රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවටත්, මහ බැංකු අධිපතිවරයා ලෙස "හය මසක මාර්ග සිතියමක්" යන තේමාව යටතේ අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කළ තර්කවල සහ කරුණුවල හරසුන් සහ නිරර්ථක බව IMF ශ්‍රී ලංකා වාර්තාව මගින් නිරාවරණය වී ඇත.
IMF ශ්‍රී ලංකා වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනය සහ ණය ප්‍රමාණය අතර අනුපාතය 119% දක්වා ඉහළ නැග ඇත. ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් මිලියන 2,204 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දක්වන නමුත්, භාවිත කළ හැකි ප්‍රමාණය මිලියන 800 දක්වා පහත වැටී ඇති බව එහි සඳහන් වන්නේ නැත. දළ දේශීය නිෂ්පාදනයෙන් 64.2 ක් ණය බව වාර්තාව කියයි.
වත්මන් රජය 2019 දී සිය ව්‍යාපාරික ගජ මිතුරන්නට බදු සහන දී භාණ්ඩාගාරයේ (රටේ) ආදායම අඩු කර ගැනීම මේ ආර්ථික අර්බුදයේ ඇරඹුමයි. වාර්තාවේ (6 පිටුව) "Vat Cooperate Tax", "Income Tax" සහ "ජාතිය ගොඩනැගීමේ බද්ද" කැපීම නිසා සිදුවූ ආදායම් අහිමිවීම සවිත්සරව දක්වා ඇත.
රටේ උද්ධමනය ඉහළ යාම ගැන IMF නිරීක්ෂණ සවිස්තරාත්මකය. 1952 සිට 2020 දක්වා අච්චු ගැසූ මුදල් ප්‍රමාණය වගේ විසි තුන් ගුණයක් ගෙවුණු වසර දෙක ඇතුළත අච්චු ගැසූ රටක උද්ධමනය ඉහළ යාම අරුමයක් නොවන බව මේ ලියුම්කරු ගෙවුණු සතියේ ද පෙන්වා දුන්නේය. එදා මහ බැංකු අධිපති ඊට ප්‍රතිචාර දැක් වූයේ මුදල් අච්චු ගැසීම අලුත් තත්ත්වයක් නොවන බව කියමින්ය. ආදායමට වඩා වියදම වැඩි රටක වියදම් කැපීමත්, ආදායම් වැඩි කර ගැනීමත් හැර වෙනත් විකල්පයකට ඇත්තේ ණය ගැනීමය.
සීනි බදු වංචාව, සුදු ළුණු වංචා සහ පොල්තෙල් වංචාව ගැන IMF වාර්තාව කියන්නේ නැත. නමුත් "චීන අශුචි" සහ "Nano" පොහොර වැනි හොරකම් රටට කන්න නැති කළ බව සහ ආහාර හිඟයක් ඇති කළ බව පෝලිම්වල සිටින ජනතාවට රහසක් නොවේ.
IMF වාර්තාවේ 9 වන පිටුවේ දැක් වෙන්නේ රටේ ණය 100%කින් වැඩිවීම කෙරෙහි COOVID-19 වසංගතය, ගජ මිතුරන්නට දුන් බදු සහන සහ අය වැය කළමනාකරණය නොකිරීම හේතු වූ බවයි. මිල සුත්‍රයකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රටේ ආර්ථිකයට බරක් වූ බව ද එහි දැක්වේ. රටේ ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය සමග බැදී ඇති බව පැහැදිලිය.
යහ පාලන ආණ්ඩුව (2019) රජයේ ආදායමෙන් 11.6% ක් බදු මගින් ලබා ගත් බව සහ මේ වන විට එම බදු ආදායම 7.2% දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වේ.
වාර්තාව පුරාම වචනයෙන් නොව දත්ත මගින් මතු කර දක් වන්නේ මුලික ආර්ථික ප්‍රතිපත්ති නොතකා හැරීම නිසා ශ්‍රී ලංකා ආර්ථිකයේ බිඳ වැටීම සිදුව ඇති බවය. රජය ශ්‍රී ලංකා මහ බැංකුවට ණය වී ඇති ප්‍රමාණය 2000 මාර්තු සිට 2021 නොවැම්බර් දක්වා 9%කින් වැඩිවී ඇති බව දක්වයි.
ගෙවී ගිය වසර දෙක අඩුම ආර්ථික වර්ධනයක් ළඟා කර ගත් වසර දෙකකි. ඊට අමතරව වසර 12 කින් පසුව ඉහළම උද්ධමන අනුපාතිකයක් වාර්තා වන්නේ මේ වකවානුවේ දී ය. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී අඩුම ආදායම වාර්තාවී ඇත. වැඩිම මුදල් අච්චු ගැසීම සිදු කර ඇත්තේ ද ගෙවුණු වසර දෙක ඇතුළත දී ය. දළ දේශීය නිෂ්පාදනයෙන් 119% රට ණය වී ඇත. මේ සියලු කරුණු කාරණා සහ රටේ ආර්ථිකය ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය නිරීක්ෂණ සිය වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත. 5% ක් වූ දේශීය ණය (බැදුම්කර) මේ වන විට 60% දක්වා ඉහළ නැඟ ඇත. ඒ මුදල් බහුතරයක් එළදායී නොවන ආයෝජන වෙයි.
ජාත්‍යන්තර මුල්‍ය වෙළඳ පොළේ පහළම ශ්‍රේණි ගත කිරීම් දරන ආර්ථිකය ගොඩ ගැනීම ගැන උපදෙස් පහක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදී ඇත.
(01) 2019 දී ලබාදුන් බදු සහන සංශෝධනය කිරීම (එනම් ගජ මිතුරන්ට බදු සහන ලබාදීම වෙනුවට 2019 ට පෙර තිබු බදු ක්‍රමයට නැවත යාම)
(02) පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම. එනම් විකුණා දැමීම.
(03) ණය ප්‍රතිව්‍යුහගත කරන උපක්‍රම වෙත යොමුවීම.
(04) උද්ධමනය පාලනය කිරීමට පියවර ගැනීම. (හිතු මනාපයට මුදල් අච්චු ගැසීම නවතා දැමීම. මුදල් මණ්ඩලය හරහා මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම්ට මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම.)
(05) වෙළඳ පොළ නිර්ණායක අනුව පොලී අනුපාතය තීරණය කිරීම.
(06) සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තා මගින් රටක් අපහසුතාවයට පත් වන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන්නේ නැත. ආර්ථික විද්‍යා මුලධර්ම අනුව රටක ආර්ථික දත්ත විශ්ලේෂණය සඳහා මාවත පමණක් පෙන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පුරාම මතු වන්නේ ගෙවී ගිය වසර දෙක ඇතුළත ආර්ථික කළමනාකරණයේ දී රජය දක්වා ඇති නොහැකියාව සහ දුබලතාවයි.
බදු ප්‍රතිපත්ති සංශෝධනය නොකර සහ වියදම් පාලනය නොකර පාඩු ලබන ආයතනවල බර දිගින් දිගටම දරමින් ද, පොලී අනුපාතය කෘතීම ලෙස පහත දමමින් සහ හදිසියේම ගෙවුණු සතියේ රුපියල පා කර දැමීම ආදිය වැරදි මුල්‍ය තීරණ බව IMF වාර්තාවේ පේලී අතර ලියැවි ඇති, එළිපිට ලියා නොමැති කතාවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැමදාම ශ්‍රී ලංකාවට උපදෙස් දුන්නේ ආදායම් වැඩි කර, වියදම් පාලනය කර විදේශ මුදල් අර්බුදයට පිළියම් යොදන ලෙසයි. නමුත් රජය රුපියල බාල්දු කළේ, කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයකින් තොරවය. මේ වන විට ඩොලරය අහස උසට ඉගිලෙන්නේ ඒ නිසාය. අවසනාවකට අද මේ වාර්තාව නිකුත් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර තීරණ ගැනීම පිළිබඳ එකඟතාවයක් හෝ නොමැති අවස්ථාවකය.
ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට එකඟතාව ලබා දී ඇතත්, එම අවසරය යථාර්ථයක් බවට පත්වීමට නම් රජය ක්ෂණික පියවර ගත යුතුය. මුදල් අමාත්‍යවරයා හෝ මහ බැංකු අධිපතිවරයා හෝ ඒ සඳහා ඉදිරිපත් වන්නේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවේ හරය නම්, අර්බුදය තව දුරටත් කල් දැමීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැති බව ය.
Lanka Newsweek © 2023