Friday 23rd of April 2021

English Tamil
Advertiesment


ගෝඨාගේ විප්ලවය..!


2019-07-02 2115

ගෝඨා වීරයකු වීම..!

රටේ හොඳට හෝ නරකට ගෝඨාභය රාජපක්ෂ මේ කාලයේදී මහ ජනතාව අතර කතාබහට හේතුවී තිබෙන ප්‍රධානම දේශපාලන චරිතය වේ යැයි කිව හැකිය. රට තිබෙන්නේ ලොකු අර්බුදයකය. සියලු දේශපාලන නායකයන් සිටින්නේ සිය ප්‍රතිරූප කෙලසාගත් තත්ත්වයකය. එවැනි නන්නත්තාර වටාපිටාවක ගෝඨාභය රාජපක්ෂ  මැණිකක් ලෙස පෙනීම අස්වාභාවික නැත.

ගෝඨාභය මහජන උනන්දුවට හේතුවන චරිතයක් බවට පත්වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන්ප සුව එම ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ධුරයට පත්වීම, එල්ටීටීඊයට එරෙහිව නැවත ආරම්භ කොට පවත්වා ගෙන යන ඒ දක්වා ජයග්‍රාහීවීමට අසමත් වූ යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමට ඔහු විසින් දෙන ලද සුවිශේෂ දායකත්වය නිසාය.

ඔහු එම යුද්ධය බිහි කරන ලද ප්‍රධාන වීරයන් තිදෙනාගෙන් කෙනෙකි. ඉන්පසු කොළඹ නගරය අලංකාර කොට නවීන කිරීම සඳහා ඔහු ලබාදෙන ලද දායකත්වය ඔහු යුද්ධ විෂයෙහි පමණක් නොව, පාලන විෂයෙහිද ලොකු දක්ෂතා ඇති චරිතයක්වේය කියන හැඟීම මහජනතාව තුළ ඇති කිරීමට හේතුවිය.

මගේ මතය අනුව දැන් සිටින සාම්ප්‍රදායික දේශපාලන නායකයන් සමග සසඳන විට බරපතළ සීමාසහිතකම් තිබියදීත් ගෝඨාභය රාජපක්ෂ  ඒ සියලු දෙනා අතර සිටින දක්ෂයා වේ යැයි මම සිතමි.

එහෙත් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදයට ඔහු විසඳුමක් වේ යැයි මා විශ්වාස  කරන්නේ නැත. මාගේ විශ්වාසය වන්නේ ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන විස්තීරණ අර්බුදය විසඳීමේ ඇත්ත හැකියාවක් සාම්ප්‍රදායික දේශපාලන ධාරාවේ සිටින, ජනතා විමුක්ති පෙරමුණ, ගෝඨාභය රාජපක්ෂ  ඇතුළුව කිසිදු නායකයකුට හැකියාවක් නැත.

එම හැකියාව ඇත්තේ ජාලගතවූ සංවිධානාත්මක මහජනයාට පමණමය. රාජ්‍ය හා එහි සමස්ත ආයතන ක්‍රමය තිබෙන්නේ කුණු වූ තත්ත්වයකය. ව්‍යුහමය විපර්යාසයකින් තොරව බලයට පත් වන කිසියම් නායකයකුට රට කාලකණ්ණිභාවය කරා යන ගමනේ කිසිදු ගැඹුරු විපර්යාසයක් ඇති කළ නොහැකිය.

සමස්ත ක්‍රමය තිබෙන්නේ පූර්ණ වශයෙන්ම කුණුවූ තත්ත්වයකය. එම කුණුවී තිබෙන තත්ත්වය තුළ ජනාධිපති ක්‍රමය වෙනස් කොට අලුතෙන් තේරී පත් වන ජනාධිපතිවරයකුට හෝ  ජනාධිපතිවරණයේදී හෝ ජනාධිපති ක්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇති කොට අලුතෙන් තේරී පත් වන අගමැතිවරයකුට හෝ එම කුණුවූ තත්ත්වය වෙනස් කළ නොහැකිය. විය හැක්කේ අලුතෙන් තේරී පත වු රාජ්‍ය නායකයා ඒ කුණුවූ ක්‍රමයේ ගොදුරක් බවට පත් වී කුණු වූ පුද්ගලයෙකු බවට පත් වීම පමණය.

ව්‍යුහමය අර්ථයෙන් ඇති කර ගන්නා විපර්යාසයකින් තොරව බලයට පත් වන නායකයාට වැඩ කරන්නට සිදු වනු ඇත්තේ කුණුවූ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් සහ  ජනමාධ්‍ය සංස්කෘතියත් සමගය. එසේ  බලයට පත් වන රාජ්‍ය නායකයාට හෝ රාජ්‍ය නායිකාවට තමන් බලයට පත් කිරීමට බරපැන දරන ලද දූෂිත ධනවතුන්ට ඒ සඳහා ලබාගත් මිල වෙනුවෙන් පොදු අරමුදල්වලින් ආපසු ගෙවන දූෂිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සිදු වනු ඇත.

එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කොට බලයට පත් වූ යහපාලන ආණ්ඩුවේ නායකයන්ට සිදුවූ ආකාරයටම යහපාලන ආණ්ඩුවේ නායකයන් පරාජය කොට බලයට පත් වන රාජ්‍ය නායකයාට හෝ නායකයන්ටද කුණුවූ තත්ත්වයකට පත් වන්නට සිදුවීමය.

ගෝඨාභය රාජපක්ෂ සිංහල බෞද්ධයන් අතර පිළිගැනීමට හේතුවී සිටින නායකයකු ලෙස සැලකිය හැකි වුවත් බෞද්ධ නොවන සිංහලයන් අතර හා සිංහල බෞද්ධ නොවන ජන වර්ග අතර පිළිගැනීමට හා විශ්වාසයට හේතුවූ නායකයකු බවට පත්වීමට තවමත් සමත් වී නැත.

එම සාධකයද ගෝඨාභය රාජපක්ෂ වැනි අපේක්ෂකයකුට ජයග්‍රාහීවීමට තිබෙන හැකියාව සීමා කරයි. ඒ සීමාසහිතකම තිබියදීත් ජයග්‍රාහකයාවීමට සමත් වෙතොත්, රටේ පවතින බෙදීම් උග්‍ර කිරීමට ඔහුගේ ජයග්‍රහණය හේතුවනු ඇත.

ගෝඨාභය තේරුම් ගැනීම..!

බහුත්වවාදී නොවීම හා ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් වෙනුවට ඒකාධිපති දැක්මක් තිබීම ගෝඨාභය රාජපක්ෂට ආවේණිකබරපතළ සීමසහිතකමක් වේ යැයි කිව හැකිය. බහුතර සිංහල බෞද්ධයාගේ අනුමැතිය නැතිව සුළු වර්ගයාට බර තබා ජයග්‍රහණයක් ලබා ගන්නා පාලකයකුට සාර්ථක පාලනයක් පවත්වා ගෙන යෑමට නොහැකිවා සේම සුළු ජන වර්ගවල අනුමැතිය නැතිව සිංහල බෞද්ධයන්ට බර තබා ජයග්‍රහණයක් ලබා ගන්නා පාලකයකුටද සාර්ථක පාලනයක් පවත්වා ගෙන යා නොහැකිය.

ඒ ක්‍රම දෙකටම ලබන ජයග්‍රහණයක් රටේ තිබෙන බෙදීම් උග්‍ර කිරීමට හේතුවනු ඇත. බෙදී සිටින ශ්‍රී ලාංකේය සමාජය ඒකාග්‍ර කිරීමට ශක්තිය ඇති සියලු ජන වර්ගවල විශ්වාසයට හා ගෞරවයට හේතුවන නායකයන් අපට නැති අතර ගෝඨාභය රාජපක්ෂ සැලකිය හැක්කේද ඒ සුදුසුකම හිමි කර ගැනීමට සමත් වී නැති නායකයකු ලෙසය.

ඊළඟට පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් වැඩි බලයක් හිමිකර ගැනීමට හැකියාව ඇති අපේක්ෂකයාට මුහුණ දෙන්නට සිදු වන සංකීර්ණ ගැටලු දෙකක් ඇත්තේය. පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩි ඡන්ද සංඛ්‍යාක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ දෙවැන්නෙකුට ඡන්දය පාවිච්චි කිරීමක් සිදු වන්නේම නැති තරම්ය.

පළමු වටයේදී සියයට 50කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට අසමත් වෙතොත් දෙවැනි මනාපයෙන් ඒ අඩුව සපුරා ගැනීමේ හැකියාවක් නැත. ඉදිරි ජනාධිපතිවරණයේදී මුහුණ දෙන්නට සිදු විය හැකි තවත් ගැටලුවක් විය හැක්කේ ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය සියයට 50කට වැඩි නොවුවහොත් විය හැක්කේ කුමක්ද යන ප්‍රශ්නයයි.

ජනමතවිචාරණයක් වලංගුවීමට සියයට 50කට වැඩි පිරිසක් ඡන්දය පාවිච්චි කිරීම අත්‍යවශ්‍යවේ නම් ඒ ධර්මතාව ජනාධිපතිවරණයකටද බලපාන්නේය. ඊළඟ ජනාධිපතිවරණයකදී ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය සියයට 50 කට වඩා අඩු වුවහොත් රටේ ලොකු ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

වීරත්වය සහ කැරැල්ල..!

ගෝඨාභය රාජපක්ෂ ගැන අප දැනට  කරන ඇගැයීමේදී  අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගත යුතුව තිබෙන වෙනත් කාරණා සලකා බලන තැනකට යා හැකිය. ගෝඨාභය රාජපක්ෂට ලැබී තිබෙන ජනප්‍රියභාවය හා පිළිගැනීම කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය ලෙස සැලකිය හැක්කේ එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමට හේතුවූ යුද්ධයට ඔහු විසින්ලබාදෙන ලද දායකත්වයයි.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ තරුණ කැරලි 3ක් සිදු විය. ඉන් දෙකක් මෙහෙයවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින්ය. අනෙක මෙහෙයන ලද්දේ එල්ටීටීඊය විසින්ය. 1971 පළමු කැරැල්ලේ පරිමාව විශාල නොවන නිසා මා සැසඳීමකට යන්නේ ජවිපෙ දෙවැනි කැරැල්ල හා එල්ටීටීඊ කැරැල්ල පමණය.

1982 දී දූෂිත ජනමතවිචාරණයක් මගින් එජාප ආණ්ඩුවට හයෙන් පහේ බලයක් තිබූ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ  කර ගැනීමට නොගියේ නම් හා 1983 කළු ජූලියක් ඇති නොවූයේ නම් සිංහල හා දෙමළ වශයෙන් වර්ග කළ නොහැකිවේ. තරුණ කැරලි දෙකම ඇති නොවන්නට ඉඩ තිබුණි.

ජනමතවිචාරණයක් නොපවත්වා පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් එජාප ආණ්ඩුවට තිබුණු හයෙන් පහේ බලය නැතිවී ජේ.ආර්. ජයවර්ධන ගණන් බලා තිබෙන ආකාරයටම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 120 දක්වා පහත වැටී ශ්‍රීලනිප නියෝජනය 68 දක්වා ඉහළ යන්නට ඉඩ තිබුණි. ජවිපෙටද කිසියම් පාර්ලිමේන්තු නියෝජනයක් හිමි වන්නට ඉඩ තිබුණා සේම උතුරෙන් තේරී පත් වන දෙමළ නියෝජනයේද ලොකු වෙනස්කම් ඇති වන්නට ඉඩ තිබුණි.

ජවිපෙ තහනම් කරන ලද්දේ 83 කළු ජූලිය හේතුවක් කර ගනිමිනි. ඔවුන්ට එරෙහිව පනවන ලද එම තහනම ඔවුන් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කොට වනාන්තරයට තල්ලු කිරීමට හේතුවිය.

83 කළු ජූලිය සිදු වන විටත් දෙමළ ඊලමක් වෙනුවෙන් පෙනී සිටින වේළුපිල්ලේ ප්‍රභාකරන්ද ඇතුළුව කුඩා දේශපාලන කණ්ඩායම් කිහිපයක් උතුරේ සිටියද වේළුපිල්ලේ ප්‍රභාකරන්ට බලවත් ලෙස නැගී සිටීමට අවශ්‍ය ශක්තිමත් සමාජ වටපිටාවක් දෙමළ සමාජයේ ඇති කර දෙන ලද්දේ 83 කළු ජූලියයි.

83 කළු ජූලිය දෙමළ ජනතාව වෙත මුදා හරින ලද කෲරත්වයේ පරිමාව සේම ඒ මගින් ඔවුන්ට ඇති කළ විනාශයද අති විශාලය. එය රටේ ගමන් මගෙහි ලොකු වෙනසක් ඇති කිරීමට බලපෑ දැවැන්ත සිද්ධියක් ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් බලන විට වේළුපිල්ලේ ප්‍රභාකරන් සිංහල වර්ගවාදයේ අවලස්සන නිර්මාණයක් ලෙස සැලකිය හැකිය.

ජවිපෙ දෙවැනි කැරැල්ල උපරිම මට්ටමේ ප්‍රචණ්ඩත්වයත් සමග කෲරත්වයත් මුදා හළ බිහිසුණු කැරැල්ලක් ලෙස සැලකිය හැකිය. එම කැරැල්ල වසර දෙකහමාරක් තරම් දීර්ඝ කාලයක් අල්ලා ගෙන සිටීමට සමත් වූ අතර කැරැල්ල පරාජය කරන ලද්දේද බලය අල්ලා ගැනීමට ආසන්න තත්ත්වයකට පැමිණෙමින් තිබුණු අවස්ථාවකදීය.

එල්ටීටීඊ කැරැල්ලද 1987 මැයිවලදී යාපනය එල්ටීටීඊ ආධිපත්‍යයෙන් නිදහස් කර ගැනීම සඳහා දියත් කරන්නට සැලසුම් කර තිබුණු මෙහෙයුමෙන් එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමේ ඇත්ත හැකියාවක්‌ ආරක්ෂක හමුදාවන්ට තිබුණද එසේ කළ නොහැකි වූයේ ඉන්දියාවෙන් එල්ල වූ බලවත් විරෝධය නිසාය. ඒ අර්ථයෙන් ඉන්දු-ලංකා ගිවිසුම සිංහල දකුණත් දෙමළ උතුරත් මහා පරිමාණයේ ප්‍රචණ්ඩත්වයකට තල්ලු කිරීමට බලපෑ තවත් වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය.

ඉතා වැදගත් දේ දකුණේ සිංහල තරුණ කැරැල්ල පරාජය කළ රාජ්‍ය නායකයා ලෙස සැලකිය හැකි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හෝ කැරැල්ල මර්දනය කිරීමේ වැඩසටහනට නායකත්වය දුන් රංජන් විජේරත්න හෝ එම කැරැල්ල යුදමය වශයෙන් පරාජය කළ හමුදා නායකයන් වීරයන් ලෙස සලකන තත්ත්වයක් ඇති නොවීමය.

එම හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ වූ  ආරක්ෂක හමුදාවන් පවා රණවිරුවන් ලෙස සැලකුණේ නැත. කැරැල්ල පරාජය කරනවා දකින්නට මහ ජනයා තුළ කැමැත්තක් තිබුණද සිංහල තරුණ කැරැල්ල පරාජය කෙරුණ සාහසික ආකාරය ගැන සිංහල මහ ජනයා අතර ඊට දේශපාලන නායකත්වය දුන් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හා රන්ජන් විජේරත්න කෙරෙහි සේම ආරක්ෂක හමුදා කෙරෙහි වන බලවත් විරෝධයක් තිබුණි.

එහෙත් උතුරේ දෙමළ කැරැල්ල පරාජය කිරීම සම්බන්ධයෙන් සිංහල ජනයා දක්වන ලද ප්‍රතිචාරය  ඊට මුළුමනින් වෙනස් විය. මහ ජනයා ඊට  නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු හමුදා ප්‍රධානීන් සලකන ලද්දේ ශ්‍රී ලංකාවේ පහළ වූ ලොකුම වීරයන් ලෙසය. ආරක්ෂක හමුදා සලකන ලද්දේද රට බේරා ගත් රණවිරුවන් ලෙසය.

කැරලි දෙක සම්බන්ධයෙන් සිංහල මහ ජනයා දරන ආකල්පයේ ලොකු වෙනසක් තිබුණු බව හොඳින් පෙනීයයි. ඒ වෙනසට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ වර්ගවාදී ආකල්පයන්ය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට  ලැබී තිබෙන වීරත්වය වර්ගවාදී අර්ථයෙන් ලැබී තිබෙන වීරත්වයක් ලෙස සැලකිය හැකිය. එවැනි වීරත්වයක් සිංහල ජනයාගේ ආකර්ෂණයට හේතුවනු ඇතත්, සිංහල නොවන ජනයාගේ ආකර්ෂණයට හේතුවන්නේ නැත.

සැලකිල්ලට ගත යුතු වෙනත් කාරණා..!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වේ නම් ඔහුට අදාළව ඔහු පැහැදිලි කළ යුතුව තිබෙන මූලික ප්‍රශ්න කිහිපයක් තිබෙන අතර ඔහු ඒ ගැන මහ ජනයාට පැහැදිලි කිරීමක් කිරීම අත්‍යවශ්‍ය වේයැයි කිව හැකිය.

ඔහු එල්ටීටීඊය මිලිටරි වශයෙන් පරාජය කෙරුණු යුද්ධයේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. යුද්ධයේ අවසන් අදියරයේදී සිදු වුණා යැයි කියන සාහසික ක්‍රියා ගැන මම කිසිවක් කතා නොකරමි. එහෙත් යුද්ධයට කිසිදු අන්තර්සම්බන්ධයක් නොතිබුණු බිහිසුණු සාහසික ක්‍රියා ගණනාවක් රටේ සිදුවූ අතර, ඒවා ගැන සිදු කරන ලද පරීක්ෂණවලින් චෝදනා එල්ල වී තිබෙනුයේ ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප සම්බන්ධයක් තිබුණු හා ආරක්ෂක හමුදා හා පොලිස් නිලධාරීන්ටය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය, රවි රාජ් ඝාතනය හා මොහොමඩ් තාජුඞීන් ඝාතනය සහ  කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය ඒවා අතර ප්‍රධානය. ආරක්ෂක හමුදාව හා පොලිසිය භාරව ක්‍රියා කළ ප්‍රධාන නිලධාරියා වශයෙන් ඔහු ඒ ගැන කියන්නේ කුමක්ද? ඒවා ඔහුගේ දැනීමෙන් තොරව සිදුවූ දේවල්ද?

ආරක්ෂක ලේකම්වරයා වශයෙන් රටේ ඇතිවූ එම සිද්ධීන් ගැන කරුණු සොයා බලන තැනකට නොගියේ ඇයි? එම සාහසික සිද්ධීන් ගැන දැන් කෙරෙන පරීක්ෂණවලින් චෝදනා එල්ල වී තිබෙන්නේ ආරක්ෂක හමුදාවල ඔත්තු සේවාවල සේවය කළ ප්‍රධාන පෙළේ නිලධාරීන්ටය. ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරීන් නිර්මාණය කළ බොරු කතා ලෙස සැලකිය හැකිද?

ආරක්ෂක අමාත්‍යාංශය භාරව ක්‍රියා කළ ප්‍රධාන නිලධාරියා වශයෙන් එම සාහසික ක්‍රියාවලට ඔහු වගකිවයුතු නැද්ද? ඒ දේවල්වලින් සියල්ලට හෝ කිසියම් ප්‍රමාණයකට හෝ  ඔහු වග කිව යුතු නම් රටේ රාජ්‍ය නායකත්වයට තරග කිරීමේ සදාචාරමය අයිතියක් ඔහුට තිබේද? ඔහු ඒ ගැන මහ ජනයාට කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු නැද්ද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග කරන්නේ රට ගලවා ගැනීමේ අරමුණෙනි. එහෙත් ඔහු මීට පෙර සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේද ප්‍රබල තනතුරක් දරන කොටස්කරුවකු ලෙස ක්‍රියා කළේය. එම ආණ්ඩුව රටේ මහ ජනතාව විසින් දූෂණ චෝදනා මත මීට පෙර පරාජය කරන ලද ආණ්ඩුවකි.

එම ආණ්ඩුවේ දුෂණය ඔහුට නොපෙනුනේද? පෙනුනේ නම් එම තත්ත්වයෙන් ආණ්ඩුව මුදා ගැනීමට ඔහු කුමක් කළේ ද? එම ආණ්ඩුවේ පරාජය කල්තියා දැකීමට ඔහු සමත් වී ද? සමත් වී නම් එම ආණ්ඩුව ගලවා ගැනීම සඳහා ඵලදායී කාර්යභාරයක් කිරීමට අසමත් වූයේ අයි? තමන්ගේම සහෝදරයාගේ ආණ්ඩුව ගැලවා ගත නොහැකිවූ පුද්ගලයකු රට ගලවා ගැනීමට සමත් විය හැක්කේ කෙසේද?එම ප්‍රශ්නය ගැනද ඔහු රටට පැහැදිළි කිරීමක් කළ යුතුය.

පිළිතුරු දිය යුතු අතිරේක ප්‍රශ්න..!

ඒ සමගම රාජ්‍ය නායකත්වයට තරග කරන්නකු වශයෙන් ඔහු විසින් විස්තරාත්මකව පිළිතුරු දිය යුතු අතිරේක ප්‍රශ්න ගණනාවක්ද තිබෙන්නේය.

  1. ශ්‍රී ලංකාවට දැන් ඇත්තේ රජ කාලයේ පැවති වැඩවසම් රාජ්‍යයක් නොව නූතන ජාතික රාජ්‍යයකි. ජාතික රාජ්‍යයට නූතන ජාතිය නැතිව පැවතිය නොහැකිය. නූතන අර්ථයෙන් සිංහලයන්, දමිළයන් හෝ මුස්ලිම්වරුන් වර්ග ලෙස මිස ජාතීන් ලෙස සැලකිය නොහැකිය. නූතන ජාතිය ලෙස සැලකෙන්නේ රටක ජීවත් වන සියලු වර්ගවලට, කුලවලට හා ආගම්වලට අයත් ජනයා ඔවුන් අතර ප්‍රචණ්ඩ ගැටුම් ඇති කිරීමට හේතු වන භේද නැති කොට ඔවුන් සියලු දෙනාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන පදනමක් මත සමාජය ඒකාග්‍ර කිරීමකි. ශ්‍රී ලංකාවේ ලොකු ලේ වැගිරීම් ඇති වූයේ නිදහසත් සමග නූතන ජාතිය ගොඩනගා ගැනීමට  අසමත් වූ නිසාය. සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දියාව වැනි රටවල් වේගයෙන් දියුණුව කරා පිය නගන රටවල් බවට පත් වීමේ හැකියාව ලබා ගෙන ඇත්තේ එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට නූතන ජාතිය ගොඩනගා ගැනීමට සමත්ව තිබෙන නිසාය. ගෝඨාභය රාජපක්ෂ ඒ ප්‍රශ්නය දකින්නේ කවර ආකාරයකටද? නූතන ජාතිය ගොඩනැගීමේ අවශ්‍යතාව ඔහු පිළිගන්නේද? පිළිගන්නේ  නම් ඒ දේ කරන්න යන්නේ කෙසේද?

  1. රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා නීතිය මත පාලනයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. නීතිය මත පාලනයක් සඳහා පක්ෂ භාජනයෙන් තොරව නීතියට අනුකූලව ක්‍රියා කරන ස්වාධීන අධිකරණයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමය දැන් තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. ඒ තත්ත්වය වෙනස් කරන්නේ කෙසේද?

  2. නූතන අර්ථයෙන් පාලකයාට හෝ පාලක පක්ෂයට තිබිය හැක්කේ තාවකාලික භාරකාරත්වයක් පමණය. භාරකාරයා තමන් භාරයේ තිබෙන වස්තුව අයුතු ලෙස ප්‍රයෝජනයට නොගත යුතු අතර පොදු වස්තුව ආරක්ෂා කරමින් එය වැඩි දියුණු කළ යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය රට පාලනය කරනවාට අතිරේකව පොදු වස්තුව කොල්ල කන ක්‍රමයක් බවට ස්ථාපිත වී තිබෙන අතර රාජ්‍ය පාලකයා හා පාලක පක්ෂය වස්තුව කොල්ලකෑම  රාජ්‍ය පාලනයේ නිත්‍ය අංගයක් බවට පත්ව තිබෙන අතර රාජ්‍යයේ එම චෞර ස්වරූපය ශ්‍රී ලංකාවේ කාලකණ්ණිභාවය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් වී තිබේ. එම අවලස්සන තත්ත්වය නැති කරන්නේද? නැති කරන්නේ නම් ඒ කෙසේද?

  3. රටේ සමස්ත ආයතන ක්‍රමය තිබෙන්නේ අකාර්යක්ෂම, දූෂිත හා පරපීඩාකාරී තත්ත්වයකය. ඒ තත්ත්වයේ වෙනසක් ඇති කරන්නට අපේක්ෂා කරනවා නම් ඇති කරන්නට යන ප්‍රතිසංස්කරණ මොනවාද?

  4. රටේ අනාගතය කෙරෙහි බලපාන ලොකුම සාධකය ලෙස සැලකිය හැකි සමස්ත අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ ඉතාමත් අවුල්සහගත හා පසුගාමී තත්ත්වයකය. අධ්‍යාපනය සඳහා වන ඔබගේ ඉලක්ක මොනවාද, ඒ සඳහා ඇති කරන්නට යන ප්‍රතිසංස්කරණ මොනවාද?

  5. අභ්‍යන්තර යුද්ධය අවසන් කොට දශකයකට ආසන්න කාලයක් ගෙවී ඇතත් ආරක්ෂක හමුදාවන් ගේ ප්‍රමාණය අඩුවීමක් සිදු කර නැත. ආරක්ෂක හමුදාවන්ගේ විශාලත්වය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ 20 වන ස්ථානයේය. පුද්ගලයන් 1000කට වැටෙන ආරක්ෂක හමුදා සාමාජික සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ හත් වන ස්ථානයේය. පුද්ගලයන් 1000කට වැටෙන සෙබළ සංඛ්‍යාව 11.62කි. ආරක්ෂාව සඳහා කරන වියදමද යුද්ධ කාලයේදී කරන ලද වියදමටත් වඩා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. ත්‍රිවිධ හමුදාව සඳහා 2008 වසරේදී කරන ලද වියදම රුපියල්  බිලියන 137ක් වන විට 2015දී දරා තිබෙන වියදම රුපියල්  බිලියන 270කි. එම තත්ත්වය ගැන ඔබ දරන අදහස් මොනවාද?

වික්ටර් අයිවන්

"රාවය"

 

 

Advertiesment