"ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය තනිවම "අලියා" ලකුණ යටතේ තනිවම තරඟ කරනවා. ඒ සඳහා ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න රනිල් වික්‍රමසිංහ මේ වන විටත් තීරණය කරලා ඉවරයි. තිබෙනවා. එම අපේක්ෂකයා උග්‍ර බෞද්ධයෙක්. ඉන්දියාවේ සහයෝගය ලබා ගත හැකි සිංහලයෙක්" රටේ ඉහළම පෙළේ ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විශේෂ හෙළිදරව්වක් කරමින් "lankanewsweek" සමඟ පැවැසීය.
"විපක්ෂයට එකතු වෙන්න ආණ්ඩුව ඉඩ තබන්නේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල්ව ජනපති අපේක්ෂකයෙකු ලෙස සජබයෙන් එළියට ගන්න සේනක ද සිල්වා සැලසුම් කරමින් සිටිනවා. ඒ අස්සේ ජනපති පොදු අපේක්ෂකයා වෙන්න පාඨලී චම්පික ක්‍රියා කරනවා. මේ පැත්තෙන් එජාපය "අලියා" යටතේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. එහෙම බැලුවාම සජිත් ප්‍රේමදාසට කවදාවත් මේ රටේ නායකයා වෙන්න බැහැ" යැයි ද ඔහු සඳහන් කළේය.
"රනිල් වික්‍රමසිංහ ඉදිරි මාස 24 ම කරන්නේ "Time Mark" කිරීම විතරයි. අලුතින් කිසිවක් කරන්නේ නැහැ. ඔහු 2023 දී ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කරනවා. එමගින් එක්සත් ජාතික පක්ෂය කරළියට ගෙන්වනවා. සජිත් ප්‍රේමදාසයි සජබයයි දේශපාලන වශයෙන් අනාථ වෙනවා" යැයි ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සමීපතමයෙකු වන එම ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකය වැඩි දුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි සැලසුම් ද සමගි ජන බලවේගයේ අභ්‍යන්තර තත්ත්වය ද සම්බන්ධයෙන් තව දුරටත් කරුණු හෙළිදරව් කරමින් එම ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකයා මෙසේද කීය.
සමගි ජන බලවේගය තව දුරටත් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවයක් සමස්ත විපක්ෂයට නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන තක්සේරුව සහ ස්ථාවරයයි. එම තක්සේරුවට සහ ස්ථාවරයට පැහැදිළි පදනමක් ද තිබෙනවා. මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පාක්ෂිකයින් සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාසට ඡන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ පළවා හැර එම පක්ෂයේ බලය අල්ලා ගැනීමට එම කණ්ඩායමට හැකි වනු ඇතැයි යන විශ්වාසය මතයි.
නමුත් එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලනවා තබා ඒ ගැන සිතීමටවත් සජිත් ප්‍රේමදාසට නොහැකි වී තිබෙනවා. ඒ යථාර්ථය මේ වන විට මුළු රටම දන්නවා. සජිත් ප්‍රේමදාසගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් අවසානයේ දී සිදු වුණේ ප්‍රබල දේශපාලන පක්ෂයක්ව තිබූ එක්සත් ජාතික පක්ෂය කැඩී බිදී විනාශ වී යාම පමණක් බව එම පාක්ෂිකයින් මේ වන විට තේරුම් ගෙන සිටින අතර ජන මත සමීක්ෂණ මගින් රනිල් වික්‍රමසිංහ එම තොරතුරු තහවුරු කර ගෙන සිටිනවා.
දොස්තර රාජිත සේනාරත්න සහ හරීන් ප්‍රනාන්දු ඇතුළු විශාල පිරිසක් ද මේ යථාර්ථය මනාව තේරුම් ගෙන සිටින අතර ඒ අයගේ ස්ථාවරය වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමෙන් තොරව සමගි ජන බලවේගයට කිසිදු දේශපාලන අනාගතයක් සහ පැවැත්මක් නොමැති බවයි. සමගි ජන බලවේගය නියෝජනය කරන මුස්ලිම් සහ ද්‍රවිඩ දේශපාලන පක්ෂ සහ නායකයින් සිටින්නේ ද එම ස්ථාවරයේමයි.
ඊට අමතරව සජිත් ප්‍රේමදාස යට කර ගෙන පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරියට පැමිණෙමින් සිටින අතර 2024 හෝ 2025 දී පැවැත් වෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයෙකු ලෙස සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයෙන් එළියට ඇදීමේ දේශපාලන කුමන්ත්රණයක ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා යෙදී සිටිනවා.
මේ අතර පාඨලී චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයේ පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් හමු වී සාකච්ඡා කරමින් ඔවුන් අතර සජිත් ප්‍රේමදාසට වඩා තමා කෙරෙහි විශ්වාසයක් ඇති කරවීමේ වැඩ පිළිවෙළක යෙදී සිටිනවා. කෙසේ නමුත් එම හිටපු මන්ත්‍රීවරුන් හමු වී සාකච්ඡා කරමින් ඒ අයගේ විශ්වාසය දිනා ගැනීමට ද සජිත් ප්‍රේමදාසට නොහැකි වී තිබෙනවා. මේ අනුව පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ වන විට සජිත් ප්‍රේමදාසට විශාල අභියෝගයක් වී තිබෙන අතර මෙම බල අරගලය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ද ඔහුට හැකියාවක් ඇත්තේ නැහැ.
සමගි ජන බලවේගයේ සැලකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ එක්ක වන අතර බැසිල් රාජපක්ෂ එම මන්ත්‍රීවරුන් මෙහෙය වන බවත් තීරණාත්මක මොහොතක එම කණ්ඩායම ආණ්ඩුවට ගැනීම ඔහුගේ සැලසුම වී තිබෙන බවත් ඩයනා ගමගේ සිය සමීපතමයින් පිරිසක් සමග කියා තිබෙනවා.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් ගියොත් සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් ගෙන හයෙන් පහක ආණ්ඩුවක් ගොඩනැගීමට තමා සූදානම් බව බැසිල් රාජපක්ෂ සිය අභ්‍යන්තර කවයේ (Inner Circle) දේශපාලන සමීපතමයින් පිරිසක් සමග කියා තිබෙන්නේ මේ පසුබිම මතයි.
මේ සියලු කරුණු කාරණා සහ තත්ත්වයන් ගැන රනිල් වික්‍රමසිංහට අවබෝධයක් තිබෙන අතර මිනිස්සුන්ගේ විරෝධය තිබෙන්නේ තමාට විනා එක්සත් ජාතික පක්ෂයට නොවන බව ද ඔහු දන්නවා. ඒ අනුව 2024 හෝ 2025 දී පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය තනිවම තරඟ කරමින් "අලියා" ලකුණ යටතේ ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මේ වන විටත් තීරණය කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය වී තිබෙන්නේ එම අපේක්ෂකයා උග්‍ර බෞද්ධයෙකු විය යුතු අතර ඔහු ඉන්දියාවේ සහයෝගය උපරිමයෙන් දිනා ගත හැකි සිංහලයෙකු විය යුතු බවයි.
රනිල් වික්‍රමසිංහ මේ තීරණය ගෙන තිබෙන්නේ, "අලියා" ලකුණ සහ එක්සත් ජාතික පක්ෂය ජන සමාජයේ ඉහළටම පැමිණ ඇති බව ජන සමීක්ෂණවලින් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුවයි. තීරණාත්මක මොහොතක දී ආණ්ඩුවෙන් කොටසක් කැඩුණොත් ඒ කණ්ඩායම එකතු වන්නේ ද "අලියා" ලකුණේ නායකත්වයෙන් යුතු පෙරමුණකටයි.
එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ සිටින්නේ "Coma" තත්ත්වයේ සිටින ඇතෙකු ලෙසයි. ශරීරය දුර්වල වෙලා නැහැ. මොළය මැරිලත් නැහැ. හැබැයි නැගිටලා නැහැ. 2023 දී ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කරමින් එක්සත් ජාතික පක්ෂය කරළියට ගැනීම රනිල් වික්‍රමසිංහගේ සැලසුමයි. ඊට ඇමරිකාවේ, ඉන්දියාවේ සහ නොර්වේ සහයෝගය ලබා ගැනීමට ඔහු සැලසුම් කර තිබෙනවා.
ආණ්ඩුවට එරෙහිව රනිල් වික්‍රමසිංහ පොදු සන්ධාන ගොඩනගනවා කියන කතා බොරු. මේ වෙලාවේ ඔහු කරන්නේ පොතක් පතක් කියවමින් පැත්තකට වෙලා බලා සිටීම විතරයි. ඒ කියන්නේ වේලාව සටහන් කිරීම විතරයි. ඉදිරි මාස 24 ම කරන්නෙත් වේලාව සටහන් කරමින් බලා සිටීමයි. ඒ හැර ඔහුවත් එක්සත් ජාතික පක්ෂයවත් කිසිම වැඩ පිළිවෙළකට අවතීරණය වන්නේ නැහැ.
රටකට රජයක් වගේම විපක්ෂයක් ද තිබිය යුතුයි. රටක රජයකට එරෙහි ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාවය ඒ රටේ ජනතාවට වගේම ජාත්‍යන්තරයට ද අවශ්‍ය වනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ කරන්නේ ජාත්‍යන්තරයේ එම අවශ්‍යතාවයට, නොඑසේ නම් එම විකල්පයට "Plug" එක ගැසීම විතරයි. ඒ විකප්ලය මේ වන විට 50%ක් ම ගොඩනැගී අවසානයි.
බුදු හාමුදුරුවන්ට බුදු දහමෙන් යන්න කියන්නේ නැහැ වගේ එක්සත් ජාතික පක්ෂයෙන් යන්න කියා මිනිස්සු නැවත රනිල් වික්‍රමසිංහට කියන්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයින්ට අවශ්‍ය ඒ අයගේ ජනාධිපතිවරයෙකුයි. එමනිසා සමගි ජන බලවේගයට යළිත් වතාවක් ඡන්දය ලබා දෙමින් සජිත් ප්‍රේමදාස රටේ නායකයා කරවීමට එක්සත් ජාතික පාක්ෂිකයින්ට කිසිදු අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. සජිත් ප්‍රේමදාසට මේ රට පාලනය කරන්න පුළුවන්ද..? ඔහුගෙන් රටට-ජනතාවට ගන්න තිබෙන්නේ කුමක්ද..? මේ අනුව රනිල් වික්‍රමසිංහ මේ වන විටත් අවශ්‍ය වේදිකාව සකසා ගෙන අවසානයි. ඔහුට තිබෙන්නේ අවශ්‍ය වේලාවට මිනිහෙක් ගෙනත් ඒ වේදිකාවේ වාඩි කරවීම විතරයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ දින 45ක කාලයක් පමණයි. රනිල් වික්‍රමසිංහ කිසිවෙකු ගණන් නොගෙන නිහඬව බලා සිටින්නේ මේ නිසයි."
Lanka Newsweek © 2024