Thursday 22nd of April 2021

English Tamil
Advertiesment


උද්ධච්ච නොවී ජිනීවා ප්‍රශ්නයට බුද්ධිමත්ව මුහුණ දෙනු 


2021-02-25 4540

රට ජනතාව අමාරුවේ නොදමනු

 

රට හමුවේ ඇති ඇත්ත අභියෝග මෙන්න 

 

බල ලෝභයෙන් මත් වෙලා රට ගිනි තබනු එපා 

 

විස්ස රටට කළ විනාශයක තරම 

 

 

(සුජිත් මංගල ද සිල්වා)  


ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් රජය ක්‍රියා කළ යුත්තේ උද්ධච්ච සහ අමනෝඥ ලෙස නොව ඉතාමත්ම බුද්ධිමත්ව, පරිණත රාජ්‍ය තාන්ත්‍රික ඥානයෙන් යුතුව රට වෙනුවෙන් අවංකවම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

එසේ කටයුතු නොකර රජය උද්ධච්ච සහ අමනෝඥ ලෙස ක්‍රියා කර මේ ප්‍රශ්නය තවත් අවුල් කර ගත හොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යම් දැඩි තීරණයකට යොමු වනු ඇති බවට අනතුරු ඇඟවූ කරු ජයසූරිය මහතා එසේ වුණොත් එමගින් පීඩාවට පත් වනු ඇත්තේ රටේ පාලකයන් හෝ දේශපාලකයන් නොව අසරණ ජනතාව යැයි ද සඳහන් කළේය.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව පැවැසුවේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් බ්‍රහස්පතින්දා (25) කොළඹ "ජානකී" හෝටලයේ සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම මේ මොහොතේ කතා කරන්නේ බලවත් සිත් වේදනාවකින් බව කිව යුතුයි. මේ වන විට අපේ මවුබිම අවුල් වූ නූල් බෝලයක් වගේ හැම අතකින්ම පටලවලා. එහිදී මූලික වශයෙන් පටලවා ගෙන ඇති අංශ දෙකක් පිළිබදව පමණක් මේ අවස්ථාවේ දී ඔබගේ අවධානය යොමු කරවන්න කැමැතියි. 

එක් අතකින් COVID-19 වසංගතය නිසා ජනතාව මහා පීඩනයකට ලක් වෙලා සිටිනවා. ආර්ථිකය විශාල කඩා වැටීමකට පත් වෙලා. ජීවන වියදම බලවත් ලෙස ඉහළ යෑම නිසා ජනතාව නොකා නොබී ජීවත් වන තත්ත්වයකට පත්ව සිටිනවා. තුන්වේල නොකන පවුල් බොහෝ ගණනක් මේ මොහොත වන විට මේ රටේ සිටිනවා.

එක පැත්තකින් මේ ආකාරයට රට පටලවා ගෙන තියෙද්දී, තවත් අතකින් ලෝකයේ බලවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි සම්බාධක පැණවීම් ගැන ද කතා කරනවා. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදයට මුහුණ දුන් රටක් ලෙස අප එහි බැරෑරුම්කම, එමගින් ඇතිවූ ජීවිත සහ සම්පත් විනාශය හොඳින් වටහා ගෙන තිබෙනවා. ඒ වගේම ලෝකය කියන්නේ අපේ රට පමණක්ම නොවන බව තේරුම් ගත යුතුව තිබෙනවා.

එහිදී බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ කැනඩාව ඇතුළු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාකාරී වන කණ්ඩායමට අයත් රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාව පිළිබද කරන්නා වූ යෝජනාවක ප්‍රථම කෙටුම්පත මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. වාර්තා වන අන්දමට මෙම යෝජනාව පිළිබදව 2021 මාර්තු මස 01 වන දින සාකච්ජා කිරීමට නියමිතයි. ඊට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සියලුම රටවලට ආරාධනා කෙරෙන බව ද සඳහන් වෙනවා.

මෙම යෝජනාවේ සමස්තය පිළිබදව සලකා බැලුව හොත් එහි ඇතුළත් පූර්විකා ඡේද පිළිබදව ගැටලුවක් නොමැති බවක් පෙනී යනවා. එමගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, සමගිය සහ භෞමික අඛණ්ඩතාවය පිළිබදව වන එම රටවල කැපවීම යළිත් තහවුරු කර තිබෙනවා. ඊට අමතරව 2018 වසරේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ඔවුන් කණගාටුව පළ කරන අතරම පසුගිය ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පවත්වා ඇති බව ද පිළි ගෙන තිබෙනවා.

එහෙත් අදාළ යෝජනාවේ ඇතුළත් ක්‍රියාකාරීත්ව ඡේදයන් පිළිබදව සැලකීමේ දී අප රට හමුවේ බලවත් අභියෝගාත්මක තත්ත්වයක් ද දක්නට තිබෙනවා. රටක් ලෙස අප ඒ පිළිබදව බලවත් ලෙස අවධානය යොමු කළ යුතුයි. එහිදී රජය ඉතාමත්ම බුද්ධිමත්ව, පරිණත රාජ්‍ය තාන්ත්‍රික ඥානයෙන් යුතුව රට වෙනුවෙන් අවංකවම පෙනී සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. කිනම් තත්ත්වයකදී වත් එහි දී උද්ධච්ච සහ අමනෝඥ ලෙස ක්‍රියා නොකළ යුතුයි. 

විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියට ගරු කරන සහ ඒ වෙනුවෙන් බැඳී සිටින ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව අතීතයේ සිට තහවුරු කර ගෙන සිටින  ජාත්‍යන්තර ගෞරවය සහ කීර්තිය ආරක්ෂා වන ආකාරයට එහිදී ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ නිසා අප නැවත නැවතත් කියන්නේ ස්වාධීන සහ ස්වෛරී රටක් ලෙස අපගේ අභිමානය ද ආරක්ෂා කර ගනිමින් මේ මොහොතේ බුද්ධිමත්ව සහ රාජ්‍යතාන්ත්‍රික පරිණතභාවයෙන් යුතුව මෙම අභියෝගයට මුහුණ දිය යුතුව ඇති බවයි.

එසේ කටයුතු නොකර අප මේ ප්‍රශ්නය තවත් අවුල් කර ගත හොත් සහ ඒ හේතුව නිසාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යම් දැඩි තීරණයකට යොමු වුව හොත් එමගින් පීඩාවට පත් වනු ඇත්තේ මේ රටේ පාලකයන් හෝ දේශපාලකයන් නොව අසරණ ජනතාවයි. එබැවින් සෑම පාර්ශවයක්ම සාකච්ජාවෙන් සහ සම්මුතියෙන් යුතුව මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ කටයුතු එසේ වුව හොත් එම තත්ත්වය අපට මානසික වශයෙන් විශාල සහනයක් වෙනවා.

අප මෙසේ කියන්නේ මේ සියල්ලටම ආණ්ඩුවට දොස් පැවැරීමට හෝ විවේචනය කිරීමට නොවෙයි. රට හමුවේ ඇති අභියෝගය සියලු දෙනාම තේරුම් ගත යුතුව ඇති නිසයි. මෙවැනි අවස්ථාවක මුළු දේශයම එක්සත් විය යුතුයි. සමඟි සම්පන්න විය යුතුයි. එහෙත්  සත්‍ය තත්ත්වය එසේ නොවෙයි. මේ මොහොත වන විට අප විවිධ කරුණු මත බෙදී සිටින ජාතියක් බවට පත් වෙලා. 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ විශාල අවුලක් ඇති වී තිබෙනවා. මහා සංඝ රත්නය ඇතුළු අන්‍යාගමික ප්‍රජාවේ අති බහුතරයක් ඇතුළු ජන සමාජයේ වැඩි කොටසක් අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඇත්තේ දැඩි විරෝධයක් සහ පිළිකුලක් බව කිව යුතුයි. මා මෙහිදී 20 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයන්ගෙන් එක් කරුණක් විමසීමට කැමතියි. එනම් 20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙකු වෙත අසීමාන්තික බලතල ලබා ගත්තේ රටට ජයග්‍රහණ ලබා දීමට බව කියමිනුයි. ඒ පොරොන්දු වූ ජයග්‍රහණ කිසිවක් ලබා දී තිබෙනවා ද..?  

ඇත්තටම 20 වන සංශෝධන හේතුවෙන් රට ලබා ගෙන ඇති ජයග්‍රහණයක් තිබෙනවා ද..? රටේ ජනතාවගේ අයිතිවාසිකම් ඒ මඟින් තහවුරු වුණා ද..? රට මුහුණ දෙන ආර්ථික අර්බුදය ජය ගන්න 20 වන සංශෝධනය පිටුවහලක් වී තිබෙනවා ද..? COVID-19 වසංගතය මර්දනය කරන්න ඒ මඟින් ලබා ගෙන ඇති පිටු බලය කුමක් ද..? රටේ මහා ජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න  එසේත් නොමැති නම් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරන්න ඒ මඟින් පුළුවන් වුණා ද..? ජීනිවා අභියෝගයට මුහුණ දෙන්න 20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙකු ලබා ගත් අසීමාන්තික බලයට හැකියාවක් තිබෙනවා ද..?

නමුත් 20 වන සංශෝධනය මඟින් ඒ සියල්ලම ආපසු හරවා තිබෙනවා. රටේ නීති සම්පාදනය කරන ආයතනය පුරන් වූ කුඹුරක් කරමින් මහා ජන නියෝජිතයන් ඒ වටා සිටුවා තබන පඹයන් බවට පත් කර තිබෙනවා. අධිකරණය පත් කර ඇති තත්ත්වය ගැන මා මෙහිදී අමුතුවෙන් කිව යුතුද..? නැහැ..! 

රටේ ආර්ථිකය, ඉතිහාසයේ කිසිදු යුගයක දකින්නට නොතිබූ ආකාරයට ප්‍රපාතයට ඇද වැටෙමින් තිබෙන ආකාරයක් දකින්නට තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ගත් විට ද මේ වන විට අපේ රට බොහෝ ගෞරවණීය මිතුරන් අහිමි කර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ලෝකයේ හුදකලා වෙමින් පවතින රටක් බවට පත් කරමින් සිටිනවා. 

ඊට අමතරව මුස්ලිම් ප්‍රජාවගේ පාරම්පරික චාරිත්‍රවලට බාධා කරමින් භූමදානයට ඉඩ නොදෙන ලෝකයේ එකම රට වශයෙන් අපේ රටට ලෝක මුස්ලිම් රටවලින් සහ එම ජනතාවගෙන් විරෝධය දැඩි ලෙස එල්ලවී තිබෙනවා. වාර්තා වන පරිදි විශේෂඥ කමිටුව පවා මේ ගැන සුබවාදී ආකල්පයක් දැරුවත්, ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තු සභා ගර්භයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත් ඒ සම්බධයෙන් රාජ්‍ය අමාත්‍යවරියක් සහ මන්ත්‍රීවරියක් කළ ප්‍රකාශ හේතුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමා වගේම පාර්ලිමේන්තුව ද හෑල්ලු කර තිබෙනවා. 

මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ රජයේ තීරණ ගැනීමේ ශක්තියේ ස්වභාවයයි. එමෙන්ම මේ ක්‍රියාකාරකම් හේතුවෙන් අගමැති ඇතුළු ආණ්ඩුවේ ද, පාර්ලිමේන්තුවේ ද කීර්ති නාමයට විශාල හානියක් වුණා. මේ කරුණු බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතුයි. භූමිදානය ගැන රජයට ස්ථිර තීරණයක් ගත හැකියි.

එමෙන්ම 20 වැනි සංශෝධනය නිසා ඇති වූ මහා විනාශය තවත් මහා විනාශයක ආරම්භය ද විය හැකියි. ඉහත සඳහන් කරුණු දෙකම ජිනීවා යෝජනාවලට ඇතුළත් වී තිබීම මඟින් ඒ බව පෙනෙනවා. මේ සිද්ධීන් ඇති වුණේ වර්තමාන පාලනය යටතේයි. එම නිසා ඒ කරුණු දැඩි අධ්‍යනයට ලක් කිරීම මේ අවස්ථාවේ ගත හැකි බුද්ධිමත් පියවරක් ලෙස අප දකිනවා.

නමුත් කණගාටුවට කරුණ වන්නේ රට වෙලා ගෙන ඇති එවැනි ගිණි නිවනවා වෙනුවට බල ලෝභයෙන් මත් වුණ කිහිපදෙනෙක් ඒ ගින්නෙන් ගිනි තපිමින් ඒ ගින්දර තව තවත් අවුල වන ආකාරයක් ද දකින්නට තිබීමයි. සිය කඳවුරට සහ කල්ලියට අයත් නොවන වෙනස් මත දරන්නා වූ දේශපාලනඥයන්  දඩයම් කිරීම සඳහා ඔවුන් දක්වන උනන්දුව සහ අපේක්ෂාව සලකා බලන විට ඒ බව තේරුම් ගත හැකියි.

උපාලි අබේරත්න කොමිෂන් වාර්තාව අප දකින්නේ අධිකරණයට කරන ලද දරුණුතම අපරාධය සහ අපහාසය ලෙසයි. ලෝකය මේ කොමිෂන් සභා වාර්තාව දකින්නේ මහා විහිළුවක් ලෙසයි.  බලයට ගිජු රජයේ කිහිපදෙනෙකුට අවශ්‍යව ඇත්තේ විපක්ෂයේ කොන්ද කඩා විරුද්ධ මතධාරීන්ගේ ප්‍රජා අයිතිය අහිමි කරමින් මේ රටේ සදාකාලික ඒකාධිපති ආණ්ඩුවක් ඇති කිරීමටයි.

මෑත වකවානුවේ දී දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් ද ශ්‍රී ලංකා අධිකරණය ලබා ගත් දැවැන්ත පිළිගැනීමට සහ ගෞරවයට උපාලි අබේරත්න නිර්දේශ මගින් සිදු කර ඇත්තේ දැවැන්ත හානියක් බව කිව යුතුයි. මේ තත්ත්වය අප අතර බලවත් වේදනාවක් ඇති කර තිබෙනවා. මෙම තත්ත්වය මත වුවත් අපේ අධිකරණය කෙරෙහි බලවත් විශ්වාසයකින් යුතුව අප කටයුතු කරන බව මෙහිදී වගකීමකින් යුතුව සඳහන් කරනවා. අධිකරණයෙන් අප ඉල්ලා සිටින්නේ එම විශ්වාසය තවදුරටත් තහවුරු කරන ලෙසයි.

ඒ අනුව මේ මොහොත වන විට මේ රට විනාශය කරා රැගෙන යමින් සිටින බල ලෝභි කිහිපදෙනාට අප කියන්නේ 3/2 ගැන උදම් වෙන්න එපා. මේ අවාසනාවන්ත අවස්ථාවේ රටට ගිනි තියන්න එපා. අප මේ අදහස් පළ කරන්නේ රටට ආදරය කරන, මේ රටේ මිහිදන් වන්න බලාපොරොත්තු වන පුද්ගලයින් වශයෙනුයි. ගෞරවනීය මාදුළුවාවේ සෝභිත  හිමිපාණන් පැතූ යුක්ති ගරුක නීති ගරුක සාදාචාර සම්පන්න රටක් බිහි කර ගැනීමේ උදාර පරමාර්ථය ඇතිවයි. ඒ පරමාර්ථය සාර්ථක වනු දැක්ම අප සංවිධානයේ ඒකායන පරමාර්ථයයි.

 

Advertiesment