Tuesday 20th of April 2021

English Tamil
Advertiesment


පොහොට්ටුවත් එක්ක යළි පවුල් කෑමක් නැහැ -ශ්‍රීලනිපය-


2021-02-25 4451

මෛත්‍රීට එරෙහි පාස්කු ප්‍රහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි 

 

දේශපාලන පළි ගැනීමක්-ශ්‍රීලනිපය වැනසීමට ඉඩ දෙන්නේ නැහැ 

 

ජනපති ප්‍රධාන ආණ්ඩුව ජනතාව අතර පිරිහිලා

 

මුළු ශ්‍රීලනිපයම මෛත්‍රී එක්කයි   

 

ශ්‍රීලනිපයේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් 

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

අනාගතයේ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග යළි සන්ධානයකට නොයා යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව සහ දැඩි ලෙස තීරණය කර තිබේ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඒ ඒ මැතිවරණ සඳහා සන්ධාන ලෙස තරඟ වැදීමේ අවශ්‍යතාවයක් මතු වන්නේ නම් ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුත්තේ සිය නායකත්වය යටතේ පුළුල් දේශපාලන සන්ධානයක් බිහි කිරීම විනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු කිසිම දේශපාලන පක්ෂයක මූලිකත්වය යටතේ සන්ධාන ගත වීම නොවන බව ද එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ තීරණය ගෙන ඇත්තේ, 2019 අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීය යුතු බවට සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව කර ඇති නිර්දේශයත් සමග උද්ගත වී ඇති තත්ත්වය මතය.

ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව කර ඇති එම නිර්දේශය තරයේ ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, ඊට පසුබිම් වී ඇති දේශපාලන වාතාවරණය, කරුණු කාරණා, හේතූන් සහ ඒ පිටු පස ක්‍රියාත්මක අදිසි හස්ථය ගැන විශේෂ අවධානය යොමු කරමින් දැඩි ලෙස අවධාරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුව සමග සාකච්ඡා කරමින් කේවල් කිරීම හෝ අතරමැදි එකඟතාවලට නොපැමිණිය යුතු බවය.

මෙම තීන්දු තීරණ ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මූලස්ථානයේ දී බදාදා (24) සවස පැවැති අතර එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි පූර්ණ විශ්වාසය සහ සහයෝගය පළ කෙරිණ.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල කර තිබෙන මෙම පදනම් විරහිත, අභූත සහ අසත්‍ය චෝදනාවට පක්ෂයක් ලෙස ශක්තිමත්ව, සමගි සම්පන්නව සහ එකට එක්ව මුහුණ දිය යුතු බව අවධාරණය කළ මධ්‍යම කාරක සභාව මේ සම්බන්ධයෙන් සියලු කරුණු කාරණා සොයා බලා ඊට මුහුණ දීමේ සහ ඊට අදාළව සියලු නීතිමය පියවර ගැනීමේ බලය පක්ෂයේ නීති අංශයට පවරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එකට ඒකරාශී කරමින් පක්ෂයේ සංවිධාන කටයුතු රට පුරා වේගවත් කිරීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා විනාශ කිරීමට තව දුරටත් ඉඩ නොතැබිය යුතු බව තීරණය කළ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා ප්‍රධාන වත්මන් ආණ්ඩුව ජනතාව අතර ඉතා වේගයෙන් පිරිහීමට ලක් වෙමින් පවතින බව ද අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවැනි තීරණයක් ගැනීමට යන බව, "පොහොට්ටුවට එරෙහිව බුලත් කොලය කරළියට" යන ශීර්ෂය යටතේ "lankanewsweek" මුලින්ම හෙළිදරව් කර සිටියේ 2021.02.11 වැනිදා වන අතර  http://lankanewsweek.com/news_view.php?news_id=6135&cat_id=4 යන දිගුව ඔස්සේ පාඨක ඔබට එම ප්‍රවෘත්තියට පිවිසිය හැකිය.   

 

 

 

Advertiesment