2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා විය යුත්තේ රංජන් රාමනායක මහතා යැයි නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර සිටියි.
රංජන් රාමනායක මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කර ගැනීම සඳහා අඛණ්ඩවම සටන් කරන්නේ යැයි ද, ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා කර ගැනීමට නොහැකි වුණොත් නව සිහළ උරුමයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හෝ රට-ජනතාව වෙනුවෙන් කරළියට ගෙන එන්නේ යැයි ද සරත් මනමේන්ද්‍ර මහතා සඳහන් කළේය.
මහා මැතිවරණයේ දී රංජන් රාමනායක මහතාට නාම යෝජනා ලබා දීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මන්දෝත්සාහී වූ අවස්ථාවේ දී ඔහුට කොන්දේසි විරහිත නාම යෝජනා ලබා දීමට නව සිහළ උරුමය ඉදිරිපත් වූ බව සිහිපත් කළ සරත් මනමේන්ද්‍ර මහතා, ඒ ගැන රංජන් රාමනායක මහතා අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ සඳහන් කළේ යැයි ද කියා සිටියේය.
දුෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව රට-ජනතාව වෙනුවෙන් කිසිදු බියකින් සහ සැකයකින් තොරව අභීත ලෙස ගෙන ගිය සටන සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට නව සිහළ උරුමයේ සහ තමාගේ ආචාරය පුද කරන්නේ යැයි ද, රංජන් රාමනායක කියන්නේ සත්‍යවාදී අවංක නායකයෙකු යැයි ද, ඔහු කවදා හෝ හිර ගෙදරින් එළියට එන්නේ ජාතික වීරයෙකු ලෙස යැයි ද සරත් මනමේන්ද්‍ර මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
Lanka Newsweek © 2021