Thursday 19th of September 2024

English Tamil
Advertiesment


පංචායුධ ප්‍රකාශයේ තිරය පිටු පස ඇත්ත කතාව මෙන්න


2021-02-11 14337

විමල් වීරවංශට අත් වන්නේ පනික්කියා නැතිව නටන්න ගිය නයාට අත් වූ ඉරණමමයි 

 

ආණ්ඩුව ඊනියා හෙළ බෞද්ධ ජාතික වාදයේ අවසානය ලකුණු කරයි  

 

ජාතික වාදීන්-ජාති වාදීන්-වාමාංශිකයින් හැළීමට ආණ්ඩුව තීරණය කරලා  

 

විමල් මහින්දගෙන් කැපිලා-ගෝඨාට පන්දම් ඇල්ලුවේ ඒ නිසයි 

 

විමල් ඇල්ලු මාරක නිලය ඔහුටම පාරාවළල්ලක් වූ හැටි 

 

මෙන්න හෙළිදරව්ව..!

 
 
(සුජිත් මංගල ද සිල්වා)  

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිය යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ඔහු ඇතුළු කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රතික්ෂේප වී සිටින නිසා යැයි රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවැසීය.

විමල් වීරවංශ මහතාගේ දේශපාලන උපක්‍රමය වූයේ එම ප්‍රකාශය මගින් පවුලේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ එම පාක්ෂිකයින් අභ්‍යන්තරයේ බල අරගලයක්, නායකත්වයට අදාළව එක්සත් ජාතික පක්ෂයේ වගේම අර්බුදයක් සහ සටනක් අවුළුවා, ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරයාගේ ආශීර්වාදය දිනා ගෙන සිය පවැත්ම තහවුරු කර ගැනීම යැයි ද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් දේශපාලන වශයෙන් මාරක නිලයක් අල්ලා උපක්‍රමිකව සිය පවැත්ම තහවුරු කර ගැනීමට විමල් වීරවංශ මහතා දැරූ උත්සාහය මේ වන විට ඔහුටම දේශපාලන වශයෙන් පාරාවළල්ලක් බවට පත්ව ඇති බව පැවැසූ එම ප්‍රකාශකයා ඊට හේතු වී තිබෙන්නේ ඊනියා ජාතිකවාදීන්, ජාති වාදීන් සහ වාමාංශිකයින් ඇතුළු අන්තවාදීන් සමග රට ඉදිරියට ගෙන යා නොහැකි බවට වන ප්‍රතිපත්තිමය තීන්දුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුව ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද පැමිණ සිටින නිසා යැයි ද කියා සිටියේය.

ජාත්‍යන්තරය සමග එකට එක්ව නව ගෝලීය දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රවණතා අනුව රට ලෝකයට ගෙන යමින් සංවර්ධනය කර ජනතාව සවි බල ගැන්වීමට නම් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ගෙවිඳු කුමාරතුංග සහ ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම ඈත් කර තැබිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ථාවරය වී තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා සිය අතිජාත මාධ්‍ය සගයා වන ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා මාර්ගයෙන් "ඉරිදා ලංකාදීප" පුවත්පතට හදිසියේම සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මෙම ප්‍රකාශය කළේ ද, එම ප්‍රකාශයට පසුබිම සකසමින් ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා විසින් "ඇත්තටම රට කරවන්නේ ජනාධිපතිවරයා ද, අගමැතිවරයා ද නොඑසේ නම් වෙනත් අයෙකුද" යනුවෙන් වූ අදාළ ප්‍රශ්නය අසනු ලැබුවේ ද පූර්ව සැලසුමකට අනුව බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර මේ කරුණු කාරණා තහවුරු කරමින් මේ සම්බන්ධයෙන් ප්‍රවීණ දේශපාලන විචාරක චින්තන ධරමදාස මහතා කියා සිටින්නේ, කවුරුත් නොසිතූ අයුරින් ඊනියා හෙළ බොදු ජාතික වාදයේ අවසානය සලකුණු කරමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව විසින්ම වන අතර ආණ්ඩුවේ ජාති වාදයේ සහ ඇමරිකානු විරෝධයේ සංකේතය වන විමල් වීරවංශට ආණ්ඩුවෙන් දොට්ට බහින ලෙස කියා සිටින්නේ ඒ නිසා බවය.

ආණ්ඩුව මිනිසුන්ව විශ්වාසයෙන් අවබෝධයට ගෙන යමින් සිටින බව පෙන්වා දෙන චින්තන ධර්මදාස මහතා මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වමින් සිය "Facebook" ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

"දැන් රටේ සිද්ධ වෙන දේවල්වල හැටියට පක්ෂ පාට මති මතාන්තරවලට උඩින් බැලුවොත් රට ගමන් කරන පැත්ත සාධනීයයි. ඒක වෙන්නෙ අපි විශ්වාස කරන විදිහට නෙමෙයි . ඕන නම් කෙනෙකුට ඒකට රටේ දෛවය කියන්න පුළුවන්. මං ඒකට කියන්නෙ අපි කොහොමත් අන්තර්ජාතික දේශපාලනය මත තීරණය වෙන ජාතියක් වීම කියල. 

උදාහරණයක් විදිහට මං පසු ගිය ජනාධිපති ඡන්දයේ දී සජිත් එනවට කැමති වුණා. ඒත් දැන් මං ගෝඨා ආපු එක ගැන සතුටු වෙනවා. සජිත් ඒ වෙලාවෙ වැරදි තීරණයක්. ඒත් මගේ මත වාදය ආසන්නව හෝ තීරණය කළේ සජිත් පිල. ගෝඨා විසින් රට ජාති වාදී මිලිටරි වාදී අඳුරකට අරන් යයි කියන බය තිබුණා. ඒත් ඇත්තටම ඒ ආණ්ඩුව කළේ පුළුවන් තරම් ජනතාව හිනස්සන එක. ඒක හොද දෙයක්. මේ වගේ ආර්ථික හිරවීමක්-සෞඛ්‍ය පිරිහීමක් මැද්දෙ ජෝක් සැපයීමක් ඕනමයි.

මං කීයටවත් නොහිතපු විදිහට හෙළ බොදු ජාතික වාදයේ අවසානය සලකුණු කරන්නෙ මේ ආණ්ඩුව. පාස්කු බෝම්බය, මහා බැංකු මංකොල්ලය, විල්පත්තුව වගේ ලොකු හැගුම්බර ව්‍යාපෘතිවල කොන්දම බිඳලා දැම්මා. දැන් දේවල් විකුණන්නේ නැතුව රට දියුනු කරන්න බෑ කියල මහින්ද පතිරනලම කියනවා. 

ඕක වෙන කිසිම පක්ෂයක් කිව්වට මේ රටේ මිනිස්සු පිළි ගන්නෙ නෑ. විශ්වාසය තුළින් අවබෝධයට අරන් යනවා කියන්නෙ ඕකට. විමල් කියන්නෙ මේ ආණ්ඩුවේ ජාති වාදයේ සංකේතය. ඇමරිකානු විරෝධය. දැන් විමල්ට දොට්ට බහින්න කියනවා. විමල් කියන්නෙ නලාකාරයෙක් කියනවා. මේ ඇඩ්‍රස් නැති කරන්නෙ අර පාරවල්වල චිත්‍ර ඇඳපු සිංහල බෞද්ධ උමතුවට.

නයි පෙන්නලා පැණි විකුණලා දෙරන වගේ මාර මාධ්‍ය බැලයන් බන්දු-ටෙනී ගානට වැටුණ. ඡන්දය දීපු උන්ටවත් දිපු ඡන්දය ගැන ආඩම්බරයකුත් නෑ. ඡන්දය නොදීපු උන්ට ආණ්ඩුව ගැන කිසි තරහකුත් නෑ. මේ දිහා බලන් ඉද්දි, මට රටේ අනාගතය හොඳ එකක් වෙනවා කියන හැගීම එනවා. රටේ බිහි වෙයි කියලා හිතපු දරුණුම ජනාධිපතිට පවා "ගහනවා-රිවර්ස් කරනවා" ඇරෙන්න කරන්න පුළුවන් දෙයක් නෑ කියන්නෙ ආඩම්බර වෙන්න පුළුවන් පුරවැසි බලයක්."

මේ අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා කියා සිටින්නේ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට දේශපාලන වශයෙන් අත්  වන්නේ පනික්කියා නොමැතිව නටන්න ගිය ණයාට අත් වූ ඉරණම බවය.

විමල් වීරවංශ යනු දේශපාලන වේදිකාවේ හුදු කථිකයෙකු පමණක් බව කියා සිටින මහින්ද පතිරණ මහතා මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වමින් සිය "Facebook" ගිණුමේ තබා ඇති සටහන මෙසේය. 

"මහින්ද රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණු නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා එතැනට පත් කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ප්‍රකාශ කිරීම දේශපාලනිකව අතිශය බරපතළ කාරණයකි. 

අපගේ මුළු පක්ෂයම සහ එහි දේශපාලන ආනුභාවය රැඳී තිබෙන පරමාදර්ශී නායකයා ලෙස අප ගන්නේ මහින්ද රාජපක්ෂයන්ය. ඔහු නොවන්නට අද මෙවන් කඳවුරක් නොතිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි. දේශපාලනයේ අඩ සියවසකට වඩා එහා ගිය අත්දැකීම් සපිරි පරිණත නායකයෙකු ශ්‍රී ලංකාවේ අන් කිසිදු දේශපාලන පක්ෂයකට නැති පසුබිමක ඔහුව ඉවත් කොට ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරට පත් කළ යුතු බව කෙනෙක් කියන්නේ නම් අප ඒ ගැන වෙසෙසින් සිතිය යුතුය. 

පරස්පරය නම්, එසේ නායකත්වය ලැබිය යුතු බව කියන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ම අත්දැකීම් අඩු නායකයෙකු බවට ද විමල් වීරවංශ මහතා විසින් එම ඉහත ප්‍රකාශය කළ පුවත් සාකච්ඡාවටම ප්‍රකාශ කර තිබීමයි. ඇත්ත වශයෙන්ම ඔහුගේ අරමුණ වූයේ නායකත්වය වෙනස් කිරීමද, එසේත් නැති නම් පක්ෂය සහ  ආණ්ඩුව අභ්‍යන්තරයේ කැළඹිලිකාර තත්ත්වයක් නිර්මාණය කොට ඉන් දේශපාලන වාසි ලබා ගැනීම ද යන්න පිළිබඳව අප සිතිය යුතු වේ.  

වෙනත්  පක්ෂයක නායකයෙකු ලෙස විමල් වීරවංශ මහතාට පොදු ජන පෙරමුණේ නායකත්වය ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නැත. ඔහුට එසේ කළ යුතු නම් කළ යුත්තේ ජනිපෙන් ඉවත්ව පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමෙන් පසුය. අපගේ සාමාජිකයින්ට පක්ෂ නායකත්වය ගැන මත පළ කළ හැකිය. පොදු ජනතාවටද හැකිය. එහෙත් විමල් වීරවංශ යනු වෙනත් පක්ෂයක නායකයෙකු වන අතරම රජයේ වගකීම් දරන  ඇමතිවරයෙකි. 

විමල් වීරවංශ මහතා යනු මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනයෙන් උපරිම ඵල නෙලා ගත්තෙකි. ඔහුගේ කථිකත්වය මත ඔහුට මහින්ද රාජපක්ෂ බලවේගයේ ලැබුණු අවස්ථා අපමණය. ඇමතිකම්වල සිට අන් සියලු සිවිල් බලයන් ඔහුට ලැබුණේ ඒ නිසාය. දේශපාලන වශයෙන් ඔහු කළේ කතා කිරීම පමණක් යැයි කිව හොත් නිවැරැදි ය. 

කෙසේ වෙතත්, වේදිකාවෙි කථිකයා තම භූමිකාව වරදවා වටහා ගත් අවස්ථාවන් අප අපමණ දැක ඇත. කතා පවත් වන විට ලැබෙන අත්පොළසම ඔහු ගත්තේ ඔහුගේ එකක් ලෙසය. අපට මෙහි දී සිහිවන්නේ ණයා සහ  ණයි නටවන්නාගේ කතාවයි. 

අපගේ ආණ්ඩුවට සහ පක්ෂයට විනය ඉතාම වැදගත් ය. ඒ නිසා කුමන තරාතිරමක කෙනෙකු ගැන හෝ විනයානුකූල තීරණ ගැනීමට අප පැකිලෙන්නේ නැත. විමල් වීරවංශ මහතා මීට පෙර ද ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටිමින් ම කළ ප්‍රකාශ ගැන පක්ෂයක් ලෙස අප බොහෝ ඉවසා ඇත. ඔහුට නිවැරැදි වන්නට අවස්ථාව ලබා දී ඇත. එහෙත් ඔහු එම අවස්ථා කිසිවක් නොගෙන දිගින් දිගටම තම ක්‍රියාව කර ගෙන ගියේය. අවසානයේ පක්ෂ නායකත්වය ගැන ප්‍රකාශ නිකුත් කරන තැනට ඔහු පැමිණ ඇත. මේ ආකරයට තවත් යා යුතු නැති බව අපගේ හැඟීමයි. ඒ අනුව, ඔහුට තමා නිවැරැදි කර ගැනීම සඳහා අලුත් අවස්ථාවක් ලබා දී ඇත. ඒ ඔහුගේ ප්‍රකාශය ගැන ජනතාවගෙන් සමාව ගැනීමයි. ඔහු විසින් එම අවස්ථාව ගනු ඇතැයි අපි සිතමු."

 


 

Advertiesment