Friday 5th of March 2021

English Tamil
Advertiesment


ජනපතිගේ කැකිල්ලේ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා 


2021-02-17 4373

ප්‍රජා අයිතිය අහෝසි කිරීම යල් පැනපු ක්‍රමවේදයක් 

 

යහ පාලන ආණ්ඩුව ක්‍රියා කළේ රටේ නීතියට අනුවයි  

 

දේශපාලන පළිගැනීම් වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට දී නැහැ  

 

දේශපාලන හස්ථ මෙහෙයවන කොමිෂන් හරහා කටයුතු කිරිම නීති විරෝධීයි 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

වත්මන් ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ කොමිෂන් සභාවල කැකිල්ලේ නිර්දේශවලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සමගි ජන බලවේගය කටයුතු යොදා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියේ කොළඹ, 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අඟහරුවාදා (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ඇත්ත වශයෙන්ම අද සමහර අයගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම් පිළිබඳව මාධ්‍යයේ කතා වෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ලෙස අපට දේශපාලන පළි ගැනීම් පිළිබද කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ පිටපතක් ලබා දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ 2021 ජනවාරි 28 වැනිදායි. නමුත්  අපට තවමත් ඒ පිටපත ලබා දී නැහැ. 

රටේ ව්‍යවස්ථාව අනුව ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කිව යුතුයි. එම නිසා ජනාධිපතිතුමාට වගකීමක් තිබෙනවා කතා නායකතුමා හරහා මේ වාර්තාව පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ට ලබාදීමට. කෙනෙකු දේශපාලන පළිගැනීමක් හෝ නීති විරෝධි ක්‍රියාවක් කරලා තිබෙනවා නම් ඒ අයට දඩුවම් කරන්න අපේ රටේ පිළිගත් නීති පද්ධතියක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම යහ පාලන ආණ්ඩුව 2015 බලයට පත් වුණාම විවිධ පාර්ශව අපෙන් ද ඉල්ලා සිටියේ කොමිෂන් හරහා යම් යම් පුද්ගලයින්ට  දඩුවම් ලබා දී ඔවුන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන ලෙසටයි. 

නමුත් යහ පාලන ආණ්ඩුවේ නායකයින් වන රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා සහ මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පැහැදිළිව ප‍්‍රකාශ කළා රටේ පැහැදිලි නීති පද්ධතියක් පවතින නිසා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය හරහා කටයුතු කරනවා විනා කොමිෂන් සභා හරහා දේශපාලන විරුද්ධවාදින්ට දඩුවම් කිරිම යල් පැනපු කි‍්‍රයාවලියක් බවයි. යහපාලන ආණ්ඩුව පැහැදිළිවම ඒ මතයේ සිටියා. 

1978 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා තමයි නව ව්‍යවස්ථාවක් හරහා ප‍්‍රථම වරට දේශපාලන විරුද්ධවාදීන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරිමේ සංකල්පය හදුන්වා දුන්නේ. එම ක්‍රියා මාර්ග අපේ රටට විශාල කළු පැල්ලමක් වුණා. ඒ නිසාම දේශිය සහ විදේශීය වශයෙන් රටක් ලෙස අප අපකීර්තියට පත් වුණා. 1981න් පසුව අවුරුදු 41ක් ඇතුළත රජයන් ගණණාවක් බලයට පත් වුණත් මේ වගේ ජනාධිපති කොමිෂමක් හරහා දේශපාලන විරුද්ධවාදීන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරිමක් සිදු වුණේ නැහැ. මෙවැනි ක්‍රම මගින් දේශපාලකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම යල් පැනපු ප‍්‍රතිපත්තියක් බව කිව යුතුයි. 

යහ පාලන ආණ්ඩුවේ නායකයින් එම ක්‍රියා පිළිවෙත තරයේම ප‍්‍රතික්ෂේප කළා. නමුත් මේ ආණ්ඩුව ඊට හාත්පසින්ම වෙනස්. 1978 ව්‍යවස්ථාව ප‍්‍රකාරව බලතල භාවිතා කොට දේශපාලන විරුද්ධවාදීන්ගේ දේශපාලන අයිතිය අහෝසි කිරිමට කටයුතු කරමින් සිටිනවා. උපාලි අබේරත්න කොමිෂම තමා මුල් කොමිෂම. එම කොමිසමෙන් වාර්තා කරන කරුණු ජනාධිපති කොමිෂමක් විසින් පරීශීලනය කොට යම් යම් නිර්දේශ ජනාධිපතිතුමාට ලබාදෙනවා. 

පරීක්ෂණ කොමිෂන් කියන්නේ තොරතුරු සොයන කොමිසමක්. මේ අයට නියෝග දෙන්න බැහැ. නිර්දේශ දෙන්න බැහැ. තීන්දු දෙන්න බැහැ. නමුත් මේ උපාලි අබේරත්න කොමිසම අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් පවා යම් යම් නිර්දේශ ලබාදී තිබෙනවා. නීතිය පිළිබද අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට තේරෙනවා අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් අධිකරණයෙන්ම එන තීරණයක් විනා පිටස්තර ආයතනයකට අධිකරණයේ පවතින නඩු සම්බන්ධයෙන් නීර්දේශ ඉදිරිපත් කිරීමට නොහැකි බව. 

නමුත් උපාලි අබේරත්න කොමිසම දැනට නඩු 40කට ආසන්න ප‍්‍රමාණයකට අදාළව නිර්දේශ නිකුත් කර තිබෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පස් දෙනෙකු එකතු වෙලා දුන් නඩු තීන්දුවක් සම්බන්ධයෙනුත් මේ උපාලි අබේරත්න කොමිසම නිර්දේශ නිකුත් කරලා.  ඒ වගේම නඩු හතලිස් ගණනක විත්තිකාරයා නිදහස් කරලා. පැමිණිලිකාරයෝ විත්තිකාරයා කරලා. ඒ විත්තිකාරයන්ට වන්දි ගෙවන ලෙසත් නිර්දේශ කරලා තිබෙනවා. මේ වගේ තත්වයක් තමයි රටේ තිබෙන්නේ.  

ඉතාම පැහැදිළියි මේ කොමිසම තමාගේ බලය ඉක්මවා කටයුතු කරලා තිබෙනවා. අපි සමගි ජනබලවේගය ලෙස මේ පිළිබදව නීතියට අනුව කටයුතු කිරිම පිළිබදව සාකච්චා කරමින් සිටිනවා. උපාලි අබේරත්න කොමිසමට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම් පත්‍රයක් යොමු කරනවා. අපිට විශ්වාසයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ උපාලි අබේරත්න කොමිසමේ තීන්දුවලට එරෙහිව නියෝගයක් ලැබෙයි කියා. 

ඒ මන්ද මීට කලින් එවැනි සිදුවීම් වෙලා තිබෙනවා. අපි කියන්නේ පුද්ගලයෙකු වරදක් කොට තිබෙනවා නම් ඔහුට එරෙහිව රටේ නීති පද්ධතිය හරහා කටයුතු කළ යුතුයි. එසේ නොමැතිව විනා දේශපාලන හස්ථ මගින් මෙහෙය වනු ලබන මේ කැකිල්ලේ කොමිෂන් නිර්දේශ අනුව ක්‍රියා කරනු බැහැ. එවැනි කොමිෂන්වලට අපේ රටේ තැනක් නැතැයි කියන එක මතක් කළ යුතුයි. 

අනෙක් කාරණය නීතිපතිවරයාත් පැහැදිළිව ලිපියක් යොමු කරලා තිබෙනවා මේ කොමිසමට. එමගින් ඔහු කියා තිබෙන්නේ නීතිපතිවරයාගෙන් ප‍්‍රශ්න කිරිමයට මෙම කොමිසමට බලයක් නොමැති බවයි. ඉතින් මොකද්ද මේ ආණ්ඩුව කරන්න හදන්නේ. පරණ වැරැද්දමයි ආයෙත් මේ කරන්න හදන්නේ. 

අද ආණ්ඩුව උතුරේ නායකයින්ට විරුද්ධව කටයුතු කරන උත්සාහයක් අපි දකිනවා. ඒ අයට විරුද්ධව නඩු පවරා ඒ අය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න උත්සහ කරනවා. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයින් පාර්ලිමේන්තුවේ අපිත් සමග වාද විවාද කර ගන්නවා. ඒ අයට එරෙහිව වෛරයෙන් කටයුතු කළොත් හෝ නඩු පවරා  පාර්ලිමේන්තුවෙන් ඉවත් කළොත් සිද්ධ වෙන්නේ ඒ තැන ත‍්‍රස්තවාදීන් පිරවීමයි. එය උතුරේ පමණක් නොවෙයි දකුණෙත් සිද්ධ වුණා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළාම දේශපාලන නායකත්වයක් නැති නිසා දකුණේ ත‍්‍රස්තවාදය බිහි වුණා. ඕනෑම පක්ෂයක නායකයෙකු  ඕනෑම ජාතියක නායකයෙකු සිටිනවා නම් අපි ඒ අයව ආරක්ෂා කළ යුතුයි. ඉතිහාසයේ ඒ වැරැද්ද සිද්ධ වුණ නිසා තමයි අපි තිස් අවුරුදු යුද්ධයකට මැදි වුණේ. 

එදා මහින්ද රාජපක්ෂ මහතා පාද යාත‍්‍රා ගියා. නමුත් ආර් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඊට ආරක්ෂාව දුන්නා. ඒ පෙළපාලිය නැවැත්තුවේ නැහැ. අන්න එහෙමයි බුද්ධිමත් නායකයෝ කටයුතු කළේ. උතුරු නැගෙනහිර මන්ති‍්‍රවරුන් පාද යාත‍්‍රාවක් ගියා. මට කණගාටුයි කියන්න මේ පිළිබදව ඇමරිකන් තානාපතිතුමිය ප‍්‍රකාශයක් නිකුත් කරලා තිබුණා.  නමුත් දකුණේ සිංහල මාධ්‍යය එකක්‌වත් එම පාද යාත්‍රාව විකාශය කළේ නැහැ. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වලට ඕනැම ආණ්ඩුවක් ඇහුම්කන් දෙන්න  ඕන. අපි දැන් යන්නේ මියන්මාර් පාරේ කියා පැහැදිළිව පෙනෙන්න තිබෙනවා. එම නිසා අපි ප‍්‍රකාශ කළ යුතුයි අපිට පැහැදිළිව විශ්වාසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ කොමිසම බල රහිත කරන බව. මොකද මේ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල අතට අරන්. 

මෙහිදි පැමිණි සිටි ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය.

ප්‍රශ්නය  - යහ පාලන ආණ්ඩුවෙනුත් ඔබතුමාලා දූෂණ මර්දන කොමිෂන් සභා පිහිටුවා කටයුතු කළා නේද..? නමුත් එමගින් සිදු වුණ කිසිවක් නැහැ. මුදල් නාස්තියක් සිදු වුණා පමණයි නේද..?

පිළිතුර - කොමිෂන් පිහිටුවීමේ අරමුණ තොරතුරු එකතු කිරිම පමණයි. පසුව ඒ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවටත් අල්ලස් කොමිසමටත් ඉදිරිපත් කළ යුතුයි. එතනින් එහාට කටයුතු සිදු වීමේ ප‍්‍රමාදයක් තිබුණා. නමුත් කොමිසමේ කර්තව්‍ය සිදු වුණා.  

ප්‍රශ්නය - නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාවක් නැද්ද මෙවැනි කොමිසන්වලට විරුද්ධව කටයුතු කරන්න..?

පිළිතුර - අවශ්‍ය නම් පුළුවන්. නමුත් අපි සමගි ජන බලවේගය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරිමට කටයුතු කරමින් සිටිනවා. නමුත් අපිට තාම නිල වශයෙන් දේශපාලන පළිගැනීම් කොමිෂන් වාර්තාව ලැබිලා නැහැ. ඒක ලැබුණාට පසුව අපි ඉදිරි නීති කි‍්‍රයාමාර්ග ගන්නවා. අපි කතා නායකතුමාගෙන් ඉල්ලීම් කළා මේ වාර්තාව අපිට ලබා දෙන්න කියලා. එතුමා ප‍්‍රකාශ කළා ලැබුණ විගස ලබා දෙන්නම් කියලා. ලැබුණ විගස නෙමේ එතුමාටත් වගකීමක් තිබෙනවා අපිට ඒ වාර්තාව ඉක්මනින් ලබාදෙන්න. 


 

Advertiesment