Tuesday 20th of April 2021

English Tamil
Advertiesment


භාග්‍යා දැරිය වෙනුවෙන් කරූ හඬ නඟයි  


2021-03-18 4083

දැරියගෙන් ප්‍රශ්න කළේ "Nazi Gestapo" හමුදා ක්‍රියාන්විතයක් ලෙසයි



ජනතාවට සිදු කළ සහාසික අනතුරු ඇඟවීමක්



දැරිය පීඩාවට ලක් කිරීම තරයේ හෙළා දකිනවා



මහා සීනි මංකොල්ලයට එරෙහිව ජනපති වහාම පියවර ගත යුතුයි



නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉකමනින්ම ඕනෑ



උපාලි අබේරත්න වාර්තාව කුණු කූඩයට දමනු



මහා පරිසර විනාශයේ ප්‍රතිවිපාක සිතා ගැනීමටවත් නොහැකි වේවි



(සුජිත් මංගල ද සිල්වා)


පොලීසිය යොදවා භාග්‍යා අබේරත්න දැරියගෙන් ප්‍රශ්න කරමින් ඇය බිය ගැන්වීමෙන් ප්‍රදර්ශනය කළේ ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර්ගේ "Nazi Gestapo" හමුදාවේ ක්‍රියාන්විතයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

එම ක්‍රියාව මේ රටේ ජනතාවට සිදු කළ සාහසික අනතුරු ඇඟවීමක් යැයි පෙන්වා දුන් කරු ජයසූරිය මහතා කිසියම් විවේචනයක් කළ පමණින් දැරියක් පීඩාවට පත් කරන්නේ නම් එම ක්‍රියාව බරපතළ ලෙස හෙළා දැකිය යුතු යැයි ද සඳහන් කළේය.

පොලීසිය හෝ වන ජීවී නිලධාරීන් හෝ ග්‍රාම නිලධාරීවරයා හෝ කළ යුතුව තිබුණේ එම දැරියට හිරි හැර කරමින් බිය ගන්වා ඇය පීඩනයට ලක් කිරීම නොව ඇය  කියන කතාවට සවන්දී ඇය මතු කළ කරුණු පිළිබදව සොයා බැලීම යැයි ද හෙතෙම අවධාරණය කළේය.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (18) සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය හැම විටම ක්‍රියා කරන්නේ රට පිළිබඳව හැඟීමෙනුයි. රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙනුයි. අප පසුගිය කාලය පුරාම ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඉතාමත් සද්භාවයෙන් යුතුව අපගේ අදහස් සහ යෝජනා විවෘතවම ඉදිරිපත් කළා. අපගේ මෙම ක්‍රියාකාරීත්වය පිළිබඳව අප සංවිධානයට අයත් සියලුම සාමාජිකයන් බලවත් උනන්දුවක් දක්වනවා. ඔවුන් රටට යහපතක් වන, විය යුතුව ඇති මැදිහත්වීම් පිළිබඳව දැඩි අවධානයකින් යුතුව සිටිනවා.

ඒ අනුව අප සංවිධානයේ බහුතර සාමාජිකයන් පිරිසක් අදහස් කරන ආකාරයට අපේ මෙම අදහස් කෙලින්ම ජනාධිපතිවරයා වෙත යොමු කරනවා. එමෙන්ම මේ ගැන ගරු ජනාධිපතිතුමන් තම අවධානය යොමු කරනු ඇතැයිද අපේක්ෂා කරනවා. අපි සඳහන් කරන කරුණු මහා පාරෙන්  අහුලාගත් ඕපාදූප නොවෙයි. අප සොයා බලා තහවුරු කර ගත් කරුණු

ඒ වගේම මෙහිදී මාහාචාර්ය, ගරු මැදගොඩ අභයතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇති වටිනා අදහසක් කෙරෙහිද අපගේ අවධානය යොමු කළා. එහිදී උන්වහන්සේ කියා ඇත්තේ ජනාධිපතිතුමාට සිය සෘජු බව පෙන්වීමට මේ මොහොත සුදුසුම අවස්ථාව වන බවයි. මේ රටේ ජනතාව එතුමා ජනාධිපති පදවියට පත් කර ගත්තේ නීති ගරුක සමාජයක් ගොඩනැඟීමට බව එහිදී උන්වහන්සේ පෙන්වා දි තිබෙනවා.

උන්වහන්සේ ජනාධිපතිතුමන්ට නිරන්තරයෙන්ම අවවාද සහ අනුශාසනා ලබා දෙනවා. ඒ අනුව උන්වහන්සේගේ මෙම අනුශාසනාව පිළිබඳව ගරු ජනාධිපතිතුමා සිය අවධානය යොමු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ වගේම එතුමා බලයට පත් කර ගැනීමට මේ රටේ ගෞරවණීය මහා සංඝ රත්නය අසම සම මැදිහත්වීමක් සිදු කළා. ඒ නිසා මහා සංඝ රත්නයේ ආශිර්වාදය ලබා ගනිමින් ගරු ජනාධිපතිතුමා ඉදිරියේදී හෝ ක්‍රියා කරනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙනවා.



20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය



මෙහිදී අප ප්‍රථමයෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අවධානය යොමු කරන්නට කැමැතියි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ මිනිස් අයිතිවාසිකම් පැහැර ගත් 20 වන සංශෝධනය මේ රටේ බුද්ධිමත් ජනතාව කිසිම ආකාරයකින් අනුමත නොකරන බව අවධාරණයෙන්ම සඳහන් කළ යුතුයි.

20 වන සංශෝධනය සඳහා මහා සංඝ රත්නයේ ආශිර්වාදය ලබා නොගත් බව ජනාධිපතිවරයාම සඳහන් කර ඇති බව අප දුටුවා. එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිතුමා බෞද්ධ උපදේශක මණ්ඩලය හමු වුණේ නැහැ. ඒ සිද්ධිය අපටත් ගැටලුවක් වුණා. ඒ වගේම 20 වන සංශෝධනය සඳහා කිසිදු මහා තෙරුන් වහන්සේ නමක් ආශිර්වාද නොකරන බව ප්‍රමුඛ පෙළේ හික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම අපටත් දැනුම් දුන්නා.

ඒ වගේම ශ්‍රී ලාංකීය ජනතාවගෙන් 80% කට වැඩි පිරිසක් 20 වන සංශෝධනය ප්‍රතික්ෂේප කර ඇති බව සමීක්ෂණ වාර්තා මඟින් අප දැන ගත්තා. ඒ වගේම දැනට රට අභ්‍යන්තරයේ නිර්මාණය වී ඇති සියලු ආකාරයේ අවුල් වියවුල්වලට 20 වන සංශෝධනය හේතු වී ඇති බව අප වගකීමකින් යුතුව සඳහන් කිරීමට කැමැතියි. ඒ නිසා රටේ පාලනයට හවුල්වීම සඳහා ද්විත්ව පුරවැසියන්ට ද අවස්ථාව ලබාදීම වැනි රටේ සියලුම අවුල් වියවුල්වලට 20 වන සංශෝධනය හේතුවක් වී තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අහිමි කරන 20 වන සංශෝධනය ගැන ජනාධිපතිතුමා නැවත සිතා බැලිය යුතු බව අපගේ හැඟීමයි.



නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය



ජනාධිපති පදවි ප්‍රාප්තිය පිළිබඳ පළමු වන සංවත්සරයට පෙර නව ව්‍යවස්ථාවක් රටට හදුන්වා දෙන බව පොරොන්දු වූයේ ගරු ජනාධිපතිතුමා විසින්මයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන, ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කරන, රටේ ස්වෛරීභාවය සහ ස්වාධිපත්‍ය තහවුරු කරන නව ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාවක් සඳහා පෙනී සිටීම අපගේ ජාතික වගකීමක්. මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කළ යුතුව ඇති වැදගත්ම කාර්ය භාරයක්.

ඒ අනුව රටට හඳුන්වා දෙන නව ව්‍යවස්ථාව මගින් රටේ සියලුම ජාතීන්ට සමඟියෙන්, සමාදානයෙන්, සහජීවනයෙන් සහ ආත්ම තෘප්තියෙන් යුක්තව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු වෙනවා. ඒ අනුව නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී 20 වන සංශෝධනය මඟින් නිර්මාණය කර ඇති ඒකාධිපති බලතල ඉවත් කළ යුතුම වෙනවා.

එසේ නොකර එකී ඒකාධිපති බලතල සහිත ජනාධිපති ධූරයක් නව ව්‍යවස්ථාව මඟින්ද තහවුරු කරන්නට උත්සහ කළ හොත් එම තත්ත්වය මේ රටට සාපයක් වනු නොඅනුමානයි. එමඟින් මේ රට තව තවත් අවුල් වියවුල් සහිත අභාග්‍යසම්පන්න යුගයකට යොමු කර වනු නියතයි. එසේ නොවිය යුතුයි. එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි. ඒ මතය අපගේ ස්ථිරසාර අදහසයි.



පළාත් සභා මැතිවරණය



අප විශ්වාස කරන ආකරයට පළාත් සභා මැතිවරණය හෝ වෙනත් ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට පෙර අත්‍යවශයෙන්ම සම්පූර්ණ කළ යුතු කරුණු දෙකක් තිබෙනවා. ඉන් පළමු වැන්න නිදහස් සහ සාමාකාමී මෙන්ම සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා යෝග්‍ය යාන්ත්‍රණයක් තහවුරු කිරීමයි. මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය අනිවාර්යෙන්ම තහවුරු කළ යුතුයි. මේ වන විට පත් කර තිබෙන මැතිවරණ කොමිෂන් සභාවෙන් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පිළිබද අපේක්ෂාවන් තබා ගත නොහැකියි.

ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණය සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ගෙන යන  ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත මැතිවරණ කොමිෂන් සභාවකින් කිසිම විටෙක සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකිය. තීරණාත්මක මොහොතක ඔවුන්ගේ පක්ෂපාතීත්වය හිමි වනු ඇත්තේ ජනතාවට නොව සිය ස්වාමීන්ටයි. ඒ නිසා කුමන මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුමයි. එමෙන්ම අතීතයේදී සිදු කළා වගේ පවතින රජයට වැඩි වාසි අත්කර ගැනීම සදහා කඩින් කඩ මැතිවරණ පැවැත්වීමට රජයේ අදහසක් ඇති බවටද වාර්තා පළ වෙනවා. එවැන්නක් කිසිසේත්ම සිදු නොවිය යුතුයි.



දේශපාලන පළි ගැනීම් පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තාව කුණු කූඩයට දැමිය යුතුය



ආණ්ඩුව මොන තරම් දුර්වල වූ අවස්ථාවක වුවත් ජනතාවට විහිළු සැපයිය යුතු නැහැ. එවැනි තත්ත්වයක් යටතේ විහිළුවට පත් වන්නේ රටයි. ලෝකය හමුවේ අද මේ රට විහිළුවක් බවට පත් කරලීමට උපාලි අබේරත්න කොමිසම ප්‍රධානතම හේතුවක් වෙලා තිබෙනවා. අද ආණ්ඩුව ඒ ගැන කිසිවක් කියන්නේ නැහැ. ඒ නිසා දේශපාලන පළි ගැනීම් පිළිබද කොමිසමෙන් යැයි කියමින් නිකුත් වී ඇති උපාලි අබේරත්න වාර්තාව ගැන හැකි ඉක්මනින් ජනාධිපතිතුමා තමන්ගේ ස්ථාවරය රටට පැහැදිළි කළ යුතුව තිබෙනවා.

ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමටත්, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කර ගැනීමටත් අවනීතියට එරෙහිවත් මේ රටේ අධිකරණය සතුව විශාල කාර්ය භාරයක් තිබෙනවා. අන් සියල්ලටම පෙර අධිකරණය සිය ගෞරවය ආරක්ෂා කර ගනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ රටේ සමස්ත ජනතාව පමණක් නොව මුළු මහත් ලෝකයම අද ඒ දෙස බලා සිටිනවා.



දූෂණ සහ වංචා පිටු දැකීමට වහා මැදිහත් විය යුතුය


කිසිදු හිරිකිතයක් හෝ බියක් නැතිව මහා දහවලේ සිදු කළ මහා පරිමාණ වංචාවන් කිහියපක් ගැන අද වන විට මුළු රටම දන්වා. පිරිසිදු රාජ්‍ය පාලනයක්, පිරිසිදු මූල්‍ය පාලනයක් ගැන ජනතාවට හතර අතේ පොරොන්දු වෙමින් බලයට පත් වුණ රජයක් යටතේ මෙවැනි තත්ත්වයක් හීනයකින් හෝ බලාපොරොත්තු වුණේ නැහැ. මහත් වූ අපේක්ෂාවන් ඇතිව මේ ආණ්ඩුව බලයට පත් කළ හැට නව ලක්ෂයක් වූ ජනතාව අද අන් හැමදෙනාටමත් වඩා ලැජ්ජාවට පත්ව සිටිනවා.

ඒ කෙසේ නමුත් මෙවැනි සිද්ධීන් රටක සිදු නොවිය යුතුයි. කිසිම ආකාරයකින් ඉදිරියේදී සිදු වීමට ඉඩක් නොතැබිය යුතුයි. ඒ නිසා රුපියල් බිලියන 16ක් වන මේ රටේ වාර්තාගත සියලුම වංචාවලට වඩා බරපතළ සහ  අති දැවන්ත සීනි බදු වංචාවද ඇතුළු සියලුම මහා පරිමාණ වංචාවන්ට සම්බන්ධ වූ සියලු දෙනා නීතිය හමුවට පමුණවා දඬුවම් ලබාදීමට පෙරමුණ ගැනීම ගරු ජනාධිපතිතුමා සතු වගකීමක් වෙනවා. එම කටයුත්ත එසේ සිදු නොවුණ හොත් මේ රටේ ජනතාව එතුමා කෙරෙහි ඇති කර ගෙන තිබූ විශ්වාසය නැවත පෑහිය නොහැකි ආකාරයට පළුදු වේවී. ඒ බව එතුමා තේරුම් ගත යුතුයි.

සීනි ආනයනය කිරීමේදී සිදු වූ මහ දවල් මංකොල්ලය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට රජයට කිසිම හැකියාවක් ඇත්තේ නැහැ. වංචාවක් සිදු වූ බවට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාව, මුදල් කාරක සභාව  සහ භාණ්ඩාගාරයත් පිළි ගෙන තිබෙනවා. මේ වන විගණකාධිපතිවරයාද පරීක්ෂණ ආරම්භ  කර තිබෙනවා. මේ කරුණු අනුව ඇඟිල්ල දිගු වන්නේ රජයටයි. ජනාධිපතිතුමා ද මේ ගණුදෙනුව සඳහා අනුමැතිය දුන් බවට වාර්තා වී ඇති නිසා මේ තත්ත්වය එතුමාටත් අපකීර්තියක්.

අපි පුණ පුනා කියන්නෙ මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ජනාධිපතිවරයා විසින් වහා ආරම්භ කළ යුතු බවයි. ජනතාව ප්‍රශ්න කරන්නේ පළවෙනි අවුරුද්දේ බිලියන 15ක් නම් ඊළඟ අවුරුදු හතරේ දී මොනතරම් දූෂණ ඇති වේද කියයි. මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. මෙම ජාවාරමට සම්බන්ධ අය සෑහෙන සංඛ්‍යාවක් රජයේ විවිධ පදවි තානාන්තර දරමින් සිටිනවා. නියම පරීක්ෂණයක් පැවැත් වුව හොත් හිස් කිහිපයක් දන් දීමට සිදු වේවි. ඒ සමහරුන් බලවතුන්ගේ මිත්‍රයන් වෙන්නත් පුළුවන්. මේ මහා පරිමාණ දුෂණය රාජ්‍ය නායකයාට, රටටත්, පුරවැසියන්ට සහ අපට විශාල අකටයුත්තක් බව අපගේ හැඟීමයි.

1980/90 මුල් දශකයේදී මා සීනි ආනයනකරුවන්ගේ සභාපති ධූරය දැරූ අතර හිටපු නියෝජ්‍ය කතා නායක ආනන්ද කුමාරසිරි මහතා සීනි නිපදවන්නන්ගේ සංගමය (පැලවත්ත සහ කන්තලේ වැනි) නියෝජනය කළා. වෙළඳ අමාත්‍යාංශයත්, මහා භාණ්ඩාගාරයත් සමඟ සහයෝගීත්වයෙන් වැඩ කරමින් දේශීය සීනි කර්මාන්තය දියුණු කිරීම පිණිස ආනයන බදු මාස් පතා අඩු වැඩි කිරීමෙ ක්‍රමවේදයක් දියත් කළා.

එකල ආනයනික සීනි ශ්‍රී ලංකාවට රුපියල් 3000කට පමණ අඩුවෙන් ගෙන ඒමට හැකි වුණා. රජය හවුල් වුණේ දේශීය සීනි කර්මාන්තය දියුණු කිරීමටයි. රජය ආනයන කරුට සහ නිශ්පාදකයින්ට නියම කළේ ශත පහක ලාභයක්. අප එම ක්‍රියාව ඉතාම ක්‍රමවත්ව සිදු කළා. එහෙත් මෙම ගණුදෙනුවේදී විශාල අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බව පේනවා.



පරිසර විනාශය සහ අලි මිනිස් ගැටුම



මුළු මහත් ඉතිහාසයේම වාර්තා නොවූ අන්දමේ අති දැවැන්ත පරිසර විනාශයක් අද වන විට මේ රටේ සිදු වෙමින් පවතිනවා. ඒ මඟින් ඇති විය හැකි ප්‍රතිවිපාක සිතා ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. අද වන විට සෑම පළාතකම, සෑම දිස්ත්‍රික්කයකම, හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පාහේ මේ ආකාරයට මහා පරිමාණයෙන් පරිසරය විනාශ කරමින් සිටිනවා.

දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වැනි ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් අප වෙත දන්වා සිටින ආකාරයට වගේම ලබා දෙමින් තිබෙන තොරතුරුවලට අනුව මේ හැම පරිසර විනාශයක් පිටු පසම දැවැන්ත දේශපාලන හස්තයක් තිබෙනවා. ඒ නිසා අද එම නිලධාරීන් බලවත් ලෙස බෙලහීන වෙලා. ආත්මගෞරවයක් ඇතිව ඇදුමක් ඇද ගෙන රාජකාරී කළ නොහැකි තත්ත්වයකට අසරණ වෙලා. ඒ මදිවාට අද ඔවුන්ට  විවිධ තර්ජන එල්ල වන මට්ටමට මේ මහා විනාශය ඔඩු දුවලා තිබෙනවා.

ජනාධිපතිවරයා පෞද්ගලිකවම මැදිහත් වී මේ ගැන ක්‍රියා නොකළ හොත් තත්ත්වය තවත් බොහෝ සෙයින් දරුණු විය හැකියි. ඒ වගේම අද වන විට අන් කවරදාකටත් වඩා වැඩිවී ඇති අලි මිනිස් ගැටුම ගැනද ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි. වගා හානී හේතුවෙන් විපතට පත් වන ගොවි ජනතාවට වන්දි ලබාදීම සඳහා නිසි වැඩ පිළිවෙළක් ද සමඟ මේ රටේ අලි සම්පත ආරක්ෂා කර ගැනීමට වහාම ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතුයි. ඒ සඳහා සුදුසු එක් ක්‍රියා මාර්ගයක් වන්නේ එම කටයුත්ත සඳහාම වෙන්වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරිමයි. ඒ පිළිබදවද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.



රාජ්‍ය සේවය අවුලෙන් මුදවා ගැනීම



රාජ්‍ය සේවයට මේ රටේ පැවැති ගෞරවය සහ අභිමානය සැලසුම් සහගතව විනාශ කරමින් සමස්ත රාජ්‍ය සේවයම දේශපාලකයන්ගේ අතකොලු බවට පත් කිරීමට කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. රාජ්‍ය සේවයට නිලධාරීන් බදවා ගැනීමට සිදු කරන තරඟ විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පැවැත්වීමට දරන උත්සහයද එවැන්නක්.

ඒ වගේම රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන්ට සිදු කරමින් පවතින කෙනහිලි සහ අවමන් සහගත ක්‍රියා පිළිකුල් සහගතයි. වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දරමින් සිටි තනතුරෙන් ඉවත් කිරීම පිළිබද විෂය භාර අමාත්‍යවරිය දන්නේ නැතිලු. ඒ වගේම ශ්‍රී ලංකා ඹෟෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරකින් වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඉවත් කිරීමද එවැනිම තත්ත්වයක්. එතුමා අන්තර්ජාතික වශයෙන්ද මේ රටට කීර්තියක් උපයා දුන් විද්වතෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ප්‍රධාන උපදේශකවරුන් හය දෙනාගෙන් එක් අයෙක් වන්නේ ද එතුමායි. එක් අවස්ථාවක එතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම තනතුරකට පත්වීමට අවකාශය සැලසී තිබුණා. නමුත් එවකට පැවැති රජයේ දුර්වල ප්‍රතිපත්ති හේතුවෙන් එම තනතුර වෙනත් රටක් විසින් ලබා ගත්තා. මෙවැනි තත්ත්වයකදී රාජ්‍ය සේවයට යහපත් සහ කීර්තිමත් පුද්ගලයන් ඉතිරි වේවිද..? ගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ කෙරෙහි ද යොමු කළ යුතුව ඇතැයි අප විශ්වාස කරනවා.

අවසාන වශයෙන් තවත් වැදගත් කරුණු දෙකක් ගැන ඔබගේ අවධානය යොමු කිරීමට කැමතියි. ඒවායින් පෙන්නුම් කරන්නේද මේ රට ගමන් කරමින් පවතින පිරිහීමේ දිශාවයි. අනෙක් කාරණයද ඒ වගේම බරපතළයි. පසුගිය දා සිරස රූපවාහිනිය මඟින් ප්‍රචාරය වූ ලක්ෂපති වැඩ සටහනට සහභාගී වූ දැරිවියකගෙන් පොලීසිය ප්‍රශ්න කළ බවට වාර්තා වෙනවා. ඇය එසේ ප්‍රශ්න කිරීමට ලක්වීමට හේතුව ඇය ජීවත් වන ප්‍රදේශයේ සිදු වන පරිසර විනාශයක් පිළිබඳව කරුණු දක්වා තිබීමයි.

මෙම ක්‍රියාව මඟින් ප්‍රදර්ශනය කර ඇත්තේ 1940 ගණන්වලදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි ගෙස්ටපෝ හමුදාවේ ක්‍රියාන්විතයක් බව කිව යුතුයි. එම ක්‍රියාව මේ රටේ ජනතාවට කර ඇති සාහසික අනතුරු ඇඟවීමක්. මෙම ක්‍රියාවේද අවසන් වගකීම පැටවෙන්නේ ද ජනාධිපතිවරයාගේ පාලනයටයි.
කිසියම් විවේචනයක් කළ පමණින් මාධ්‍යවේදියෙක් හෝ සාමාන්‍ය දැරිවියක් පීඩාවට පත් කරන්නේ නම් එම ක්‍රියාව බරපතළ ලෙස හෙළා දැකිය යුතුයි.  

ඇත්තටම පොලීසිය හෝ වන ජීවී නිලධාරීන් හෝ ග්‍රාම නිලධාරී හෝ කළ යුතුව තිබුණේ ඇය කිව්ව කතාවට සවන්දීමයි. ඇයට හිරි හැර නොකර ඇය මතු කළ කරුණු පිළිබදව සොයා බැලීමයි. මෙහිදී අපට සිහි වන්නේ ඇඟේ වැසූ මැස්සා එළවිමට මෝඩ වදුරෙක් කර ඇතැයි කියන ක්‍රියාවයි. පොලීසිය එසේ නොකළ යුතුයි. පොලීසියේ ගෞරවය සහ අභිමානය රැක ගැනීමට පොලිස්පතිවරයා නොපමාව ක්‍රියා කළ යුතුයි.

මෙම පුවත්පත් සාකච්ජාව අවසාන කිරීමට පෙර මා නැවතත් එක් කරුණක් අවධාරණය කරන්නට කැමතියි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අප මේ කරුණු ඉදිරිපක් කළේ ඉතාමත්ම සද්භාවයෙනුයි. මේ සියලුම කරුණු අප සංවිධානය බුද්ධිමත් සාමාජිකයන් විසින් මතු කරමින් සිටින කරුණුයි. මෙම කරුණු ගරු ජනාධිපතිතුමා වෙත යොමු කරන්නේ ඉතාමත්ම වගකීමකින් යුතුවයි. එතුමාට මේ ගැන සොයා බලන්න පුළුවන්. එසේ නැති නම් කුණු කූඩයට දමන්නත් පුළුවන්. නමුත් අප මේ ඉදිරිපත් කළ අදහස්වල දැවැන්ත ජන මතයක් ගැබ් වන බව පමණක් සඳහන් කරන්න කැමතියි.

Advertiesment