Monday 19th of April 2021

English Tamil
Advertiesment


රාජ්‍ය සේවය මර්දනය කර ප්‍රජාත්නත්‍රවාදය තහවුරු කරනු බැහැ 


2021-02-18 7642

ප්‍රජාතන්ත්‍රවාදී රටකට රාජ්‍ය සේවයෙන් තොර පැවැත්මක් නැහැ 

 

රාජ්‍ය සේවයට කළ හැකි- හමුදාවට කළ නොහැකි වැඩ තිබෙනවා 

 

හමුදාවට කළ හැකි- රාජ්‍ය සේවයට කළ නොහැකි වැඩ ද තිබෙනවා 

 

රාජ්‍ය සේවය මර්දනය කරමින් යන්නේ ඒකාධිපති වාදයටයි 

 

රාජ්‍ය සේවයයි හමුදාවයි කළමනාකරණය කරන්නේ මෙහෙමයි-කරූගෙන් ජනපතිට පාඩමක් 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

රාජ්‍ය සේවය මර්දනය කර රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නොහැකි අතර ස්වාධීන, විධිමත් සහ අපක්ෂපාතී රාජ්‍ය සේවයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී රටකට පැවතීමට ද නොහැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. 

රාජ්‍ය සේවය මර්දනය කරමින් රජය ගමන් කරන්නේ ඒකාධිපති පාලනයක් කරා යැයි අනතුරු ඇඟ වූ කරු ජයසූරිය මහතා, සිවිල් නිලධාරීන්ට කළ හැකි- හමුදා නිලධාරීන්ට කළ නොහැකි සහ හමුදා නිලධාරීන්ට කළ හැකි- සිවිල් නිලධාරීන්ට කළ නොහැකි කාර්යභාරයන් තිබෙන බව ද පෙන්වා දුන්නේය. 

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව පැවැසුවේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (18) සංවිධානය කෙරුණු රාජ්‍ය සේවය රැක ගැනීම සඳහා වූ සම්මන්ත්‍රණයේදී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 
 
රාජ්‍ය සේවයේ වර්තමානයේ ඇති වෙමින් පවතින අසහනය සහ දේශපාලනීකරණය කිරීමට ගන්නා උත්සාහය නිසා අන්තර්ජාතික ගෞරවය උපයා ගත් මුළු රාජ්‍ය සේවයම මහා ගරා වැටීමකට පත්වීම ගැන අප බලවත් සේ කණගාටු වනවා. මේ තත්ත්වයට එරෙහිව වෙනුවෙන් පෙනී සිටින ලෙසට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් කෙරුණු විවිධ ඉල්ලීම් නිසා රාජ්‍ය සේවයේ සියලු කොටස් එකට එක් කර මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට අප තීරණය කළා.
අප කරන්නේ ජාතික වගකීමක් ඉටු කිරීමයි. එම නිසා මේ ක්‍රියාදාමය ගැන බලධාරීන් හෝ වෙනත් කිසිවෙකු කලබල විය යුතු නැහැ. මේ දිනවල රාජ්‍ය සේවය හමුදාකරණය කිරීම ගැනද විවිධ අංශවලින් චෝදනා නැගෙනවා. ආරක්ෂක හමුදාවත්, රාජ්‍ය සේවයේම කොටසක් බව ඇත්ත. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස අප රටේ යහ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට සහ ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා ඒ සෑම ආයතන පද්ධතියක්ම ඉතා මැනවින් පාලනය කර ගත යුතුව තිබෙනවා.

නූතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ සිවිල් සේවය සහ රාජ්‍ය සේවය පක්ෂ දේශපාලනයෙන් සේම එක් පුද්ගල ආධිපත්‍යයකට නතු නොවී ස්වාධීන සහ ඊට අනන්‍ය වූ ස්වරූපයකින් ක්‍රියාත්මක වනවා. එවැනි රටවල ආණ්ඩු වෙනස් විය හැකි වුවත්, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා සිවිල් සහ රාජ්‍ය සේවය ද ප්‍රජාතන්ත්‍රවාදී මූලික හරයන්ට අනුගතව ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා සැදී පැහැදී සිටිනවා.

එමෙන්ම රටක ආරක්ෂක හමුදාවන් ඒ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ ස්වාධිපත්‍යය බලය ආරක්ෂා කර ගැනීම උදෙසා අත්‍යන්තයෙන්ම බැඳී සිටිනවා. ඊට ආවේනික වූ අසමසම වගකීමකින් සහ කැපවීමකින් යුත් සේවයක නියැලෙනවා. එම වගකීමේ දී ඔවුන්ගේද පරම බැඳීම ඇත්තේ රාජ්‍යයටයි. ඒ අනුව සැලකීමේදී ශ්‍රී ලංකාව යනු මහා ජනතාවගේ පරමාධිපත්‍යය බලය මත පිහිටා කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයක් වනවා.

එහිදී අපට ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන ලොව ඕනෑම රටක ආදර්ශ ගත හැකියි. ඇමරිකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය වැනි ලොව බලවත්ම ආර්ථික ශක්තියක් ගොඩනගා ගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් එහිදී අපට ගත හැකි යහපත් ආදර්ශ බොහෝ තිබෙනවා. එම සෑම රටකමද බලවත් වූ ආරක්ෂක හමුදාවල් තිබෙනවා. හමුදා බලය අතින් සලකන විට එම රටවල් අයත් වන්නේ ලොව අංක 01 සිට 10 දක්වා වූ කාණ්ඩයටයි.

එහෙත් ඒ සෑම රටක්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන්ට අනුගතව සිවිල් සේවය සහ හමුදා සේවය එම  සේවාවන්ට අනන්‍ය වූ කාර්ය සීමාවන් හි මැනවින් යොදා ගනිමින් සිටිනවා. සිවිල් සේවයට ආරක්ෂක හමුදා යොදා ගන්නේ හෝ රාජ්‍ය ආරක්ෂාවට සිවිල් සේවය යොදා ගන්නේ නැහැ. ඒ නිසා අද වන විට අපට මුහුණ දීමට සිදු වන යම් යම් ගැටලු තිබේ නම් ඒ ගැටලු රටේ යහපත වෙනුවෙන් විසඳා ගත යුතු වෙනවා.

යහපත් ආකාරයට රට ඉදිරියට ගෙන යාමට නම්, රාජ්‍ය සේවයේ සියලු කොටස් එකට එකමුතුව සමගියෙන් යුතුව ඒ ඒ සීමාවන්ට අදාළව කටයුතු කළ යුතුව තිබෙනවා. එසේ නොමැතිව එක් කොටසක් තවත් කොටසක් අභිභවා යන ලෙස සලකන්නේ නම්, එමගින් අනිත් පාර්ශවය අධෛර්යමත් කිරීමක් සිදු වනවා. රජය මේ වරද කළ යුතු නැහැ.

මම හමුදා පසුබිමක් සහිත අයෙකු වනවා සේම අවස්ථා දෙකකදීම රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් සේවය කර ඇති නිසා මෙම ක්ෂේත්‍රයන් දෙකෙහිම ශක්තිය සහ කාර්යභාරයන් වගකීමකින් යුතුව සඳහන් කළ හැකියි. රාජ්‍ය සේවයේ මෑත ඉතිහාසය ගැන කතා කරන විට සමහර සේවා දැඩි ලෙස දේශපාලනයට පිවිස තිබෙනවා. 

සමහර ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන පක්ෂවල සම්මේලනවලට පවා සහභාගී වුණා. සමහරුන් දේශපාලනඥයින් සමඟ ගණුදෙනු කළා. සමහරෙකු කඩාකප්පල්කාරී වැඩවලටත් හවුල් වුණා. මා මේ කතා කරන්නේ ඒ ක්‍රියාවන්ට ඉතාමත්ම තදින් දායක වූ කිහිප දෙනෙක් ගැන පමණයි.
මේ කිහිප දෙනා මේ වන විට නිශ්ශබ්දව සිටියත්, මේ මහා විනාශයට ඔවුන් වග කිව යුතුයි. 

ඒ කෙසේ වුවත්, රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන් බහුතරයක් දෙනා ඉතාමත් කැපවීමකින් යුත් දක්ෂ නිලධාරීන් බව ප්‍රකාශ කළ යුතුමයි. ඒ බව වගකීමකින් යුතුව කියන්න මට හැකියාව තිබෙනවා. ඔවුන්ගේ හැකියාව මා පෞද්ගලිකව දන්නවා. කෙසේ නමුත්, විවිධ හේතුන් මත රජය මොවුන්ගේ සේවය නිසි පරිදි ලබා ගන්නේ නැහැ. 

ඒ ඒ රාජකාරී සඳහා නිලධාරීන් පත් කිරීම ජන ජීවිතයට බලපාන බොහෝ සේවාවන් බිඳ වැටීමට එක හේතුවක් වී තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ද පොලිසිය ද සිදු කර ඇති විශිෂ්ඨ සේවාව අප අමතක කළ යුතු නැහැ. මෑතකදී අප මුහුණ දුන කොවිඩ් වසංගතය මර්දනයේ දී යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව කළ විශිෂ්ඨ සේවාව අපි අගය කළ යුතුයි.

මෑත යුගයේ දී මුළු රාජ්‍ය සේවයේම එනම්, හමුදා සේවයත් ඇතුළුව සිදු කරන ලද කටයුතුවලදී රටටත්, ජනතාවටත්, සහන සැළසුණු අවස්ථා කිහිපයක් ගැන වගකීමෙන් යුතුව සඳහන් කරන්නේ බලධාරින්ගේ අවධානය ඒ සඳහා යොමු කිරීම පිණිසයි. මා මේ පහත සඳහන් කරන විවිධ අවස්ථාවලදී අමාත්‍යවරයෙකු වශයෙන් අපගේ දායකත්වයද ලබා දීමට හැකි වුණා.

2003 වසරේදී මෙරට දිස්ත්‍රික්ක 05 ක ඇති වූ මහා ජල ගැලීම සහ නාය යාම නිසා ජීවිත 280ක් විනාශ වුණා. අර්ධ සහ පූර්ණ වශයෙන් නිවාස 43,000ක් පමණ හානි වුණා. ආරෝග්‍ය ශාලා, පාසැල්, රජයේ කාර්යාල, පාලම් සහ පාරවල් විනාශ වුණා. අපේ රටට ආධාර උපකාර කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝකයේ මිත්‍ර රටවල් රාශියක් ක්ෂණිකව පැමිණියා.

මාස හයකින් ජන ජීවිතය යථා තත්ත්වයකට ගෙන ඒමට හැකි වුණේ රාජ්‍ය සේවය සහ හමුදා සේවය සහයෝගයකින් යුතුව වැඩ කළ නිසයි. එහිදී  ශ්‍රී ලංකාව ලබා ගත් සාර්ථකත්වය අන්තර්ජාතිකව පවා ඇගයීමට ලක් වුණා. පසුව වෙනත් රටවල් ද රටක් ලෙස අප අනුගමනය කළ ඒ ක්‍රමවේද අනුගමනය කළා. ආපදා කළමණාකරණ පනත සඳහා මූලික වැඩ කටයුතු දියත් කළේ ඉන් පසුවයි. 

බොහෝ අභිමානයෙන් සඳහන් කළ යුතු තවත් වැදගත් අවස්ථාවක් තිබෙනවා. අපගේ හමුදාව විසින් නැගෙනහිර මුදා ගත් පසුව දින 180 ක් ඇතුළත ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම පැවරුණේ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයටයි. 

පාසැල්, රජයේ කාර්යාල, ආරෝග්‍ය ශාලා, පොලිස් ස්ථාන, ධීවර කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම බිඳ වැටී තිබුණද මෙහිදීත් රාජ්‍ය ආයතන සහ හමුදාව අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම නිසා දින 180 කින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් වුණා. සිනමා ශාලා ඇරුණා. තරුණ කොටස් සවසට මුහුදු වෙරළට ආවා. අවසානයේ දී ජාතික ගීයද ද්‍රවිඩ භාෂාවෙන් ගායනය කර නැගෙනහිර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කළ බව සඳහන් සන්නස ජනාධිපතිතුමා වෙනුවෙන් පැවති උත්සවයකදී ජනාධිපති ලේකම්තුමාට ලබා දුන්නා. ඒ 2017. ජූනි 15 වැනිදා. 

රාජ්‍ය සේවයේ තවත් විප්ලවීය වෙනසක ආරම්භය 2007 වසරේ දී සනිටුහන් වුණා. එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිසාපති කාර්යාලවල කටයුතු පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් වුණා. සති අන්තයේ දී රාජ්‍ය නීලධාරින් ස්වෙච්ඡාවෙන් පැමිණ කාර්යාල සුද්ධ කර තීන්ත ආලේප කර පරිසරය පිරිසුදු කර මල් සිටුවා අලංකාර කළා පමණක් නොව පුරවැසි ප්‍රඤ්ප්තිය නමින් එම කාර්යාලයෙන් කෙරෙන රාජකාරී සඳහා ගන්නා කාලය සෑම කාර්යාලයකම දැන්වීම් පුවරුවේ ප්‍රසිද්ධ කළා.

දින ගණන් සති ගණන් ගැනෙන සමහර රාජකාරී පැය කිහිපයකින් එක් දිනකින් හෝ දින කිහිපයකින් නිම කිරීමට හැකි වුණා. එම වැඩ පිළිවෙළ රටේ ජනතාවගේ විශාල අගැයීමකට ලක් වුණා. ඒ නිසා අද වන විට අපේ සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිසාපති කාර්යාල රටේ සහ අන්තර්ජාතිකව ද පිළිගැනීමට ලක්ව තිබෙනවා. 

මේ කරුණු සඳහන් කළේ සුදුසු නිලධාරියාට සුදුසු රාජකාරිය පැවරීමේ වැදගත්කම පෙන්වා දීමටයි. මේ වන විට රජයේ වැඩ කටයුතු පූර්ණ වශයෙන් අවුල් වී ඇත්තේ රාජකාරිය නිසි අයුරින් පවරා නැති නිසයි. සිවිල් නිලධාරීන්ට කළ හැකි සහ හමුදා නිලධාරීන්ට කළ නොහැකි සේවා තිබෙනවා. එමෙන්ම හමුදා නිලධාරීන්ට කළ හැකි සහ සිවිල් නිලධාරීන් ට කළ නොහැකි සේවා තිබෙනවා.

මේ අඩුපාඩුව වටහා ගෙන අවශ්‍ය පියවර ගත හොත්, ජනතාව මුහුණ දෙන පීඩනය අඩු කළ හැකියි. ප්‍රාදේශීය පරිපාලනය, රේගුව, කෘෂිකර්මය, අධ්‍යාපනය ආහාර, සමාජ සේවා සහ සෞඛ්‍ය සේවා ආදී රාජ්‍ය සේවයට ආවේනික සමහර ක්‍රියාදාමයන් අවුල් කර ගන්න එපා. රාජ්‍ය සේවයක් නොමැතිව නොඑසේ නම් එම සේවය දුර්වල කරමින් රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නොහැකියි. එලෙස ප්‍රජාතන්ත්‍රවාදී රටකට පැවතිය නොහැකියි.

රජය ඒ බව වටහා ගත යුතු වෙනවා. එසේ වුණොත් ඇති වන්නේ ඒකාධිපති පාලනයක් බව කිව යුතුයි. ඒ ලකුණු මේ වන විට අප දකිමින් සිටිනවා. අප සියලු දෙනා මේ මොහොතේ මෙසේ හමුවන්නේ මේ ගරා වැටීම නවත්වා ගැනීමටයි. බුද්ධිමත්ව ක්‍රියා කර මුළු රාජ්‍ය සේවයම රැක ගත යුතුයි.

ඉතාම සද්භාවයෙන් යුතුව අප ඉදිරිපත් කළ මෙම අදහස් සහ යෝජනා බලධාරීන්ගේ අවධානයට යොමු වේවායි ප්‍රර්ථනා කරනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අප සිවිල් සේවය, හමුදා සේවය ඇතුළත් මුළු රාජ්‍ය සේවයම විනාශ මුඛයෙන් ගලවා ගැනීම සඳහා පූර්ණ වශයෙන් කැප වනවා. මේ අවස්ථාවට එක්ව සිටින මෙම සම්භාවනීය පිරිස ඒ උදාර කාර්යයේ දී අපට ධෛර්‍යයක් සහ ශක්තිය ලබා දෙනු නියතයි. ඒ උතුම් පරමාර්ථය වෙනුවෙන් අපි අත්වැල් බැඳ ගනිමු.

Advertiesment