රටක් ලෙස ශ්‍රී ලංකාව පිළි ගෙන තිබෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය (ICCPR) අනුව ඕනෑම නඩු තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනය කිරීම සඳහා එක අවස්ථාවක් හෝ ලබා දිය යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (23) පෙන්වා දුන්නේය.
අධිකරණයට අපහස කළේ යැයි කියන චෝදනාව මත තමාට එරෙහිව ලබා දුන් අධිකරණ තීන්දුවට අදාළව රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම්පතක් ඉදිරිපත් කළේ ඒ අනුව යැයි කියා සිටී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු පාර්ලිමේන්තුවේ වාඩි කරවනවාද, නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමේ බලය සහ වගකීම තිබෙන්නේ කතා නායකතුමාට විනා අධිකරණයට නොවේ යැයි ද පෙන්වා දුන්නේය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
"ගරු කතා නායකතුමනි...එස්.බී දිසානායක මහතාගේ නඩුව පිළිබඳව ජෝන් සෙනෙවිරත්න මන්ති‍්‍රතුමා කතා කළා. නමුත් මම මතක් කරන්න කැමතියි ඒ කාලයේ අපේ රට "ICCPR" හෙවත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුති (INTERNATIONAL COVENANT ON CIVIL AND POLITICAL RIGHTS) නීතිය පිළි ගෙන තිබුණේ නැහැ. රටක් ලෙස අප "ICCPR" නීතිය පිළි ගත්තේ, එස්.බී දිසානායක මහතාගේ සිද්ධියෙන් පස්සේ. ශ්‍රී ලංකාෙව් ඕනෑම නඩුවකට එක් අභියාචනයක් හෝ ලබා දිය යුතුයි කියලා මේ පාර්ලිමේන්තුවේ අපි පනතක් සම්මත කරලා තියෙනවා. ඒ අනුවයි රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම්පතක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊළඟ කාරණය තමයි මන්තී‍්‍රවරයකු පාර්ලිමේන්තුවේ වාඩි කරවනවාද, නැද්ද යන්න පිළිබඳ වගකීම තිබෙන්නේ කතා නායකතුමාටයි. අධිකරණයට ඒ සම්බන්ධ බලයක් ඇත්තේ නැහැ."
Lanka Newsweek © 2021