Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


මහින්දාගමනයෙන් පන්නරය ලබා බුදුදහමින් පෝෂණය වූ හෙළ වෙදකම..!


2019-07-02 4601

ආයුෂ වැඩි කරන විද්‍යාව ආයුර්වේදයයි..!

 

පොසොන් පොහොය වැදගත් වෙන්නේ ශ‍්‍රී ලංකාවට පමණයි. බෞද්ධ දර්ශනය ශ්‍රී  ලංකාවේ ස්ථාපිත වූයේ පොසොන් පොහොය දිනයේ නිසා පොසොන් පොහොය ශ්‍රී ලංකාවට තරම් වෙනත් කිසිඳු රටකට වැදගත් වෙන්නේ නැහැ.

බෞද්ධ දර්ශනය ලෙස හඳුන්වන බුදුන් වහන්සේගේ ධර්මය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එන්නේ ක‍්‍රි.පූ 250-210 කාලයේ ශ‍්‍රී ලංකාවේ රජ කළ දේවානම් පියතිස්ස රජතුමාගේ පාලන සමයේදීයි.  එකල ඉන්දියාවේ රජ කළ ධර්මාශෝක අධිරාජ්‍යයා ශ්‍රී  ලංකාවට බුදු දහම ගෙන ඒමට මූලිකව කටයුතු කර තිබෙනවා.

බුදු දහම රැගෙන ශ්‍රී  ලංකාවට ආවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත‍්‍රයා වූ මහින්ද තෙරණුවොයි. අර්හත්භාවයට පත් වීමෙන් පසු මිහිඳු මහ රහතන්වහන්සේ ලෙස ප‍්‍රචලිත වූ උන්වහන්සේ ශ‍්‍රී ලාංකේය බෞද්ධ ජනතාව දෙවන බුදුන් ලෙස හඳුන්වනවා.

මහින්දාගමනයේදී බෞද්ධ දර්ශනයත් සමග ඉන්දියාවේ තිබූ හින්දු සංස්කෘතියත් ශ්‍රී  ලංකාවට ආවා. හින්දු සංස්කෘතිය බුදුන්වහන්සේ ලොව පහළවීමටත් පෙර සිටම තිබූ දෙයක්. බුදුන්වහන්සේගේ ධර්මය නිර්මාණය වීමටත් හින්දු සංස්කෘතියේ බලපෑම ඉවහල්ව තිබෙනවා.හින්දු සංස්කෘතියත් සමග කලා ශිල්ප, විද්‍යාව වගේම  සාහිත්‍යයත් ශ්‍රී  ලංකාවට ආවා. ඉන්දියාවේ හට ගැනුණු ආයුර්වේදය නම් වූ පරිපූර්ණ වෛද්‍ය විද්‍යාව බෞද්ධ ගුණාංග සමග ශ්‍රී ලංකාවට එන්නේ මහින්දාගමනය සමගයි.

ඉන්දියාව ආයුර්වේදයේ මහා වෘක්ෂය නම්, මිහිඳු මහ රහතන්වහන්සේගේ පැමිණීමත් සමග එම වෘක්ෂයේ අංකුර ශ‍්‍රී ලංකාවේ වැඩෙන්න පටන් ගත්තා. එය අද ශ‍්‍රී ලාංකේය ආයුර්වේදය නමින් මහා වෘක්ෂයක් බවට පත්ව තිබෙනවා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරත් ආයුර්වේදයේ ප‍්‍රාථමික අවස්ථාවන් ශ්‍රී ලංකාවේ තිබුණා. ඒවා බොහෝ විට ස්වදේශීය වශයෙන් වර්ධනය වූ ආයුර්වේද සංකල්පයි. මෙම ස්වදේශීය ආයුර්වේද සංකල්ප සඳහාත් භාරතයේ බලපෑම තිබුණා.

ඊට  අමතරව හින්දු සංස්කෘතියත් සමග ප‍්‍රධාන පුරුෂාර්ථයන්ද ශ්‍රී ලංකාවට ආවා. ඒ අතර පුරුෂාර්ථ 04 ක් ප‍්‍රධානයි. කාම (ඉන්ද්‍රියන් පිනවීම) අර්ථ (ධනය සැපයී) ධර්ම (යුතුකම් ඉටු කිරීම) සහ මොක්ෂය (ජීවිතයේ අවසන් අරමුණ ආධ්‍යාත්මික සුවය) මෙම කරුණු 04 යි.

මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ යක්ෂ, නාග ආදී ජන කොට්ඨාසයි. ඇතැම් අය ගෝත‍්‍ර වශයෙන් හඳුන්වන්නේත් මේ ජන කොට්ඨාසමයි. මෙවැනි ස්වදේශීය ජන කොට්ඨාසවලට ආවේණික වූ වෛද්‍ය සංකල්ප ලෙස වැඩි වශයෙන් තිබුණේ භූත විද්‍යාවට අදාළ ප‍්‍රතිකාර ක‍්‍රමයන්. භූත වශයෙන් හඳුන්වන්නේ කායික චිකිත්සාවට වඩා මානසික චිකිත්සාව ප‍්‍රමුඛ කර ගත් වෛද්‍ය ප‍්‍රතිකාර විධික‍්‍රමයි. බලි-බිලි යාදිනී මේ වායේ තිබූ ප‍්‍රධාන ප‍්‍රතිකාර ක‍්‍රම කීපයක්. මේ ප්‍රතිකාර ක්‍රම මගින්  මිනිසාගේ ස්වාධීනත්වය වෙනත් අද්භූත බලවේගයකට පවරා තිබුණා.

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයට පෙරත් ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මණයින් සිටි බවට සාධක තිබෙනවා. ක‍්‍රි.පූ. 377-307 කාලයේ පණ්ඩුකාභය රජතුමා රජ සිරිකා නමින් තිඹිරිගෙයක් සකස් කළ බව මහා වංශයේ 10 වන පරිච්ඡ්දයේ සඳහන් වෙනවා. පණ්ඩුකාභය කුමාරයා ශිල්ප ශාස්ත‍්‍ර හදාරා තිබෙන්නේ පණ්ඩුල නම් වූ බ‍්‍රාහ්මණයාගෙන් බවත් ඉතිහාසයේ සදහන් වෙනවා. රටේ ඉහළ සමාජය ශිල්ප ශාස්ත‍්‍ර ඉගෙන ගත්තේ බ‍්‍රාක්මණයින්ගෙන්. ඒ නිසාම බ‍්‍රාක්මණයින්ගේ එක් එක් පරම්පරාවල මුඛ පරම්පරා ගත ගුරුකුල තිබුණා.

වෛද්‍ය ශාස්ත‍්‍රය තුළ පරතෙරට ගොස් තිබුණෙත් බ‍්‍රාහ්මණයින්. නමුත් මොවුන් දේව නිර්මාණ වාදයෙන් ඉවත් වන්නට අපොහොසත් වුණා. මේ නිසාම ආයුර්වේද වෙදකමේත් කර්තෘත්වය පවරා තිබෙන්නේ මහා බ‍්‍රහ්මයාටයි. මේ නිසාත් මිනිසාගේ ස්වාධීන අයිතිය මිනිසාටම අහිමි වෙලා තිබෙනවා. නමුත් ශ‍්‍රි ලංකාවට බෞද්ධ දර්ශනය පැමිණීමත් සමග එතෙක් රටේ  පැවති වෙදකමට බෞද්ධ දර්ශනයේ හරයන් එකතු වුණා. බෞද්ධ දර්ශනයේ හිතකාමී පරිසරය තුළ විශ්වාසය අතිනුත් යථාර්ථය අතිනුත් ආයුර්වේදයේ සංකල්පවලට ශ‍්‍රී ලංකාව වඩාත් වේගයෙන් ව්‍යාප්ත වීමටද හැකි වුණා.

එසේ වූයේ බුදුන් වහන්සේ ලෝකයේ ප‍්‍රථම සහ  ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයා වීම නිසයි. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඔහු මට උපස්ථාන කරනවා හා සමාන යැයි බුදුන් වහන්සේ විනය පිටකයේ මහා වග්ගයේ විවරක්ඛණ්ඩකයේද සදහන් කර තිබෙනවා. සූත‍්‍ර පිටකයේ (නිකායේ)560 ට අනුව බුදුන් වහන්සේ තමන් විසින්ම තමාව ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා ගෙන තිබෙනවා. ඊට හේතුව ලෙස දක්වා තිබෙන්නේ මිනිසුන්ගේ දුකේදී  චෛතසිකයන් උදුරා දමන නිසා බවයි. ලෝවැඩ සඟරාවේ කතුවරයාද බුදුන් වහන්සේ වෙද  නමින් හඳුන්වා තිබෙනවා. “සත් හට වන බව දුකට වෙදානන්” ලෙස යනුවෙන් එහි දක්වා තිබෙනවා.

මහින්දාගමනයේ ප‍්‍රතිඵලයක් මත සංඝමිත්තා මහ තෙරණිය විසින් ශ‍්‍රී මහා බෝධි අංකුරයක් ශ්‍රී ලංකාවට ගෙනාවා. සංඝමිත්තා තෙරණිය සමග අටලොස් කුලයක පිරිස් පැමිණි බව මහා වංශයේ 19 වන පරිව්ෙඡ්දයේ 101 වන පිටුවේ සදහන් වෙනවා. මොවුන් සමග ඉන්දියාවේ මෞර්යය සංස්කෘතික අංගත් පැමිණියා. ශ්‍රී ලංකාවේ නව සංස්කෘතික පැවැත්මට මේ කුලවලින් පැමිණි අය හේතු වී තිබෙන බව තහවුරු වෙනවා. ඒ අනුව කුල හෝ පවුල් 210ක් පැමිණ තිබෙනවා.

මේ බව පාලි බෝධි වංශයේත් සිංහල බෝධි වංශයේත් සදහන් වෙනවා. එහි බ‍්‍රාහ්මණ කුලයේ අට  දෙනෙක් පැමිණි බව සදහන්. බ‍්‍රාහ්මණයන් යනු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පරතෙරට උගත් අයයි. ඊට ට අමතරව මොවුන් සමග ඔසු දවටු කුල 8 ක පිරිසකුත් පැමිණ තිබෙනවා. වෛද්‍යවරුන් නියම කරන බෙහෙත් ශරීරයේ ගල් වන අය බෙහෙත් සකස් කරන අය ඔසු දවටු කුලවලට අයත් වෙනවා.

අශෝක අධිරාජ්‍යයා විසින් මහා භාරතයේ පිහිටුවා ඇති ශිලාලිපි අතරින් “ගිරනහර්-02” ලිපියේ මනුෂ්‍ය චිකිස්සාය, පසු චිකිස්සාය යන වෙදකම් දෙක ගැනත් බෙහෙත් වර්ග ගැනත් තම රාජ්‍ය අවට ඇති රාජ්‍යයන්වලට ඖෂධ වර්ග සහ  වෛද්‍යවරුන් යැවූ බවත් සදහන් කර තිබෙනවා. තාමුපර්නි රටටද මනුෂ්‍ය චිකිස්සාය, පසු චිකිස්සාය ඖෂධ යැවූ බව එහි සඳහන්. තාමුපර්නි ලෙස හඳුන්වා තිබෙන්නේ ශ‍්‍රි ලංකාවයි.

කෙනෙකුට ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගීකම බව බුදුන් වහන්සේ ධම්ම පදයේ සුවච වග්ගයේ 6 වන ගාථාවේ සඳහන් කර තිබෙනවා. ඒ නිසාම අශෝක අධිරාජයා තමන්ගේ පුතු මිහිඳු හිමියන් ධර්ම දූත මෙහෙවර වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට එවද්දී දෙවන පෑතිස් රජතුමා වෙත ත්‍රිඵලා ඖෂධය ද එවූ බව සඳහන් වෙනවා.

ත‍්‍රි ඵලා නමින් හඳුන්වන්නේ අරළු, බුළු, නෙල්ලි යන ඖෂධ තුනයි. මෙම ආයුර්වේද ඖෂධයෙන් ත‍්‍රි දෝෂය සමනයවෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ත‍්‍රි දෝෂය යනු ශරීරය තැනී ඇති වාත, පිත, කඵ යන කොටස් තුනයි. අශෝක අධිරාජයා බෞද්ධ දර්ශනයත් සමග ස්වස්ථාවෙන් (නිරෝගී බවින්) පිරිපුන් සමාජයක පැවැත්ම අපේක්ෂා කළා විය හැකියි. මෙවැනි පසුබිමක් තුළ බෞද්ධ දර්ශනය පදනම් කර ගත් වෛද්‍යවරුන් වූ බුද්ධදාස රජතුමා වැනි අය බිහි වූ බවට අනුමාන කළ හැකියි.

ක‍්‍රි.පූ 247 දී දේවානම් පියතිස්ස රජතුමා ලෝකයේ පළමු ආයුර්වේද රෝහල මිහින්තලා කඳු පාමුල ඉඳි කළා.  සංවිධානාත්මක ආකාරයෙන් ඉඳි කරන ලද ලෝකයේ ප‍්‍රථම රෝහල මේ රෝහල  බවට හඳුනාගෙන තිබෙනවා. අදටත් මෙහි නටඹුන් මිහින්තලා කඳු පාමුල දැකිය හැකියි.

මෙම රෝහල ගොඩ නගන්නට ඇත්තේ මහින්දාගමනයත් සමග පැමිණි ආයුර්වේද විශේෂඥයින්ට සිය රට වැසියන්ට වෙදකම් කරන්නට විය හැකියි. ක‍්‍රි.පූ 2 වන සියවසට අයත් රජගල සෙල් ලිපියේ “යෙ ඉමදීප පටමය ඉදිය අගනන මහිඳ තෙර බව ඉඨික තෙර බව තුවේ” යනුවෙන් මහින්දාගමනය පිළිබඳව සදහන් කර තිබෙනවා. මේ බව සමන්ත පාසාදිකාව, ථූප වංශය, මහා වංශය, බෝධි වංශය ආදී පොත්පත්වලද සඳහන්.

ආයුර්වේදය යනු ආයුෂ වැඩි කරන විද්‍යාවක්. එය ජීවන දර්ශනයක්ද වෙනවා. ආයුර්වේදය බුදු දහමේ ගුණාංගද ඇතුළුව පෝෂණය වූ නිසා කායිකව මානසිකව මෙන්ම ආධ්‍යාත්මිකවද පිරිපුන් ජාතියක් ගොඩ නැගිය හැකි වී තිබෙනවා.

අපරදිග ජාතීන්ගේ පැමිණීමත් සමග ඉතා වටිනාකම්වලින් සමන්විත ආයුර්වේදය හා හෙළ වෙද කම ක‍්‍රමයෙන් අභාවයට යන ගතියක් පෙන්නුම් කළා. ආයුර්වේදයත් බෞද්ධ දර්ශනය මෙන්ම දර්ශනයක්. අද ආයුර්වේද දර්ශනය තේරුම් ගත් ආකාරය නිවැරදිද යන්න පිළිබඳවත් නැවත සිතා බැලිය යුතුයි.

වෙද වචනයේ තේරුම වෛද්‍ය යන්නයි. වෛද්‍ය යනු පාලි සාහිත්‍යයේ සකු බසට යෙදුන වදනක්. පාලි භාෂාව ශ්‍රී ලංකාවට එන්නෙත් මිහිඳු මහා නාහිමියන්ගේ ආගමනයත් සමග පැමිණි බෞද්ධ දර්ශනයත් සමගයි. වෛද්‍ය යන්න විද්-ඥාතේ එකතු වී සකස්ව තිබෙනවා. එහි තේරුම බුද්ධිමතා යන්නයි. මෙය තවත් ගැඹුරින් විග‍්‍රහ කරද්දී “අන්‍යෝන්‍ය” අනුන්ට උපකාර කරන්නා යනුවෙන් පෙන්වා දිය හැකියි. සැබැවින්ම වෛද්‍යවරුන් යනු මේ ආකාරයෙන් ක‍්‍රියා කරන අයයි.

ආයුර්වේද වෙදකම සඳහන් ග‍්‍රන්ථයක් වන චරක සංහිතාවේ සූත‍්‍රස්ථානයේ, සයනයක වැතිරුණ රෝගියෙකුගෙන් ලාභයක් අපේක්ෂා කිරීම සර්ප විෂ හෝ රත් කරන ලද තඹ ගුලි මුඛයට දමා ගැනීමක් ලෙස පෙන්වා දී තිබෙනවා. රෝගියෙකුගෙන් ලාභයක් අපේක්ෂා කිරීම උණු යගුලි ආහාරයට ගැනීමක් හා සමාන බවද එහි සඳහන්. වර්තමානයේ වෛද්‍ය ප‍්‍රතිකාර යනු මිල මුදල් යහමින් තිබෙන අයට පමණක් ලබාගත හැකි දෙයක්ය යන්න සමාජයේ බහුතර මතයයි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමග පැමිණි බෞද්ධ දර්ශනයේ හර පද්ධතියට අනුව අවිහිංසාව, පරානුකම්පාව, පරාර්ථ චරියාව ආදී ගුණාංගයන්ගෙන් යුත් වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය වර්තමානයේ හොඳින්ම දැනෙනවා. බටහිර වෙදකම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ සිටි වෛද්‍යවරුන් මුදල් පෙරටු කර ගත් වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් අනුගමනය නොකළ බව සාගර කුසුමරත්නගේ “වෙදමහතා හා ගැමි සමාජය” කෘතියේ සඳහන් කර තිබෙනවා.

වර්තමානයේ පොසොන් පොහොය සමරද්දී මිහිඳු මහ රහතන් වහන්සේත් සමග පැමිණි ආයුර්වේදයේ මානුෂීය ගුණාංග පිළිබඳව ද කල්පනා කළ යුතුයි. වෛද්‍ය වෘත්තියේ  මහානුභාව සම්පන්න ගුණය වඩාත් හොඳින් දැනෙන්නේ වෛද්‍යවරයාට වඩා ඔහුගෙන් ප‍්‍රතිකාර පතා පැමිණෙන රෝගියාටයි.

ඒ නිසාම බුදු දහමේ ගුණාංගවලින් පෝෂණය වූ වෛද්‍යවරුන් සෑමවිටම රෝගීන්ගේ සම්භාවනාවට ලක් වෙනවා. එබැවින් වෛද්‍ය වෘත්තියේ ප‍්‍රමිතිය මෙන්ම රෝගියාගේ ප‍්‍රතිකාරද එකසේ වැදගත් බවට මත දෙකක් තිබිය නොහැකියි. ප‍්‍රමිතිය තීරණය කිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගේ වගකීමක්. ජාතියේ බුද්ධිමතුන් රටේ අවශ්‍යතාවය මත නිවැරදි තීන්දු තීරණ ගන්නේ නම් රෝගියාගේ ගැරහුමට වෛද්‍ය වෘත්තීය  කිසිදා පාත‍්‍ර වන්නේ නැහැ.

මහින්දාගමනයෙන් පන්නරය ලබා බුදු දහමින් පෝෂණය වූ ආයුර්වේදයේ ගුණාංගයන් සමග සමස්ථ වෛද්‍යවෘතියේ ගුණාංග පිළිබඳවද කතා කිරීමට මෙවර පොසොන් සමය වඩාත්ම උචිත කාලය බවද කිව යුතුයි.

ආයුර්වේද වෛද්‍ය පරාක්‍රම විජයනාග මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළේ,

-ක්‍රිෂාන්ත වැලිතොටගේ-

Advertiesment