Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


අවලම් යෝජනාවක් ගෙනා තක්කඩි ඩයනාගේ Passport වංචාව


2022-01-24 14367

 

නීතිය බල්ලට නොදැම්මා නම් වසර පහක් හිරේ..!

 

(පෝද්දල ජයන්ත)

 

 

ජනපති ගෝඨාභය නන්දසේනට සහ වත්මන් පාර්ලිමේන්තුවට තවත් දෙවසරක අනීතික නිල කාලයක් ලබා දෙන ලෙස ව්‍යවස්ථා විරෝධී යෝජනාවක් ගෙන ආ ඩයනා ගමගේ කූට ලේඛන උපයෝගී කර ගනිමින් ව්‍යාජ ගමන් බලපත්‍ර දෙකක් ලබා ගත් වංචාකාරියක් බව මීට ඉහත දී හෙළිදරව් වී තිබුණි. ඇය වර්ෂ 2020 අගෝස්තු 20 සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසියා ය. ඉන්පසු කරණමක් ගසා සජිත් ප්‍රේමදාස ගෙන් නික්ම ගෝඨාභ රාජපක්ෂ සරණ ගියා ය. එසේ ඇය ගෝඨභය රාජපක්ෂ සරණ ගියේ අන් කිසිවක් නිසා නොව, ඇයට එරෙහිව ඕෂල හේරත් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන පැමිණිල්ල ප්‍රකාරව හිරේ යාමෙන් වැළකී සිටීම පිණිස ය. 

 
ඕෂල හේරත්ගේ පැමිණිල්ල

 

ඕෂල හේරත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ කූට ලේඛන උපයෝගී කර ගනිමින් ව්‍යාජ ගමන් බලපත්‍ර දෙකක් ලබා ගෙන තිබීමත්, ද්වීත්ව පුරවැසිභාවය ලබා නොගෙන වීසා බලපත්‍ර රහිතව ශ්‍රි ලංකාවේ රැඳී සිටීමත්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දීමත් යන දඩුවම් ලැබිය යුතු වැරදි සිදු කර ඇතැයි යන්නය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකුට ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරිය හැකි වුවද , ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට පිවිස ඇත්තේ 19 සංශෝධනය යටතේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක් වශයෙනි. එසේ නම් තමන් වෙනත් රටක පුරවැසිභාවයක් නොදරන බවට මැතිවරණ කොමිසමට ලබාදී ඇති දිවුරුම් ප්‍රකාශයද ව්‍යාජ එකකි.

2020 ඔක්තෝබර් මස ඕෂල හේරත් මහතා කර ඇති පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංක B48037/01/2021 දරන බී වාර්තාවක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කර තිබුණි. එම පැමිණිල්ලට අනුව ඉහත සැකකාරිය ඩයනා ගමගේ , ඩයනා සමන්මලී , ඩයනා නතාෂා කැකුණදුර යනුවෙන් නම් ත්‍රිත්වයකින් විවිධ අවස්ථාවල පෙනී සිට ඇත. 

 
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලබා ගැනීම

 

මේ වන විට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ කොළඹ දකුණ කොළඹ ලෙස සදහන් කර අංක 6553 දරන උප්පැන්න සහතිකයක් සකස් කර ගෙන ඇති අතර "කොළඹ දකුණ" යනුවෙන් කොට්ඨාශයක් නොමැති බව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශකර තිබුණි. ඉහත ව්‍යාජ උප්පැන්න සහතිකය ඉදිරිපත් කරමින් 2004/12/22 දින අංක 658534399 V දරන ජාතික හැදුනුම්පතක් ලබා ගෙන තිබේ. 

ඉහත හැදුනුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන්ම ලබා ගත්තද ඒ සදහා ඉදිරිපත් කළ උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බැවින් අදාළ ජාතික හැඳුනුම්පතද ව්‍යාජ එකක් වනු ඇත. මෙකී ලේඛන ඉදිරිපත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ඇති ව්‍යාජ ගමන් බලපත් අංකය N 5091386 වේ. ඒ වන විට ඇය පාවිච්චි කරන ලද බ්‍රිතාන්‍ය ගමන් බලපත් අංකය 521398876 ලෙස සදහන් වේ.ඉන්පසු තවත් රාජකාරී ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති අතර එහි රාජකාරි නාමය ලෙස සටහන් කර ඇත්තේ "රන්මිණිතැන්න" ටෙලි සිනමා ගම්මානයේ සභාපතිනිය ලෙසයි. 

 
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 175 වගන්තියත් අගාමික සහ විගාමික පනතත් උල්ලංඝනය කිරීම

 

ඉහත කූට ලේඛන උපයෝගී කර ගනිමින් ව්‍යාජ ගමන් බලපත්‍ර දෙකක් ලබා ගැනීම නිසා ශ්‍රි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 175 වගන්තිය සහ  ආගමන-විගමන පනතේ 45 (1) (අ) සහ (ඇ) වගන්ති යටතේ බරපතළ වංචනික ක්‍රියා කිහිපයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළද, ගෝඨාභය රාජපක්ෂ සරණ ගොස් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කිරීම නිසා රටේ නීතිය බල්ලට දමා ඩයනා ගමගේට "රාජපක්ෂලාගේ" පූර්ණ රැකවරණය ලැබුණි.

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ බැවින් , ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීති විරෝධී එකකි. එසේ නම් ඇයගේ මන්ත්‍රී ධුරයට එරෙහිව කවුරුන් හෝ අධිකරණයට යා යුතු ය. ඇය 2020 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස මහජන බදු මුදලින් ලබා ගත් සියලුම වරදාන සහ වරප්‍රසාද ගණනය කොට එකී වැය බර මුළුමණින්ම අය කර ගත යුතු ය. ඊට අමතරව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සහ කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ ආගමන විගමන පනත් ප්‍රකාරව දඩුවම් ලැබිය යුතුය.

Advertiesment