Friday 5th of March 2021

English Tamil
Advertiesment


විදේශ සේවා අරමුදලේ බිලියන 14න් රට විරුවන් ගෙන්වනු


2021-01-14 5004

රට විරුවන් ගෙන්වීමට යන්නේ බිලියන 9 යි

 

විදේශ සේවා අරමුදලේ බිලියන 14ක් පොදි ගහලා

 

විදේශ සේවා අරමුදල් තුනක බිලියන 14ක් පොදි ගහලා

 

ආණ්ඩුව රට විරුවන් ගෙන්වා නොගන්නේ සල්ලි තිබියදීයි
 

වසංගතය වසන්තයක් කර ගත් ගජ මිතුරු කල්ලිය රට විරුවන් කොල්ල කනවා 

 

රට විරුවන්ට අමානුෂික ලෙස සැලකීම නවතනු..!

 

රටේ ලොකුම විහිළුව නීතිය බවට පත් වෙලා 

 

 
සුජිත් මංගල ද සිල්වා) 
 

මැද පෙරදිග ඇතුළු රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 60,000 සිය මව් බිමට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් තුනක තිබෙන රුපියල් බිලියන 14 ක අති විශාල මුදල් සම්භාරයෙන් රුපියල් බිලියන 9 ක් වැනි මුදලක් වියදම් කිරීමට රජයට නොහැකි මන්දැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ප්‍රශ්න කර සිටියි.

සිය දහදිය, මහන්සිය සහ කදුළු වගුරුවා ශුද්ධ විදේශ විනිමය ආදායමක් උපාය දෙමින් රට-ජනතාව සහ ආණ්ඩුව ජීවත් කළ ශ්‍රී ලාංකික විදේශ ගත ශ්‍රමිකයින්ට ආණ්ඩුව මේ මොහොතේ දක්වමින් සිටින අමානුෂික ප්‍රතිචාරය තරයේ හෙළා දකින බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා සිය ජීවිත කැප කරමින් දුකසේ ඔවුන් උපයා ගත් මුළු සේසත කොවිඩ් වසංගතය වසන්තයක් කර ගත් ගජ මිතුරු කල්ලියකට සූරා ගෙන කෑමට ඉඩ නොතැබිය යුතු යැයි ද අවධාරණය කර සිටියි.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (14) පැවැති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.  

ජාතික වැදගත්කමින් යුතු කරුණු කිහිපයක් ගැන ජනතාවගේත් රජයේත් අවධානය යොමු කිරීම සදහා සත්භාවයෙන් යුතුව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැදවා තිබෙනවා.

ගරු ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසුව එතුමන් සිදු කළ විශේෂ ඉල්ලීම වූයේ මේ රටට යහපත් පාලනයක් ලබාදීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලය ද ලබාදෙන ලෙසයි. ගරු ජනාධිපතිතුමා කෙරෙහි මේ රටේ ජනතාව තබා තිබූ අසීමිත විශ්වාසය හේතුවෙන් ජනතාව එකී ඉල්ලීම ද නොපිරිහෙලා ඉටු කළා. වර්තමාන රජයට 2/3ක බහුතර බලයක් ලැබුණේ ඒ නිසායි. 

අනතුරුව ගරු ජනාධිපතිතුමා සේම රජයේ අනිකුත් ප්‍රධානීන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වන සංශෝධනය ගෙන ඒමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නා. ඔවුන් සතු බලය උපයෝගී කර ගනිමින් මීට පෙර මේ රටේ සිටි කිසිදු පාලකයෙකුට නොලැබූ බලයක් 20 වන සංශෝධනය හරහා ඔවුන් ලබා ගත්තා. 
එහෙත් එම අසීමිත විධායක බලතල මේ රටේ ජනතාවගේ යහපත උදෙසා යොදා ගෙන තිබෙනවාද..? කණගාටුවෙන් වුවත් ඊට දිය හැකි පිළිතුර "නැහැ" යන්නයි. 

එහෙත් ලබා ගත් එම අසීමිත බලය උපයෝගී කර ගනිමින් මේ දක්වා සිදු කර ඇති සහ මේ වන විටත් සිදු කරමින් සිටින ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිළිබදව ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකියි. ඇත්ත වශයෙන්ම ජනතාව අපේක්ෂා කළ සුන්දර ලෝකය වෙනුවට 20 වන සංශෝධනය ඔවුන්ගේ හිස මත පටවා ඇති ගිනි කබලක් බවට පත් කර තිබෙනවා. 

අද වන විට විදේශ රටවල් ගණනාවක දුක් විදින අහිංසක ශ්‍රි ලාංකිකයන් පිළිබදව පවා වර්තමාන පාලනය දක්වමින් සිටින අමානුෂික ප්‍රතිචාර පිළිබදව  සැලකීමේදී අපට ඇති වන්නේ බලවත් වේදනාවක් බව කිව යුතුයි. මැද පෙරදිග ද ඇතුළු රටවල් ගණනාවක රැකියා කරන මේ ශ්‍රී ලාංකික පුරවැසියන් තරම් මේ රටේ දේශපාලකයන් මේ රටට-ජනතාවට සේවයක් කර තිබේද යන ප්‍රශ්නය ඇසිය යුතුව ඇති ඉතාමත් සාධාරණ ප්‍රශ්නයක් වී තිබෙනවා.

ගෙවුණු දශක ගණනාවම සැලකීමේදී මේ රටට ශුද්ධ විදේශ විනිමය ආදායම ගෙන ආවේ කවුරුවත් නොව මේ විදේශ ගත ශ්‍රමිකයිනුයි. ඒ අනුව මෑත භාගයට අදාළව සැලකීමේදී මේ රටට වඩාත්ම වැදගත්ම සේවයක් සිදු කර ඇත්තේ ඔවුන් බව පැහැදිළියි. ඔවුන්ගේ දහදිය සහ කදුළු මත යැපෙමින් සිටින රටක් අද ඔවුන්ට සලකන්නේ කෙසේද..?

අද වන විට ඉන්නට හිටින්නට තැනක් හෝ නොමැතිව පොදු මහජන උද්‍යානයන්හි පවා කල් ගෙවමින් මැද පෙරදිග රටවල අන්ත අසරණ වී සිටින එම ජනතාවගේ දුක් අදෝනාවන් නෑසූ කන්ව සිටින්නට හැකියාවක් තිබේ ද..? වසර ගණනාවක් පුරා දහදිය-කදුළු වගුරවමින් ඔවුන් උපයා ගෙන ඇති මුළු සේසතම කොවිඩ් වසංගතය වසන්තයක් කර ගත් ගජමිතුරු කල්ලියකට සූරා ගෙන කන්නට ඉඩ දි බලා සිටින රටක් ගැන ලැජ්ජා නොවී සිටිය හැකිද..?
අද සෑම අතකින්ම ඇසෙන්නේ ඔවුන්ගේ දුක්අදෝනාවන් ය. සිය මව් රටට ඒමට නොහැකිව අන්ත අසරණව සිටින ඔවුන් පිළිබදව වැදගත් ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කිරීම රජයේ යුතුකම බව කිව යුතුය. ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පහත සඳහන් යෝජනා සහ අදහස් රජය වෙත ඉදිරිපත් කරන්නෙමු. 

අපට ලැබුණු වාර්තා අනුව දැනට 60,000ක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ආපසු සිය මව් රටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙහිදී ලෝකයේ සමහර රටවල් රජයේ වියදමින් සිය රට වැසියන් ගෙන්වා ගෙන ඇති බවත් අප අමතක කළ යුතු නොවේ. මොවුන් දහදිය මහන්සිය හෙළා උපයා ගත් මුදල ආපසු ඒමට වියදම් කළ හොත් ඒ තත්ත්වය කෙතරම් අසාධාරණ ද..?

අප දැනුවත්ව ඇති අන්දමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුබද්ධිත අරමුදල් තුනක රුපියල් බිලියන 14 කට ආසන්න දැවන්ත මුදල් සම්භාරයක් එකතුවී තිබෙනවා.අපගේ ගුවන් සේවා හරහා රුපියල් බිලියන 9කට අඩු මුදලකට මෙම පිරිස ගෙන්වා ගැනීමට ද හැකියාව තිබෙනවා. එම පියවර අවස්ථානුකූලව ගත හැකි මානුෂික ක්‍රියාමාර්ගයක් ලෙස අප දකිනවා. මෙම ආයාචනය රජයේ අවධානයට යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා.

එමෙන්ම අපට කරුණු දැක්වූ බොහෝ ශ්‍රී ලාංකිකයන් සදහන් කළේ මෙම රජය බලයට පැමිණි විගසම මැද පෙරදිග තානාපති කාර්යාලවල සිටී විදේශ සේවා කාර්යංශයට අනුබද්ධ නිලධාරින් බොහෝ ගණනක් ආපසු ගෙන්වා ගත් බවයි. ඒ නිසා අද එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට සේවය ලබාදීම සඳහා එකී තානාපති කාර්යාලවල ප්‍රමාණවත් සේවක පිරිසක් නොමැති බවටද තොරතුරු තිබෙනවා. 

විශාල ශ්‍රී ලාංකික සේවක සංඛ්‍යාවක් සිටින රටවල සුභසාධක කටයුතු සදහා පමණක් විදේශ සේවා කාර්ය්‍යංශයට අනුබද්ධිතව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුන් හතර දෙනෙකු සිටී බවත් මේ වන විට ඔවුන් නොමැතිවීම හේතුවෙන් තමන්ට ලැබිය යුතු සහය බොහෝ අවස්ථාවල නොලැබුණු බවත් බොහෝ දෙනෙකු අපට වාර්තා කර තිබෙනවා. මේ කරුණු ගැන රජයේ විශේෂ අවධානය යොමු කිරීම යෝග්‍ය වන බව කිව යුතුයි. මානුෂිකව සිතා බලා ඉක්මනින් මෙම අසරණ ජනතාවට සරණ වන ලෙස අප රජයට කියනවා.

ගෙවුණු සතියේ දී  සියලු දෙනා කම්පාට පත් වූ ඊළඟ කරුණ වූයේ දේශපාලන බලය යොදා ගනිමින් පරිසරයට කෙරෙන මහා විනාශය සම්බන්ධවයි. විශේෂයෙන්ම එවැනි එක් අවස්ථාවක් වූයේ අති උතුම් කාදිනල්තුමා වාර්තා කළ වත්තල ප්‍රදේශයේ පරිසර විනාශයයි. ඒ සදහා අවශ්‍ය අවසර ලබා ගෙන තිබූ බව ඊට පිළිතුරු ලෙස පසුව වාර්තා වුණා. අපේ රටේ අවසර ගැනීම ඉතා පහසුවෙන් කර ගත හැකි නිසා ඒ ගැන නිසි පරීක්ෂණයක් සිදු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

කණගාටුදායක තවත් කරුණක් වූයේ කුරුණෑගල බුවනෙකබා උද්‍යානයේ මල් වත්තක් ඉදිකිරීම සදහා අවුරුදු 100 ට වඩා පැරණි වටිනා ගස් කපා දැමීමේ සිද්ධියයි. එම ක්‍රියාව ජාතික අපරාධයක් ලෙස අප සලකනවා. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ඓතිහාසික ගස් සුරක්ෂිත කර උද්‍යාන සැලසුම් කිරීම සාමාන්‍ය සිරිතක් බව රජයට සිහිපත් කළ යුතුයි. මෙහිදීත් බලධාරීන් එසේ ක්‍රියා කළේ නම් කෙතරම් වටිනවා ද..? කෙතරම් ප්‍රායෝගික ද..? 

මෙම ව්‍යාපෘතිය සදහා ද රජයේ අවසරය ලබා ගත් බව පසුව සඳහන් වුවත් මේ රටේ නීතිය නැමෙන අවස්ථා අප දැක තිබෙනවා. පුරා විද්‍යා වටිනාකමින් යුතු බුවනෙක රාජ සභා මණ්ඩපයද කඩා දමා මාස ගණනාවක් මේ වන විට ගෙවී ඇතත් ඊට වග කිව යුතු අය තවමත් සිටින්නේ නිදැල්ලේ නොවේද..? එක රටක් එක නීතියක් ගැන ජනතාව අතර බලවත් විශ්වාසයක් ඇති කළ පිරිස අද වන විට එම පොරොන්දුව යතාර්ථයක් බවට පත් කර තිබේ ද..? අද වන විට නීතිය තරම් හාස්‍යයට ලක් වන කිසිවක් ඇත්තේ නැහැ. එම තත්ත්වය අතිශය බිහිසුණුයි. නීතිය අයුතු ලෙස යොදා ගැනීම, අව භාවිතා කිරීම, සැහැල්ලුවට ගෙන කටයුතු කිරීම තරම් රටකට සිදු කළ හැකි වෙනත් විනාශයක් ඇත්තේ නැහැ.  

මහර බන්ධනාගාරයේදී සිදු වූ සිද්ධියෙන් පසුව දක්නට ලැබුණු නාටකීය රංගනය පිළිබඳව සලකා බැලීමේදී ද ඒ බව වටහා ගත හැකියි. අද වන විට එහි සැබෑ සත්‍යය ඉතා පැහැදිළිව හෙළිදරව් වී තිබෙනවා. ඒ සියල්ලම වෙඩි තබා සිදු කළ මනුෂ්‍ය ඝාතන බව මේ වන විට හෙළිදරව් වී තිබෙනවා. එහෙත් යුක්තිය ඉටු වී තිබෙනවා ද..? යුක්තිය ඉටු වන බවට සේයාවක් පවා දකින්නට තිබෙනවා ද..? නැහැ...

ඒ අනුව නියත වශයෙන්ම මෙවැනි තත්ත්වයක දී සිදු විය හැක්කේ කුමක් ද..? ලෝක ඉතිහාසය එහිදී අපට කියා දී ඇති වැදගත්ම පාඩම කුමක් ද..? හැම විටම යුක්තිය පාගා දමා ගෙන සිටිය නොහැකි බවයි. නිවැරදිම මොහොතේ ජනතාව යුක්තිය ඉල්ලා පෙරට ඒම නවතාලීමට හැකි ජගතෙක් මේ ලොව මෙතෙක් බිහිවී නොමැති බවයි. මේ රටේ පාලකයන් හැම දෙනාම ඒ බව තේරුම් ගැනීම ඉතා යහපත් බව කිව යුතුයි.

Advertiesment