Thursday 22nd of April 2021

English Tamil
Advertiesment


ජාත්‍යන්තරය තරහා කර ගත් රටකට අනාගතයක් නැහැ 


2021-02-18 8244

 

එජාපයට යළි එන ලෙස පක්ෂය හැර ගිය සියලු දෙනාට කොන්දේසි විරහිතව ආරාධනා කරනවා  

 

"වර්තමාන ආණ්ඩුව ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව අමනාප කර ගෙන තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අප රටට ආර්ථික කුණාටුවකට මුහුණ පෑමට සිදු වෙනවා. මේ වේලාව අපේ රට එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් වේලාවක් නොවේ. ජාත්‍යන්තර දේශපාලනයටත් උවමනාව ශ්‍රී ලංකාවේ දියුණුවක් නොදකින්න. ඒ නිසා ජාත්‍යන්තර දේශපාලනය සමග රටක් විදියට ඉතා පරිස්සමින් කටුයුතු කරන්න ඕනෑ" යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. 

ඔහු මේ බව පැවැසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ, හිනිදුම මැතිවරණ කොට්ඨාශයේ, මාපලගම සෞභාග්‍යා උත්සව ශාලාවේ දී පැවැති නාගොඩ සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල එක්සත් ජාතික පක්ෂයේ බලමණ්ඩල රැස්වීම් අමතමිනි.

හිනිදුම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සුනිල් සේනානායක මහතාගේ සංවිධානත්වය කර තිබූ මෙම බල මණ්ඩල රැස්වීම් අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය. 

ලෝකෙ හොඳම පොස්ෆේට් පොහොර නිධියක් තිබෙන්නේ අපේ රටේ. ඒ අනුරාධපුර එප්පාවල. මෙම  පොස්ෆේට් නිධිය ගොඩගෙන අලෙවි කළොත් ශ්‍රී ලංකාවේ ජනතාවට අවුරුදු 30 ක් විතර ජීවත් වෙන්න ආර්ථිකය ගොඩගන්න පුළුවන්. නමුත් මෙම නිධිය ගොඩගන්න ගියොත් ලෝකයේ ප්‍රධාන රටවල් අප සමග එරෙහි වෙනවා. 

ඒ රටවලට අවනත නොවුණොත් ජීවිතවලිනුත් වන්දි ගෙවන්න වෙනවා. ඒක තමයි අද ලෝක දේශපාලන තත්ත්වයේ හැටි. අපි හම්බන්තොට වරාය විකිණුවා කියලා කියනවා. නමුත් අපි විකුණපු වරායක් නෑ. ඒ වරාය පවත්වා ගෙන යන්න වුණේ අපේ රටේ දුප්පත් මිනිහගේ පාන් ගෙඩියට ගහන බදුවලින්. ඒකට හේතුව තමයි නැව් එන්නෙ නැති වරායක් නිර්මාණය කිරීම. නැව් ගෙන්වන්න පුළුවන් අයට වරාය බදු දුන්නා. අද ඒ වරාය නඩත්තු කරන්නේ චීන්නුන්ගේ පාන් ගෙඩියට ගහන බද්දෙන්. 

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ කිසිම සම්පතක් කිසිවෙකුට විකුණලා නෑ. මහවැලි ගඟ කිහිප පොලකින් හරස් කරලා පංච මහා ජලාශ හදලා අක්කර ලක්ෂ ගණනක් නගුලට යට කර ගොවි ජන පද ගොඩනැගුවේ එක් බිම් අඟලක් වත් කිසිම රටකටදී ලා නොවේ. ඒ ජලාශවල හෝ ව්‍යාපාරවල කොටස් කුමන රටකටවත් පවරලා නැහැ.

මේ රටේ ආණ්ඩුවල සිටි ගාල්ලේ කිසිම ඇමතිවරයෙක් නොකළ තරම් සංවර්ධන වැඩ මම ගාලු දිස්ත්‍රික්කයට කළා. නමුත් පරාද වුණා. දේශපාලනයේ හැටි ඔහොම තමයි. පක්ෂය අත හැරලා ගිය ඕනෑම කෙනෙකුට වගේම මාව පරද්දන්න කටයුතු කළ ඕනෑම අයෙකුටත් යළි එක්සත් ජාතික පක්ෂයට එන්න පුළුවන්. කොන්දේසි විරහිතව අපි ඒ අය යළි පක්ෂයට ගන්නවා. 

මේ ආණ්ඩුව කරමින් සිටින්නේ සහ ආණ්ඩුවට කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ යහ පාලන ආණ්ඩුව ලෙස අප ඇති කළ ව්‍යපෘති විවෘත කිරීම විතරයි. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සිය ගණනක් අලුතින් හදලා මහා ජන සේවයට කැප කළා. කොටසක් මම විවෘත කළා. තව විශාල ප්‍රමාණයක් විවෘත කරන්න තියෙනවා. ජනතාවට වැඩ කළ පමණට මිනිස්සු ඡන්දය දෙන්නෙ නෑ. ඒ ගැන අපි අමනාප විය යුත නැහැ. 

මෙහිදී හිනිදුම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක, ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිවේදී නෙවිල් ඉගලවිතාන, අහුන්ගල්ලේ දේසු ද සොයිසා, නාගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දන නිශාන්ත සහ නියාගම ප්‍රාදේශීය සභා.මන්ත්‍රිනී නිසංසලා මල්ලවආරච්චි යන මහත්ම මහත්මීහූ ද කතා කළහ.
 

Advertiesment