Tuesday 2nd of March 2021

English Tamil
Advertiesment


හරීන් ප්‍රනාන්දුට එරෙහි ජනපතිගේ වියරුව පරදවමු..!


2021-01-11 2468

ජපතිවරයා කළේ පැසුණු බුද්ධියක් ඇති නායකයෙකු නොකළ යුතු ප්‍රකාශයක් 

 

ජනපතිගේ තර්ජන  ශිෂ්ඨ සමාජය ඉවසන්නේ නැහැ 

 

ආණ්ඩුවේ දේශපාලකයින් ද ඒකාධිපති වියරුවේ ගොදුරු බවට පත් වනු නියතයි 

 

මේ ඒකාධිපති වියරුවට එරෙහිව සියලු දෙනා එක් විය යුතුයි

 


(පාඨලී චම්පික රණවක)

 

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවක් අරඹයා පැසුණු බුද්ධියක් සහිත දේශපාලකයෙකු විසින් නොකළ යුතු ආකාරයේ ළඳරු විවේචනයක් ජනාධිපතිවරයා විසින් සිදු කර තිබේ. ත්‍රස්තවාදියෙකු ඝාතනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙකු සිදු කළ විවේචනය සංසන්දනය කරමින් ශිෂ්ඨ සමාජයට නොගැළපෙන ආකාරයේ තර්ජනාත්මක කතාවක් රටේ ජනාධිපතිවරයා විසින් සිදු කිරීම අප තරයේ හෙළා දැකිය යුතුය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් පසුව ගතවූ මාස 13 ක කාලය ඇතුළත දී ඔහුගේ පාලනයට අභියෝගයක් වනු ඇතැයි විශ්වාස කළ දේශපාලන නායකයින්ට එරෙහිව පොලීසිය සහ නීතිපති දෙපාර්තුමේන්තුව මෙහෙයවමින් දැවැන්ත මර්දනයක් දියත් කරන ලද අතර ආණ්ඩුවට සමීප ජඩ මාධ්‍ය කල්ලි හරහා ව්‍යාජ, ද්වේශ සහගත පුවත් මවමින් අශිෂ්ඨ ලෙස ක්‍රියා කරන ලදි. එසේම ජනාධිපතිවරයාට හිතවත් පර්ශවයන්  නඩුවලින් නිදොස් කොට නිදහස් කිරීම සදහා නිර්ලජ්ජිත ලෙස ක්‍රියා කළ ආකාරයද මුළු රට ඉදිරියේම හෙළිදරව් වී ඇත. 20 වන සංශෝධනය මගින් අධිකරණයට සහ පොලීසියට තිබූ ස්වාධීනත්වයද සම්පූර්ණයෙන්ම අහෝසිකර ඇති අතර ජනාධිපතිවරයා ක්‍රමිකව සිය දේශපාලන විරුද්ධවාදීන් රාජ්‍ය මර්දනයකට ලක් කිරීමේ ඒකාධිපති ව්‍යාධියෙන් ආතුර වී තිබේ. 

පසුගිය සමයේ කොරෝනා වසංගතයෙන් සිදු කළ ජාවාරම් සහ කූප්‍රකට සිය හිතමිතුරු ව්‍යාපාරික කල්ලිය හරහා "ඇන්ටිජන්" කට්ටලවලින්, නිරෝධායනයෙන්, සීනිවලින් සහ නානාප්‍රකාර විධිවලින් මහා ජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරමින් තිබෙන බව රට හමුවේ හෙළිදරව් වීම නිසා ජනාධිපතිවරයාගේ  වියරුව තව තවත් උත්සන්න වෙමින් තිබේ.

නයි දිෂ්ටි-මුට්ටි නැටුම් නටමින් මේ රටේ බහුතර ජනතාව රැවටීමට ලක් කළ ආකාරය අද වන විට බුද්ධිමත්, ධර්මය දන්නා ජනතාව තේරුම් ගනිමින් සිටිති.
මේ ඒකාධිපති මනෝභාවයේ ගොදුරු බවට අද විපක්ෂයේ මන්ත්‍රීවරු ලක් වනවා සේම, නුදුරේදීම ආණ්ඩුවේම දේශපාලන නායකයින්ද ඒ වියරුවේ ගොදුරු බවට පත් වනු නොඅනුමානය. 

එමනිසා මේ ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දේශපාලන බලවේග එක් විය යුතුව තිබේ. අප හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් එල්ල කරන ලද චෝදනාවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ සහචරයන් විසින් දේශපාලනිකව පිළිතුරු ලබාදෙනු වෙනුවට, ඔහුට හෝ ඔහුගේ දරුවන්ගේ ජීවිතවලට හානි වන ආකාරයේ කවර හෝ ක්‍රියාවක නියැලුණහොත්, එය රාජපක්ෂ දේශපාලනය අදුරු අවසානයක් කරා ගෙන යනු ඇති බව මතක් කර දීමට කැමැත්තෙමි. 
 

Advertiesment