Monday 11th of December 2023

English Tamil
Advertiesment


මහ බැංකුව ශ්‍රමිකයන් අපයෝජනය කොට පොහොසතුන්ට සැප දුන්නා..!


2022-03-24 7760

 

මුල්‍ය අර්බුදයට මුදල් මණ්ඩලය සහ ආණ්ඩුව වන්දි ගෙවිය යුතුයි  

 

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

රුපියලේ විනිමය වටිනාකම වෙළඳ පොළ බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (Float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ, සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විනිමය අගය පාලනය කිරීම සියතට ගෙන රුපියල අති ප්‍රමාණය වීමට ඉඩ දී සිටි නිසාය. 

එකල පැවති "Bretton Woods" ක්‍රමය මත දේශීය මුදල්වල විනිමය අගය අති ප්‍රමාණ වීමට හේතු වූ බැවින් බොහෝ රටවල් එම ක්‍රමය මතම සිටිමින් මුදල් අව ප්‍රමාණ කිරීමට ද පියවර ගෙන තිබුණි. ශ්‍රී ලංකා රුපියල අති ප්‍රමාණය වීමෙන් අපනයනය අධෛර්යවත් වූ අතර ආනයන ධෛර්යවත් විය. එහෙත් එම ආණ්ඩුව ආවෘත ආර්ථික ක්‍රමයක් (Closed Economy) අනුගමනය කළ බැවින් ආනයන දැඩි ලෙස සීමා කර තිබුණු අතර අපනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට දේශීය යැපුම් ආර්ථිකයක් (Subsistence Economy) ගොඩනැගීම කෙරෙහි යොමු වී සිටියේය. 

එම ආණ්ඩුව මහ ජනයාට තිත්ත වූයෙන් ඊට විකල්ප ලෙස ජේ. ආර්. ජයවර්ධන යෝජනා කළ විවෘත ආර්ථික ක්‍රමය කෙරෙහි විශ්වාසය තැබූ ඡන්ද දායකයෝ ජේ. ආර්. ජයවර්ධනට හයෙන් පහක දැවැන්ත බලයක් ලබා දුන්හ. නිදහස් වෙළඳ පොළ අර්ථ ක්‍රමයක් (Market Economy) යටතේ අපනයනාභිමුඛ (Export Oriented Policy) ආර්ථික ප්‍රතිපත්තියක් (Export Oriented policy) හඳුන්වා දුන් ජේ ආර් ජයවර්ධන රජය අපනයන දිරිමත් කිරීම පිණිසත් ආනයන අධෛර්යවත් කිරීම පිණිසත් පා වෙන විනිමය ක්‍රමය (Floating Exchange Rate System) හඳුන්වා දුන්නේය. ඒ අනුව රුපියලේ විනිමය අගය එහි ඉල්ලුම සහ සැපයුම අනුව නැත හොත් වෙළඳ පොළ බලවේග අනුව තීරණය වීමට ඉඩ හරින ලද අතර එහි ප්‍රතිඵලය ලෙස රුපියල් හතේ සීමාවේ පැවති ඩොලරය එක් රැයකින් රුපියල් 15 සීමාව ඉක්මවා ගියේය. 

ඒ අනුව රුපියල අවප්‍රමාණ වී තාත්වික විනිමය අගයක් තීරණය විය. එතැන් සිට වෙළඳ පොළ බලවේග අනුව රුපියලේ විනිමය අගය තීරණය වීමට ඉඩ හරින ලද අතර මහ බැංකුව ඊට මැදිහත් වූයේ අවම ලෙස සහ වක්‍රාකාරයෙන්ය. එහෙත් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන කාලයෙන් පසු බලයට පත් සියලු ජනාධිපතිවරු මුදල් අමාත්‍ය ධුරය ද සියතට ගත්හ. ඒ අනුව මහ බැංකුව සිය විධායක බලයට යටත් කර ගැනීමට හැකි විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුදල් ඇමති ධූරය භාර නොගත් නමුදු එම ධූරය ඔහුගේ සහෝදරයන්ට පැවරුවේය. 

එක් මහ බැංකු අධිපතිවරයෙකුට "Tools" (Financial Tools) පාවිචි කොට පසු දා උදේ වන විට ප්‍රශ්නවලට විසඳුම් සොයා ගෙන එන ලෙසත් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ජනාධිපතිවරයා සිය Tools" පාවිච්චි කරන බවටත් තර්ජනය කිරීමෙන්ම මහ බැංකුව ජනාධිපතිවරයාගේ අණසක යටතේ පවතින බව ප්‍රත්‍යක්ෂ වේ. 

ඉදින් මහ බැංකුව දේශපාලන උපකරණයක් ලෙස භාවිත කෙරෙන අතර එහිලා වෙසෙසින්ම විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් දේශපාලන මැදිහත් වීම අසීමිත විය. එමගින් වෙළඳ පොළ බලවේගවලට රුපියලේ විනිමය අගය තීරණය වීමට තිබූ ඉඩ අහුරා දමා එම අගය දේශපාලන උවමනා එපාකම් මත තීරණය කරනු ලැබීය. 

අපේ රට ආහාර, පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, අන්තර් භාණ්ඩ, ප්‍රාග්ධන සහ සුඛෝපභෝගී භාණ්ඩ යන සෑම භාණ්ඩයක්ම වැඩි වශයෙන් ආනයනය කරන රටක් වන බැවින් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම ආණ්ඩුවට දේශපාලන අවාසි ගෙන දෙන්නක් වේ. එබැවින් විනිමය අනුපාතිකයේ ආර්ථික ප්‍රතිවිපාක පසෙක ලා දේශපාලන වාසි තකා විනිමය අනුපාතයට විලංගු ලා බැඳ දැමීමට මහ බැංකුවට සිදු විය. එහි ප්‍රතිඵලය ලෙස රුපියල කෘතීම සහ මායාකාරී ලෙස ශක්තිමත් මුදලක් වශයෙන් පවත්වා ගෙන යනු ලැබීය. 

රුපියල කෘතීම ලෙස අති ප්‍රමාණ කර ගෙන ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට යාමෙන් ලද ප්‍රතිවිපාක දරුණුය. මේ නිසා ඩොලරයට ලැබෙන රුපියල් ගණන අඩු වූ බැවින් අපනයන කර්මාන්තවල රුපියල් ඉපයුම අඩු විය. එමෙන්ම විදේශ රැකියා නියුක්තිකයන් වසරකට සංක්‍රාම ලෙස ශ්‍රී ලංකාවට එවූ ඩොලර් බිලියන 6ක් පමණ මුදලකට දිගු කලක් නිසි රුපියල් අගයක් නොලැබිණි. ඩොලරයට ගෙවන රුපියල් ගණන කෘතීම ලෙස අඩු මට්ටමක පවත්වා ගැනීමෙන් මේ දෙඅංශයම අධික ලෙස අපයෝජනය විය. විදෙස් ශ්‍රමිකයන්ගෙන් සහ අපනයනවලින් ලද සෑම ඩොලරයකින්ම සැලකිය යුතු රුපියල් ගණනක් ඒ අනුව ඔවුන්ට අහිමි විය. අපනයන ලෙස ගැනෙන තේ, පොල්, රබර්, මැණික්, මිනිරන් සහ ඇඟලුම් වැනි භාණ්ඩ නිෂ්පාදනයේ නිරතව සිටින්නේ ද මැද පෙරදිග රැකියාවල යෙදෙන්නේද සමාජයේ අඩු වරප්‍රසාද හිමි දුප්පතුන් යැයි සැලකෙන ශ්‍රමිකයන් කොට්ටාසයකි.

අපනයනවලට නිසි රුපියල් වටිනාකමක් ලබා ගැනීමට හැකි වී නම් එම අපනයනකරුවන්ගේ ලාභය වැඩි වී ශ්‍රමිකයන්ගේ වැටුප් ද වැඩි කිරීමට ඉඩ තිබුණි. කුඩා වතු හිමියන්ගේ රුපියල් ආදායම ඉහළ යාමට ඉඩ තිබුණි. ඩොලරයට නිසි රුපියල් වටිනාකම ලැබුණි නම් වතු කම්කරු වැටුප් වැඩි කිරීමට සමාගම්වලට හැකියාව තිබුණි. වැවිලිකරුවන්ට එසේ වැටුප් වැඩි කිරීමට නොහැකි වීම හේතුවෙන් අවසානයේ එම වැටුප් වර්ධකය ද දේශපාලන පොරොන්දුවක් බවට පත් වුණේ මහ බැංකුව විසින් රුපියල අති ප්‍රමාණ කොට පවත්වා ගෙන ගිය නිසාය. 

මහබැංකුව කළ මේ වරද නිසා විදේශ ශ්‍රමිකයන් සේම අපනයන කර්මාන්තවල නියුතු සේවකයන්ගේ ද ක්‍රය ශක්තිය දැඩි ලෙස බිද වැටුණු බව මේ අනුව පැහැදිලි වේ. උපයන සෑම ඩොලරයකටම නිසි රුපියල් වටිනාකමක් ලැබුණේ වී නම් දස ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ඉපයුම ඉහළ යන්නට ඉඩ තිබුණු අතර ඒ අනුව දේශීය පරිභෝජනය සහ ජීවන මට්ටම ද ඉහළ යාමට ඉඩ තිබුණි. එමගින් ආර්ථික වර්ධන ප්‍රතිවිපාකයක් ද හට ගනී. 

අනෙක් අතට, රුපියලට විලංගු දා තැබීමෙන් වාසි අත්වූ පිරිස වන්නේ ආණ්ඩුව සහ ඉහළ ආදායම් ලාභීන්ය. ආණ්ඩුවට වාසි සැලසෙන්නේ ආනයනික භාණ්ඩ මිල පහළ මට්ටමක පවත්වා ගැනීමෙන් සහ එම භාණ්ඩ සුලභ වීමෙන් ආණ්ඩුවට කීර්ති නාමයක් ලැබෙන බැවිනි. අනෙක් පිරිස වන ඉහළ ආදායම් ලාභීන් ආනයනික භාණ්ඩ පරිභෝජනයට වැඩි දායකතත්වයක් දක්වන පිරිසකි. 

අධි සුඛෝපභෝගී රථ වාහන, විදුලි සහ විද්‍යුත් උපකරණ, සන්නම් භාණ්ඩ, පළතුරු, මස් මාංශ, චීස්, බටර්, මද්‍යසාර, විසිතුරු භාණ්ඩ, සුවඳ විලවුන්, ගෘහ භාණ්ඩ සහ ගෘහස්ථ සවි කිරීම් සේම විදේශ සංචාර යනාදිය ඔවුන්ගේ ජනප්‍රිය පරිභෝග භාණ්ඩ වේ. රුපියල අති ප්‍රමාණ වන විට මේ භාණ්ඩවල රුපියල් මිල අඩු අගයක් ගනී. එම තත්ත්වය ඔවුන්ගේ පරිභෝජන කටයුතු වැඩි වැඩියෙන් කර ගෙන යාමට අනුබලයකි. සුඛෝපභෝගී රථ, ජංගම විද්‍යුත් උපකරණ සහ පුළුල් තිර සහිත ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍ර ඇතුළු බොහෝ දෙනෙකු නොදන්නා භාණ්ඩ සහ විදෙස් සංචාර යනාදිය ද ප්‍රචලිත වූයේ ඒ අති ප්‍රමාණ  රුපියලේ වාසිය නිසාය. 

එහෙත් විනිමය උපයන්නන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමයට නිසි මිලක් නොලැබ ක්‍රය ශක්තිය පිරිහුණු දරිද්‍රයන් පිරිසක් බවට පත් විය. මේ හේතුවෙන් සිදු වූයේ එක් පිරිසකගේ ආනයනික භාණ්ඩ පරිභෝජනය වෙනුවෙන් තවත් පිරිසක් වන්දි ගෙවිය යුතු වීමය. 

මෙම අපයෝජනය තේරුම් යාමත් සමග විදෙස් ශ්‍රමිකයන් හෙවත් "රට විරුවන්" කළු කඩ ක්‍රමයට සිය විනිමය ඉපයුම් හුවමාරු කිරීමට පෙළඹුණේය. උන්ඩියල් සහ හවාලා වැනි විනිමය කළු කඩ මගින් ඔවුන් උපයන විදේශ විනිමයට නිසි මිලක් ලබා ගත හැකි විය. මහ බැංකු විනිමය අනුපාතයත් කළු කඩ විනිමය අනුපාතයත් අතර පරතරය දිනෙන් දින වර්ධනය වූ බැවින් මහ බැංකුව නියම කළ මිලට විනිමය හුවමාරු කිරීමට උපයන්නන් මැලි විය. සංක්‍රාමවලට අමතර රුපියල් 10ක් ලබා දීමට මහ බැංකුව ක්‍රියා කිරීමෙන්ම රජයේ විනිමය අපයෝජනය නීති ගත විය. කුණු කොල්ලෙට විනිමය මිල දී ගැනීමට ගත් මහ බැංකු තැත ව්‍යර්ථ වූයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සංක්‍රාම හිඳී ගියේය. අනෙක් අතට අපනයනකරුවන් ද සිය විනිමය ඉපයුම්වලින් අධිකතර කොටසක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමෙන් වැලකී සිටියේය. 

විදේශ විනිමය ගෙන්වා ගැනීමට නම් ඩොලරයේ සත්‍ය වටිනාකම් ස්ථාපිත කළ යුතු බව මහ බැංකුවට හැඟුනේ කල් පමා වූ පසුය. යළිත් රුපියල පා කිරීමට ගත් තීරණයත් සමග ඩොලරයට රුපියල් 285ක විනිමය අගයක් තීරණය විය. ඩොලරයට එතෙක් දෙන ලද රුපියල් 202+10 වෙනුවට දැන් රුපියල් 285ක් ලැබේ. 

වත්මන් තත්ත්වය අනුව නම් මහ බැංකුව සෑම ඩොලරයකින්ම රුපියල් 73ක් අපයෝජනය කළ බව පැහැදිලිය. මෙම අපයෝජනයෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර සහ ඖෂධ මිල අඩු මට්ටමක තබා ගැනීමෙන් දිළින්දන්ට යම් සහනයක් වූ බව සැබෑ වුවත් එමගින් පොහොසතුන්ට “සුදි” කිරීමට ලැබුණු අනුබලය ඉමහත්ය. මෙම විනිමය අපයෝජනය කරණ කොට ගෙන උද්ගතව ඇති ව්‍යසනයට මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ දේශපාලන අධිකාරිය වන්දි ගෙවිය යුතු වුවද අභාග්‍ය වන්නේ ඊට පොදු මහ ජනයාට වන්දි ගෙවීමට සිදුවීමයි..!

 
 
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
 
 නිර්මාතෘ සහ පීඨාධිපති 
 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
 
 කළමනාකරණ පීඨය 
 
 පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
 

 
Advertiesment