Monday 26th of October 2020

English Tamil
Advertiesment


“ආණ්ඩුව තරුණයි-මාධ්‍ය පරණයි”


2019-07-02 10760

සිවිල් සමාජය දිර්ඝ කාලයක් අරගල කරමින් යෝජනා කළ වැඩපිළිවෙළ අද රජයේත් වැඩපිළිවෙළ වී ඇති බව පැවැසෙනවා. රජය අද ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සිවිල් සමාජය නියෝජනය කළ අයෙක් ලෙස ඔබ සෑහීමකට පත් වෙනවද?

වසර විසි පහක් හෙවත් ශත වර්ෂ කාලක් තිස්සේ සිවිල් සමාජය විසින් යෝජනා කළ වැඩපිළිවෙළ වර්තමානයේදී සම්මුතිවාදී ආණ්ඩුවේ වැඩපිළිවෙළ බවට පත්ව තිබෙනවා. නිදහසේ වේදිකාවේ පංචවිධ ප්‍රතිපත්තිය තුළ වූ සියලු කරුණු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තුළ ගැබ්ව තිබෙනවා. විශේෂයෙන්ම වධහිංසාව නොඉවසන තත්ත්වයක් ඇති කිරීම, නීති විරෝධී ඝාතනය කිරීම් වැළැක්වීම, අතුරුදන් කිරීම් අපරාධයක් බවට පත් කිරීම වැනි කාරණා සිවිල් සමාජ න්‍යාය පත්‍රයේ අඩංගු වූ යෝජනා. මේවා ලෝකය පිළිගත් බරපතළ ඝනයේ අපරාධ. අද ලංකාව, වධහිංසාවට එරෙහි සම්මුතියට, ජාත්‍යන්තර අතුරුදන්කිරීම්වලට එරෙහි සම්මුතියට අත්සන් තබමින් එහි පාර්ශ්වකරුවෙකු වී තිබෙනවා. මේ රජය වධහිංසාව තුරන් කිරීම වෙනුවෙන් ඉතාම ශක්තිමත් පියවරයන් ගනිමින් තිබෙනවා සහ මානව හිමිකම් කොමිෂන් සභාවත් මේ සම්බන්ධයෙන් රටේ තත්ත්වය පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා බරපතළ වැඩපිළිවෙළක් දියත්කර තිබෙනවා. ඒ වගේම මේ විෂයන් සම්බන්ධයෙන් සිවිල් සමාජයට සහ මාධ්‍යට විවෘතව කතා කිරීමට පෙනී සිටීමට තිබෙන අවකාශය පුළුල් වී තිබෙනවා. අතුරුදන්වීම් සම්බන්ධයෙන් සොයා බැලීමට අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවමින් කඩිනමින් හානි පූරණය කිරීමටත් අනාගතයේදී නැවත අතුරුදන් කිරීම් සිදුනොවන පරිදි බලහත්කාර අතුරුදන්කිරීම්වලට එරෙහි පනත සම්මත කර නීතිමය තත්ත්වයන් ශක්තිමත් කිරීමටත් කටයුතු කර තිබෙනවා. රජය මේ සම්බන්ධයෙන් අරන් තිබෙන පියවරයන් පිළිබඳ ඇත්තටම මම සතුටු වෙනවා. නමුත් මෙැවනි කාරණා සම්බන්ධයෙන් අපිට පූර්ණ වශයෙන් සෑහීමකට පත් විය හැකි නම් අරගලය අවසන් වෙන බවයි මගේ හැඟීම. 

වධහිංසාව, අතුරුදන් කිරීම වැනි මිනිස් අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ කාරණා රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍යට ජනප්‍රිය මාතෘකා නොවන්නෙ ඇයි?

ආණ්ඩු මාරු වුනත් මාධ්‍යකරුවන් හෝ මාධ්‍ය හිමිකරුවන් වෙනස් වෙලා නැහැ. ඒ නිසාම මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් මාධ්‍යට පැවරුණත් අද පවා ඒ මාධ්‍යවලට දැක්මක් නැහැ මේ කාරණාව ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව. පුද්ගලික මාධ්‍ය පරණ විදියටම මේවා ඉදිරිපත් කරද්දී රාජ්‍ය මාධ්‍ය පරණ විදියට නොවුනත් අලුත් විදියට මෙය ඉදිරිපත් කරන්න දන්නෙ නැහැ. මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණයකට තිබෙන විරෝධය මේ කාරණා සම්බන්ධයෙන් ඇති නොවන්නෙ සමාජ කතිකාව තුළට මෙය නිසි ලෙස හසු වී නොමැති නිසා. මෙය ප්‍රචණ්ඩත්වයක්, අපරාධයක් වශයෙන් සමාජගත කිරීමට භාෂාව තුළ අසමත් වී තිබෙනවා. එකම පුද්ගලයෙකුට මාධ්‍ය කිහිපයක හිමිකාරීත්වය තිබුණා වුනත් අපි දකිනවා තරඟකාරීත්වය තුළ ලාභය මත පදනම්ව වඩාත් පහසුවෙන් මාර්කට් කරන්න පුළුවන් දේවල්වලටයි අවස්ථාව ලැබෙන්නෙ. විද්්‍යුත් මාධ්‍ය රේටින්ග්ස් දිහාත් මුද්‍රිත මාධ්‍ය අලෙවිය දිහාත් බලලා වැඩ කරන්නෙ. ඒ වගේම ඒ ඒ මාධ්‍ය ආයතනවල වැඩ කරන මාධ්‍යවේදීන්, ඔවුන්ගේ චින්තනය, මේ සංකල්ප ගැන ඔවුන් හිතන විදියත් මෙතැනදි බලපානවා. සිංහල මාධ්‍යවලට අතුරුදන්කරවීම් කියන්නේ යුද සමය තුළ භාවිත කෙරුණු ඉතාම සාර්ථක උපක්‍රමයක්. අතුරුදන්කරවීම් සිදුකළ අයට විරුද්ධව කතාකිරීම කියන්නේ යුද්ධයට විරුද්ධව කතාකිරීමක්. අනාගතයේ අතුරුදන්කරවීම් නවත්වමු කියන අදහස ගෙන එද්දී අනාගතයේ යුද්ධයක් ආවාම මේ වගේ උපක්‍රමයක් නැතිව කොහොමද යුද්ධයක් දිනන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. වධහිංසාව ගැනත් හිතන්නේ එහෙමයි. සිංහල සමාජය ඇතුලේ වධහිංසාව සහ අතුරුදන්කරවීම් වගේ දේවල් සාධාරණීකරණය කරන වාතාවරණයක් තිබෙනවා. ඒ වගේම එවැනි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන අයට විශේෂ සහයෝගයකුත් මේ සමාජය ඇතුලේ තිබෙනවා. දෙමළ මාධ්‍ය ගත්තොත් ඔවුන් මේ තත්ත්වයේ සම්පූර්ණ අනිත් පැත්ත. ඒ නිසා මේ වගේ මාතෘකා ජනමාධ්‍ය හරහා සාකච්ඡාවට ලක්කිරීම ඉතාම සංකීර්ණ වී තිබෙනවා.

මේ කතිකාව ඇති කිරීම සම්බන්ධයෙන් රජයට නිශ්චිත වැඩපිළිවෙළක් තිබෙනවද?

ඔව්, රජයට විශාල වගකීමක් තිබෙනවා මේ දේවල් ජනතාව අතරට ගෙනියන්න. ඒකට එක හේතුවක්, රජයකට අවශ්‍යයි තමන් කරන හොඳ දේවල්වල ගරුත්වය ආපහු ලබාගන්නත්. රජයට මේ කාරණා ගැන ජනමාධ්‍ය හරහා කතිකාවක් ඇතිකිරීමේ විශාල උවමනාවක් තිබෙනවා. රජය පුළුල් වැඩපිළිවෙළක් මේකට සකස්කරලත් තිබෙනවා. නමුත්, ඒවා ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙන පුද්ගලයන්ගේ දැවැන්ත හිඟයක් ජනමාධ්‍ය තුළත් රජය තුළත් තිබෙනවා. උදාහරණයක් විදියට සිවිල් සමාජය නියෝජනය කරමින් ඉඳලා මෙතනට ආවා වුනත් අපිට මේ කාර්යය කරන්න වෙන්නේ මේ ගැටලුවත් එක්ක. ඒ නිසා මෙතනදි රජය සහ සිවිල් සමාජය එක්තරා විදියකට එකතුවීම අවශ්‍යයි. සිවිල් සමාජය තුළ මේ විෂයයන් සම්බන්ධයෙන් තිබෙන විශේෂඥතාවයන් සහ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඔවුන් සතුව තිබෙන විශේෂඥතාවයන් එකතු කරගෙන යම්කිසි නව න්‍යාය පත්‍රයක් ගොඩනගා ගැනීම මෙතැනදි අවශ්‍ය වෙනවා. රජයට මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් තිබෙනවා වුනත් එය මෙතැනදි ප්‍රමාණවත් නැහැ. එය සාර්ථක කරගන්න සිවිල් සමාජය හා එක්ව කටයුතු කළ යුතුයි. 

අනිත් අතට සිවිල් සමාජයේත් ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් ඇතුලේ කටයුතු කරන පිරිස් ඒ ඒ ක්ෂේත්‍රයන් තුළ ප්‍රතිසංස්කරණ දිනා ගන්න කැප වුනත් මේ සියල්ල අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලකලා ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්න අසමත් වී තිබෙනවා. අපි අමතක කළ යුතු නැහැ රජය ඇතුළෙම මේවාට විරුද්ධ කණ්ඩායම් සිටින බව. මෙය බලවේග ගණනාවක් එකතු වෙලා ගොඩනැගුණු රජයක්. ඒ සියල්ල සමග මෙය ඇත්තටම අභියෝගයක්. 

1987/89යේදීත්  උතුරේ යුද්ධයේදීත් වධහිංසාව සහ අතුරුදන් කිරීම් සිදුවුණා. මේ යුගයන් තුළ ලංකාවේ ජනමාධ්‍ය, මානව අයිතිවාසිකම් ප්‍රවේශයකින් සිද්ධි වාර්තාකරණය කරන්න කටයුතු කළාද?

මම හිතනවා මේ අවස්ථා දෙකේදිම මානව හිමිකම් ප්‍රවේශයකින්, මානව හිමිකම් ආරක්ෂාකිරීමේ දෘෂ්ටියකින් ජනමාධ්‍ය භාවිතයක් සිදුවුනේ ඉතාම අඩුවෙන් බව. ජාතිකවාදී හෝ මේ අරගලවල තමන් අයත් වෙනවා කියලා කල්පනා කරපු පාර්ශ්වයට සහයෝගීවන විදියට තොරතුරු ඉදිරිපත්කිරීමක් බොහෝ විට සිදුවුණේ. ඒ නිසා මේ ඇතිවුණු ගැටුම්වලට ජනමාධ්‍ය විශාල වශයෙන් වගකිව යුතුයි. ජේ. ආර්. ජයවර්ධන මහත්මයා 1987 ඉන්දු – ලංකා සාම ගිවිසුම අත්සන් කරපු අවස්ථාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. එතකොට මේ ප්‍රශ්නය මේ තරම් දිග්ගැස්සෙන්න කවුද වගකිව යුත්තේ කියන ප්‍රශ්නය ඉදිරිපත් වුණාම ඔහු කිව්වා, මම වගකියන්න ඕන, මේ ගැටලුව මේ තරම් දුරදිග ගියේ අවශ්‍ය තීරණ ගන්න මට ධෛර්යයක් නොතිබුණු නිසා කියලා. ඔහුගෙන් කෙනෙක් අහනවා ඔබට අමතරව කවුද මේ තත්ත්වයට වගකිව යුතු කියල. එවිට ඔහු කියනවා මාධ්‍ය කියලා. මේ කතාව ඇත්තට කිව්වත් විහිළුවට කිව්වත් ජනමාධ්‍ය ඇත්ත වශයෙන්ම කළේ පැත්තක් අරගෙන වාර්තාකිරීම. අපක්ෂපාතීව සහ අයිතිවාසිකම් දෘෂ්ටිකෝණයකින් වාර්තාකිරීමක් මම දකින්නේ නැහැ. යම් දුරකට එහෙම කළා නම් ඒ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන ජනමාධ්‍යය. නමුත් අද වෙනකොට ඉංග්‍රීසි මාධ්‍ය තුළ පවා ඒ වගේ තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතාම පැහැදිලිව අරගලවලින් ඇතිවන බෙදීම් රේඛාව දෙපැත්තේ හිඳිමිනුයි ජනමාධ්‍ය ක්‍රියාත්මක වෙන්නෙත්. 

නව මාධ්‍ය භාවිතාව වඩාත් සුලබ යුගයක මේ කාරණා සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය ප්‍රගමනය කිරීමට සමත් ප්‍රමාණවත් සාකච්ඡාවක් එහි හෝ ඇති වී තිබෙනවාද?

පොදු ජනතාව අතර භාවිත වන නව මාධ්‍ය තුළ ඉතාම අඩු වශයෙන් ඔබ සඳහන් කළ අයිතිවාසිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡාවන් සිදුවෙන්නේ. සමහර අවස්ථාවල මානව හිමිකම් ක්‍රියාකාරීන් වශයෙන් අපි ඉන්න ෆේස්බුක් සමූහ ආදියෙහි අපිට එවැනි සංවාද හමුවෙන්න පුළුවන්. නමුත්, එතැනින් එහාට අති විශාල සංඛ්‍යාවක් අතින් භාවිත වන නව මාධ්‍ය තුළ ඉතාම සුළු වශයෙනුයි මේ සම්බන්ධයෙන් සංවාද, සාකච්ඡා ඇතිවෙන්නේ. දූෂණය, වංචාව, සහ ස්ත්‍රීන් ගැන සංවාදයන් බොහොම පුළුල්ව මේ තුළ සිදුවෙනවා. නමුත් අතුරුදන්වීම් සහ වධහිංසාව වැනි මාතෘකා ඒ මට්ටමේ සංවාදවලට ගේන්න අපට තවම හැකිවෙලා නැහැ. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයට වඩා විශාල වෙනසක් නව මාධ්‍යවල මම දකින්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ නව මාධ්‍ය ඇතුලේ මේ සාකච්ඡාව ගොඩනැගීම කියන කාරණයේදී අපි ෆේල්. 

 ජයනි අබේසේකර

"සමබිම"

Advertiesment