Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


“මධුර හඬවල් තිබුණට බොහෝ ගායකයන්ගේ හදවත් නගර සභාවේ කුණු කන්ද වගේ”


2019-07-02 1930

 

විසල් දිවුල් තුරෙක හැලී ගිය විය පත් කොළ මිදුලට අමුතු සුන්දරත්වයකි. යද්දෙස්සාගල කදු මුදුනත් අනෙක් පස නාථගනේ කන්දත් අහසට නැගී ඇති අයුරු මනරම්ව පෙනෙයි. කුරුණෑගල පුත්තලම ප්‍රධාන  මාර්ගයේ නිවස ඉදිරිපස අවුරුදු දෙසීයකටත්  වඩා ඉපැරැණි පාළු අම්බලම දෙස බලා හිඳින අප කතා නායකයා අව්‍යාජ සිනාවකින් මුව සරසා ගනී.

ඔබ කවුද..? මම ඇසුවෙමි..!

‘‘විශ්‍රාමික ග්‍රාම  නිලධාරිවරයෙක්. 2016 අවුරුද්දෙ විශ්‍රාම ගත්ත. යද්දෙස්සාගල කන්ද පාමුල, මගුරු ඔය අසබඩ මිනිස්සුන්ගේ දුක කඳුළු එක්ක ජීවිතේ වැඩි කාලයක් ගත කෙරුව තෘප්තිමත් සේවයක් ඉටු කෙරුව කියල මට දැනෙනව. දැන් ඉතිං ජීවිතේ අවසාන කාලෙ ගෙවනව.’’

සැබෑ ලෙසම ඔහු  අව්‍යාජ  මිනිසෙකි. මට අවැසි “ඔහු” ඔහු මට හඳුන්වා නොදෙයි. සිංදු ලියන ග්‍රාම  නිලධාරිවරයෙක් නේද..? ඔහුව මම  පොළඹවමි.

“මිනිස්සු මාව හොයා ගෙන ඇවිත් සින්දු ලියන රාළහාමි කෝ කියල අහපු අවස්ථා තියෙනව” ඔහු යළි නිහඬ ය. ‘‘උබේනන්ද දිසානායක...’’ ශ්‍රී  ලාංකීය ගීත කලාවට මනරම්  ගීත රැසක් බිහි කළ ප්‍රතිභාසම්පන්න ගීත රචකයෙකි.

කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘‘පායා නැගී ඒවි රන් තාරකා’’ සහ ‘‘චන්ද කින්නර ජාතකයේ කිඳුරිය ලෙසින්’’ යන ගීත අද දවසෙත් අතිශය ජනප්‍රිය  වීමෙන් ඒ බව මොනවට කියාපායි.

‘‘මගේ ගීත අතර කරුණාරත්න දිවුල්ගනේ 1994 එළි දක්වපු ‘‘නෙතට උළෙලක්’’ කැසට් පටයේ ඇතුළත් වන ගීත දෙක ම ජනප්‍රිය වුණා. “චන්ද කින්නර ජාතකයේ” ගීතයට ලැබණු ප්‍රතිචාරය අති විශාලයි. ඒ කරුණාරත්න   දිවුල්ගනේගෙ හඬත් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ විශිෂ්ට සංගීතයත් නිසා වෙන්න ඇති. පුද්ගලිකව මමත් ඒ ගීයට ගොඩක් කැමතියි.’’

කිඳුරියට මොකද වුණේ..? මම ඔහුගෙන් ඇසුවෙමි..!  උස් හඬින් සිනා වුණ උබේනන්ද දිසානායකයන් මදෙසට ළං වෙයි.

“ප්‍රථම ප්‍රේමය  අමතක කරන්න අපි හැමෝටම  අමාරුයිනෙ..! ඒ අත්දැකීම පාසල් කාලයේ  තරම් ඈතට යනව. කුරුණෑගල නගරෙට ආසන්න උඩබදලව තමයි මගෙ පාසල. මගෙ ඇස් නතර වුණා පාසලේ හිටපු සුන්දරම ගෑනු ළමය ගාව. ඇය අතිශයින් ම සුන්දරයි.ඒ දවස්වල අද වගේ මුහුණු පොත් ආදී තාක්ෂණික මෙවලම්  නෑ. පුංචි කොළ කැබැල්ලක ‘‘ඔබ පියකරු මලක්”කියල ලිව්ව  මම ඒක ඇගේ අත තිබ්බේ  මහ වීරකමක් කරපු වීරයෙක් වගේ. ඈ හිනා වෙලා පොතක  පිටු අතරේ ඒ කොළ කෑල්ල සඟවා  ගත්ත. එහෙම වුණත් ‘‘වීරයා’’ පංතිත භාර ගුරුතුමිය  එක්ක විදුහල්පතිතුමා ගාව නතර වෙනව”

‘‘ප්‍රේමයට  වයස කීයද කියල විදුහල්පතිතුමා අපි දෙන්නගෙන්ම ප්‍රශ්න කරන කොට ඇය කියනව එහෙම එකක් නෑ කියල. මං කීවා මගෙ හිතේ ඈ ගැන හැඟීමක් තියෙනව කියල. වේවැල් පාර දහසයක්   මගේ පපුවෙ නොමැකෙන රිදුමක් ඉතිරි කරන්නෙ මගේ ප්‍රේම  නාටකේ වෙනසක් කරල. ඒත් ඒ සිදුවීමම ගීතයට පාදක වෙන්නෙ නෑ. අපේ ගමේ පන්සලේ   කාලෙන් කාලෙට විවිධ ජාතක කතා, සොකරි, නාට්‍ය  රඟ දැක්වීම් කරනවා. සඳ කිඳුරු නාඩගම ඒ අතරෙ ප්‍රධානයි. කිඳුරා මරණ හැටි දකින ප්‍රේක්ෂක  ඇස්වල උපදින කඳුළු මං දැකල තියෙනව. අතිශය භාවාත්මක විදිහට මේ නාට්‍ය   රඟ දැක්වෙනව. ඉතාමත් සංවේදියි. මේ කාලෙ අපේ ගමට ආසන්න ගමක බිරිඳක් සිය දරුවන් හතර දෙනාත් සැමියාත් අත හැර වෙනත් පිරිමියෙක් එක්ක ගමින් පැනල යනව. මේ සිදුවීමත් මට මහත් රිදුමක් එකතු කළා. මට පස්සෙ දවසක මේ පද පෙළ ලියවෙනව"

චන්ද කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්

නුඹ පෙම් බැඳන් මට ළං වුණා

පෙම් බැඳන් ආ කින්නරාවී මගෙ ළඟින් හිඳ වෙන් වුණා..!

වයසින් මුහුකුරා ගියද භද්‍ර යෞවනේ ලද ප්‍රථම ප්‍රේමයේ  මතක සැමරුම් සෙවණැලි සේ ඔහු සිතේ ඇදෙයි. විටින් විට අහිංසක ගැමියා පිළිබද මතකය අලුත් වෙයි. රාජකාරි දින පොතේ සැඟ වුණ පද පෙළ හමුවෙයි. යළිත් ලියවෙයි.

ගෙට එන්ඩ පෙර කළ කී කතා

උඩුගම් බලා ගියෙ දෝ මෙදා

විස හී සරේ පපුවට හෙළා

නුඔ නාටකේ වෙනසක් කළා...

අත දරුවො ගෙන මහගිරි දඹේ

තනිවම නගින්නද පෙම් කළේ

කළු කාසියට හදවත් වැසේ

ඔබ සොයනවද බරණැස් පුරේ..!

අතිශය ජනාදරයට පත් ගීයක නිමැවුම් කරුගේ ප්‍රිය බිරිඳ තේ බඳුනක්  අප ඉදිරියේ තබා පිටවෙයි. “ඒ මගේ යසෝදරාව..” ඔහු යළිත් හිනැහෙයි. මගේ ගීත රචකයෙක් වීමේ මගට පහන් එළියක් වෙන්නෙ මානව දයාවෙන් හදවත පිරුණ විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලනී බුලත්සිංහල. එච් .එම්. ජයවර්ධනයන් වගේම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අමතක කරන්නත් බෑ. ජනප්‍රිය  වූ , නොවූ ගීත ප්‍රචාරය  කළ රජරට ගුවන් විදුලිය තමයි අපේ කෙම්බිම”

සිය දෝතට ආ දියණියට රෑ අහස පෙන් වන විටෙක මනස්කාන්ත තරු රටා රචක සිත පුරා විහිදෙයි. නිවස ඉදිරියේ සේපාලිකා පඳුර වෙනද වාගේම හිනැහෙයි. සේපාලිකා සුවඳ කෙසේ නම් අමතක කරම්ද?. ඔහටු නින්ද එන්නේ නැත. සුදු කඩදාසියක් මනරම් ගීයකින් විචිත්‍ර වෙයි. බොහෝ සේපාලිකාවන් ලද පෙම් හසුන්වල කී වරක් නම් මේ පද පෙළ පෙම්වත් අතකුරෙන් මනරම්ව ලිය වී ඇත් ද?

පායා නැගී ඒවි රන් තාරකා

මා හා හිනාවෙන්නෙ නෑ ආදරෙන්

දේදුන්න සේ රෑ  මැකී  වෙන් වෙලා

නාඩා ඉතිං ඉන්න සේපාලිකා..!

දෙනුවන් වැසී ඈත තරු නෙත් මැකී

තනිව හඬනා රැයේ

හදට දී වේදනා

එක් වී ළඟින් ඉන්න ළං වී සිනාසෙන්න

දුර ඈත සිට එන්න සේපාලිකා

සේපාලිකා... සේපාලිකා..!

රෑ මීදුමේ දිලුන තරු මල් ලෙසේ

ඔබෙ නෙත් පහන් දැල් වුණේ

හදට දී වේදනා

කදුල පිසලන්න සතුට තවරන්න

සුවඳක් ලෙසින් එන්න සේපාලිකා

සේපාලිකා... සේපාලිකා..!

“ගැමියො වෙච්චි අපි ජීවිතේ වැඩි හරියක් කුඹුරත් එක්ක ගෙව්ව. රස්සාවට කලින් යන්නෙත් වෙලටනෙ. එක කාලෙක එක කන්නයක් හොඳටම පාළු වෙලා... ඊළඟ කන්නය ආවා. රදාවල යායම හානවා. මං දැක්කා යායේ කෙළවර යන්තම්පලාවේ මස් කඬේ ලොරිය තියෙනවා. එක ගොවියෙක් උදේ ඉඳලා කඹුරු සිසාමින් හිටපු  හරක් බානේ වයසක හරකට  කෙවිටෙන් තලනවා. වයසත්, උදේ ඉදලා තිබුණ වෙහෙසත් හින්දා මේ සතාගේ ගමන හෙමින්. පස්සේ මේ මිනිහ කඩිමුඩියේ හරක් බාන ලිහල අර සතාව මස් කඬේ ලොරියට පැටෙව්වා.  මේක මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මහ පොළොව නුහුලන අපරාධයක්. “වැහි වහී ද මන්දා” කියල ඒක ලිය වුණා”

බුදුවරු දෙවිවරු සිහිකර උදයෙම

හීය පුරන සමහර මිනිසුන්

බාන ලිහා පටවති පෝරකයට

හීය ඇදපු හරකුන්

වැහි වහීද මන්දා..!

වැහි වහින්න කියලා - දෙවියන් යැදලා

පුද දෙන දානේ - හොරෙන් බුදින කොට

වැහි වහීද මන්දා..!

බුදුවරු දෙව්වරු සිහිකර උදයෙම

හීය පුරන සමහර මිනිසුන්

බාන ලිහා පටවති පෝරකයට

හීය ඇදපු හරකුන්

වැහි වහීද මන්දා..!

කතරගමට කිරි වෙහෙරට බාරව

පඬුරු තබන  සමහර මිනිසුන්

සැඳැහැතියන්ගේ මඩිස්සලේටත්

විද ඉගිලෙති සැණෙකින්

වැහි වහීද මන්දා..!

“ඒක ජනප්‍රිය  ගීයක් වෙන්නෙ එච් .එම්. ජයවර්ධනයන්ගෙ තනුවකට විශාරද මාලනී බුලත්සිංහලගෙ හඬ එක් වෙලා ගුවන් විදුලි සංස්ථාවෙ ස්වදේශ සේවයේ සංගීත වැඩ සටහනක් නිසා. පස්සෙ මාලනීගෙ ‘මාද ඔබම විය’ ගීත සංග්‍රහයට   මේ ගීය ඇතුළත් වුණා”

ගෙවී ගිය කාලයේ කළ නව නිර්මාණයන් මොනවාදැයි මම  ඇසුවෙමි..!

“බිහි වෙන නිර්මාණ කඩදාසි විදිහටම දිරනව. ඒත් ඒ ගැන දුකක් නෑ. අද ගීතයක් ලියලා ගායකයෙක් ගාවට ගෙනිහින් ගායනා කරන්න ගීත රචකයා ගායකයාට සල්ලි ගෙවන්න  ඕනෑ. ඊට  පස්සේ තමයි ගායනා කරන්නේ. මේක පුදුම කලාවක්..! ඉතිං අපිට පුළුවන් ද නව නිර්මාණ කරන්න. ගායකයො හුඟ දෙනෙක් ජීවත් වෙන්නෙ ගීත රචකයන්ගෙ වචන හින්දා. එහෙමත් තැනකදී මිසක පද රචකයෙකුගෙ නම කියන්න ගායකයෙකුගෙ දිව නැමෙනව ද..? මම ගීත රචකයෙක් විදිහට ගායකයෙකුගෙන් ප්ලේන්ටියක්වත් බීල නෑ. කිසිම දවසක කර්තෘ භාගය අර ගෙන නෑ. දීලත් නෑ. මධුර හඬක් තිබුණට වැඩක් නෑ. හදවත කුණු ගොඩක් නම්..!

සැබවින්ම ඒක ඇත්තය.ගීත නිමවුම්කරුවන් ලෙසින්   ගායකයාටත්, සංගීතඥයාටත් ලැබෙන ආර්ථික වාසි පද රචකයන්ට ලැබෙන්නේ  අඩුවෙනි. නොඑසේනම් ඇත්තේම නැත. කර්තෘ  භාගය ගැන වගේ වගක් නැත. නවතම රැල්ල  “රින්ගින් ටෝන්” ය. ඒ හරහා ලැබෙන මුදල, බෙදී යන ආකාරය දන්නේ අති මහත් මුදලක් උපයන දුරකථන සමාගම හෝ ඒ හා සම්බන්ධ වෙනත් ආයතනයන් ය.

ගීත රචකයෙක් විදිහට උපයා ගත්තෙ මොනවද..? මම ඔහුගෙන් ඇසුවෙමි..!

ඔහු වේදනාබර පපුව අත ගා ගනී. දිගු සුසුමකි. මොහොතකින් මදෙස බලයි..! “ගෙදරින් අහන්නෙත්  ඕක ම තමයි. 2016 කලාභූෂණ රාජ්‍ය  සම්මානය ලැබුණ. ප්‍රදේශයේ  විවිධ ඇගයීම් ලැබිල තියනවා. සමාජයෙ  පිළිගැනීමක් තියනවයි කියල දැනෙනවා. දෙයක් නොලැබුණා කියල දුක් වෙන්නෙ නෑ. මිල කරන්න බැරි සතුටක් හිතේ තියෙනව. ගෙදර අයටත් එහෙම ඇති”

ජනමාධ්‍ය  වගකීම මාධ්‍යකරුවන්ට අමතක වීම වත්මන් ගීත සාහිත්‍යට  අවර ගණයේ හරසුන් දෑ එක් කිරීමට සමත් බව ඔහුගේ අදහසයි.  එ පිළිබඳව ඇති වන හැගීම කලකරීම් දන වන බවට සාක්ෂි සපයයි. එහෙත් හොඳ දේ සොයන නවකයනට අත දීමට සිය හදෙහි ඉඩක් ඇති බව පසක් කරයි. හෙට දවසේ බලාපොරොත්තු පිළිබඳ විමසූ මට, පාරෙන් එහා ඇති ඉපැරැණි අම්බලම දෙසට ඇගිල්ල දිගු කරයි.

‘‘මගෙ හොඳම යාළුව ජයරත්න කියලා නිළධාරිවරයෙක්. මේ ආසන්නෙ... ඔහු මිය ගියා. ඒ මරණය මට මහත් වේදනාවක්. මගෙ ජීවිතෙත් දැන් හුග හරියක් ගෙවිලා.දහස් ගානක් මිනිසුන්ට නවාතැන් දීලා අර පාළු වෙලා තියෙන  ගරා වැටෙන අම්බලම වගේ”

-සරත් ඞී. අලුදෙනිය-

Advertiesment