Thursday 21st of January 2021

English Tamil
Advertiesment


ගෝඨාගේ මැර තර්ජනවලින් ශීලාචාර සමාජය යට කරනු බැහැ  


2021-01-10 2084

මරණ තර්ජන එල්ල කරමින් රටේ නායකයා රටට කළ හානිය සුළුපටු නොවේ

 

සිය ප්‍රකාශයට භික්ෂූන් ද ඇඳා ගැනීම බුදු දහමට කළ නිගාවක් 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

බෞද්ධ භික්ෂූන් වහසේලා ද ඈඳා ගනිමින් බුදුන් වහන්සේගේ අවිහිංසා වාදී ධර්මයට ද පිටු පා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන මරණීය තර්ජන ශීලාචාර බෞද්ධ සමාජය ඇතුළු සර්වාගමික ජනයා පිළිකුලෙන් යුතුව හෙළා දකින්නේ යැයි සාධරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සම්බධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ තර්ජනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.   

2021.01.09 දින අතිගරු ජනාධිපතිතුමන් විසින් අම්පාර උහන ප්‍රදේශයේ දී කළ කතාව සම්බන්ධවයි. 2021.01.09 දින අති ගරු ජනාධිපතිතුමන් විසින් අම්පාර උහන ප්‍රදේශයේ දී කළ කතාව විවිධ පැතිකඩවලින් අවධානයට ලක්ව ඇති බව පෙනේ.

රටේ රාජ්‍ය නායකයාගේ කතාබහ, ගමන්බිමන්, ඉරියව් මෙන්ම එතුමා විසින් කරන සෑම ප්‍රකාශයන් හා ක්‍රියාදාමයන් මහා ජන අවධානයට යොමු වීම නොවැළක්විය හැකිය. රටේ නායකයන් මේ සත්‍යය වටහා ගත යුතුය.

අප වෙත ලැබුණු වාර්තා හා විස්තර අනුව මෙය තර්ජනයක් වශයෙන් බොහෝ දෙනෙකු සලකන අතර ප්‍රභාකරන්ගේ ඝාතනය ගැන සඳහන් කරන හේතුවෙන් එය මරණීය තර්ජනයක් වශයෙන් ද හැඳින්වීමට පටන් ගෙන තිබේ.

සමහර ස්වාමින් වහන්සේලා විසින් එතුමාට ජනාධිපති මෙන් නොව හිටපු ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බව සඳහන් වී ඇති හෙයින් ඒ කරුණ ගැන සමාජය හා සංඝරත්නය තුළ විශාල ආන්දෝලනයක් ඇති වී තිබීම ගැන අපි අතිශය කණගාටුවට පත්වීමු.

බෞද්ධ භික්ෂුන් වහන්සේනමක් විසින් කිසි දිනක ප්‍රාණගාතය අනුමත නොකරන බැවින් කිසි විටෙකත් උන්වහන්සේලා තුළ එවැනි සිතිවිල්ලක් ඇති නොවුනු බව අපගේ දැඩි විශ්වාසයයි. මෙම සිද්ධිය නිසා රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව තිබේ.

මීට අමතරව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද තම ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවට වාර්තා වී ඇත. ඒ පිළිබඳවද රජයේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ  අවධානය යොමු විය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වය හා ජීවිත තර්ජන අපි කිසිසේත් අනුමත නොකරමු. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට හෝ ඕනෑම මහා ජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇත.
 
 

Advertiesment