ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී රටක් ලෙස ශ්‍රී ලංකාව ලැබූ පරාජයෙන් පැහැදිළි වන්නේ වත්මන් පාලකයින් ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද මුළුමනින්ම අසමත් වී ඇති බව යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
බලයට සහ ධනයට ඇති කෑදරකම නිසා වත්මන් පාලකයින් රට-ජනතාව බිලි දෙමින් සිටින බවට චෝදනා එල්ල කර සිටින කරු ජයසූරිය මහතා උග්‍ර විෂ සහිත පිළිකා කාරක පොල් තෙල් ගෙන්වා රටේ අහිංසක ජනතාව විනාශ කර සිය මඩිය තර කර ගැනීමට ක්‍රියා කරමින් කළ අහස පොළව නුහුලන මහා ජාතික අපරාධයෙන් ඒ බව මානව තහවුරු වන්නේ යැයි ද සඳහන් කළේය.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව පැවැසුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහපතින්දා සංවිධානය කෙරුණු ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
අපේ රටට හානියක්, අගතියක් හෝ අවමානයක් සිදු වන්නේ නම් ඒ ගැන වඩාත්ම වේදනාවට පත් වන්නේ සැබෑ ශ්‍රී ලාංකිකයන් බව කිව යුතුයි. රට අභ්‍යන්තරයේ වර්තමානයේ සිදු වෙමින් පවතින සිද්ධීන් දකින විට අපට බලවත් වේදනාවක් දැනෙන්නේ ඒ නිසයි. එහෙත් අවාසනාවකට අපේ රට අද වේගයෙන් ප්‍රපාතයකට ඇදී යද්දී ඊට වග කිව යුතු සියලු දෙනා සිටින්නේ වීණා වාදනය කරමිනුයි. ඒ නිසා අප මේ මොහොතේ ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ දෑස් විවර කොට රටට වෙමින් පවත්නා මේ මහත් විපත්තිය දෙස සබුද්ධිකව සහ විමසිලිමත්ව බලන ලෙසයි. බලයට සහ ධනයට ඇති කෑදරකමින් රටේ ජනතාව බිල්ලට නොදෙන ලෙසයි. සියලු පාර්ශවයන්ගේ සහය ලබා ගනිමින් සිදු වෙමින් පවත්නා මේ මහා ව්‍යසනයෙන් රට මුදවා ගන්නා ලෙසයි.
රටක් ලෙස අප අද සිරවී සිටින්නේ රට අභ්‍යන්තරයේ ම පමණක්ම නොවෙයි. ජාත්‍යන්තර වශයෙන්ද අප බරපතළ ලෙස කොටු වී සිටිනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පිළිබදව සම්මත වූ යෝජනාව ඒ බව හොදින්ම කියා පානවා. ඒ ගැන අද ආණ්ඩුවේ පාර්ශවයන්ගෙන් නොයෙකුත් මත පළ වනවා. මේ රට බිහි කරන ලද කෘතහස්ත රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන්ට ඒ පිළිබදව වෙනස්ම වූ මතයක් තිබෙනවා. ඒ බව ඔවුන් ප්‍රසිද්ධියේම කියා තිබෙනවා. ඒ වගේම විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ද ඒ පිළිබදව වන ඔවුන්ගේ විග්රහයන් ඉදිරිපත් කරමින් සිටිනවා. නමුත් රටක් ලෙස අද අප මුහුණ දී තිබෙන මේ ප්රශ්නයේ ඇති බැරැරුම් බව මේ රටේ පාලකයන් නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා ද..? අපේ රටේ ප්‍රතිරූපය, ගෞරවය සහ අභිමානය ආරක්ෂා කර ගෙන තිබෙනවා ද..?
අප මේ ගැන කතා කරන්නේ පාට කණ්නාඩි දමා ගෙන නොවෙයි. ශ්‍රී ලංකාවට අදාළව සම්මත වූ ජිනීවා යෝජනාව මඟින් රටට ඇති කළ හැකි ප්‍රතිඵල පිළිබදව අප ගැඹුරු විමර්ශනයක් කළා. ඒ වගේම විදේශ සේවයට සම්බන්ධ අප රට බිහි කළ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් ද ඇතුළුව ජාත්‍යන්තර සබඳතා පිළිබද විශේෂඥවරුන්ගෙන් ද උපදෙස් ලබා ගත්තා. ඒ සියල්ල දෙස ගැඹුරින් සහ මැදිහත්ව බලන විට අපට ඉතාමත්ම පැහැදිළි ලෙසම කිව හැක්කේ අපේ රටේ වග කිව යුත්තන් එහිදී ද සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බවයි. රට අභ්‍යන්තරයේ පමණක් නොව අද ජාත්‍යන්තර වශයෙන් ද ඔවුන්ගේ අසමත් භාවය ප්‍රදර්ශනය කර තිබෙනවා.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී එම ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගිය හොත් එමඟින් අපේ රට බලවත් අසීරුතාවයකට මුහුණ දිය හැකියි. කවුරුන් කුමක් කියා සිටියත් සත්‍ය තත්ත්වය වන්නේ එයයි. අවසානයේ එහි පීඩාව ද පැට වෙනු ඇත්තේ අපේ රටේ අහිංසක ජනතාවගේ කර මතටයි. ජිනීවාහි දී අපට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදු වූයේ ඇයි..? හේතුව ඉතාමත්ම පැහැදිළියි. අපේ රට සමඟ ඉතාමත්ම මිත්‍රශීලිව අතීතයේ දී එක පෙළට සිට ගත් මිත්‍ර රාජ්‍යයන් බොහෝමයක් මෑත කාලයේ දී අප විසින්ම අහිමි කර ගෙන තිබීම ඊට හේතුවයි.
ආසියානු කලාපයට පමණක් සීමා නොවෙමින් ලෝකයේ සෑම කලාපයකම සහ සෑම බල කඳවුරකම අපට සහය දුන් මිත්‍ර රාජ්‍යයන් ගණනාවක්ම සිටියා. නොබැඳි ප්‍රතිපත්ති අනුගමනය කළ රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබදව ඒ සෑම රාජ්‍යයක්ම මහත් ගෞරවයෙන් යුතුව අතීතයේදී කටයුතු කළා. නමුත් ඒ බොහෝ රටවල් මෙවර අපට එරෙහිව ජන්දය පාවිච්චි කර තිබෙනවා. එසේත් නොමැති නම්ඡන්දය දීමෙන් තිබෙනවා. ඒ තත්ත්වය අපටත් මහත් වේදනාවක්. එහෙත් සිදු වූයේ කුමක්ද කියා අපට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා රටක් ලෙස අප මේ මොහොතේ කළ යුත්තේ ආඩපාලී කියමින් මේ රටේ ජනතාව රැවැට්ටවීම නොවේ. යථාර්ථය තේරුම් ගනිමින් ඒ අනුව කටයුතු කිරීමයි. නූතන ලෝකයේ අප වැනි රටකට තබා කිසිම රටකට තනිවම සිට ගත නොහැකියි. අප සෑම විටම සිට ගත යුත්තේ අපේ සාම්ප්‍රදායික මිත්‍ර රටවල් සමඟ අත්වැල් බැඳ ගනිමිනුයි.
ඒ වගේම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප නැවත නැවතත් අවධාරණය කරන කරුණක් තිබෙනවා. එනම් ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන්ද අපේ රට මේ තරම් දුර්වල කිරීමට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද ප්රමුඛ හේතුවක් වූ බවයි. මේ රටේ මහ ජනතාව කෙරෙහි වගකීමකින් යුතුව කටයුතු කරන්නට බැඳී සිටි සෑම ආයතනයක්ම 20 වන සංශෝධනය නිසා එක අධිකාරියක රූකඩ බවට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් ප්රජාතන්ත්රවාදී මූලධර්ම කෙරෙහි එම ආයතනවල පැවැති ගරුත්වය දියාරු වී තිබෙනවා. අද මේ රටේ දේශපාලකයන්ට ඇතැම් පොලිස් ඒකක වසා දමන්නට සහ උසස් පොලිස් නිලධාරින් හිතුමතයට අනුව මාරු කරන්නට හැකිවී තිබෙන්නේ ඒ නිසයි.
මෙවැනි පසුබිමක පොලිස් කොමිසමක් පවත්වා ගෙන යාමේ තේරුමක් නැහැ. සිය දේශපාලන ගජ මිත්‍රයන් හරහා මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස් සහ අල්ලස් කොමිසම වැනි කොමිෂන් සභා මෙහෙය විය හැකි නම් එවැනි රටක නිදහස් සහ සාධාරණ මැතිවරණ අපේක්ෂා කරන්න පුළුවන් ද..? රාජ්‍ය සේවය මහ ජන හිතකාමී වේවි ද..? පොලිස් සේවය සාධාරණව ක්‍රියාත්මක වේවි ද..? එවැනි රටක දූෂණය සහ අල්ලස තුරන් වෙයි ද..? විශේෂයෙන්ම අපකීර්තිමත් පුද්ගලයන් යොදා ගනිමින් ලබා ගන්නා වාර්තා පදනම් කර ගෙන අධිකරණයට ද ඉහළින් තීන්දු තීරණ දෙන රටක ස්වාධීන අධිකරණයක් පවතීවි ද..? අපේ රට අභ්‍යන්තරයේ අද වන විට සිදු වෙමින් පවතින දැවැන්ත ගරා වැටීමට පමණක් නොව ජිනීවාහි දී යෝජනා වී ඇති ඇතැම් කරුණු කාරණාවලටද එම තත්ත්වය හේතු වී තිබෙනවා.
එමෙන්ම සිදු කර ඇති සමාජ සමීක්ෂණවලට අනුව මේ රටේ ජනාතාවගෙන් 81%ක් පමණ 20 වන සංශෝධනය අනුමත කරන්නේ නැහැ. මේ රටේ සියලු ආගම් නියෝජනය කරන ආගමික නායකයන්ගෙන් අති බහුතරයක් 20 වන සංශෝධනය පිළි ගන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාව නැවත ශක්තිමත් ලෙස ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය වෙත යොමු කරවන්නට නම් 20 වන සංශෝධනය අහෝසි කළ යුතුමයි. අප එම අදහස ස්ථිරසාර ලෙස කියා සිටිනවා. ඒ වගේම රජයේ අවධානය ද ඒ කෙරෙහි යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා.
මේ සතියේ වාර්තා වූ තවත් කණගාටුදායක සිද්ධියක් වූයේ විෂ සහිත පොල් තෙල් සොයා ගැනීමයි. ජනමාධ්‍යයට පිං සිදු වන්නට මේ රටේ ජනතාව ඒ ගැන දැනුවත් වුණා. ඊට වග කිව යුතු ප්රමුඛ පුද්ගලයන්ට එරෙහිව මේ මොහොත වන තුරුත් නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්ට නැහැ. මෙම විෂකාරක ද්‍රව්‍ය අඩංගු පොල් තෙල් ප්‍රතිඅපනයනය කිරීම පමණක් විසදුමක් නොවේ. එවැනි විෂ ආහාර ගෙනවිත් මේ රටේ අහිංසක ජනතාව විනාශ කරන්නට මාන බැලූ අයට වගේම ඒ හරහා සිය මඩි තර කර ගන්නට උත්සහ කළ අයට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රට කරන දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ සහාය නොමැතිව මෙවැනි ද්‍රව්‍ය රට අභ්‍යන්තරයට ගෙන එන්නට බැහැ. මේ වැඩ මහා ජාතික අපරාධ බව කිව යුතුයි.
සිනී වංචාවද ඇතුළු මහා පරිමාණයේ දූෂණ සහ වංචා පිළිබඳව දවසින් දවස විවිධාකාරයේ වාර්තා පළ වෙමින් පවතිනවා. විශේෂයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, මුදල් කමිටුව සහ මහා භාණ්ඩාගාරය සීනි ආනයනයේ දී අක්‍රකමිතා සිදුවී ඇති බව පිළි ගෙන තිබෙනවා. එම නිසා මේ ගැන පූර්ණ බලැති පරීක්ෂණයක් සිදු කළ යුතුයි. ඒ ගැන වාර කිහිපයකදීම අප ජනාධිපතිතුමාට යෝජනා කළා.
ඇත්ත වශයෙන්ම සීනි වංචාවෙන් සිදුව ඇති මගඩිය මහ බැංකු වංචාවට වඩා විශාලයි. අඩුම වශයෙන් මහා බැංකු වංචාවට අදාළ චූදිතයන්ගේ බැංකු ගිණුම්වල පැවැති මුදල් අද වන විට රාජ්‍ය භාරයට පත් කර ඇති නිසා ඒ මුදල් කිසිවෙකු අතට යන්නේ නැහැ. නමුත් සීනි වංචාවෙන් ගසා කෑමට ලක්ව ඇති මුදල අද වන විටත් වංචාකරුවන්ගේ සාක්කුවලට දමා ගෙන ඉවරයි.
මුළු රටේම වාර්ෂික සීනි අවශ්‍යතාවය ටොන් 650,000 පමණයි. ඒ අතරින් ටොන් 50,000 පමණ දේශීයව නිෂ්පාදනය වෙනවා. අද ටොන් එකක අන්තර්ජාතික මිල ඩොලර් 465ක් පමණ වෙනවා. ඒ අනුව සීනි කිලෝ එකක් රු 96 ක් පමණ විය යුතුයි. අපේ අවශ්‍යතාවය මසකට ටොන් 50,000 ක් නම් ටොන් ලක්ෂ ගණනක් ආනයනය කර මේ දුෂ්කර අවස්ථාවේ අපේ විදේශ විනිමය නාස්ති කළේ ඇයි..? මේ දත්ත මහා භාණ්ඩාගාරයේ අවධානයට යොමු විය යුතුයි.
අප තවත් ලැජ්ජා විය යුතු කරුණක් ගැන සඳහන් කළ යුතුයි. 1980 දශකයේදී සීනි සංයුක්ත මණ්ඩලයට අයත් හිගුරාන,කන්තලේ, සෙවනගල සහ පැලවත්ත යන සීනි සමාගම්වලින් වර්තමානයට වඩා එදා සීනි නිෂ්පාදනය කර තිබෙනවා. එමඟින් පැහැදිළි වන්නේ කුමක් ද..? මේ රටේ දේශපාලකයන් අද මවා පාන්නා වූ සුන්දර තත්ත්වය රට අභ්‍යන්තරයේ නොමැති බව නොවේද..?. එදා දේශීය වශයෙන් ඉහළ සීනි නිෂ්පාදනයක් රටේ සිදු වුණේ එවකට පැවැති සීනි ආනයනකරුවන්ගේ සංගමය, සීනි නිෂ්පාදකයින්ගේ සංගමය, භාණ්ඩාගාරය සහ වෙළඳ අමාත්‍යාංශය එකිනෙකා සමඟ අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩ කළ නිසායි. මේ කරුණු බලධාරීන්ගේ දැඩි අවධානයට යොමු වේවායි අප ප්‍රාර්ථනා කරනවා. සුදුසු පියවර ගැනීමට තවමත් පරක්කු නැහැ.
මේ දිනවල පරිසර විනාශය ගැන රටේ මහත් උනන්දුවක් ඇති වෙමින් තිබෙනවා. පරිසරවේදීන්ට අමතරව සමාජයේ විවිධ අංශවලින් පෙන් වන උනන්දුව අනාගත සුබ ලකුණු සේ අප දකිනවා. මේ සියල්ලටම වඩා අප සන්තෝෂ වන්නේ පාසැල් දරු දැරියන් සහ තරුණ තරුණියන් ඒ කෙරෙහි දක්වන උනන්දුව පිළිබඳවයි. ඔවුන් පෙන් වන කැපවීම සහ උද්යෝගය අති විශිෂ්ඨයි.
එහෙත් රජයේ නිසි අවධානය ඒ කෙරෙහි යොමුවී තිබෙනවා ද..? මේ රටේ පරිසර විනාශයක් සිදු වන්නේ නම් ඒ ගැන රජයේ නිලධාරීන් වග කිව යුතු බවත් ඔවුන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු වියයුතුව ඇති බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව පසුගිය දා ජනමාධ්‍ය මඟින් වාර්තා කර තිබුණා. මෙහිදී අප ජනාධිපතිතුමාට කිව යුත්තේ මෙම බොහෝ පරිසර දූෂණයන් පසු පස බලවත් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවයි. ඒ නිසා අද දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු බොහෝ රජයේ නිලධාරීන් බලවත් ලෙස අසරණ වී සිටිනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් අප සංවිධානය වෙතද කරුණු දක්වා තිබෙනවා. ඒ අනුව රට අභ්‍යන්තරයේ සිදු වන මෙම දැවැන්ත පරිසර විනාශය නවතාලීමට නම් අද වන විට රාජ්‍ය නිලධාරීන්ට එල්ල වෙමින් පවතින දේශපාලන බලපෑම් නවතාලිය යුතුයි. එම බලපෑම් නතර කිරීම ජනාධිපතිතුමාට කළ හැකියි.
අප ඉදිරිපත් කරන මෙම අදහස් හුදු අපගේම අදහස් පමණක් නොවේ. බහුතර ජනතාවගේ අදහස් සහ සිතුම් පැතුම් එහි ගැබ්වී තිබෙනවා. අප හැම විටම හඬ නගන්නේ අප තහවුරු කර ගන්නා සත්‍ය කරුණු පදනම් කර ගෙනයි. සාමාන්‍ය ජනතාවගේ හඬද අප ඊට එක් කර ගන්නවා. එහිදී කිසිදු කඩාකප්පල්කාරී අරමුණක් අපට නැහැ. අප මේ කරුණු ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම සත්භාවයෙන් බව කිව යුතුයි. ඒ බව තේරුම් ගැනීම අදාළ බලධාරීන්ගේ වගකීමක් වනවා. එම වගකීම ඉටුකිරීම හෝ නොකිරීම මත මේ රටේ අනාගතයේ ස්වභාවය තීන්දු වන බව පමණක් අපට කිව හැකියි. ඒ නිසා මේ පිළිබදව සියලු දෙනාගේම අවධානය යොමු වේවායි අප ප්‍රාර්ථනා කරනවා.
Lanka Newsweek © 2024