Tuesday 20th of April 2021

English Tamil
Advertiesment


බල දේශපාලනයට එන්නෙත් නැහැ-අලුත් පක්ෂ හදන්නෙත් නැහැ 


2021-03-06 3123

එමනිසා පොදු අපේක්ෂක කතාත් නැහැ  

 

කරු ජයසූරිය සිය ස්ථාවරය පහදයි 

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට රටේ දේශපාලන බලය ලබා ගැනීමේ කිසිදු අභිප්‍රායක්, අවශ්‍යතාවක් සහ සැලසුමක් නැතැයි එහි සභාපති සහ හිටපු කතා නායක දේශබන්ධු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. 

ඔහු මේ බව සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදය කොයිබ ද-ශ්‍රී ලංකාවට සිදු විය හැක්කේ කුමක් ද..? යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් බ්‍රහස්පතින්දා (04) කොළඹ "ජානකී" හෝටලයේ දී සංවිධානය කෙරුණු විශේෂ සම්මන්ත්‍රණ සභාවේදීය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට සහ එහි සභාපතිවරයා ලෙස තමාට රටේ දේශපාලන බලය ලබා ගැනීමේ අභිප්‍රායක්, අවශ්‍යතාවයක් සහ සැලසුමක් නොමැති නිසා අලුත් දේශපාලන පක්ෂ පිහිටුවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර ඒ නිසාම ජනපතිවරණ පොදු අපේක්ෂක කතාවලට කිසිදු පදනමක් ද නොමැති බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සහ තමාගේ ප්‍රමුඛ සහ ඒකායන අපේක්ෂාව වී ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් ජනතාවට වඩා යහපත් වූ රටක් ගොඩනගා ගැනීම සදහා දායකත්වය ලබාදීම යැයි ද අවධාරණය කර සිටියේය.

ජනාධිපතිවරණයෙන් සහ මහා මැතිවරණයෙන් පසුව වඩා වැඩි සමාජ මැදිහත්වීමක් උදෙසා තමාට සහ තම සංවිධානයට පෙනී සිටීමට සිදුවීම සත්‍යයක් වුවත් එම තත්ත්වය වඩාත්ම ක්‍රියාකාරී වූයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකය කරා රැගෙන යාමට කටයුතු කිරීම නිසා බව ද කරු ජයසූරිය මහතා කියා සිටියේය. 

සමස්ත බලය එක් පුද්ගලයෙකු අතට ගෙන තිබීම නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අසීමිත ලෙස දේශපාලනීකරණයට ගොදුරු වෙම්න් ඇති බව එහිදී පෙන්වා දුන් කරු ජයසූරිය මහතා මේ තත්ත්වය හේතුවෙන් රටේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් ද රටේ සමස්ත ආර්ථිකය ද දවසින් දවස විනාශ වෙමින් පවතින බව ද සඳහන් කළේය.

මෙම සම්මන්ත්‍රණ සභාවට එක්ව සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා එම සභාව අමතමින් ප්‍රකාශ කළේ, රටට මේ වන විට අත් වෙමින් පවතින බරපතළ විනාශය හේතුවෙන් රටේ අනාගත පරපුරේ ශාපය අද ජීවත් වන පරම්පරාව වෙත එල්ලවීම නොවැළක්විය හැති බවය. 

"අප අද නිර්මාණය කරමින් සිටින්නේ විනාශකාරී රටක් නම් එහි බලපෑම වඩාත්ම භුක්ති විදිනු ඇත්තේ මේ රටේ අනාගත පරපුරයි. ඒ නිසා ඔවුන් අපට ශාප කරනු නිසැකයි. ඔවුන් එහිදී එසේ ශාප කරනු ඇත්තේ මේ රට මෙවැනි විනාශයකට ගෙන ගිය දේශපාලකයන්ට පමණත් නොවේ. ඔවුන්ට එවැනි විනාශයක් කරන්න අවස්ථාව ලබා දුන් සියලුම දෙනාටමත් එවැනි විනාශයක් සිදු කරද්දී, ඒ දෙස නිහඩව බලා සිටී සියලුම දෙනාටමත් ඒ ශාපයෙන් ගැලවෙන්න බැහැ" යැයි ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා සඳහන් කළේය. 

එහිදී වැඩි දුරටත් කතා කළ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන් ලෙස අප යුක්ති ගරුක, සාධාරණ සහ සමෘද්ධිමත් රටක් අපේක්ෂා කරන්නේ නම් රටේ සමස්ත බල කේන්ද්‍රය එක් පුද්ගලයෙකු අතට පත් වීම වළක්වා ගත යුතුව තිබුණු අතර අප එම වැරැද්ද මේ වන විටත් සිදු කර අවසන් බව කියා සිටියේය.

"රටක විධායක බලය සහ වයවස්ථාදායක බලය මෙහෙය වන්නේ දේශපාලකයන් විසිනි. ඒ නිසා දේශපාලකයන් සිදු කරන යම් අත්තනෝමතික හෝ නීතී විරෝධි ක්‍රියාවන් පාලනය කිරීමට නම්  රටකට ස්වාධීන අධිකරණයක් තිබිය යුතුමයි. නමුත් 20 වන සංශෝධනය හේතුවෙන් අද වන විට මේ රටේ ස්වාධින අධිකරණ පද්ධතියක පැවැත්ම විනාශ කර තිබෙනවා." යැයි ද ඔහු ප්‍රකාශ කළේය. 

20 වන සංශෝධනයෙන් ලබා ගත් බලතල අනුව ජනාධිපතිවරයාට රටේ ඉහළම අධිකරණ සඳහා විනිශ්චයකරුවන් පත් කිරීමේ දී කිසිවෙකුගේ මඟ පෙන්වීම් හෝ නිර්දේශ අවශ්‍ය නැතැයි ද, ඒ අනුව ජනාධිපතිවරයාට තනි මතයට තීරණ ගත හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ හානියක් වීමේ වටාපිටාවක් නිර්මාණය වී ඇතැයිද අවධාරණය කර සිටී ශ්‍රීනාත් පෙරේරා මහතා මෙම අවාසනාවන්ත තත්ත්වය රටේ ඉහළම අධිකරණයට පමණක් බලපාන තත්ත්වයක් නොවන අතර අධිකරණවල කොදු නාරටිය කඩා දැමීම සඳහා ප්‍රාදේශීය දේශපාලඥයන්ට පවා හැකියාව ලැබෙන වාතාවරණයක් 20 වන සංශෝධනය මඟින් නිර්මාණය වී ඇති බව ද පැවැසීය. 

මෙම සම්මන්ත්‍රණ සභාවේදී අදහස් දැක්වූ ශ්‍රි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේ 20 වන සංශෝධනය මඟින් ලබා ගත් අසීමිත බලය මත වර්තමාන පාලකයන්ට රිසි රිසි සේ දේශපාලන පළි ගැනීම් සිදු කරන්නට සහ දේශපාලන බලය යොදා ගනිමින් සමස්ත රාජ්‍ය සේවයම අවභාවිතාවේ යෙද වීමට හැකියාව ලැබී ඇති බවය.. 

විදුහල්පති තරඟ විභාගය නොපවත්වා 4,600ක් පමණ පිරිසක් හොර පාරෙන් විදුහල්පතිවරුන් ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇති බව ද, මේ තත්ත්වය හේතුවෙන් සමස්ත පාසල් පද්ධතියම දේශපාලනයට ගොදුරුවීමෙන් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයම විනාශ මුඛයට ඇද වැටීම නොවැළක්විය හැකි බව ද ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියේය. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණ සභාවට පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, කුමාර වෙල්ගම, රිෂාඩ් බදුර්ඩීන් සහ මනූෂ නානායක්කාර, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, මංගල සමරවීර සහ කරුණාරත්න පරණවිතාන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් ද, වෘත්තීය සිමිති සහ සිවිල් සංවිධාන නායකයන් ඇතුළු තවත් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.  
 

Advertiesment