Tuesday 2nd of March 2021

English Tamil
Advertiesment


රටට එරෙහිව TNA ජිනීවා වෙත ගතු කියලා 


2021-01-21 6197

ත්‍රිකුණාමල රදගුරු හිමිපාණන් ද ඒ අතර..!

 

අපේ කැමැත්ත ඇතිව හෝ නැතිව අපේ රට ගැන ක්‍රියා කරන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඉල්ලලා

 

TNA මේ ගැන කියන්නේ කුමක්ද..?

 

හමුදාව යුද අපරාධ කළා නම් ජනපතිවරණයේ දී SF ට සහය දුන්නේ කෙසේද..? 

 

ජිනීවා තර්ජනය මැඩ පැවැත්වීමට දැඩි පියවර ගත යුතුයි 

 

ජිනීවා අභියෝගය ජය ගන්නා හැටි රෝහිත බෝගොල්ලාගම පහදයි

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ අටක් සහ ත්‍රිකුණාමලයේ රදගුරු හිමිපාණන් එල්ටීටීඊ හිතවාදී අභ්‍යන්තර සහ භාහිර බලවේග සමග එකට එක්ව ශ්‍රී ලංකාවට සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක යෙදී සිටින්නේ යැයි යුද කාලීන විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා චෝදනා කර සිටියි.

"lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවැසූ යුද කාලීන විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා (2007-2010) මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු කාරණා හෙළිදරව් කරමින් මෙසේද පැවසීය. 

"ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ අටක් සහ ත්‍රිකුණාමලයේ රදගුරු හිමිපාණන් එල්ටීටීඊ හිතවාදී අභ්‍යන්තර සහ භාහිර බලවේග බලවේග සමග එකට එක්ව, 2021 මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයේ දී රටට සහ රජයට එරෙහිව ඒකාබද්ධ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා.

දෙමළ ජාතික සන්ධානය (TNA), දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) සහ දෙමළ මක්කල් ටෙසියා කූටානි (TMTK) යන දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ගණනාවක් ද සමග එකට එක්ව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනය කරමින් බලපෑම් කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඉල්ලමින් සිටින අතර රටක්-ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ඊට නිසි ලෙස විරුද්ධ විය යුතුයි.

ශ්‍රී ලංකාවේ කැමැත්ත ඇතිව හෝ නැතිව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන්නැයි ආර් සම්බන්ධන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සී.වී විග්නේශ්වරන් සහ ත්‍රිකුණාමලය රදගුරු හිමිපාණන් ඇතුළු මෙම කණ්ඩායම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් වෙත කරුණු දක්වමින් 2021 ජනවාරි 15 වැනිදා විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. 

ජන සංහාර, යුද අපරාධ සහ මානුෂීය අපරාධවලට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඵලදායී ජාත්‍යන්තර ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇති මොවුන් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඇතුළු ආයතන සම්බන්ධ කර ගන්නා ලෙසට ද දැනුම් දී තිබෙන බව කිව යුතුයි.

ත්‍රස්තවාදය සහ සම්ප්‍රදායික හමුදා ක්‍රම මගින් ඊළාම් සිහිනය සැබෑ කර ගැනීමට අපොහොසත් වූ මෙම කණ්ඩායම් ජන වර්ග අනුව රට බෙදිය යුතු යැයි  තවමත් විශ්වාස කරන අතර ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අපේක්ෂා කරනවා. 

රටක් ලෙස ශ්‍රී ලංකාව 2009 මැයි මාසයේ දී කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද්ධය සාර්ථකව අවසන් කළා. ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා සහ ගැළවුම්කාරයා ලෙස වේළුපිල්ලේ ප්‍රභාකරන් පිළි ගන්නා ලෙසට එල්ටීටීඊ සංවිධානය ද්‍රවිඩ ජාතික සන්ධානයට එදා බල කළ ආකාරය එම සන්ධානය මේ වන විට ඉතා පහසුවෙන් අමතක කර තිබෙනවා. ආරක්ෂක හමුදා වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරන තුරුම එල්ටීටීඊ සංවිධානය කළේ ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා සහ ගැළවුම්කාරයා ඔහු බවට වන මතය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බලහත්කාරයෙන් පාවිච්චි කිරීමයි.

මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙනු ඇති අතර එම ක්‍රියාවලිය  වැළැක්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති හෙයින් රටක් ලෙස ශ්‍රී ලංකාව තව දුරටත් ප්‍රමාද නොවී එම තත්ත්වය පාලනය කර ගැනීමට ක්‍රියා කළ යුතුයි. වත්මන් පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භයේ දී (TNPF) සහ (TMTK) යන දේශපාලන පක්ෂ දෙමළ ජන සංහාරයක් සම්බන්ධ යෝජනා නැවත අවධාරණය කළ අතර මෙසේ දෙමළ ජනතාව සමූල ඝාතනය කරන්නේ යැයි කියමින් ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩවම එල්ල කරන දෝෂාරෝපණය සහ චෝදනාව වහාම නතර කර ගත යුතුයි. 

ද්‍රවිඩ දේශපාලන පක්ෂ මේ රජයට එරෙහිව එදා සිට මේ දක්වා අඛණ්ඩවම එල්ල කරන මෙම අභූත, අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා හෙවත් වාචාල කතා සැහැල්ලුවට නොගත යුතුයි. වන්නි-නැගෙනහිර පෙරමුණේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා එල්ල කරමින් සිටී අවසන් ප්‍රති ප්‍රහාර වැළැක්වීම සඳහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ රජයන් 2009 අප්‍රේල් මස අග දී ඒකාබද්ධ මැදිහත්වීමක් සිදු කළ බව අප දන්නවා. ඒ සිද්ධියෙන් සහ එවකට බ්‍රිතාන්‍ය විදේශ ලේකම්ව සිටී ඩේවිඩ් මිලිබෑන්ඩ් යුද සමයේ දී කළ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් එම රජයන් දැක්වූ උනන්දුවයි. 

එල්ටීටීඊ සංවිධානයේ හොරනෑව බවට පත්ව සිටී  ද්‍රවිඩ ජාතික සංවිධානයට එදා වරින් වර උතුරේ පිහිටි තවත් දේශපාලන පක්ෂ දෙකක සහය ලැබෙමින් තිබුණා. ද්‍රවිඩ ජාතික සන්ධානය හරහා 2003 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි සී.වී විග්නේශ්වරන් මහතා  පසු කාලයක දී එම කණ්ඩායමෙන් ඉවත් වුණත්  උතුරු පළාත් මහා මැතිවරයා ලෙස ඔහු ආර් සම්බන්ධන්ගේ TNA සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ TNPF යන දේශපාලන පක්ෂ සමග එකට එක්ව දෙමළ ජන සංහාරයක් සම්බන්ධයෙන් ඔවුන් දරන ස්ථාවරයට අදාළව පොදු න්‍යාය පත්‍රයක් මත කටයුතු කරමින් සිටියා.

මේ පසුබිම යටතේ ජිනීවා ප්‍රශ්නය රටක් ලෙස අපට විශාල අහියෝගයක් වේවි. බටහිර බලවතුන්ගේ සැබෑ අවශ්‍යතා සහ චේතනාව වන්නේ මේ කරුණු කාරණා සහ තත්ත්වයන්ට අදාළව ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය නොව එම ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය සැඟ වුණු න්‍යාය පත්‍රයක පිහිටි පුළුල් කාරණාවක් විය හැකියි.  

මේ අනුව එල්ටීටීඊ සංවිධානය සමග ඇති සම්බන්ධතාවය ගැන ද්‍රවිඩ ජතික සන්ධානය රට-ජනතාව හමුවේ පැහැදිළි කිරීමක් කළ යුතු අතර දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා සහ ගැළවුම්කාරයා ලෙස 2001 අග භාගයේ දී වේළුපිල්ලේ ප්‍රභාකරන්ව පිළි ගත් ද්‍රවිඩ ජාතික සන්ධානය 2005 ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ද උතුරු-නැඟෙනහිර ද්‍රවිඩ ජනතාවට නියෝග කළා.

2004 මහා මැතිවරණයේ දී එල්ටීටීඊ සංවිධානය ඡන්ද පෙට්ටි පුරවා දී තිබියදීත් ද්‍රවිඩ ජාතික සන්ධානයට උතුරු සහ නැගෙනහිර පළාත්වලින් දිනා ගත හැකි වූයේ මන්ත්‍රී ආසන 22ක් පමණයි. එල්ටීටීඊ සංවිධානය ඡන්ද පෙට්ටි පුරවා දී තිබිය දී පවා ද්‍රවිඩ ජාතික සන්ධානයට උතුරු සහ නැගෙනහිර පළාත්වලින් ආසන 22ක් පමණක් ලැබීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ද එදා ප්‍රශ්න කළා.

යහ පාලන ආණ්ඩුව ජාත්‍යන්තරය සමග එකට එක්ව දෙපාර්ශවයේ සම අනුග්‍රහය ඇතිව ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එදා යෝජනාවලියක් ඉදිරිපත් කළා. යහ පාලන ආණ්ඩුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම යෝජනාවලිය ගෙන ආවේ අපේ රටට එරෙහිව එල්ල කර තිබූ යුද අපරාධ චෝදනා සියල්ල ඊට වසර පහකට පෙර බිඳ වැටී තිබුණු අවස්ථාවකයි.

යුද්ධයට නායකත්වය ලබා දෙමින් එල්ටීටීඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 ජනාධිපතිවරණය සඳහා තරඟ කළ අවස්ථාවේ දී, ඔහුට සිය සහය පළ කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානය උතුර-නැඟෙනහිර සහ දිගාමඩුල්ල ජනතාවට කියා සිටියේ ඔහුට ඡන්දය ලබා දෙන ලෙසයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ උපරිම සහයෝගය ලැබිලත් සරත් ෆොන්සේකා මහතා එම ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට පරාජය වන්නේ ලක්ෂ 18ක් වැනි අති විශාල ඡන්ද ප්‍රමාණයකින් බව අප කවුරුත් දන්නවා.

සරත් ෆොන්සේකා නායකත්වය දුන් එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි අවසන් මානුෂීය මෙහෙයුමේ දී සිවිල් සහ සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට එරෙහිව යුද අපරාධ සිදු කෙරුණා නම් ජනාධිපතිවරණයේ දී ද්‍රවිඩ ජාතික සන්ධානය ඔහුට සහය දුන්නේ කෙසේද..? ඒ ඇයි..? ජනාධිපතිවරණයේ දී එසේ යුද්ධය ජය ගත් එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ලබා දුන් ඒ සහයෝගය සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය රට හමුවේ පැහැදිළි කිරීමක් කළ යුතුයි. ඔවුන් තවමත් ඒ ගැන කිසිවක් නොකියන්නේ ඇයි..? 

මේ පසුබිම යටතේ පාර්ලිමේන්තුව ඇතුළත දී සහ පාර්ලිමේන්තුවෙන් බැහැරව මහා සමාජයේ දී, අප ද්‍රවිඩ ජාතික සන්ධානයේ මෙම ක්‍රියාකලාපය, අරමුණ, න්‍යාය පත්‍රය සහ වැඩ පිළිවෙළ අභියෝගයට ලක් කළ යුතුයි. යුද අපරාධ සම්බන්ධයෙන් ඔප්පු කළ නොහැකි චෝදනා රටේ ආරක්ෂක හමුදා වෙත එල්ල කරන අතරම යුද්ධයේ දී එම හමුදාවලට නායකත්වය දුන් එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතාට 2010 ජනාධිපතිවරණයේ දී ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු උතුරේ ඒ දේශපාලන කණ්ඩායම් සිය සහය ද පළ කර සිටීම එකකට එකක් පරපර විරෝධීයි. සරත් ෆොන්සේකා ප්‍රධාන යුද හමුදාව යුද අපරාධ කළා නම් ද්‍රවිඩ ජාතික සන්ධානය 2010 ජනාධිපතිවරණයේ දී එම යුද අපරාධකාරයාටම සහය දුන්නේ කෙසේද..?

මේ අතර පුනුරුත්ථාපන කඳවුරුවල සිටින එල්ටීටීඊ රැඳවියන්ට ආරක්ෂක අංශ මැදිහත් වී වස දුන් බවට වන බරපතළ චෝදනාවක් උතුරු පළාත් මහා ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා 2016 අගෝස්තු මාසයේ දී එල්ල කළා අපට මතකයි. එපමණක් නොව 2019 දී මන්නාරමෙන් හමු වූ මිනිස් ඇටකටු ද්‍රවිඩ ජාතිකයින්ගේ බවට ද ඔහු චෝදනා එල්ල කළා. කිසිසේත් ඔප්පු කළ නොහැකි මෙම අභූත, අසත්‍ය සහ පදනම් විරහිත මෙම සියලු චෝදනා යනු විවිධ සැඟ වුණු න්‍යාය පත්‍ර මත මේ කණ්ඩායම් රටට එරෙහිව ගෙන යන හුදු ප්‍රචාරක ව්‍යාපාර පමණක් බව කිව යුතුයි.

මේ අභියෝග සහ ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා මෙම චෝදනාවලට අදාළව සියලු සාක්කි රටක්-ජාතියක් ලෙස අප එකතු කර ගත යුතු අතර අදාළ චෝදනා සම්බන්ධයෙන් ඒ අය ඉදිරිපත් කරන සාක්කි සේම එම චෝදනාවලට එරෙහි අපේ සාක්කි සම්බන්ධයෙන් ද අප පුළුල් අධ්‍යනයක් සිදු කළ යුතු බව කිව යුතුයි. විශේෂයෙන් යහ පාලන ආණ්ඩුව ජාත්‍යන්තරය සමග එකට එක්ව දෙපාර්ශවයේ සම අනුග්‍රහය ඇතිව ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී ඉදිරිපත් කළ යෝජනාව පුළුල් ලෙස විමර්ශනයට ලක් කළ යුතුයි. 

යුද සමයේ දී ශ්‍රී ලංකාවේ යුද අපරාධ ඇතුළු වැරදි සිදුව ඇති බවට වන පූර්ව නිගමනයකට පැමිණ එම වැරදි නිවැරදි කර ගැනීම සඳහා අදාළ ඒ ඒ ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වෙමින් යහ පාලන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී ඉදිරිපත් කළ යෝජනාවට  එවකට ජිනීවා හී ශ්‍රී ලංකා තානාපති රවීනාත ආරියසිංහ මහතා තරයේ විරුද්ධ වෙමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයට යහ පාලන ආණ්ඩුවෙන් ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාව සම්බන්ධ එම යෝජනාව සමග ජාත්‍යන්තරය ඉදිරියටම ගමන් කළේ ජිනීවා හී අපේ ශ්‍රී ලංකා තානාපති රවීනාත ආරියසිංහ මහතා දැක්වූ දැඩි විරෝධය නොතකමින් බව කිව යුතුයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයේ දී රටක් ලෙස අප ඒ ගැන ද සිහිපත් කරමින් ඊට අපගේ විරෝධය පළ කළ යුතුයි."

 

   

    
 
 

Advertiesment