අශ්වයා ගිය පසු ඉස්තාලය ඉස්තලයේ දොර වැසුවා වගේ 2022 මාර්තු මාසයේදී ඩොලර්ය එකවරම පා කරන ලද අතර ඒ වන විට සිදු වීමට තිබූ විනාශය සිදු වී හමාරය.

නමුත් ඒ වන විට ඩොලර් සපයන්නන් උන්ඩියල් වෙළඳ පොළට යොමු වී අවසන් වී ඇති නිසා අප මෙම ලිපිය ලියන මොහොත වන විටත් ඔවුන් උන්ඩියල් වෙළඳ පොළේ ම කටයුතු කරමින් සිටී. ඊට හේතුව එම වෙළෙඳ පොළේ හැමවිටම අමතරව රුපියල් පහළොවක විස්සක පමණ ප්‍රමාණයක් (Premium) ගෙවන නිසා වේ. එම නිසා තවමත් බැංකු පද්ධතියට ඩොලර් ගලා ඒම ප්‍රමාණවත් නොවේ. එම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පවා වර්තමානයේ ඩොලර් නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

2015 දී යහ පාලන රජය බලයට පත් වී රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධූරය භාර ගන්නා විටදී ද එවකට පැවැති ඒකාධිපති රාජපක්ෂ පවුල් රෙජිමය අනුගමනය කරමින් සිටියේ මෙවැනිම රාජ්‍ය මූල්‍ය සහ විදේශ විනිමය ප්‍රතිපත්තියකි. ඒ වන විටද රුපියල අනම්‍ය ලෙස බැඳ තබා ගනිමින් ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 130 - 140 ත් අතර පාලිත තත්ත්වයක පවත්වා ගෙන ගියේය. ඩොලරය එසේම පවත්වා ගෙන ගියේ නම් අද වන විට උදාවෙන තත්ත්වය මේ වන විට හොඳින්ම පැහැදිලි වේ. 

නමුත් මුදල් ඇමතිවරයා ලෙස රවී කරුණානායක මහතා සහ යහ පාලන ආණ්ඩුව සුදුසු වෙළඳ පොළ ක්‍රියා මාර්ග ගනිමින් ක්‍රමයෙන් ඩොලරය සමතුලිත අගයකට ගෙන ඒමට කටයුතු කරන ලදී. එමගින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට විශාල දායකත්වයක් ලැබිණි. එමගින් ඔහු ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස පහත හෙළමින් ජනතාවට විශාල සහනයක් ලබා දුනි. වරෙක රවී කරුණානායක මහතා ඉන්ධන මිල ස්ථායිකරණය සඳහා වන ඩොලර් සංචිතයක් පවත්වා ගැනීමට ද අවධානය යොමු කළ නමුත් ඊට විරුද්ධවාදීන් අකුල් හෙළී ය. 

රාජ්‍ය බදු පදනම පුළුල් කිරීමට සන්නිවේදන ක්ෂේත්‍රය වැනි නව ක්ෂේත්‍ර  මත බදු පැනවීම සිදු කළේ ජනතාවට නොදැනෙන ලෙසය. ඒ බඹරා මල නොතලා රොන් ගන්නා සේය. මෙලෙස රාජ්‍ය ආදායම ඉහළ නංවා එමඟින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් 10,000/= කින් ඉහළ නැංවීමට ද ඔහු කටයුතු කළේය.

තවද රුපියල ක්ෂය වීම වැලැක්වීමට මුදල් මුද්‍රණය කිරීම ඉතාම අඩු මට්ටමක පවත්වා ගනිමින් රාජ්‍ය ණය පියවීමට මුදල් මුද්‍රණය කිරීමේ රාජපක්ෂ වැඩ පිළිවෙළ කිසිසේත්ම අනුගමනය නොකර රාජ්‍ය ආදායම ඉහළ නංවා ණය පියවීමට කටයුතු කළේය. 

එලෙසම ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැවත ගොඩ නැගීමට සේම GSP ප්ලස් වැනි ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කෙරෙහි ඉතාම වැදගත් ලෙස බලපාන ජාත්‍යන්තර සහයෝගීතා නැවත ලබා ගැනීමටත් කටයුතු කරන ලදී. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය වාර්තා ගත ලෙස පහත හෙලීමට හැකි වූයේ එබැවිනි. එසේම වසර 63 කට පසු ගෙවුම් ශේෂයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමටද රවී කරුණානායක සමත් විය. ඔහුගේ මෙම කාර්යක්ෂම වැඩ පිළිවෙළ අගයමින් "The Banker" පුවත්පත ආසියා-ශාන්තිකරයේ හොඳම මුදල් ඇමති යන ගරු නාමය ඔහුට ලබා දුන්නේ එබැවිනි. 

"The Banker" පුවත්පත මෙසේ වාර්ෂිකව කරන ඇගයීම් ශ්‍රී ලංකාවේ වගේම ජාත්‍යන්තරයේ බැංකු පවා සිය ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගන්නේ ඊට ඇති ගෝලීය පිළිගැනීම සහ විශ්වාසදායීත්වය නිසාය. නමුත් රවී කරුණානායක මහතාව ජාත්‍යන්තරය කළ ඇගයීමට සාපේක්ෂව රටක් ලෙස ශ්‍රී ලංකාව ද, රටේ  ජනමාධ්‍ය සහ යහ පාලන ආණ්ඩුව ද අගය නොකිරීම  කනැගාටුවට කරුණකි. ශ්‍රී ලාංකිකයින් මේ කරුණු කාරණා පිළිබඳ නොදැනුවත් ය. ඊට හේතුව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඒකාධිපති රාජපක්ෂ පවුල් රෙජිමයට යට වී සිටීමය.

ජාතියේ අවාසනාවට රවී කරුණානායක මහතාට බොරු චෝදනාවක් එල්ල කර මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළේ නම් අද අපට මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. මේ වන විට ඔහු අපහාසයට ලක් කිරීමට බොරු චෝදනා එල්ල කළ ඒකාධිපති රාජපක්ෂ රෙජිමය බලයේ සිටින විට ම අධිකරණය විසින් ඔහු නිදොස් කොට නිදහස් කිරීම ශ්‍රී ලාංකිකයින්ගේ ඇස් ඇරීමට හේතු වී ඇත. නමුත් දැන් අප ප්‍රමාද වී වැඩි බව අපගේ අදහසයි. ඒකාධිපති රාජපක්ෂ රෙජීමය සෑම විටම වාගේ ඔවුන්ගේ ජනමාධ්‍ය භාවිතා කර ජනතාව ගොනාට ඇන්දවීමට කටයුතු කර ඇත.

 

 

Advertiesment