Tuesday 20th of April 2021

English Tamil
Advertiesment


ආණ්ඩු විරෝධී සටනින් රනිල්-සජිත් පළා යයි 


2021-03-05 2947

සාධාරණ සමාජයේ  ජාතික එකමුතුව මඟ හැරලා 

 

කරූගේ වැඩ නිසා ආණ්ඩුවට රිදෙයි කියා භය වෙලා 

 

පාඨලී-රාජිත-මංගල-වෙල්ගම පෙරට එයි 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජයේ ජනතා විරෝධී ඇතැම් ක්‍රියාදාමයන්ට එරෙහිව රටේත් ජනතාවගේත් අවශ්‍යතාවය වෙනුවෙන් ජාතික එකමුතුවක් ගොඩනැගීමට අදාළව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (04) සංවිධානය කෙරුණු ජාතික සාකච්ඡා සභාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු එක්ව නොසිටියහ.

එම අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, බලවේග සහ කණ්ඩායම්වල නායකයින් සහ නියෝජිතයින් එක්ව සිටියත් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඊට එක් නොවී එම රැස්වීම වර්ජනය කිරීම විශේෂ සිද්ධියක් වන අතර දේශපාලන කරළිය උණුසුම් කළ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විවිධ ප්‍රචාර පැතිර යමින් පවතියි.

ජාතික එකමුතුවක් වෙනුවෙන් වන මෙම ජාතික විද්වත් සාකච්ඡාවට සහභාගී වන ලෙසට ආරාධනා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ගොස් ඇති දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රධාන කණ්ඩායමට ඔහු ඍජුවම කියා ඇත්තේ, මංගල සමරවීර මහතා සමග එකතු වී තමා අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින නිසා මේ රැස්වීමට සහභාගී වීමට නොහැකි බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අවස්ථාවට එක් නොවුණත් සමගි ජන බලවේගයේ ප්‍රබලයින් වන දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. මේ අතර මංගල සමරවීර මහතා සමග එක්ව අලුත් වැඩක් කිරීමට සැලසුම් කර ඇති නිසා මෙම රැස්වීමට පැමිණීමට නොහැකි බව කියමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාව මඟ හැර සිටියත් මංගල සමරවීර මහතා එම අවස්ථාවට එක්ව සිටීම ද විශේෂයෙන් කැපී පෙනුණු සිද්ධියක් විය. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මෙම රැස්වීම කැඳවා තිබුණේ රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සංකීර්ණ සහ ගැඹුරු අර්බුදයට මුහුණ දෙන අතර ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සාමය සහ යහ පාලන මූලධර්ම ඇතුළු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් එම අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කරන ජාතික එකමුතුවක් ගොඩනැගීම සඳහාය. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මෙම තීරණය ගෙන තිබෙන්නේ, මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින්, දේශපාලන නායකයින්, වෘත්තීය සමිති නායකයින්, කලාකරුවන්, උගතුන්, බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාකාරීන් සහ බහු ජන සංවිධාන ඇතුළු ජන සමාජයේ සියලු පාර්ශව මගින් කෙරුණු ඉල්ලීමකට අනුවය.

රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සංකීර්ණ සහ ගැඹුරු අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශවයන්හී ඒකාබද්ධ මැදිහත්වීමක අවශ්‍යතාවය පෙන්වා දෙමින් එම සියලු පාර්ශවයන් කරු ජයසූරිය මහතා හමුවේ අවධාරණය කර ඇත්තේ, දේශපාලනික වශයෙන් විරුද්ධ මත දරන රටේ ප්‍රමුඛ දේශපාලන නායකයින් ද ඇතුළු ජන මත ප්‍රධානීන් දඩයම් කිරීම සදහා රාජ්‍ය බලධාරීන් දරන උත්සහය වහාම පරාජය කළ යුතු අතර ජනතාවගේ අයිතිවාසිකම් ද ඇතුළු රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම පිණිස මැදිහත් විය යුතු බවය. 

ඒ වෙනුවෙන් ජාතික එකමුතුවක් ගොඩනැගීම උදෙසා වහාම මැදිහත් වන්නැයි කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇති එම සර්වාගමික නායකයින් ප්‍රධාන සියලු පාර්ශවයන් අවධාරණය කර ඇත්තේ එවැනි සිවිල් සහ සමාජ සටන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැක්කේ කරු ජයසූරිය මහතා කෙරෙහි පමණක් බවය.

 


 

Advertiesment