Friday 5th of March 2021

English Tamil
Advertiesment


රට-ජනතාව නොදන්නා ඇත්ත අර්බුදය මෙන්න


2021-02-19 1657

රටේ ඉහළම ස්ථරයේ 20%ක් ජාතික ධනයෙන් 55%ක් භුක්ති විඳිනවා 

 

පහළම ස්ථරයේ 20% ට හිමි වන්නේ ජාතික ධනයෙන් 4.5% යි 

 

ලොව ලොකුම ධනවතුන් දස දෙනා CORONA අස්සේ ඩොලර් බිලියන පන්සියයකින් ආදායම වැඩි කර ගෙන 

 

ලොව ධනවත්ම 1% ට හිමි ධනයේ ප්‍රමාණය ඉතිරි 99% ට අයත් ධනය වගේ දෙගුණයක් වෙලා 

 

1% ජන ගහනය කෝටි 7යි - 99% කෝටි 697යි  

 

දවසකට ඩොලර් තුනට අඩුවෙන් උපයන ලෝක ජන ගහනය 30% යි 

 

50%ක් ම උපයන්නේ ඩොලර් පහට අඩුවෙන් 

 
 
(බිඟුන් මේනක ගමගේ)

 

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් ආචාර්ය ජී වීරසිංහ මහතා සමග පැවැත් වූ සාකච්ඡාවකින් සකස් කෙරුණු මේ ලිපිය "ලංකාදීප" පුවත්පතේ පළ වූ ලිපියක් වන අතර එම ලිපිය අවශ්‍ය පරිදි සංස්කරණය කර නව ශීර්ෂ පාඨ ද යොදා "lankanewsweek" මෙසේ පළ කර සිටිමු. 

ඇති නැති පරතරය වැඩි වෙමින් දරිද්‍රතාව උග්‍ර වෙමින් ලෝක ජන ගහනයෙන් විශාල පංගුවක් දැවැන්ත ජීවන අර්බුදයකට මේ වන විට මුහුණ පා සිටී. ඊට කදිම නිදසුනක් නම් කොරෝනා වසංගතය නිසා හට ගත් ආර්ථික අවපාතය හමුවේ ද ලොව ධනපතින්ට ගැටලුවක් නොවීමය. සිදුව ඇත්තේ ඔවුන්ගේ මඩිය තවත් තරවීමය. 

ලොව ප්‍රධානතම ධනපතින් දස දෙනාගේ ධනය මේ කාලයේදී ඩොලර් බිලියන පන්සීයකින් ඉහළ ගොස් ඇත. ලොව ධනවත්ම සීයට එකේ වත්කම්වල ප්‍රමාණය ඉතිරි සීයට අනූ නවයේම ධනය වගේ දෙගුණයක් යැයි වාර්තා වේ. ධනවත්ම සීයට එක නියෝජනය කරන්නේ ලෝක ජන ගහනයෙන් කෝටි 7කි. සෙසු ජන කොටස කෝටි 697කි. ඉතින් මේ තිබෙන්නේ සාධාරණ ලොවක්ද කියා අප සිතිය යුතුය.

ප්‍රධානතම ධනපතින් වැඩි කර ගත් ඩොලර් බිලියන පන්සීයේ ලාභයෙන් පමණක් මුළු ලෝකයටම කොරෝනා එන්නත් ලබා දිය හැකිය. නොඑසේ නම් එම මුදලින් වසංගතය හේතුවෙන් ඇති වූ ගෝලීය ආර්ථික අවපාතයෙන් එළියට එන්නට හැකිය. එහෙත් ලෝකයේ ඉරණම වෙනස් කළ හැකි මේ ධනය මේ වන විට තිබෙන්නේ පුද්ගලයන් දස දෙනකු අතේය. දවසකට ඩොලර් තුනකට අඩුවෙන් උපයා ජීවත්වීමට ලෝක ජන ගහනයෙන් සියයට තිහකට සිදු වෙද්දී සියයට පනහක ජන කොටසක් ජීවත් වන්නේ ඩොලර් පහකට වඩා අඩුවෙන් උපයමිනි.  ඉතින් මේ සාධාරණ ලොවක්ද..?

ලෝකය ගැන කියමින් පිවිසුමක් ගත්ත ද අපේ රටේ තත්ත්වයේ ද ඊට වෙනසක් නැත. අපේ රට දැවැන්ත අර්බුදයක ඇති බව පැහැදිලිය. කොරෝනා නිසා ඒ අර්බුදය උග්‍ර වී ඇත. එහෙත් අර්බුදයට හේතුව කොරෝනා නොවේ. කොරෝනා පැමිණෙන විටත් අප සිටියේ අර්බුදයකය. රටේ ජාතික ආදායම අඩුවීම එහි ප්‍රධාන කරුණකි. 

1978 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 24%ක් ජාතික ආදායම නියෝජනය කළේය. 1989 දී 20%ක් වූ එම ආදායම 1995 දී 16% ක් වී, 2010 වන විට 14% දක්වා පහළ බැස 2015 දී 12%ක අගයක් ගත්තේය. 2020 දී එම අගය 9%  දක්වා තනි ඉලක්කමකට පැමිණියේය. එහෙත් මෙහිදී උභතෝකෝටික කරුණක් අපට දකින්නට ලැබේ. ඒ ජාතික ආදායම අඩු වෙමින් යද්දී, ඒකපුද්ගල ආදායම තුන් හතර ගුණයකින් වැඩිවීමයි. 

මේ රටේ ඉහළම ස්ථරයේ සිටින 20% ක පිරිසක් ජාතික ධනයෙන් 55%ක් අත්පත් කර ගනිද්දී, පහළම ස්ථරයේ වෙසෙන 20%ක ජනයාට හිමි වන්නේ ජාතික ආදායමින් 4.5ක්%ක් වැනි සොච්චමකි. මේ ලෝකය නිර්මාණය වුණේ කොරෝනා වසංගතයෙන් නොවේ. හැත්තෑව දශකයේ සිටම දියත් වූ ආර්ථික ක්‍රමය නිසාය.

1978 අප තේරුම් ගන්නේ විවෘත ආර්ථිකයේ ආරම්භක කාල පරිච්ඡේදය හැටියටය. එහෙත් වඩාත් නිවැරැදිව කියන්නේ නම් මේ අවධිය යනු වොෂිංටන් සම්මුතියේ එකඟතා ලොව පුරා බල පැවැත් වෙමින් තිබූ කාලයයි. විවෘත ආර්ථික ක්‍රමයට ප්‍රවේශ මාර්ගය සැකසුවේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් සහිතව එක්සත් ජාතික පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතාය. නිදහස් වෙළෙඳ පොළ ක්‍රමයක් මත පදනම් වූ මෙම ආර්ථික ක්‍රමයේ ගාමක බලවේගය හැටියට සැලකුණේ පෞද්ගලික අංශයයි. පෞද්ගලික අංශයට සහන සැලැසීම හරහා ඔවුන් ඒකරාශි කර ගන්නා ලාභය ආයෝජනය කරනු ඇතැයි එම ක්‍රමය යටතේ අපේක්ෂා කෙරිණි.

මෙසේ පෞද්ගලික ධනපතින් වැඩි වැඩියෙන් ආයෝජන කරද්දී, රැකී රක්ෂා බහුල වී රටේ දුප්පත්කම අහෝසි වනු ඇතැයි ද ඔවුහු කීහ. ඉහළ සිට පහළට යහපත් ප්‍රතිඵල කාන්දු වන්නේ යැයි කී මේ ක්‍රමය "ට්‍රික්ල් ඩවුන්" න්‍යාය නම් විය. ඒ අනුව පෞද්ගලික අංශයට සහන දීම සඳහා ආණ්ඩුව ගත් මූලික පියවරක් වූයේ බදු ක්‍රම මුළුමනින් වෙනස් කිරීමය. ඒ යටතේ ධනපතින්ට බදු අහෝසි, බදු කප්පාදු, බදු සහන සහ බදු විරාම හිමි විය. 

විශේෂයෙන්ම 1978 වන විට ඍජු බදු හෙවත් ආදායම් බදුවල උපරිම සීමාව තිබුණේ 60%ක ය. එම සීමාව වේගයෙන් අඩු කළ අතර අද වන විට එම සීමාව 18% දක්වා පහළ බැස ඇත. රාජ්‍ය ආදායම අඩු වීමට බලපෑ තවත් හේතුවක් වූයේ තීරු බදු කප්පාදුවයි. තීරු බදු විශාල වශයෙන් අඩු කළේ වෙළෙඳාම නිදහස් කළ යුතුය යන තර්කයේ පිහිටාය. සුරා බදු ගත්තත් එසේය. ඒ අනුව රටේ ජාතික ආදායම පහළ යෑමට බදු ආදායම අහිමි කර ගැනීම කෙතරම් බලපෑමක් කර ඇති දැයි සිතා ගත හැකිය.

රාජ්‍ය අංශය ආර්ථිකයෙන් ඉවත් කර ගැනීම ද වොෂිංටන් සම්මුතියේ තවත් එකඟතාවකි. එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ආර්ථික පරාභවයට බලපෑවේය. 1978 වන විට වානේ, ටයර්, සිමෙන්ති, රෙදිපිළි ආදී වශයෙන් ශ්‍රී ලංකා රජයට අයිති විශාල කර්මාන්ත ක්‍ෂේත්‍රයක් තිබිණි. ජනතාකරණය ආදී විවිධ සන්නාම යටතේ මේ කර්මාන්ත පෞද්ගලික අංශයට දුන්නේ විවෘත ආර්ථික ක්‍රමය යටතේය. සෝවියට් සංගමයෙන් තිළිණ කළ ඇතැම් කර්මාන්ත පෞද්ගලික අංශයට දී තිබුණේ කුණු කොල්ලයටය. පුනරාවර්තන වියදම්වලට සේම සංවර්ධන වැඩවලටත් හොඳ රාජ්‍ය ආදායමක් අවශ්‍යය. ඉතින් ඒ රාජ්‍ය ආදායම අහිමි කර ගත් රජය අනතුරුව කළේ ණය ගැනීමය. නිදහස් වෙළෙඳ පොළ ගැන පුරෝකථන කරමින් එදා අපේක්ෂා කළ ප්‍රධාන අංගයක් වූයේ අපනයන ආර්ථිකයක් නිර්මාණය කිරීමයි.

එහෙත් අවසානයේදී සිදු වුණේ කුමක්ද..? අපනයනයෙන් ලබා ගන්නා ආදායම වගේ දෙගුණයක ධනයක් ආනයන සඳහා විදේශයන්ට වැය කිරීමය. කෙටියෙන් කිව හොත් ආනයන ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමය. එහි ප්‍රතිඵලය වූයේ ආනයන අපනයන අතර පරතරය හේතුවෙන් අවාසිදායක වෙළෙඳ ශේෂයක් ඇති වීමය. මේ අතර අපට විදේශ විනිමය ලැබෙන ප්‍රමාණය ද අඩුව තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප්, සංචාරක කර්මාන්තය, තේ, පොල්, රබර් ආදී අපනයන මූලාශ්‍ර කීපයකට සීමා වී ඇති අපේ විදෙස් විනිමය වේගයෙන් අඩු වෙමින් ඇත. මේ නිසා නැවතත් අයවැය හිඟයක් ඇති වන අතර එම හිඟය පියවා ගන්නේ නැවතත් ණය ගැනීමෙනි.

1978 වන විට ශ්‍රී ලංකාවේ බාහිර ණය පංගුව තිබුණේ ඩොලර් මිලියන 740ක් හැටියටය. වසර දහයක ඇවෑමෙන් 1988 වන විට එම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5000 දක්වා වැඩි විය. 2020 වන විට එම ණය පංගුව ඩොලර් මිලියන 57 000කි. අභ්‍යන්තර ණය පංගුව ට්‍රිලියන 15ක් පමණය. මේ විශාල ණය බර ගෙවා ගත නොහැකිව සිටින ශ්‍රී ලංකාව නැවතත් කරන්නේ අලුතින් ණය ගැනීමය. රජය සතු ව්‍යවසාය වෙනත් පාර්ශ්වයන්ට පවරන්නට සිදු වන්නේත් මෙහි ප්‍රතිඵලයක් හැටියටය.

කොරෝනා වසංගතය විසින් සිදු කරනු ලැබුවේ මෙකී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරනු ලැබීමය. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් අඩුවෙද්දී, සංචාරක කර්මාන්තය කඩා වැටෙද්දී රට අභ්‍යන්තරයේ සියලු නිෂ්පාදන ක්‍ෂේත්‍රවලට ද වසංගතයේ බලපෑම එල්ල විය. මේ නිසා සැලකිය යුතු ජන පිරිසක් මේ මොහොත වන විට සිටින්නේ සිය ආදායම් අහිමිවය. මේ තත්ත්වයෙන් වැඩිපුරම බැට කන්නෝ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට හැටක් නියෝජනය කරන අවිධිමත් අංශයේ ශ්‍රමිකයෝය. 15% ක් වූ රාජ්‍ය අංශයටත් 25% ක් වූ විධිමත් පෞද්ගලික අංශයටත් කිසියම් හෝ වැටුපක් ලැබේ. ජන ගහනයෙන් 255 ක පමණ පිරිසක් රාත්‍රියට නින්දට යන්නේ කුසට අහරක් නැතිවය. මුළු ලෝකයේම තත්ත්වය මෙයයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නොබෝදා පැවසුවේ ද, ලෝකය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න තුනක් ඇති බවය. ඒ අතරින් පළමු වැන්න කොරෝනා වසංගතය යැයි කී ඔහු දෙවැනි කරුණ හැටියට දැක් වූයේ දිළිඳු රටවල තත්ත්වයයි. තෙවැනි කරුණ හැටියට දැක් වූයේ ගෝලීය උණුසුමයි. මේ කරුණු තුනට අමතරව ගත්ත ද ලෝක පරිමාණයෙන් උග්‍ර වන අර්බුද නැතිවා නොවේ. 

උදාහරණයකට වාස භූමියක් නැතිව ජීවත් වන සරණාගතයන්ගේ ප්‍රශ්නය සරල නැත. රටක් නැතිව එහා මෙහා නන්නත්තාර වී සිටින ජනකාය මිලියන 80 ක් තරම් සංඛ්‍යාවෙන් විශාලය. පලස්තීනයේ පමණක් එසේ මිනිසුන් සරණාගතයන්ව සිටින්නේ වසර ගණනක් තිස්සේය. මේ තත්ත්වයන්ට හේතු වී තිබෙන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයි. ඉරාකයෙන්, සිරියාවෙන්, ලිබියාවෙන් මේ ආකාරයට ජනයා විතැන් වී සිටින්නේ අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධ නිසාය. නොඑසේ නම් ඔවුන්ගේ දේශපාලන සහ ආර්ථික ව්‍යාපෘතිවල බලපෑම් නිසාය. 

ගෝලීය ත්‍රස්තවාදය යනු පැහැදිලිවම එක් අවධියකදී සෝවියට් සංගමයට එරෙහිව අධිරාජ්‍යවාදීන් ඇට වූ මර උගුලකි. අද එම ව්‍යාපෘති ඔවුන්ගේ පාලනයෙන් බැහැරව ස්වායත්ත වී තිබේ. පිහි ඇනුම්, රිය අනතුරු, වෙඩි තැබීම්වල සිට බෝම්බ ප්‍රහාර දක්වා දියත් වන ගෝලීය ත්‍රස්තවාදයේ මුහුණුවර විවිධය. පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ද ඊට එක් නිදසුනකි.

ශ්‍රී ලංකාවේ අර්බුදයට අදාළව ගත හොත් අප විමසිය යුත්තේ මේ ඇත්ත රටට නොකියන්නේ ඇයිද කියාය. අයවැය වාර්තාවේදී මේ කරුණු සාකච්ඡා නොකරන්නේ ඇයිද කියාය. ඇත්ත වශයෙන්ම රටේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පළමුව කළ යුත්තේ මෙබඳු අර්බුදයක් ඇති බව ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමය. ප්‍රශ්නයකට විසඳුම් සොයන්නට නම් ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම අත්‍යවශ්‍යය. එසේ නම් මේ අර්බුදය නොසඟවා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගත යුතුය.

එහෙත් ඔවුහු ඊට කැමති නැත. ඊට හේතුව නම් ප්‍රශ්නය ගැන කතා කරන්නට යාමේදී ගත වූ වසර හතළිහක් වැනි ඉතිහාසයෙහි පක්ෂ භේදයෙන් තොරව මෙම තත්ත්වය නිර්මාණයට සියලු පාර්ශ්ව දායක වී ඇති බව පිළිගැනීමට සිදු වීමය. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද කියා වෙනසක් නැතිව බැලුව හොත් මේ සියලු දෙනා ගමන් කර ඇත්තේ මූලික ආර්ථික රාමුවකය. 

ඒ රාමුව නම් නව ලිබරල්වාදයයි. එසේ නම් අප මේ මොහොතේ සිතිය යුත්තේ තව දුරටත් අප මේ පාරේම යනවාද කියාය. රෝගයකට නියම කරන ඖෂධ ඇතැම් අවස්ථාවල වරදින්නට ද පුළුවන. එහෙත් එවිට එම ඖෂධයම වැඩි මාත්‍රාවකින් දෙන සිරිතක් නැත. නව ලිබරල්වාදය නමැති පිළිතුරත් එසේය. කොරෝනා වසංගතය විසින් සිදු කරනු ලැබුවේ මෙම අර්බුදය වඩාත් විචිත්‍රවත් ලෙස ලෝක පරිමාණයෙන් හෙළිදරව් කරනු ලැබීමය. තට්ටු මාරුවට හොරකම් කරන තට්ටු මාරුවට වංචා කරන දේශපාලන ක්‍රමය ද මේ නව ලිබරල්වාදී වැඩ පිළිවෙළේම ප්‍රකාශනයකි. එදා මහ බැංකු වංචාවයි. අද සීනි බදු වංචාවයි. පුද්ගලයන් මාරු වීම හැරුණු විට ක්‍රමයේ වෙනසක් නැත.

ආනයන සීමා කර ග්‍රාමීය කෘෂිකර්මාන්තය අංශයෙන් යම් යම් වැඩ පිළිවෙළ දියත් වීමක් අපට දකින්නට ලැබේ. ඒවා නරක නැතත් පැලැස්තරය. මූලික ආකෘතියේ වෙනසක් නැතිව මේ ගමන වෙනස් කළ නොහැකිය. නිදසුනකට ගත හොත් මේ ආණ්ඩුව ද බලයට පැමිණි පසු ඍජු බදු අඩු කළේය. ඇත්තටම මේ මොහොතේ බදු ගෙවන්නෝ මේ රටේ සාමාන්‍ය මිනිස්සුය. ජීවන අරගලය හමුවේ ඔවුන් සිටින්නේ දැඩි පීඩාවකිනි. අඩු කරන්නට නොහැකි යැයි කියන හාල් සහ එළවළු මිල ගණන් අඩු කරන්නට සමුපකාර ක්‍රමය හරහා කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමයි.

අප නිදහස් වෙළෙඳ පොළ වසා දමන්නට කියන්නේ නැත. එහෙත් ධන කුවේරයන්ගෙන් විශාල වශයෙන් බදු අය කර පොදු ජනයා පීඩාවෙන් මුදා ගැනීම කළ යුතුය. ඒ සඳහා විධිමත් සැලසුම් අවශ්‍යය. එහෙත් දැනට ප්‍රතිපත්ති සම්පාදකයන්ට එවැනි සැලසුමක් නැත. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්ති නැත. භූමිය වගේ විසි තුන් ගුණයක් වූ දේශීය මුහුද වුව දැන් තිබෙන්නේ අත්හැර දමාය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නය යනු මේ අර්බුදය මනාව ප්‍රකාශයට පත් කරනු ලබන සිදු වීමකි. කොළඹ වරාය යනු මේ රටේ වමේ ව්‍යාපාරය දැවැන්ත අරගලයකින් ජන සතු කළ ජාතික සම්පතකි. අවසානයේදී එස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක මහතාට ජීවිතය දෙන්නට සිදු වුණේ ද ඒ නිසාය.

එහෙත් ඒ අරගලයෙන් රටට පමණක් නොව ලෝකයටම දියුණු වරායක් නිර්මාණය විය. එහි සංවර්ධනය කළ යුතු කොටසක් වෙනුවෙන් ඩොලර් මිලියන 700 කට අවුරුදු තිස් පහක කාලයකට එම කොටසින් 49% ක පංගුවක් පෞද්ගලික අංශයට දීම යනුම රාජ්‍ය අයිතියෙන් නිදහස්වීමය. මේ පරණ කතාවමය. ඉන්දු-ඇමෙරිකානු භූ දේශපාලනික වුවමනා ඉටු කරමින් ඉන්දීය සාගරයේ බලය අත්පත් කර ගැනීම අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවයි. එකී අධිරාජ්‍යවාදී වුවමනා පිටු දැක ජනතා ප්‍රශ්නවලට රජය ඍජුවම මැදිහත් වීම ඉක්මනින් විය යුතුය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හැටියට අප අවධාරණය කරන්නේ තවදුරටත් මේ පාරේම යන්නට ඉඩ දිය නොහැකි බවය. රාජ්‍ය වගකීමෙන් නිදහස් වන නව ලිබරල්වාදී ගමන් මාර්ගයෙන් මිදී විකල්ප මගක් ගත යුතු බවය.

Advertiesment