Saturday 20th of July 2024

English Tamil
Advertiesment


ජවිපෙ නාදුනන තුවක්කුකරුවන් යළි හිස ඔසවයි..? 


2022-02-02 13972

 

සන්නද්ධ අරගලය අත් නොහළ බව කියන්නේ ඌරන් මැරීමට නොවේ 

 

මහා මිනිස් සංහාරයක් අත ළඟ..!

 

තරුණ-තරුණියන් රැක ගනු 

 

ජවිපෙ බුදු වී නොමැත..! 

 

ජවිපෙ ආර්ථික වැඩ පිළිවෙළ හාස්‍ය ජනකය

 

ජවිපෙ බලයට ආවොත් රටට-ජනතාවට අත් වන ඉරණම මෙන්න..!

 
 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

ජනතා විමක්ති පෙරමුණ දේශපාලනයට පැමිණ දැනට වසර 52ක් පමණ වේ. ඔවුන් කියන ආකාරයට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රට අවුරුදු 73ක් පාලනය කොට වනසා ඇත. එහෙත් ජනතා විමක්ති පෙරමුණ නම් රට වැනසීම තබා කුරා කුහුඹුවෙකුටවත් හානියක් කර නැත. එනම් බුදු වී ඇත..! ජනතා විමක්ති පෙරමුණ සැබවින්ම බුදු වී ඇත්දැයි සොයා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.

ජනතා විමක්ති පෙරමුණේ මේ හාස්‍යෝත්පාදක කතා ඔස්සේ නිගමනය කළ හැක්කේ එම පක්ෂයට සිය නිර්මාතෘවරයාගේ සහ සගයන්ගේ කුරිරුකම් සේම මිනී මරු ඉතිහාසය අමතක වී ගොස් ඇති බවය. නැත හොත් අද පරම්පරාව එම නින්දිත කළු ඉතිහාසය නොදන්නා බැවින් බොරු කියා ඔවුන් රැවටීමට හැකි වෙතැයි සිතීමය. සත්‍ය වන්නේ මම දෙවන කරුණයි. 

ඒ අනුව ජනතා විමක්ති පෙරමුණේ වෘත්තිය වන්නේ සිය ඉතිහාසය සහ කෙරුවාව ගැන සැමදා බොරු කීමයි. කළ වැරදි පිළි නොගැනීමයි. සිය පක්ෂයේ මිනීමරුවන් සෑම වර්ෂයකම අප්‍රේල් සහ නොවැම්බර් මාසවල වසරකට දෙවරක් සැමරීමයි. කපුටන් වගේ අනුන්ගේ කුණු ඇවිස්සීමයි. ලෝකේ දියුණුවූ කොමියුනිස්ට් රටවල් ඇතැයි නොදන්නා දේ කිය කියා අවිදීමයි. ශ්‍රී ලංකාව දියුණු කිරීමට ඔවුන්ට රහසිගත සැලසුමක් ඇති බව කියා සිටීමයි. රට දියුණු කරන්නට පුළුවන් දැයි බැලීමට අවුරුදු පහකට බලය දෙන්නැයි ආයාචනය කිරීමයි. 

මැදිහත් සිතින් බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ දේශපාලනය, ආර්ථිකය සහ සමාජය යන කිසිම තත්ත්වයක් ගැන ජනතා විමක්ති පෙරමුණට අබමල් රොනක දැනුමක් නැති බවය. ඊට හේතුව වන්නේ ඔවුන් අපේ රට නිදහස ලබන විට තිබූ තත්ත්වයට වඩා මේ වන විට, එනම් වුරුදු 73කට පසුව පහත වැටී ඇති බව නිරන්තරයෙන් කියා සිටීමයි. 

නිදහස ලබන සමයේ සුරපුරයක්ව පැවති අප රට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 73 තිස්සේ විනාශ කළ බව ඔවුන් උදේ හවස කියයි. එම කතාවෙන් පෙනෙන්නේ දේශපාලනික, සමාජීය සහ ආර්ථික අතින් එකල තිබුණු පසුගාමීත්වය ගැන ජනතා විමක්ති පෙරමුණ කිසිදු අධ්‍යයනයක් කර නැති බවයි. වෙනත් ලෙසකින් කියතොත් ඔවුන් කිසිදු පොත පතක් කියවා නැති බවයි. ඔවුන් රෝහණ විජේවීරගේ බොරු පංති පහෙන් කට පාඩම් කර ගත් යමක් විනා වෙන කිසිවක් දන්නේ නැත. දේශපාලන, සමාජීය සහ ආර්ථික විශ්ලේෂණයක් කිරීමට හෝ එමගින් 1948 සිට අද දක්වා කාලයේ ඇතිවූ එම අංශවල ප්‍රගතිය ගැන අල්ප මාත්‍ර දැනුමක් ජනතා විමක්ති පෙරමුණට නැත. ඔවුන් කියන්නෙම 1948 තිබූ සමාජය අදට වඩා සිය දහස් ගුණයකින් හොඳ බවය. දේශපාලනික අවිඥානය සහ අමනෝඥ භාවය වනාහි ජනතා විමක්ති පෙරමුණේ හඳහනේම ලියා ඇති කරුණකි. 

ඔවුන්ට ලෝක දේශපාලන සහ ආර්ථික ක්‍රමය හා ඒවායෙහි උපනති ගැන ද අල්ප මාත්‍ර දැනුමක් නැත. ඔවුන් කියන්නේම ලෝකයේ දියුණුම සහ සැපසේ ජීවත්වන මිනිසුන් සිටින රටවල් වන්නේ කියුබාව, උතුරු කොරියාව සහ රුසියාව කියාය. එමගින් පැහැදිලි වන්නේ ඔවුන් ගූගල් සෙවුම ඔස්සේ වත් ලෝකයේ සිදු වන දේ මොනවා දැයි සොයා බලා නැති බවයි. 

කියුබාව, උතුරු කොරියාව, රුසියාව සහ වෙනිසියුලා වැනි රටවල් ද, අප්‍රිකාවේ රාජ්‍යයන් කිහිපයක් ද කොමියුනිස්ට් ක්‍රමය ඔස්සේ අන්ත දුක්ඛිත භාවයට ඇද වැටුණු රටවල් වේ. එම රටවල පවතින ආහාර, ඖෂධ, රෙදිපිළි සහ නිවාස වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සේම උග්‍ර විරැකියාව යන ව්‍යාධීන් ගැන ජනතා විමක්ති පෙරමුණ ඉගෙන ගැන නැත. ජනතා විමක්ති පෙරමුණ කියන සමාජවාදය විසින් එම රටවල්වල ජන ජීවිතය පමණක් නොව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් යනාදිය ද වල දමා ඇති සැටි ජනතා විමක්ති පෙරමුණ ඉගෙන ගෙන නැත.

ජනතා විමක්ති පෙරමුණ ඉතිහාසයේ සිටම කරන්නේ බොරු දේශනා පහක් පවත්වා තරුණ තරුණියන් අතර ආවේගය අවුස්සා ඒ මතින් ඔවුන් බිල්ලට දී රාජ්‍ය බලය අල්ලා ගැනීමට කැරළි ගැසීමය. මිනී මැරුම්, රාජ්‍ය දේපළ පැහැර ගැනීම, බැංකු බිඳීම, දේපළ ගිනි බත් කිරීම, මංකොල්ල කෑම ඔවුන්ගේ ආගම බවට පත් විය. එම තත්ත්වය 1971 කැරැල්ලෙන් ඔප්පු විය. තවද එම තත්ත්වය 1988-90 කාලයේ දී තහවුරු විය. ඔවුන් අතින් දස දහස් ගණන් මිනිසුන් මැරුම් කෑවේය. පොදු දේපළ හැටියට ගැනෙන බස් රථ, දුම්රිය, ඩිපෝ, කර්මාන්ත ශාලා යනාදිය සිය දහස් ගණනින් ගිනි බත් විය. ඔවුන්ගේ අනීතික ඇඳිරි නීති නිසා මිනිසුන්ට රැකියා කර ගැනීමටවත්, ගොවිතැන් කර ගැනීමටවත්, වෙළඳාම් කර ගැනීමටවත්, රෝහලකට යාමටවත්, පාසල් යාමටවත්, විභාගයක් කර ගැනීමටවත්, ගමන් බිමන් යාමටවත්, බඩුවක් මුට්ටුවක් ගැනීමටවත් නිදහසක් නොවීය. දොර දොර මිනීය. ඇස ඇස කඳුළුය. ළය ළය තැවුල්ය. කොටින්ම කියතොත් විදුලිය සහ ලාම්පු නිවා දොරවල් වසා ගෙවල් ඇතුළට වී සිටීමට අණ කිරීම නිසා ඇතැමුන්ට නෑමට ඇළට දොළට යාමටවත් වැසිකිළි යාමටවත් ඔවුන්ගෙන් නිදහසක් ලැබුනේ නැත. එකල බොහෝ දෙනෙකුට "Attached Bathroom" තිබුනේ නැත.

ඔවුන්ගේ අණ නොතකූ දස දහස් ගණන් ජනයා නින්දිත ලෙස මරා දමනු ලැබීය. තැන් තැන්වල ගැට ගසා ගස් බැඳ මරා දමනු ලැබීය. බෙලි කපා හිස කඳින් වෙන් කොට ගෙහිමියාගේ දොරට හේත්තු කොට තිබිණ. මළ සිරුරු හන්දි හන්දි ගානේ දමා භීෂණය ඇති කළේය. ජනතා විමක්ති පෙරමුණ විසින් මරා දමන ලද මිනිසුන්ගේ සිරුරු වල දැමීම පවා තහනම් කොට බල්ලන්ට කෑමට සලස්වා තිබුණි. තව ද වල දැමීමට අවසර ලද සිරුරු දණහිසෙන් ඉහළට එසවීමකින් තොරව රැගෙන යාමට නියම කොට තිබුණි. දෙමාපියන්ගේ, දූ දරුවන්ගේ, සහෝදර සහෝදරියන්ගේ සහ ඥාතීන්ගේ මළ සිරුරු බිම දිගේ ඇද ගෙන ගොස් කිසිදු චාරිත්‍රයක් හෝ වත්පිළිවෙතක් ඉටු නොකර සතුන්ගේ මළ කුණු වගේ වල දැමීමට සිදු විය. ජනතා විමක්ති පෙරමුණේ අණ නොතකා චාරිත්‍ර කළ පිරිස් ද එදිනම රෑ මරා දමනු ලැබීය. අත දරුවන්ට බෙහෙත් ගෙන ඒමට කිරිපිටි ටිකක් ගෙන ඒමට ගිය දෙමව්පියන් ඇඳිරි නීති කඩ කළ බව පවසා මරා දමනු ලැබීය. දරු ප්‍රසූතිය සඳහා ගැබිණි කතුන් ප්‍රවාහනය කළ ගිලන් රථවල රියදුරන් ද එසේ මරා දමනු ලැබීය. එල්ටීටීයට යුද ජයග්‍රහණ ලබාදීම පිණිස හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්හට සේවයෙන් ඉවත් වන ලෙස ජනතා විමක්ති පෙරමුණ නියෝග කළේය. එල්ටීටීය දිනවීමට ක්‍රියා කළේ එසේය. එම නියෝග නොතැකූ නිලධාරීන් සහ ඔවුන්ගේ දරු පවුල් දේශ ද්‍රෝහීන් යැයි ලේබල් කොට සමූල ඝාතනය කරනු ලැබීය. 

1971 සහ 1988-90 කාලයේ සිදු කරන ලද ජනතා විමක්ති පෙරමුණු කැරළි විසින් රටේ ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක් කළේය. ඔවුන්ගේ සාහසික කැරළි නිසා ආර්ථිකය අඩපණ වී 1971/72 සේම 1988/90 කාලයේ දළ දේශීය නිෂ්පාදිතය 6% සිට 2% පමණ දක්වා අද දැමීය. එමගින් රටේ ආර්ථිකයේ ජවය බෙහෙවින් හීන වී අදායම්, පරිභෝජනය, ඉතුරුම්, ආයෝජන සේම අපනයන ද කඩා වැටිණ. 

ජනතා විමක්ති පෙරමුණේ මිනි මැරුම් සහ කඩාකප්පල් ක්‍රියා නිසා විදේශ ආයෝජන ඔස්සේ දියුණු කර ගැනීමට සැලසුම් කොට තිබූ කාර්මාන්ත සංවර්ධනය ද කඩාකප්පල් විය. ආයෝජකයන් රට හැර ගියේය. අද මුහුණ පෑමට සිදුව තිබෙන විනිමය හිඟය, එසේ කර්මාන්ත සංවර්ධනය කඩාකප්පල් කිරීමේ එක් දිගු කාලීන ප්‍රතිඵලයකි. විනිමය ඉපයීමේ අනෙක් මාර්ගය වූ සංචාරක කර්මාන්තය ද ජනතා විමක්ති පෙරමුණේ මිනී මැරුම් සහ ඇඳිරි නීති නිසා කඩා වටිණ. සංචාරක හෝටල් වසා දැමීමට සිදු විය. සංචාරකයන් බියට පත් විය. 

රට දියුණු කර ගැනීමට තිබුණු අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ඉඩ නොදුන් ජනතා විමක්ති පෙරමුණ අද කිඹුල් කඳුළු හෙලන්නේ වෙන කිසිවක් නිසා නොව ජනාධිපතිවරයාගේ අදූරදර්ශී දුර්වල පාලනය නිසා රටේ ඇති වී තිබෙන අසහනකාරී තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමටය. ඒ වෙනුවෙන් මේ වන විට "Facebook" රැල්ලක් හදා ගෙන ඇත. එම රැල්ල මහ පොළොවේ යතාර්ථයක් නොවන විට අපේක්ෂා භංගත්වයට පත්ව මහ පොළොවේ තුන් වැනි කැරැල්ල ආරම්භ කරනු ඇත. නාදුනන තුවක්කුකරුවන් රට පුරා සැරිසරන දිනය වැඩි ඈතක නොවනු ඇත.

අප රටේ පාලනය මූලික වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් සිදු කරන ලද බව සැබෑය. එම පාලන කාලවල යහපත් සේම අයහපත් ප්‍රතිඵල ද අත්කර දී තිබීම ද සැබෑවකි. එම පක්ෂවල ඇතැමුන් හොර මැරකම් කළ බවද සැබෑය. එහෙත් එම පක්ෂ දෙක ජනතා විමුක්ති පෙරමුණ වගේ හිතාමතා රට විනාශ කිරීමටවත්, ආර්ථිකය අඩපණ කිරීමටවත්, මිනී මැරීමටවත් ක්‍රියා කොට නොමැත. එම පක්ෂ විසින් මිනී මැරුම් කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ඔවුන් දෙවරක්ම ලද පරාජය වසන් කර ගැනීමටය. 

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ කිසිම රජයක් ජනතා විමුක්ති පෙරමුණේ ගල්කටස් එකට යට වී ඒකාධිපති රෝහණ විජේවීරට පාලනය භාර දෙන්නේ නැත. හැබැයි, ජනතා විමුක්ති පෙරමුණ හිතා ගෙන සිටියේ එසේ වනු ඇතැයි කියාය. එම පක්ෂ දෙකම රෝහණ විජේවීරගේ ඒකාධිපති පොල්පොට් වාදයට එරෙහිව සටන් කොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේය. එම එකම ආණ්ඩුවක්වත් හිතාමතා මිනී මැරුවේ නැත. මිනී මරු ජනතා විමුක්ති පෙරමුණෙන් මිනිසුන් බේරා ගැනීමට හමුදාව යෙද වූයේය. මේ දෙගොල්ලම එක යැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි. ඒ කතාව සත්‍යයකි. එම පක්ෂ දෙකම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ගරු කරන පක්ෂ දෙකකි. එබැවින් ඒ දෙක එකය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ වෙනස්ය. ඒ පොල්පොට් වාදය ගරු කරන එකම පක්ෂය වන බැවිනි.

ජනතා විමුක්ති පෙරමුණ හීනෙන් ඇහැරී රටේ පාලනය ඉල්ලන්නේ ඔවුන්ගේ කළු ඉතිහාසය ගැන මේ රටේ කිසිවෙකුවත් නොදන්නා බව සිතා ගෙනය. ඔවුන්ගේ ආර්ථික වැඩ පිළිවෙළ හාස්‍ය ජනකය. ධනපතීන්ගේ මුදල් රාජසන්තක කොට ඒවා දුප්පතුන් අතර සමසේ බෙදා දෙන්නේ යැයි මේ දිනවල අහිංසක තරුණයන්ට ගමක් ගමක් පාසා ඔවුන් කියා ගෙන යන්නේය. ආහාරපානවත් හරි හැටි නැති කියුබාවෙන් සහ රුසියාවෙන් ආධාර ගන්නේ යැයි ද කියා ගෙන යන්නේය. එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරුන් සිර ගත කොට ඔවුන් සොරකම් කළ ධනය ආපසු ලබා ගෙන රට සංවර්ධනය කරනවා යැයි ද කියන්නේය. කොටින්ම කියනවා නම් දේශපාලන විඥානයක් නැති අහිංසක තරුණ තරුණියන්ට නොකියන දෙයක් නැත. එසේ සුරංගනා කතා කියා තරුණ පිරිස් විශාල ලෙස මේ වන විට සිය සංවිධානයට නතු කර ගැනීමට ද ජනතා විමුක්ති පෙරමුණට හැකි වී ඇත. 

පෙනෙන විදිහට ඊළඟ මැතිවරණය ඔවුන්ට ජයග්‍රහණය කර ගත හැකි යැයි විශ්වාස නොකර සිටීමට හේතුවක් ද නැත. ඔවුන්ට මේ හැකියාව ලැබී තිබෙන්නේ වෙන කිසිවක් නිසා නොව "වියත් මඟ" අමනකම් නිසාය. ජනාධිපතිවරයා රට වැසියාගේ බත්පතට පයින් ගැසූ නිසාය. අපට පුරෝකථනය කළ හැකි අවාසනාවන්ත දෙයක් ඇත. නැවත තරුණ නැගිටීමක් හට ගත හොත් එම තත්ත්වය ලක්ෂ ගණනක ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වන සිද්ධියක් වනු ඇත. එහෙත් එහි වගකීම භාර ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවේ. වැඩි වගකීම දැරිය යුත්තේ රට පාලන කිරීමට තරම් දැනුමක් සහ හැකියාවක් නැතිව රටේ පාලනය භාර ගත් මේ ආණ්ඩුවය.  

යම් හෙයකින් වැඩ පිළිවෙළක් නැති එහෙත් අඳුරු ඉතිහාසයක් ඇති පොල්පොට් පන්නයේ අන්තවාදී අදහස් ඇති ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වුව හොත් මෙතෙක් රට වැසියා බුක්ති විඳි නිදහස ද නැති වී උතුරු කොරියානු වැසියන් වගේ හාමතින් සහ බියෙන් වහල්ලු ලෙස ජීවත් වීමට සිදු වීම වැළැක්විය නොහැක. 

එහි වගකිව යුත්තා මේ ආණ්ඩුවය. ඉල්මහ සමරුවේ දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කෙළේ ඔවුන් සන්නද්ධ අරගලය අත හැර නොමැති බවයි. සන්නද්ධ වන්නේ ඌරන් මැරීමට නොව මිනිසුන් මැරීමටය. ඒ සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණෙන් අද වන තෙක් ප්‍රශ්න කර නැත. මේ ආණ්ඩුව දස අතේ Fail" ය. ඒ අනුව මේ මොහොතේ ආණ්ඩුව බලන්නේ ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන විනා රටට අත්වීමට යන ඉරණම ගැන නොවේ. 

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට රටේ ප්‍රශ්නවලට වඩා පෞද්ගලික ප්‍රශ්න වැදගත් වී තිබේ. එනම් විෂය මූලික අවශ්‍යතාවලට වඩා මනෝ මූලික අවශ්‍යතාවලට ඔවුන් වැඩි පුර යොමු වී ඇත. ඔවුන් රට වැසියාට වඩා දෙවි දේවතාවන් ගැන උනන්දුවක් දක්වයි. ඔවුන් රැකෙන්නේ රට වැසියාගෙන් නොව දෙවි දේවතාවන්ගෙන් යැයි විශ්වාස කරයි. ආණ්ඩුවේ මේ අවිචාරවත් නාඩගම් අස්සේ ජනතා විමුක්ති පෙරමුණට අහිංසක තරුණ පිරිස් නොමග යැවීමට හැකි වී ඇත. ජනතා විනාශ පෙරමුණක් ලෙස ඔවුන්ට නැවතත් ගොඩනැගෙන්නට උඩ ගෙඩි දෙන්නේ වෙන කවරෙකුවත් නොව මේ ආණ්ඩුවමය. ගහ කොලවලට, මිනිසුන්ට, සිවුපාවුන්ට, පක්ෂීන්ට ආදී සකල සත්ත්වයාට මේ ආණ්ඩුව ආහාර අහිමි කළේය. එම ශාපය නිසා මේ ආණ්ඩුව අවසන් වන්නේය. එහෙත් ආණ්ඩුවේ නොහැකියාව විසින් ජනතා විමුක්ති පෙරමුණ මහ ජනයාගේ ගැළවුම්කරුවා බවට පත් කර හමාරය. ඒ වනාහී ආණ්ඩුවේ වරදිනි. ඉදිරියේ දී අඳුරු යුගයක් උදා විය හැක. ඒ මක් නිසාදයත් ජනතා විමුක්ති පෙරමුණ බුදු වී නැති නිසාය. 

ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන් රටේ පාලන බලය ගන්නා බැවින් එම පක්ෂය විවේචනය කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ පෑමට ඉඩ ඇති බව පසුගිය සතියේ එක්තරා ජනතා විමුක්ති පෙරමුණු කාරයෙකු මෙම ලියුම්කරුට කියා සිටියේය. තව ද මෙම ලියුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හතුරෙකුද යන්න පරීක්ෂා කොට ඝාතනය කිරීම සඳහා තුන් වරක්ම මේ ලියුම්කරුගේ නිවසට ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන කල්ලි සාමාජිකයෙකු 1989 දී එවා තිබුණි. ඔහුට මෙම ලියුම්කරු සිය රාත්‍රී බත් පිඟානෙන් හරි අඩකින් ද ඒ දිනවල සංග්‍රහ කළේය. එම ඝාතක සාමාජිකයා මේ වන විට ජීවිත රක්‍ෂණ අලෙවි නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරන බව ආරංචි වී ඇත.

 
 
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
 

 
නිර්මාතෘ සහ පීඨාධිපති 
 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
 

 
කළමනාකරණ පීඨය 
 

 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
Advertiesment