යහ පාලන ආණ්ඩුව යටතේ 2015-2019 කාල සීමාව ඇතුළත දී සිදු වූ මහා බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප නායක රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධියට අදාළ ප්‍රවෘත්තිය මේ වන විට රට පුරා ඉතා වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතින්නේ ජන සමාජයේ සෑම සියලු දෙනාගේම තීව්‍ර අවධානය ඒ දෙසට පමණක් ග්‍රහණය කර ගනිමිනි.
මේ සිද්ධිය සහ ඊට අදාළ ප්‍රවෘත්තිය ඔබේ ආලින්දයට එන්නේ රුපියල් කෝටි 1,590ක් වූ මහා පරිමාණ සීනි බදු වංචාව සහ සිංහරාජ වන විනාශය ගැන භාග්‍යා අබේරත්න දැරිය "සිරස ලක්ෂ පති" වැඩ සටහනේ දී සිංහ ධේනුවක් වගේ කළ හෙළිදරව්ව ආණ්ඩුව දෙදරා යන මට්ටමටම රට පුරා පිහිටි ගම්මාන 14, 400 ම ගිල ගනිමින් සමස්ත සමාජ දේහයම වෙලා ගෙන පැතිර යමින් තිබූ අවස්ථාවකය.
ඊට සමගාමීව තවත් මහා පරිමාණ දුෂණ, වංචා සහ අක්‍රමිකතා ද, විවිධ අපරාධ ද, ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින බල දේශපාලන අර්බුදය සේම රට මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදය ද සම්බන්ධ තොරතුරු රට පුරා පැතිර ජන සමාජයේ බලවත් අවධානය ඒ දෙසට පමණක් ග්‍රහණය කර ගනිමින් තිබුණේ ආණ්ඩුව දේශපාලන වශයෙන් අනාථ කරවමින්ය.
මෙම "සීනි" බදු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට ( Committee on Public Finance) විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් එම කූට ගනුදෙනුවෙන් රජයට රුපියල් කෝටි 1,590ක අලාභයක් සිදුව ඇති බව නිල වශයෙන් හෙළිදරව් කර සිටියේ විපක්ෂය නොව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇමැති ධූරය දරන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාය.
කෙසේ නමුත් රට හෙල්ලූ සහ ආණ්ඩුව දෙදරවා දේශපාලන වශයෙන් අනාථ කළ එම සිද්ධීන් ක්‍රමානුකූලව යටපත් වෙමින් හෝ යටපත් කෙරෙමින් පවතින අතර 2015-2019 බැඳුම්කර ගණුදෙනුව සහ රවී කරුණානායක මහතා ඇතුළු කණ්ඩායමට අදාළ ප්‍රවෘත්තිය ගම්මාන 14,400 ම ගිල ගනිමින් රට පුරා ගම් මට්ටමෙන් සහ බිම් මට්ටමෙන් වේගයෙන් පැතිර යන්නේ රට-ජනතාව මුහුණ දී සිටින එකම සහ අවසාන ප්‍රශ්නය එම සිද්ධිය බව තහවුරු කරවමිනි.
ඒ අනුව රුපියල් කෝටි 1,590ක් වූ මහා සීනි බදු වංචාව ගැන මේ වන විට කතාවක් නොමැත. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වරදකරුවන් හඳුනා ගෙන ඒ අය නීතිය ඉදිරියට පමුණුවාලීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් නොමැත. සිංහරාජය නිහඬය. මහා පරිමාණ පොල් තෙල් වංචාව ගැන වගක්වත් නොමැත. ආණ්ඩුව අභ්‍යන්තරයේ බල දේශපාලන අර්බුදයේ තත්ත්වය ද එසේමය.
ඒ කියන්නේ මේ මොහොතේ කරළියේ කරක් ගහන්නේ 2015-2019 බැඳුම්කර ගණුදෙනුව සහ රවී කරුණානායක මහතා ඇතුළු කණ්ඩායමය. රටේත් ජන සමාජයේත් බලවත් අවධානය ඒ දෙසට පමණය. බැඳුම්කරය යළි ඉපදිලාය. ඊට පියාපත් ද ලැබිලාය. රවී කරුණානායක යළි කරළියේය. මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ සමාජ විඥානය වෙනස් කර හෝ වෙනස් වී ඇති බවය.
රවී කරුණානායක මහතා ඇතුළු කණ්ඩායමේ සිද්ධියට අදාළ ප්‍රවෘත්තිය ඔබේ ආලින්දයට එන්නේ අහම්බයකින් ද කියා "lankanewsweek" ප්‍රශ්න කරන්නේ මෙම පසුබිම මතය. එම නිසා බුද්ධිමත් ජන සමාජයට "lankanewsweek" යෝජනා කර සිටින්නේ මෙම ප්‍රවෘත්තිය ඔබේ ආලින්දයට ආ මූලික අඩිතාලම සහ ඒ සමග ජන විඥානය අංශක 180ක් ම ආපස්සට හැරුණු වාතාවරණයේ දේශපාලන යථාර්ථය ගැන ගැඹුරින් සිතන ලෙසයට. ඒ ඔබේ යුතුකමක් සහ වගකීමක් වන්නේය.
කෙසේ නමුත් අධිකරණයේ ස්වාධීපත්‍ය සහ යුක්තියේ ආධිපත්‍ය පිළි ගන්නා නිසා "lankanesweek" විශ්වාස කරන්නේ, රවී කරුණානායක මහතා ඇතුළු කණ්ඩායම සම්බන්ධ නඩුව සහ ඊට අදාළව එම කණ්ඩායම රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ගරු අධිකරණය ලබා දුන් තීන්දුව ගැන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ජනමාධ්‍ය ආයතනයක් වශයෙන් අපට අයිතියක් නොමැති බවය.
එම නෛතික ක්‍රියාවලියට ගරු කරමින් "lankanewsweek" ජන සමාජයට යෝජනා කර සිටින්නේ, මේ රටේ මේ තරම් බරපතළ සහ දරුණු සිද්ධීන් ඇතිව තිබිය දී ඒ සියල්ල පසෙක තබමින් 2015-2019 බැඳුම්කර ගණුදෙනුව සහ රවී කරුණානායක මහතා ඇතුළු කණ්ඩායම සම්බන්ධ කාරණය මේ තරම් ඉක්මනට ඉදිරියට ආවේ කෙසේද කියා පමණක් සිතන ලෙසය.
Lanka Newsweek © 2023