Tuesday 2nd of March 2021

English Tamil
Advertiesment


කෝටි 1000ක් කොල්ල කෑ සීනි හොරුන්ට දඬුවම් දෙනු 


2021-01-21 5743

හොරුන් රැකීම ජනපතිගේ කීර්ති නාමයට කැළලක් 

 

ජනපති කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වෙලා

 

එක රටක්-එක නීතියක් විහිළුවක් වෙලා 

 

අලි-මිනිස් ගැටුම විසඳන්නේ මෙහෙමයි 

 

සීනි හොරුන් ගැන කරු ජයසූරිය කළ හෙළිදරව්ව මෙන්න..!

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

සීනි ආනයනයේ දී කූට උපක්‍රම මගින් රුපියල් කෝටි 1000ක අති විශාල මහා ජන මුදල් සම්භාරයක් කොල්ල කෑ මහා පරිමාණ මහා මංකොල්ලය සිදු කළ වංචනිකයින්ට පමණක් නොව ඊට ආධාර අනු බල දුන් සියලු දෙනාටම එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ, "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (21) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ අදහස් පළ කළ කරු ජයසූරිය මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය. 

සමාජීය වශයෙන් සහ පාරිසරික වශයෙන්ද ඉතාමත් තීරණාත්මක සේම ජාතික වැදගත්කමකින් යුතු ප්‍රධාන කරුණක් පිළිබදව මේ රටේ ජනතාවගේ අවධානය යොමු කරලීමට මේ අවස්ථාව යොදා ගන්නවා. අප ඉදිරිපත් කරන සෑම අදහසක්ම සහ යෝජනාවක්ම ජනතාවගේ සුබ සිද්ධිය අරමුණු කර ගනිමින් සත්භාවයෙන් යුක්තව සිදු කරන නිසා මෙම කරුණු කෙරෙහි බලධාරීන්ගේ ද අවධානය යොමු වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

ගෙවුණු සතියේදී අප පෙන්වා දුන්නේ මැද පෙරදිග රටවල ද ඇතුළු රටවල් ගණනාවක කොටුවී සිටින විදේශගත ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් සහ  කිසිදු සරණක් නොමැතිව ඔවුන් මුහුණ දෙමින් සිටින ඛේදවාචකය ගැනයි. එහිදී අප යෝජනා කළේ එම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත සිය මව් රටට ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේම මුදල්වලින් ගොඩනඟා ඇති අරමුදල යොදා ගන්නා ලෙසයි. එම අරමුදල්වල ඇති මුදල ප්‍රමාණය රුපියල් බිලියන 14ක් පමණ වන බව ද අප එහිදී පෙන්වා දුන්නා. 

එමෙන්ම මේ සතිය වන විට ශ්‍රී ලංකාවට රැගෙන එන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය වැඩිවී ඇති බවද වාර්තා වුණා. එම තත්ත්වය අපට සතුටුදායක වන අතර එම ශ්‍රී ලාංකිකයන් සිය මව් රටට පැමිණීමේදී ඔවුන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය නොකර ඔවුන්ගේම මුදලින් ගොඩනඟා ඇති අරමුදල්වලින් එම පහසුකම් සැලසුවා නම් එම ක්‍රියාව ඉතාමත්ම වටිනා මානුෂික බව කිව යුතුයි. 

මේ සතියේ දී මෙසේ අප අවධානය යොමු කරන්නේ ද රටේ ජනතාවට, ආර්ථිකයට සේම පරිසරයේ තුලනයට ද ඉතාමත්ම වැදගත් වන කරුණක් වන අතර ඒ අලි-මිනිස් ගැටුම ගැනයි. මේ වන විට අලි-මිනිස් ගැටුම ගැන බොහෝ තොරතුරු දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර එහි විපාක දෙස බලන විට පෙනී යන්නේ රටක් ලෙස අප මේ ගැන මීට වඩා දැඩි අවධානයකින් සහ වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි. 

මෙම විෂයට අදාළව කටයුතු කරන කීර්තිමත් විද්වතුන් වන ආචාර්ය සුමිත් පිලපිටිය සහ වෛද්‍ය ප්‍රිතී විරාජ් ප්‍රනාන්දු යන අය ඉදිරිපත් කර ඇති වටිනා පත්‍රිකා සහ නිර්දේශ අප අධ්‍යයනය කළා. ඒ මඟින් ඉදිරිපත් කරන අදහස් සහ යෝජනා බලධාරීන්ගේ ඇස නොගැටීම බලවත් ප්‍රශ්නයක් බව කිව යුතුයි.
එමෙන්ම අද වන විට අලින් සහ සාමාන්‍ය ජනතාව අතර සිදු වන ගැටුම් හේතුවෙන් ලෝකයේ වැඩිම අලින් සංඛ්‍යාවක් මරණයට පත් වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. 

ඒ විතරක් නොවෙයි...අලි-මිනිස් ගැටුමට මැදිවී ලෝකයේ දෙවැනි තැනට මිනිසුන් මිය යන රට බවට ද පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. මේ තොරතුරු හෙළි වී තිබෙන්නේ රටේ කීර්තිමත් විද්වතුන් කණ්ඩායමකකට ඇතුළත් වන ආචාර්ය ඒ.ඩබ්ලිව්.විජේරත්න, ආචාර්ය ප්‍රීති විරාජ් ප්‍රනාන්දු සහ පරිසරවේදී සුපුන් ලහිරු විසින් සිදු කර ඇති අධ්‍යයනයන් මඟිනුයි.

අපට වාර්තා වී ඇති ආකාරයට මෙම තත්ත්වය පාර්ලිමේන්තු කමිටුවකදී ද අවධානයට ලක්වී තිබෙනවා. එමෙන්ම අලි-මිනිස් ගැටුම ගැන ගෙවුණු දශක කිහිපය ඇතුළත දී මේ රටේ බලයට පත්වූ විවිධ ආණ්ඩු ජනතාවට විවිධ පොරොන්දු ලබාදී තිබෙනවා. එහෙත් ඵලදායී යමක් සිදු වූවේ යැයි අපට සතුටු වෙන්න බැහැ.

අප මේ ඉදිරිපත් කරන කරුණ රටට කෙතරම් බලපෑමක් කරනවාද කියන කාරණය බලධාරීන් නිවැරදිව තේරුම් ගත යුතු වෙනවා. අද වන විට දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක 19ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක්ම අලි-මිනිස් ගැටුමට මැදි වෙලා තිබෙනවා. ඒ වගේම වාර්ෂිකව අලි-මිනිස් ගැටුම දරුණු අතට පත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවත් වාර්තාගතව වැඩි වෙමින් තිබෙනවා. කෙටියෙන්ම කියනවා නම් දකුණින් හම්බන්තොට සිට යාපනය දිස්ත්‍රික්කයට අයත් මදුරන්කේනි හෙවත් වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දක්වාම උතුරු දෙසට අලි-මිනිස් ගැටුම පැතිරී තියෙනවා.

මේ ගැන කරුණු අධ්‍යයනය කර වටිනා නිගමන සහ නිර්දේශ රටට ලබා දෙන ලෝකය පිළිගත් විද්වතුන් ගණනාවක්ම අප රටේ සිටිනවා. ඔවුන්ගේ නිගමන සහ නිර්දේශ පිළිබඳව ජාත්‍යන්තරයේ පවා විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා. ඒ ගැන අධ්‍යයනය කිරීමට විදේශ රටවල නියෝජිත කණ්ඩායම් පවා ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වෙනවා. 

නමුත් ඔවුන්ගේ අදහස්වලට ප්‍රමාණවත්  අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණක් වන අතර එමනිසා මෙහිදී අප ඉතාමත් ඕනෑකමින් යුක්තව අදාළ  බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සිදු වෙමින් පවතින විනාශය අවම කර ගැනීම සඳහා නොපමාවම අවධානය යොමු කර වන ලෙසයි. එහිදී මෙම ක්ෂේත්‍රය පිළිබඳව පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදු කරන ලද ප්‍රාමාණික විද්වතුන්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා ලෙසයි. 

එහිදී අතීත පැරණි ක්‍රමවේද සමඟ නවීන තාක්ෂණය ද උපයෝගී කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එමෙන්ම එහිදී අප රටක් ලෙස මුහුණ දී ඇති යථාර්ථය ද තේරුම් ගත යුතු වෙනවා. එනම් මේ වන විට අලින්ගේ වාසභූමිවලින් 70% ක්ම පිහිටා ඇත්තේ මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවලයි. අලි-ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට නොහැකි වී ඇත්තේ මේ නිසයි.

එම නිසා ඉතාමත් සැලසුම්ගත ක්‍රමවේදයක් උපයෝගී කර නොගෙන මේ ප්‍රශ්නයට මුහුණදීම අසීරු වෙනවා. එමෙන්ම ඒ අතර තුර අලි-ඇතුන්ගෙන් ජනාවාසවලට සහ වගා බිම්වලට සිදු වන හානි වැළැක්වීම සඳහා ස්ථිර විදුලි වැටවල් සේම කුඹුරු වටා ඉදිකරන තාවකාලික විදුලි වැටවල් ද එක් කිරීම ඉතා වැදගත් බව කිව යුතුයි. 

ඊට අමතරව එම කටයුතු ප්‍රජා මූල සහභාගිත්ව ව්‍යාපෘතීන් හරහා සිදු කිරීමද වැදගත් වන අතර ප්‍රජාවගේ මූලිකත්වයෙන් වැටවල් ඉදිකිරීමට නොහැකි වන අවස්ථාවල දී පමණක් එම ඉදිකිරීම් සඳහා රජය මැදිහත් විය යුතුයි. එමෙන්ම ජනතාවට සිදු වන ශාරිරික සහ දේපල හානි සඳහා වන්දි ගෙවීම අඛණ්ඩවම සිදු කළ යුතු වෙනවා. 

අපට වාර්තා වන ආකාරයට බෝග වගා හානි සඳහා වන්දි ගෙවීමක් මෙතෙක් සිදු වී නැහැ. ඒ නිසා සිදු වන වගා හානි සඳහා ද රජය මඟින් සුදුසු වන්දියක් ගෙවිය යුතුයි. ඒ වගේම මේ ප්‍රශ්නයෙන් රට මුදා ගන්නට නම් ජාතික මට්ටමෙන් ක්‍රියාන්විතයක් සැලසුම් කළ යුතු වෙනවා. එහිදී වනජීවී දෙපාර්තමේන්තුව සේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිළධාරී සහ කෘෂිකර්ම නිළධාරී වැනි හැම ක්ෂේත්‍රයකටම අයත් අමාත්‍යංශ වගේම දෙපාර්තමේන්තු එම කටයුත්තට සම්බන්ධ කර ගත යුතු වෙනවා.

ඒ වගේම පසුගිය කාලයේ රටේ විවිධ ආපදා තත්වයන්හිදී සාර්ථක ලෙස ක්‍රියා කළ යුධ හමුදාවේ ද ක්‍රියාකාරීත්වයන් හරහා මේ ප්‍රශ්නයට සාර්ථක විසදුමක් ලබා ගත හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. එපමණක් නොවෙයි එවැනි විධිමත් සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සහ මාර්ගෝපදේශ ලබා දෙන සහ එම කටයුතු අධීක්ෂණය කරන ජනාධිපති කාර්ය සාධක බලකායක් ද නිර්මාණය කළ යුතු වෙනවා. 

එවැනි ඒකාබද්ධ ක්‍රියාවලියකින් පමණයි මේ උවදුරෙන් රටේ ජනතාව සේම අලි සම්පත ද ගලවා ගත හැකි වන්නේ...ඒ ගැන රජයේ අවධානය යොමු වේවායි අප ප්‍රාර්ථනා කරනවා. ඒ සමඟම අද වන විට මේ රටේ මහා දවාලේ කිසිදු හිරිකිතයක් බියක් නැතිව සිදු කරන මහා පරිමාණ වංචාවන් කිහිපයක් ගැන ද අසන්නට ලැබෙනවා. 

මෙවැනි සිදුවීම් ගැන කතා කරන්නට සිදුවීම එක්තරා අතකට කණගාටුවට හේතුවක් බව කිව යුතුයි. පිරිසිදු රාජ්‍ය පාලනයක් සහ පිරිසිදු මූල්‍ය පාලනයක් ගැන නිතර දෙවෙලේ ජනතාවට පොරොන්දු ලබා දුන් දේශපාලඥයන්ගෙන් සමන්විත රජයකින් මෙවැනි දේ ජනතාව හීනෙකින්වත් බලාපොරොත්තු වූයේ නැහැ. ඒ අතින් අද මේ රටේ බහුතර ජනතාවක් ද ලැජ්ජාවට පත් වෙලා. ඒ කෙසේ නමුත් මෙවැනි සිද්ධීන් රටක නොවිය යුතුයි. ඉදිරියේ දී කිසිසේත්ම සිදුවීමට ඉඩ නොදිය යුතුයි. එම මහා පරිමාණ වංචාකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදිය යුතුමයි.

එවැනි මහා පරිමාණ දැවන්ත වංචාවකට හවුල් වූ එහෙමත් නැත්නම් ඊට අනුබල දුන් බවට තොරතුරු ඇති එක් සභාපතිවරයෙක් පදවියෙන් ඉවත්ව ගියා. 
නමුත් ඊට පසුව ඔහු අද ජනාධිපතිතුමන් යටතේ ඇති වෙනත් ආයතනයක සභාපති තනතුරක් දරමින් සිටිනවා. ඔහුගේ ද සම්බන්ධයක් ඇතුව මේ රටේ සිදුවූ බිලියන 10 ක් තරම් වූ ඒ මහා වංචාව ගැන රජයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. 

මේ තත්ත්වය ඉතාමත් පැහැදිලිවම ජනාධිපතිතුමා කෙරෙහි මේ රටේ ජනතාව ඇති කර ගෙන තිබූ විශ්වාසයට බලවත් හානියක් වන අතර එතුමාගේ කීර්ති නාමයට සිදු වන කැලලක් බව කිව යුතුයි. එතුමා ඒ බව තේරුම් ගත යුතුයි. වෙළඳ ක්ෂේත්‍රයේ ස්වභාවය ගැන අවබෝධයක් ඇති අයට මේ සිද්ධිය තේරුම් ගැනීම ඉතාමත් පහසුයි. 

ඒ සඳහා එක උදාහරණයක් මා පෙන්වා දෙන්නම්...1980 දශකයේ දී දේශීය සීනි නිෂ්පාදකයා වෙත සාධාරණ මිලක් ලබාදීමේ වැඩ සටහනක් සකස් කළා. 
එහිදී සීනි නිෂ්පාදකයන් සේම සීනි ආනයනකරුවන්ද මහා භාණ්ඩාගාරයද ඒකාබද්ධව කටයුතු කළා. එම යුගයේ සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතීත්වය දරන ලද්දේ මා විසිනුයි. එදා සීනි නිෂ්පාදකයන් නියෝජනය කළේ සීනි සංයුක්ත මණ්ඩලයේ සභාපතිවරයාව සිටි එමෙන්ම පසු කලක නියෝජ්‍ය කතානායක ධූරය ද දැරූ ආනන්ද කුමාරසිරි මහතායි. එදා එක සීනි කිලෝවකින් ආනයනකරුවෙක් ලබා ගත්තේ සත 05 ක හෝ 10 ක ලාභයක් පමණයි. එහෙත් පසුගියදා මහා වංචාවකට හේතු වූ කූට ගණුදෙනුවේදී ආනයනකරුවන්ට එක සීනි කිලෝවකින් රුපියල් 50 ට වඩා අයුතු ලාභයක් ලබා ගන්නට පහසුකම් ලබාදී තිබෙනවා. 

ඒ නිසා මේ වෙළඳාම ගැන දන්නා අපට මේ වගේ සිදුවීම් දකින විට ඇති වන්නේ හිරිකිතක්...ඒ වගේම ලැජ්ජාවක්. එමෙන්ම ලංකා බැංකුවේ එක්තරා බැංකු ශාඛාවක් යොදා ගෙන රුපියල් බිලියන 03 ක ණය ලබාදීම පසුපස ඇති ඛේදනීය තත්වය ගැන අද වන විට රටේ දැඩි කතාබහක් ඇති වෙලා තිබෙනවා. මෙවැනි ගණුදෙනු සිදු විය හැක්කේ දේශපාලන බලපෑමකින් පමණයි. මේ ණය ගණුදෙනුව සිදු වී ඇති ආකාරය විශ්වාස කළ නොහැකියි. පිරිසිදු රජයකින් මෙවැනි දේ සිදුවිය හැකි ද?  මේ මොන නීතියක් ද? 

ඒ නිසා අද එක රටක් එක නීතියක් ගැන කතා කරන එක විහිලුවක් වෙලා. ඒ කෙසේ වෙතත් අද රටේ සිදු වෙමින් පවතින්නේ කුමක් ද යන්න පිළිබදව ජනතාව සිටින්නේ ඉතාමත් ම අවදියෙන් බව කිව යුතුයි. ඔවුන්ට බොරු කරන්න හිතනවා නම් එමගින් සිදු වන්නේ විහින් මුලාවේ වැටීමක් වන අතර 
රජය ඒ බව අවබෝධ කර ගත යුතුයි.

Advertiesment