Tuesday 20th of April 2021

English Tamil
Advertiesment


සජිත් කරන්නේ නොමේරු වැඩ - තෙවරප්පෙරුම 


2021-03-07 3273

එජාපය වනසලා හුජ්ජ කොල්ලෝ වට කර ගෙන පිස්සු කෙළිනවා 

 

මේ ආණ්ඩුව තිරිසන් සතුන්වත් රැවට්ටුවා 

 

"සාමාන්‍යෙයන් දේශපාලකයො මිනිසුන් රවටනවා කරන්න බැරි දේවල් කියලා. මේ ආණ්ඩුවත් රටේ ජනතාවට කප්පරක් පොරොන්දුදීලා ජනතාව රවටා නොමග යැව්වා. කිසිම දේශපාලකයෙක් මිනිසුන් රැවට්ටුවාට තිරිසන් සත්තු රවට්ටන්නෙ නැහැ. මේ ආණ්ඩුව ඒකත් කළා. හරක් මරන්නෙ නැහැ කියලා." යැයි එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඇල්පිටියේ දී පැවැසීය. 

ඔහු එසේ පැවැසුවේ එක්සත් ජාතික පක්ෂයේ බෙන්තර-ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ බල මණ්ඩල රැස්වීමේ දී වන අතර එම රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තර-ඇල්පිටිය ප්‍රධාන සංවිධායක නිතීඥ නෙවිල් ඉගලවිතාන මහතාට අයත් ඇල්පිටිය නගරයේ පිහිටි කාර්යාලයේ දී පැවැත් විණ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාලිත තෙවරප්පෙරුම මහතා මෙසේද කීය.

"රනිල් වික්‍රමසිංහ අප පක්ෂයේ නායකතුමා බොරු කියන කරන නායකයෙක් නොවෙයි. ඔහුට සංදර්ශන වැඩ බැහැ. ඔහුට දර්ශනයක්, ප්‍රතිපත්තියක්, වැඩ පිළිවෙළක් තියෙනවා. ඔහුට ඒ නිසා හැමෝම බයයි. බය වැඩිකමටයි "රනිල්ට බැහැ" කියලා ලිව්වේ. කිව්වේ. එහෙම කියපු ප්‍රධානම පුද්ගලයා තමයි මංගල සමරවීර. අද ඔහු දේශපාලනයෙත් නැහැ. 

සජිත් ප්‍රේමදාස කරන්නෙ නොමේරු වැඩ. ඔහු සමග සිටින කිසිවෙකුට රටක් හදන්න බැහැ. අපි ජාතිවාදියෝවත්, අගම්වාදියොවත් නොවෙයි. හැම දෙනාගෙම අයිතිය වෙනුවෙන් පෙනී සිටින අය. 1999 ජනාධිපතිවරණයෙ දී මම උදව් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට අපේ තාත්තා හොඳ සම සමාජ කාරයෙක්. අයියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභාවක සභාපති. මම යූ.එන්.පී. කාරයා. මම වාසි බලා ගෙන පැත්ත මාරු කරන අයෙක් නොවෙයි. 

අපිට දැවැන්ත යාන වාහන නැහැ. දැනටමත් මම ඉන්නෙ කැලයක් කොටා ගෙන වගා කරමින් හරක් මඩුවක. ඒක මට සැපයි.
සජිත් ප්‍රේමදාසට දැක්මක් හෝ වැඩ පිළිවෙළක් නැහැ. යම් කිසි දෙයක් කවුරු හරි දුන්නොත් ඒක කියනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ගෝලයෙක් වුණ අජිත් පෙරේරාගෙ බණ්ඩාරගම ආසනය එක්සත් ජාතික පක්ෂය පැරදුණේ වැඩි ඡන්ද හතළිස් පන්දාහකින්. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙ දී හම්බන්තොට දිස්ත්‍රික්කයත් පරාදයි. අන්තිමට එක්සත් ජාතික පක්ෂයත් පරාද කළ ඔහු හුජ්ජ කොල්ලො ටිකක් වට කර ගෙන ඉන්නවා."

කරන්දෙණිය ප්‍රධාන සංවිධායක නීතීඥ නුවන් සොමිරත්න, බෙන්තර ඇල්පිටිය ප්‍රධාන සංවිධායක නීතිවේදී නෙවිල් ඉගලවිතාන, බද්දේගම ප්‍රධාන සංවිධායක නීතීඥ ලීලානන්ද ඩයස්, ප්‍රවීණ ලේඛක අහුන්ගල්ලේ දේ.සු. ද සොයිසා සහ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සංජීව කරුණාතිලක යන මහත්වරු ද එහිදී කතා කළහ.
 

Advertiesment