Tuesday 23rd of July 2024

English Tamil
Advertiesment


මහා ජන විප්ලවයේ අවසානය කුමක්ද..?


2022-04-06 13972

 

රටේ ආර්ථික-දේශපාලන-සමාජ අර්බුදය විසඳන හැටි මෙන්න..!

 

 

(වික්ටර් අයිවන්)

 

රටේ අර්බුදය ආශ්‍රයෙන් ඇතිවූ මහජන නැගිටීම මේ වන විට තිබෙන්නේ මහා විපර්යාසයක ආරම්භක අදියරය බොහෝ දුරකට අවසන් කර ඇති ඓතිහාසික මොහොතකය. මෙතෙක් සිදුවූ ක්‍රියාදාමය මහ ජනයාගේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ලෙස සැළකිය හැකි ය. සාමකාමි මහ ජන නැගිටීම්වලට කළ හැකි හොඳ දේ බොහෝය. 

ඒ සමග එම මහා ජන නැගිටීම් මනා විනයක් සහිතව සිදු කිරීම සහ නතර කළ යුතු හරි තැන තීරණය කිරීමට අසමත් වුව හොත් එම නැගිටීම් රට අරාජිකත්වයකට යොමු කිරීමෙන්ද අවසන් විය හැකිය. මහ ජනයා තවමත් සිටින්නේ මහ පාරයේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කේන්ද්‍ර කර ගත් තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුව තිබෙන්නේ කෑලි හැලෙමින් කඩා බිඳ වැටෙමින් තිබෙන තත්ත්වයකය.

 
මාර්තු 31 මිරිහාන සිද්ධිය 

 

2022 මාර්තු 31 වනදා සවස ජනාධිපති ජීවත් වූ මිරිහාන පැඟිරිවත්ත නිවසට යන පෞද්ගලික පාර ඉදිරිපිට ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ලොකු ජන පිරිසක් තමන්ට විඳින්නට සිදු වී තිබෙන දුක් ගැහැට මුල් කර ගෙන ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක නිරත විය. මිට පෙරද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රධාන කාන්තා පිරිසක් ජනාධිපතිගේ නිවස ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබුණි. එම විරෝධතාවය දේශපාලන පක්ෂයක වැඩ සටහනක් වූ අතර වඩා විශාල සහ ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ලෙස සැළකිය හැකි 2022 මාර්තු 31 වනදා පැවැති ව්‍යාපාරය කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධයක් නොතිබුණු විරෝධතාකරුවන්ගේ ස්වයං කැමැත්ත මත ක්‍රියාත්මක වූ ස්වාධීන පුරවැසි ව්‍යාපාරයක් ලෙස සැළකිය හැකිය. 

මේ තරම් විශාල ප්‍රමාණයකින් නොවුවත් මේ පිරිස දින 20 ක් පමණ කාලයක් තිස්සේ එක දිගට සවස් කාලයේ ජුබිලි කණුව අසල ඉතාමත් සාමකාමි සහ විනයානු කූල ස්වරූපයකින් වීරෝධය පළ කරන ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් තිබුණි. එම විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියේ මැද පංතික පසුබිමක් ඇති පවුල් වල පුරුෂයින් සහ කාන්තාවන්‍ ය. 

දින 20 ක් පමණ එක දිගට විරෝධය පළ කරන තත්ත්වයකට ඔවුන් යොමුවී තිබීම කෙරෙහි අර්බුදය විසින් ඔවුන්ගේ ජීවිත මත පටවා තිබෙන පීඩාකාරි තත්ත්වයේ තරම පෙන්නුම් කරයි. එම විරෝධතා ව්‍යාපාරය ජනාධිපතිගේ නිවස ඉදිරියට ගෙන යාමට තීරණය කළේ ඇයිද යන්න පැහැදිලි නැත. විරෝධය පළ කළ යුතු හරිම තැන එම ස්ථානයවේ යැයි ඔවුන් කල්පනා කළා විය යුතුය. 

කෙසේ හෝ ජනාධිපතිගේ නිවස අසලට යන ගමනට වෙනදාට වඩා විශාල පිරිසක් එකතුවූ බව පෙනේ. ඔවුන්ගේ එම බලවත් මහ ජන විරෝධතා ව්‍යාපාරය විශාල ලෙස පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් කඳුලු ගෑස්වලින් සහ රබර් වෙඩි උණ්ඩවලින් පහර දී විසුරුවා හැරීමට සමත් වුවත් එදින එහි සිදුවූ එම සිද්ධි දාමය ශ්‍රී ලංකාවේ දේශපාලන චිත්‍රයෙහි වැදගත් සේම බලවත් වෙනස්කම් ගණනාවක් ඇති කිරීමට හේතු විය.

 
මහ ජනයාට ප්‍රමුඛත්වය 

 

2022 මාර්තු 31 වනදා සිදුවූ ඓතිහාසික වැදගත්කමක් ඇති එම මහ ජන සංසිද්ධිය වන තෙක් ම රටේ දේශපාලන ගමන් මග තීරණය කිරීමේ ඒකාධිකාරි බලය හිමිව තිබුණේ දේශපාලන පක්ෂවලටය. මහ ජනයා දේශපාලන වශයෙන් ක්‍රියාකාරි වී නම් එසේ කරන ලද්දේ දේශපාලන පක්ෂවල ඇණවුම පරිදිය. 

එහෙත් 2022 මාර්තු 31 වනදා සිද්ධියේදී ඊට සහභාගී වූ මහ ජනයා දේශපාලන පක්ෂයක ඇණවුම පරිදි කරන ලද ක්‍රියාවක් නොවීය. එම ක්‍රියාදාමය එක ප්‍රදේශයක මහ ජන කණ්ඩායමක් ස්වාධීනව ගනු ලැබූ තීරණයක් මත ක්‍රියාත්මක කළ ඉතාමත් නිර්භීත සහ ප්‍රබල විරෝධය ප්‍රකාශ කිරීමක් විය. ඔවුන් ඒ සඳහා කිසිදු දේශපාලන පක්ෂයකින් උදව් ලබා ගැනීමට උත්සහ කර නැත. තමන්ට තිබෙන ශක්තිය මත පිහිටා ක්‍රියා කිරීම ඔවුන්ගේ අභිලාෂය වූ බවද පෙනේ. 

එම විරෝධතාවය තරම් ප්‍රබල ලෙස නොවුවත් දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගැනීමෙන් තොරව මහ ජනයා ස්වාධීනව සිදු කරන විරෝධය පළ කිරීම් තවත් බොහෝ තැන්වල ද දකින්නට ලැබෙන සමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබුණි. මහ ජනයා අතර ප්‍රබල ආණ්ඩු වීරෝධී සහ ක්‍රම විරෝධයකට අතිරේකව සියලු පරණ දේශපාලන පක්ෂ කෙරෙහි වන විරෝධයක් ද ඇති වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එම ස්වභාවය අලුතින් වර්ධනය වූ ප්‍රවණතාවයක් ලෙස සැළකිය හැකිය. 

ඒ සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන අවකාශයේ දේශපාලන පක්ෂ විසින් මුළුමනින් හිමි කර ගෙන තිබුණු ආධිපත්‍ය බිඳවැටී එහි සැළකිය යුතු තරම් ලොකු පංගුවක් මහ ජනයා විසින් මේ වන විට හිමි කර ගෙන තිබෙන්නේ යැයි කිව හැකිය. 2022 මාර්තු 31 වැනිදා සිද්ධිය වන තෙක්ම රටේ පවතින අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුව සේම විරුද්ධ පක්ෂද අනුගමනය කළ ප්‍රතිපත්තිය සාධාරණ හෝ යහපත් වී යැයි කිව නොහැකිය. 

මෙවැනි දැවැන්ත අර්බුදයකදී ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම අර්බුදය ආණ්ඩුවට තනිව ජය ගත හැකි තරමේ ප්‍රශ්නයක් නොවන බව තේරුම් ගනිමින් විරුද්ධ පක්ෂවලද සහාය ලබා ගෙන මහ ජනයාගේ ද පිළි ගැනීමට හේතු වන අර්බුදය ජය ගැනීමට ඇත්ත හැකියාවක් ඇති ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් හදා ගනිමින් සියලු දෙනාගේ සහාය ඇතිව එම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමය. 

එහෙත් ආණ්ඩුවට එවැනි දූරදර්ශී දැක්මක් නොතිබුණි. එහිදී ආණ්ඩුව අනුගමනය කළ දූෂිත, නාස්තිකාර, මෝඩ සහ උද්ධච්ඡ ක්‍රියා කලාපය ආණ්ඩුවේ මහ ජන පදනම උපරිම මට්ටමකට සිඳ බිඳ දැමීමට හේතු විය. මෙවැනි දැවැන්ත අර්බුදයකදී ආණ්ඩුව සිය යුතුකම් සහ වගකීම් ඉටු නොකරන්නේ නම්, අර්බුදය ජය ගැනීම සඳහා වන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට ආණ්ඩුව, ජනතාව සහ රට යොමු කිරීමේ වගකීම ඊළඟට කරට ගත යුතුව තිබුණේ විරුද්ධ පක්ෂය විසිනි. 

එහෙත් විරුද්ධ පක්ෂ සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක බවට පත් කර ගෙන තිබුණේ රටේ අර්බුදය නොව අර්බුදය මත පදනම් වී හැකි ඉක්මනින් බලය ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. විරුද්ධ පක්ෂ අතර ප්‍රමුඛත්වය සදහා වන තරඟයද ඒ වන විට රළු පරුෂ අශෝභන ස්වරූපයක් ගෙන තිබුණි. විරුද්ධ පක්ෂ අතර භේද උග්‍ර කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාවට නඟන ලද තනියෙන් බුදු වීමේ ප්‍රතිපත්තියද බල පෑවේය. 

අර්බුදයට පෙර දේශපාලන පක්ෂ ගැන මහ ජනයා අතර විවේචනයක් තිබුණේ නම් අර්බුදයෙන් පසු එම ප්‍රවණතාවයේ ලොකු වර්ධනයක් ඇති වී විවිධ පක්ෂ වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ගේ පංගුව කුඩා වෙමින් ස්වාධීනව කරුණු සලකා බලන මහ ජනයාගේ පංගුව ඉහළ යමින් තිබුණේය. ඉතාමත් වැදගත් කාරණයක් වනුයේ මේ අර්බුදය මිනිසුන්ගේ පසුගාමි සහ ගෝත්‍රවාදි ආකල්ප ද දුර්වල කිරීමට හේතු වී තිබීමය. විශේෂයෙන් සිංහල බෞද්ධ ජනයා අතර පැවති දෙමළ-මුස්ලිම් විරෝධි ආකල්ප සහ බෞද්ධ නොවන ආගම් විරෝධි ආකල්ප දුබල කොට බහුත්වවාදි ආකල්ප වර්ධනය කිරීමට හේතුවී තිබේ.


පුරවැසි සමාජයේ පරිවර්තනය


දේශපාලන පක්ෂවලින් ස්වාධීනව පුරවැසියන් පවත්වා ගෙන යන විරෝධතා ව්‍යාපාර සහ ඒ ආශ්‍රයෙන් ඇති වන ගැටුම් වඩා දියුණු නව පුරවැසි සමාජයකට උපත ලබා දෙන දේශපාලන ගර්භාෂයක් ලෙස ක්‍රියා කරමින් තිබෙන බවද පෙනේ. පෙර විවිධ කාලවලදී ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් සහ කලකෝලාහල නිසා මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව විශාලය. ඒ ගැටුම්වලින් මුදා හැරුණ භීතිය සහ කෲරත්වය විසින් එම ගැටුම්වලින් නොමැරී ඉතිරි වූ මිනිසුන්ද අධ්‍යාත්මික වශයෙන් මළ මිනිසුන් බවට පත් කිරීමට හේතුවී තිබුණි. 

ආත්මාර්ථකාමි, ගෝත්‍රවාදි සහ මිථ්‍යා විශ්වාස කර පින්නා ගත් පහසුවෙන් රැවටිය හැකි, බිය සුළු සේම අවිචාරවත් සමාජයක් ඇති කිරීමට එම සුවිශේෂ සමාජ වටපිටාව හේතුවී තිබුණි. මෙම අර්බුදය මත ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ශ්‍රී ලංකාවේ ගෞරවය, නිදහස සහ යහපත් පරිවර්තනයක් වෙනුවෙන් විරෝධතා ව්‍යාපාර ස්වරයෙන් කරන අරගල නිසා ඔවුන්ගේ තුවාල වූ සහ රෝගි වූ අධ්‍යාත්මයන් සුව කිරීමට හේතුවී ඔවුන් දියුණු, සංවේදි, බහුත්වවාදි සේම විචාරවත් පුරවැසියන් බවට පත් කිරීමට හේතුවී තිබේ. 

2022 අප්‍රේල් 03 වැනි ඉරිදා තරුණ කණ්ඩායමක් විසින් රටේ සියලු නගරවලට මහජනයා කැදවා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට තිබූ සූදානම ලොකු විවේචනයකට හේතුවී ඇතත් ඔවුන්ගේ එම ආයචනයට මහ ජනතාවගෙන් ලැබී තිබුණ අති විශාල ප්‍රතිචාරවලින් පෙනෙන්නේ ඔවුන්ගේ ආයාචනය මහ ජනයාගේ බලවත් උනන්දුවට හේතු වී තිබුණ බවය. 

එසේම ඔවුන් කල්පනා කළ ආකාරයේ විශාලත්වය සහ ඒ සදහා නවීන තාක්ෂණය යොදා ගත් අකාරය ප්‍රශස්තය. මහ ජනයාට එම ආරාධනාව කළේ දේශපාලන පක්ෂයක නමින් නම් මහ ජනයාගෙන් ලැබෙන ප්‍රතිචාරය එතරම් සුවිශාල නොවන්නට ඉඩ තිබුණි. එසේම එම ආයාචනයට ලැබුණ ප්‍රතිචාරය ඉතා විශාල වුවත් ඊට ප්‍රතිචාර දැක් වුවන්ගෙන් අති විශාල බහුතරය එම වැඩ සටහනට තමන්ට ආරාධනය කරන්නේ කවුරුන්දැයි දැන නොසිටි බවද එම වැඩ සටහන සැලසුම් කරන ලද නායකයින් තේරුම් ගත යුතුය. එවැනි නොපෙනෙන අදෘශ්‍යමාන වැඩ සටහනක් මෙහෙය වන ලද අය දැනටමත් රටේ ජතාව විසින් තම නායකයින් ලෙස පිළි ගෙන තිබෙන්නේ යැයි සිතන්නේ නම් එම සිතුවිල්ල ද නිවැරදි සිතුවිල්ලක් නොවන බව ඔවුන්ද තේරුම් ගත යුතුය.

 
විසඳුමක් ඇති කර ගැනීම

 

ශ්‍රී ලංකාවේ අර්බුදය මේ වන විට තිබෙන්නේ බලයේ සිටි රාජපක්ෂ පවුල ප්‍රමුඛ පාලක පක්ෂයට ශ්‍රී ලංකාවේ තිබු දේශපාලන ආධිපත්‍යය ආපසු ලබා ගත නොහැකි ලෙස විශාල ප්‍රමාණයකට අහිමි කළ තත්ත්වයකය. එහෙත් මහ ජනතාව අතට හෝ ජනතාවගේ නියෝජිතයින් ලෙස සැළකිය හැකි වෙනත් විකල්ප බල කණ්ඩායමක් අතට ඒ බලය තවමත් සැබෑ ලෙස මාරු වීමක් සිදුවී නැත. 

ජනතාවගේ යහපතට හේතු වනු ඇත්තේ එවැනි බල මාරුවකට යන්නට පෙර තාවකාලික පාලක මණ්ඩලයක් යටතේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය සහ සමාජ-දේශපාලන අර්බුදය ද ජය ගැනීමට හේතු වන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කිරීමය. 

එළැඹී තිබෙන මේ නිමේෂය අර්බුදයේ තීරණාත්මක වැදගත්කමක් ඇති සංධිස්ථානයක් ලෙස ලෙස සැළකිය හැකිය. එම සංධිස්ථානය වරද්දා ගත හොත් සමස්ථ පරිවර්තනයම අයාලේ සහ අරාජිකත්වය කරා යන තත්ත්වයක් බවට පත් විය හැකිය. 225 ම එපා කියන සටන් පාඨය ලස්සන විය හැකි වුවත් ප්‍රජාතන්ත්‍රවාදී නැත. ව්‍යවස්ථාදායකයේ සිටිය යුත්තේ කවුද..? නොසිටිය යුත්තේ කවුද..? යන්න තීරණය කළ යුත්තේ මහ ජනයා විසින් මහ පාරේදී නොව ජන්දදායකයින් විසින් ඊළඟ මැතිවරණයකදී ය. 

මහජනයා අපේක්ෂා කරන්නේ පාලන මාරුවක් නොව ක්‍රමවේද මාරුවකි. ඒ තත්ත්වය දිනා ගත යුත්තේ ව්‍යවස්ථානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී අකාරයකට ය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් අවශ්‍ය වන්නේ ඒ සදහාය. 

එම වැඩ සටහන ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථානුකූල රාමුවකය. ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් ඇති කොට ඒ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා තාවකාලික පාලන රාමුවක් ඇති කර ගැනීම අවශ්‍යය. ජනාධිපතිවරයා එවැනි වැඩ සටහනකට එකඟ නම් ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂ ද ප්‍රධාන ධාරාවෙන් බාහිර දේශපාලන ප්‍රවණතාවලටද නියෝජනයක් ලැබෙන ලෙස සහ මේ වන විට ඇතිවී තිබෙන පරිවර්තනයේ සැබෑ හිමිකාරයා ලෙස සැළකිය හැකි මහ ජනයාටද නිසි නියෝජනයක් ලබා දෙමින් ඒ සියලු දෙනා ඇතුළත් කර ගන්නා අන්තර් වාර පාලක මණ්ඩලයක් ඇති කර ගත හැකිය. 

ජනාධිපති ඔහුට තිබෙන රාජපක්ෂ නාමය නොසලකා සම්බන්ධ කර ගැනීම අවශ්‍ය වන්නේ එම නිල තනතුර රටේ සිදු කරන්නට යන පරිවර්තන වැඩ සටහනට ව්‍යවස්ථානුකූල පදනමක් ලබා දෙන නිසාය. ඊළඟ මැතිවරණය තෙක් රටේ පාලන කටයුතු කර ගෙන යා යුත්තේ එම ප්‍රතිසංස්කරණ වැඩ සටහනට අනුවය. එම වැඩ සටහන ක්‍රියාත්මක කළ යුත්තේ ද එම අන්තර් වාර හෝ භාරකාර ආණ්ඩුව විසිනි. ප්‍රතිසංස්කරණ වැඩ සටහනට ඇතුළත් විය යුතු මූලික කාරණා පිළිබඳව මීට පෙර කතා කර ඇති බැවින් ඒ ගැන කිසිවක් මෙහි කතා නොකරමි. 

කිසිවෙකුටත් මෙම වැඩ සටහන අවුල් කිරීමට ඉඩ නොතැබීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය මේ වැඩ සටහනට නිරීක්ෂකයෙකුගේ තත්ත්වයෙන් සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්‍ ය. අන්තර් කාලීන හෝ භාරකාර ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ වැඩ සටහනට, මහ ජන සහභාගි ස්වරූපයෙන් සිදු විය යුතු ව්‍යවස්ථා සම්පාදනයට සහ ඒ සඳහා යොදා ගන්නා මහ ජන නියෝජිතයින්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ද ඒ කටයුතු කිරීම සදහා අන්තර් වාර ව්‍යවස්ථාවකින් බලය ලබාදිය යුතුය. 

ඒ සමග නව ව්‍යවස්ථා සම්පාදනයකින් සුදුසු ආණ්ඩු ක්‍රමයක් ඇති කර ගන්නා තෙක් ජනාධිපතිට නීතියට ඉහළින් සිටීමට ලබා දී තිබෙන බලය ද අහෝසි කොට ජනාධිපති නීතියට යටත් තත්ත්වයට පත් කරන අතර අධිකරණයට ද එහි කටයුතු සොයා බලා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කරන තෙක් පරිපූර්ණ වශයෙන් අධිකරණ විමර්ශන බලය ලබා දිය හැකිය. ඉන් අදහස් වන්නේ ඕනෑම නීති විරෝධි ක්‍රියාවක් හෝ නීතියට පටහැනි නීතියක් අවලංගු කිරීමේ බලය අධිකරණයට දීමය. 78 ව්‍යවස්ථාව අවලංගු කිරීම සහ නව ව්‍යවස්ථාව අනුමත කිරීම ද එකම ජනමත විචාරණයකින් සිදු කරන කාර්ය භාරයක් බවට පත් කළ  හැකිය.

 

 

Advertiesment