Wednesday 29th of November 2023

English Tamil
Advertiesment


 මාතෘ මනෝභාවය පිළිබඳව වහා අවධානය යොමු කරනු 


2022-03-22 7856

 

අනාගත පරපුරේ පෝෂණය අනතුරේ..!

 

මව්වරුන්ගේ මානසික-කායික සෞඛ්‍යය පිළිබඳව රජයට දැක්මක් තිබේද..?

 

(දේශප්‍රිය නානායක්කාර)

 

ගර්භණීභාවය සහ ළමා සංවර්ධනය මත මාතෘ මනෝභාවය (Maternal Mood In Pregnancy) පිළිබඳ ජාතික අවධානයක් ඇත්තේම නැත. ඓතිහාසිකව, ළඳරු පෝෂණය සඳහා ඇති එකම විකල්පය ළදරුවන්ට මව් කිරි දීමයි, එසේ නොවුණ හොත් ළදරුවා විනාශ වනු ඇත. 

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (Convention On The Rights Of the Child) අනුව සෑම ළදරුවෙකුටම සහ දරුවෙකුටම හොඳ පෝෂණයක් සඳහා අයිතියක් ඇත. ශ්‍රී ලංකාවේ දිනකට සජීවී උපත් 970 ක් සිදු වේ. ඒ අනුව වසරකට සජීවී උපත් 349,200 සිදු වේ. මේ ළදරුවන් බිහි කරන කාන්තාවන්ගේ මානසික සහ කායික සෞඛ්‍යය පිළිබඳව අද්‍යතන ‍රාජ්‍යකරණයේ දැක්ම කුමක්ද..? 

ගැබ් ගත් කාන්තාවන්ට යහ පාලන ආණ්ඩුව පෝෂණ මල්ලක් ප්‍රදානය කළේ ඔවුන්ට ජාතියේ අනාගතය පිළිබඳව නිවැරැදි විද්‍යාත්මක චින්තනයක් තිබු හෙයිනි යැයි මෙහි රචනා කිරිම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කළ ගුණ සැලකිමක්ය යන්න නිවැරැදි ය. 

අද්‍යතනව ශ්‍රී ලාංකේය ජන සමාජයේ මොහොතින් මොහොත ගොඩනැගෙන සහ අභ්‍යාස වන වියරු අපාලිත සමාජීය අර්බුද හේතුවෙන් දරු ගැබ උසුලා ගෙන සිටින අම්මාවරුන්ගේ චිත්තවේගයන් දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට කරන බලපෑම අතිශය තීරණාත්මකය. 

අනෙක් අතට භෑණයේ වර්ධනය (Fetal Development) සඳහා අවශ්‍ය පෝෂණය අද්‍යතන තත්ත්වයට අනුව විසල් අභියෝගයකි. නුගත්, අසමත් සහ ව්‍යාජ දේශප්‍රේමින් විසින් අද්‍යතන ශ්‍රී ලාංකේය ජන සමාජය පත් කර ඇති ව්‍යසන මත තව තවත් දෛනිකව ගොඩනැගෙන ව්‍යසන චක්‍රයන් හේතුවෙන්, ශ්‍රී ලාංකේය ඉදිරි පරපුරේ අනාගතය මහත් විසල් සෞඛ්‍ය තර්ජන රාශියකට මුහුණ දිය යුතු වනු ඇත.

උක්ත සියලු ව්‍යසනයන්හී මානසික බලපෑම වඩාත්ම තීරණාත්මක වනුයේ ගැබ්බර කාන්තාවන්ගේ සිතුවිලිවලටය. ආතති කායික විද්‍යාව "Stress Physiology" අනුව මේ පිළිබඳව අධ්‍යනය කරනු ලබයි. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ගර්භණී සමයේදී සිය ළදරුවා සමඟ සම්බන්ධ වන මව්වරුන් සිය ළදරුවා සමඟ වඩාත් ධනාත්මක ලෙස අන්තර් ක්‍රියා අභ්‍යාස වන බව විද්‍යාත්මකව හෙළිදරව් කර ඇත.

අද්‍යතන ශ්‍රී ලාංකේය ජන සමාජයේ දෛනික ජීවිතය අනුව ගැබ්බර මව්වරුන්ගේ මානසික තත්ත්වය උපදින්න සිටින ළදරුවන්ගේ ජීව ශක්තියට කෙසේ බලපානු ඇත්ද..? සංඛ්‍යාලේඛන අනුව අද්‍යතනව දිවයින සිසාරා රජයේ පාසල් 10,165 ක පමණ දරු දැරියෝ 4,061,683 සංඛ්‍යාවක් ඉගෙනුම ලබති. පෞද්ගලික පාසල්වලට යන දරු දැරියන් සිසුන් 136,168කි. පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුන් 68,246 කි. එකතුව 4,265,067 කි. (2020 සංඛ්‍යාන නිබන්ධනය පිටුව390.) මේ සියලු දරු දැරියන්ගේ පෝෂණය විසල් අනතුරුකට මුහුණ දී ඇත.

උගත්, බුද්ධිමත් සහ වැදගත් නොහොත් ලැජ්ජා භය ඇති පොදු යහපත (Common Good) වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ හැකි පුද්ගලයන්, විද්‍යා තාක්ෂණික දේශපාලන ප්‍රතිපත්තිමය චක්‍රයක් වෙනුවෙන් අවධානය යොමු කළ යුතු කාලය එළැඹ තිබේ. යහපත් අනාගතයක් වෙනුවෙන් ගෞරවයෙනි.

 

 

Advertiesment