Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


ණයට ගත් සෑම ඩොලර් හතරකින් තුනක්ම රාජපක්ෂලාගේ ණයයි


2021-12-23 14349

අජිත් නිවාඩ්ඔගේ ළුව නැතත් කඳ Fight..!

 

නිවාඩ් කබ්රාල් සහ පී.බී ගේ ආර්ථික උප්පරවැට්ටියට ජාත්‍යන්තරය රවට්ටන්න බෑ 

 

"Fitch Ratings" ආයතනයේ ශ්‍රේණිගත කිරීම් 

 

රටේ ණය උගුලේ සහ ඩොලර් අර්බුදයේ තරම මෙන්න..!

 
 
(රාජිත කීර්ති තෙන්නකෝන්)

 

කිසිදු ආනයනයකට ඩොලර් නිදහස් කිරීම වැළැක්වීම මගින් මහා භාණ්ඩාගාර මුට්ටියේ දන්කුඩ ටිකක් හූරා 2022 ජනවාරි 18 ට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පියවා දැමීමෙන් පමණක් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. 

ජාත්‍යන්තර "Fitch Ratings" ආයතනය ශ්‍රී  ලංකාව බංකොලොත් භාවයට ආසන්නම තැන දක්වා මේ වන විට ශ්‍රේණිගත කිරිම් පැත්තෙන් පහත හෙළා තිබෙනවා.  මුලින් අනුමාන කෙරුණේ මේ තත්ත්වය 2022 ජනවාරි පළමු සතියේ අති විය හැකි බවටයි. මේ වන විට අතශ්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ණයවර ලිපි සඳහා ඩොලර් මිලියන 800ක ඉල්ලීම් මහා බැංකුව වෙත ලැබි තිබෙනවා. 

 හැබැයි ඒ කිසිවක් සඳහා ගෙවීම් කරන්නේ නැහැ. ණය ගෙවීම සහ විදේශ රටවලින් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම යන දෙකම කිරීමට හැකියාවක් නොමැති තත්ත්වයක් උදා වෙලා.  ආණ්ඩුව මේ ණය වාරිකය කෙසේ හෝ ගෙවලා මාසයකට ජාම බේරා ගන්න හදනවා. එවිට රටේ ආයනයන සීමා වෙනවා. මේ මහෝත වන විටත් ගල් අගුරු ප්‍රශ්නයක් තිබෙනවා. ඉන්ධන ගෙන්වීමට ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වහාම අවශ්‍ය වී තිබෙනවා. ඉන්ධන සහ ගල් අඟුරු නොමැති නම් ජනතාවට අඳුරේ ඉන්න සිද්ධ වෙනවා. කර්මාන්ත ශාලා වැහිලා අපේ ඇඟළුම් ඇතුළු අපනයන සියල්ල නවතිනවා. 

2022 ජනවාරි 17 ජාත්‍යන්තර බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 පියවලා, ජනවාරි 18 පාර්ලිමේන්තුවට ඇවිත් "ඔන්න අපි ණය ගෙව්වා" කියලා පම්පොරියක් ගහන්න ආණ්ඩුව සුදානම් වෙනවා. පී.බී.ජයසුන්දර-අජිත් නිවාඩ් කබ්රාල් යන දෙන්නා මේ පම්පෝරිය ගහන්න තමයි පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා පොළඹවා ගත්තේ. 

හැබැයි, ජනවාරි මාසය අවසන් වන විට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250ක් දේශීය ණය (ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර) සඳහා ගෙවිය යුතුයි. එම දේශීය ණය ගෙවන්න නම් රටට පෝලිම්-සලාක ක්‍රමයකට යන්න වෙනවා.  අප විතරක් නෙවෙයි, ජාත්‍යන්තර සංවිධාන සහ ණය ලබා දෙන ආයතන මේ කතාව දන්නවා.  

හැබැයි ජාත්‍යන්තර "Fitch Ratings" ආයතනයේ වාර්තාව සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් "ඔළුව නැතත් කඳ ෆයිට්" ආකාරයේ පිළිතුරක් දී ට්ජිබෙනවා. සර්වබලධාරී පී.බී.ජයසුන්දර කියන්නෙත් ඒ කතාවම තමයි. "කබ්රාල්-පී.බී." කියන කිසිවක් මේ රටේ ජනමාධ්‍ය ප්‍රශ්න නොකරන නිසා ඒ අය  දිගටම මේ රැවටීම කරනවා. මේ වන විට මාසයකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගැසීම සීමා කර තිබෙනවා. කෝටි එක් ලක්ෂ පනස් දහසක් අච්චු ගහලා ඉවර වුණාට පස්සේ උද්ධමනය පාලනය වෙන්නේ නැහැ.  

2022 වසරේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 7000 ක් (ඩොලර් බිලියන 7 ක) ණය, ණය වාරික සහ පොලිය ගෙවීය යුතුයි. ඒ මුදලින් 45% ක්ම ගිණි පොලියට රාජපක්ෂ ආණ්ඩුව ලබා ගත් ණය පංගුවක් බව කිව යුතුයි. අපේ මිත්‍ර රටවලට හෝ ජාත්‍යන්තර සංවිධානවලට පමණක් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඊට හේතුවක් තිබෙනවා.  ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණයන් ද්වි පාර්ශවයීය ණය තියෙන්නේ ඩොලර් මිලියන 550 යි. අන්තර් ජාතික සංවිධාන සහ රාජ්‍යයන් එකකට වැඩි සංඛ්‍යාවකට ගෙවිය යුතු බහු පාර්ශවීය ණය ඩොලර් මිලියන 600ක් වනවා. ඒ දෙකේම එකතුව ඩොලර් බිලියන 1.15 යි.  ඉතිරි ඩොලර් බිලියන 5.8 ගිණි පොලියට ගත්ත ණය සහ ඒ ණයවලට අදාළ පොළියයි.  

ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනය කරන්න එපා කියලා ජාත්‍යන්තර "Fitch Ratings" ආයතනය මේ වන විට ලෝකයේ ආයතනවලට සහ ආයෝජකයින්ට කියමින් සිටිනවා. ඊට හේතුව තමයි  ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර ඩොලර් මිලියන 1500 ට පමණක් ඉදිරි කාලයේ ආණ්ඩුව ඩොලර් මිලියන 1100 කට ආසන්න පොලියක් ගෙවීමට නියමිතව තිබිිම.  ගිණි පොළියට සල්ලි ණයට ගෙන ඒ සල්ලි චීන අශුචි සහ නැනෝ පොහොර වගේ හොරකම්වලට යොදා ගත්තාම රට බංකොලොත් වීම වැළක්වීමේ හැකියාවක් ඇත්තේ නැහැ. 

සියලු දෙනා මතක තබා ගත යුතු කාරණය වන්නේ ආණ්ඩුව ලෝකයට විතරක් නොව, ශ්‍රී ලංකාවේ අයටත් (ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර) ඩොලර් මිලියන 1450 ක් ණය වී සිටින බවයි. ජාත්‍යන්තර සංවිධානවලට, ඒ ඒ රාජ්‍යයන්ට, ආයතනවලට සහ පුද්ගලයින්ට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1250ක් වනවා. බංගලිදේශයෙන් අතමාරුවට ගත් ඩොලර් මිලියන 150ක ණය තව මාසයකින් ගෙවීමට සිදුව තිබෙනවා. මේ ඔක්කොම එකතු වුණාම ඩොලර් මිලියන 7000 ක් (බිලියන 7) ණය යි. 

2022ජනවාරි මාසයේ ජාත්‍යන්තර බැඳුම්කර ඩොලර් මිලියන 500 සහ සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 250 මහා භාණ්ඩාගාර වළඳේ දන්කුඩය හූරලා ගෙව්වාම රටේ ගෑස්-ඉන්ධන-හාල්-පිටි-සීනි නොමැති තත්ත්වයක් උදා වෙනවා. බෙහෙත් නැතිව මිනිස්සුන්ට මිය යන්න සිද්ධ වනවා. රසායනික පොහොර සහ ඖෂධ සඳහා ඩොලර් ලබා නොදෙන නිසා කුඹුරුවලට තෙල් බෙහෙත් සහ අශුචි වලවල්වල තිබෙන අශුචි හලන්න සිද්ධ වෙනවා. මේ මුල්‍ය අර්බුදය සහ ඒ හා බැඳුණු ඉන්ධන අර්බුදය ලේසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. 

කිසිම ආර්ථික වැඩ පිළිවෙළක් නැතිව බඩු බෙදලා, සුරංගනා කතා කියලා බලය ගත්ත ආණ්ඩුව අද රටේ ඇති කරලා තිබෙන තත්ත්වයට නැවත රට වැටිය යුතු නැහැ.  ශ්‍රී ලංකාව ණය වෙලා තිබෙන සෑම ඩොලර් 4 න් තුනක්ම ණය වුණේ රාජපක්ෂ ආණ්ඩු යටතේයි. මේ වන විට සල්ලි අච්චු ගහන එක සීමා කර තිබුණාට මේ වන විට කිරි තේ එකකට රුපියල් 90ක් සහ ආප්පයක් රුපියල් 20ක් ඇතුළු ඒ ඒ ආහාර සහ භාණ්ඩ වෙනුවෙන් විශාල මුදලක් ගෙවීමට අපට සිද්ධ වෙලා තිබෙන්නේ පසුගිය කාලයේ ඉවක් බවක් නැතුව සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඑලයක් ලෙසයි. 

 
 
-රජිත් කීර්ති තෙන්නකෝන්- 
දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර

 

Advertiesment