Tuesday 20th of April 2021

English Tamil
Advertiesment


කසල පිළිස්සීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔබ දන්නවා ද..?


2021-03-10 4103

වායු දුෂණයෙන් වසරකට ලෝකයේ ලක්ෂ 70ක් මිය යනවා

 

නිහඬ මරුවා ඔබ බිලි ගන්නේ මෙහෙමයි  

 

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා වසරකට මිනිසුන් මිලියන 7ක් වායු දූෂණය නිසා මිය යනවා. නිහඬ මරුවෙක් වෙන වායු දුෂණය එවෙලේම බල පාන්නේ නැති නිසා මිනිසුන් ඒ ගැන වැඩි විරෝධයක් පාන්නේ නැහැ. ඉතා අහිතකර ප්ලාස්ටික් සහ පොලිතීන් වැනි කසල පිච්චීමෙන් "ඩයොක්සින්" (Dioxins) "තැලේට්ස්" (Phthalates) "ෆුරන්ස්" (Furans) "රසදිය" (Mercury) සහ "පොලිකොරිනේටඩ් බයිපෙනයිල්" (Polychlorinated Biphenyls-BCP) වැනි විෂ වායූන් වායුගෝලයට මුදා හැරෙනවා. ඒවා මිනිස් සහ සත්ව සෞඛ්‍යයට සේම ගස්කොළන්වලටද තර්ජනයක් වෙනවා. "ප්ලාස්ටික්" දහනය කිරීමෙන් දේශගුණික විපර්යාස සහ වායු දූෂණය සඳහා දායක වන කළු කාබන්ද නිකුත් වෙනවා.

"ඩයොක්සින්" වගා බෝගවලට සහ අපේ ජල මාර්ගවලට  එකතු වී අවසානයේදී අපේ  ආහාර සහ ජලය මඟින් ශරීරයට ඇතුළු වෙනවා. මෙම "ඩයොක්සීන්" පිළිකා ඇති කළ හැකි තයිරොයිඩ් සහ ශ්වසන පද්ධතිය කඩාකප්පල් කළ හැකි මාරාන්තික  කාබනික දූෂක වෙනවා. "තැලේට්ස්" (Phthalates) රසායනික ද්‍රව්‍ය වඳ භාවයට හේතු වන අතර දරුවන්ට අසාත්මිකතා සහ ඇදුම (Asthma) ඇති කරනවා. මෙමගින් ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයින් අවදානමට පත් විය හැකි අතර නිධන්ගත රෝග (Treasured Diseases) සහ හෘදයාබාධද (Heart Attack) ඇති වීමටද හැකියාව තිබෙනවා. තවද එමගින් චර්ම රෝග (Skin Disease) වෙනත් පිළිකා (Cancer) සහ වකුගඩු රෝගද (Kidney disease) ඇති වන්නට පුළුවන්. 

මෙම දුම්වලින් පිට වන ශරීරයට ඉතාමත් අහිතකර කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, පොලිසයික්ලික් ඇරොමැටික් හයිඞ්රොකාබන් (PAH) වගේ අංශු ආග්‍රහණය කිරීම මඟින් ද  ඉහත ලෙඩ රෝග මිනිසුන්ට වැළදෙනවා. පෙනහළු මඟින් රුධිරයට ඇතුළු වෙන විෂ ද්‍රව්‍ය මඟින් හෘදය වස්තුවේ ධමනි අවහිරවී ආඝාතය (Stroke) වැනි රෝග හට ගන්නට පුළුවන්. එමෙන්ම විෂ ද්‍රව්‍ය ඇතුළත් රුධිරය මොළයට ගමන් කිරීමෙන් "ඩිමෙන්ශියාව" (Dementia) වැනි රෝග වැළදිය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. 

අපේ ඇසට නොපෙනෙන මෙම විෂ ද්‍රව්‍ය අපේ ශරීරයට ඇතුළු වීමෙන් දීර්ඝ කාලීනව අපව ලෙඩ කරනවා. මරනවා. එම නිසා ලොව පුරා විද්‍යාඥයින් පොලිතීන් සහ ප්ලාස්ටික් දහනය නැවත්වීමට නීති සම්පාදනය කරන ලෙස රාජ්‍යයන්ගෙන් ඉල්ලනවා. ඔබ නොදන්නවා වුණාට 2017 වසරේ සැප්තැම්බර් මස 01වන දින කිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින්, ශ්‍රී ලංකාවේ 1980 අංක 47 දරන ජාතික පාරසරික පනතට අනුව, 2017 අංක 01 දරන ජාතික පාරසරික නියෝග යටතේ, ප්ලාස්ටික් අඩංගු කසල සහ පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එළිමහනේ පිළිස්සීම, පිළිස්සීමට සැලැස්වීම, පිළිස්සීමට ඉඩ දීම, පිළිස්සීමට අවසර දීම නොකළ යුතු වෙනවා. 

එම නීතිය කඩ කළ හොත් 1980 අංක 47 දරන ජාතික පාරසරික පනතට අනුව වැරදිකරුවෙකු වන අතර අංක 31 වගන්තිය යටතේ දඬුවමකට යටත් විය යුතු වෙනවා. එනිසා ප්ලාස්ටික් පමණක් නොව පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය ද දහනය ශ්‍රී ලංකාවේ තහනම්. නමුත් සාමානය සිවිල් වැසියන්ද තවමත් කුණු පුච්චනවා. බොහෝ විට එම ක්‍රියාව සාධාරණීයකරණය කරන්නේ, "මේ කුණු එක්ක මොනවද කරන්නේ" - "ඔය පොඩ්ඩක් පිච්චුවට මොකද" - "අපේ කුණු අපි පුච්චන්නේ අපේ වත්තේ" වැනි කිසිම තේරුමක් නැති කතා කියමිනුයි. තවද රජයක් ලෙස මෙම නිහඬ මාරයාගෙන් රට වැසියන් මුදා ගන්නට වගකීමක් තිබෙනවා. තවද කුණු දහනය වරදක් කරන චක්‍ර ලේඛන පමණක් පනවා නිහඬ වීමට රජයකට බැහැ. ඒ පිළිබඳ ක්‍රියා මාර්ග ගැනීම සහ මහා ජන දැනුවත් කිරීම් වැඩි කළ යුතු වෙනවා. 

කෙසේ හෝ දිගින් දිගටම මිනිසුන්ට ද දීර්ඝ කාලීනව මරු කැඳවමින් සිදු වන මෙම වායු දුෂණය නැවත්වීමට රජය වහාම ක්‍රියා මාර්ග ගත යුතු වෙනවා. තවද පුරවැසියන් ලෙස නිවසේදී  කසල දහනය නොකොට ඒවා වෙන් කර පාළාත් පාලන ආයතන (මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා) මඟින් රැස් කරන විට භාර දීමට අපටද යුතුකමක් තිබෙනවා. අප නොදන්නා බොහෝ ලෙඩ හදා ගන්නේ අපිමයි. ඒවායින් නොදැනුවත්ම මැරෙන්නේ ද අපිමයි. ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. රජයට රජයේ වගකීම ඉටු කරන්න බල කරන්න. 

 

(දේදුනු සංවාද)
Advertiesment